අන්තරේට දෙවතාවක් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර – තුවාල ලැබූ හිමිනම ජාතික රෝහලට

(21.08.2018 – 19:03 +0530 – sinhala.adaderana.lk)

අග්නිදිග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) කොළඹ සංවිධාන කර තිබූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළේය.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම හා සිසුන් පන්ති තහනමට ලක්කිරීමට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව මෙම විරෝධතා පාගමන සංවිධාන කර තිබුණි.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් අද දහවල් 2.00 ට පමණ ගමන් ආරම්භ කළ විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුම දක්වා පැමිණියේය.

මේ අතර මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.

ඒ මහජනයාට හා වාහනවලට බාධාවක් සිදු වන ආකාරයෙන් මහාමාර්ගයේ ගමන් කිරීමෙන් හා රජයේ කාර්යාලවලට බලහත්කාරී ලෙස ඇතුළුවීමෙන් වැළකී සිටිය යුතු බව සඳහන් කරමින්.

විරෝධතාකරුවන් ලිප්ටන් රවුම වෙත පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් එම අධිකරණ නියෝගය විරෝධතාකරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අතර වාරයේ සිසුන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පිහිටි වෝඩ් පෙදෙසට ප්‍රවේශවීමට උත්සාහ කළ ද මාර්ග බාධක යොදා අදාළ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට පොලීසිය ඒ වන විටත් පියවර ගෙන තිබුණි.

මෙහිදී විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක පෙරළීමට උත්සාහ කිරීමත් සමඟ පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළේය.

එහිදී අමාත්‍යංශය අසල සිට පොලිසිය සිසුන් වෙත එල්ල කළ ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ ලිප්ටන් වටරවුමෙන් ගමන්ගත් රථවාහනවලට ද පතිතවනු දක්නට ලැබුණි.

අනතුරුව පොලිස් කැරලි මර්දන ඒකකය ද මැදිහත්ව සිසුන්ව තවදුරටත් එම ස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කළේය.

මෙහිදී තුවාල ලැබූ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ව වහාම රෝහල්ගත කිරීමට සරසවි සිසුන් කටයුතු කළේය.

විසුරුවා හැරීමෙන් පසුව ද යළි රැස්වූ සරසවි සිසුන් ලිප්ටන් වටරවුමේ රැඳී සිටිමින් උද්ඝෝෂණයේ නිරත ව සිටි අවස්ථාවේ යළිත් ජල ප්‍රහාර එල්ල විය.

දින කිහිපයක සිට සිසුන් ලිප්ටන් වටරවුම ආසන්නයේ ඉදිකර තිබූ අට්ටාලයට ද මෙහිදී ජල ප්‍රහාර එල්ල වී තිබේ.

අනතුරුව එම ස්ථානයේ පැයක පමණ කාලයක් රැඳී සිටිමින් සිය විරෝධතාව පළ කළ සිසුන් පස්වරු 6.00 ට පමණ එම ස්ථානයෙන් විසිර ගියේය.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් සිසුවෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

++++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *