ඡන්ද නැති රටක ආණ්ඩුවක් ගෙදර යවන එකම ක‍්‍රමය.. හමුදා තුවක්කු ජනාධිපති මන්දිරය දෙසට..

(25.08.2018 – 06:26 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ කළුතර දිසා සභාව පිහිටුවීමේ අවස්ථාවේදී පිවිතරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් :

අභිරහස් ලෙස ගෙනා සිංගප්පූරු ගිවිසුම

මෑතක් වන තුරුම තමුන්නාන්සේලාට අපි කිව්වේ මෙරට වත්මන් ආණ්ඩුව සිදු කරපු ලොකුම අපරාධය මහ බැංකු බැඳුම්කර වංචාවයි කියලා. අපිට දැන් ඒක වෙනස් කරගන්න වෙලා තිබෙනවා. ආණ්ඩුව තමන්ගෙම වාර්තාව කඩලා ඉවරයි. මේ ආණ්ඩුව මේ රටට කළ ලොකුම විනාශය සිංගප්පූරුව සමග අත්සන් කර නිදහස් වෙළඳ ගිවිසුමයි. තමුන්නාන්සේලා මේක ගැන දැන් ටික ටික දැන ගන්නේ. තමුන්නාන්සේලා දැනගන්නේ කොහොමද? අපි දැනගත්තේත් මේ ළඟදී. අත්සන් කරලා තියෙන්නේ ජනවාරි මාසේ 28 වෙනිදා. කවුරුවත් දන්නෙ නෑ. ගැසට් පත්‍රයක් මුද්‍රණාලයේ ගන්න නැහැ. සාමාන්‍යයෙන් ගැසට් එකක් වෙබ් අඩවියේ දානවා. මේක බ්‍රහස්පතින්දා රෑ 10 වෙනතුරු දාලා තිබ්බෙ නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා කියලා හැන්සාඩ් එකේ නම් දාලා තියෙනවා. නමුත් ගැසට් එක ලැබුණු මන්ත්‍රීවරයෙක් පාලිමේන්තුවේ නෑ. හැන්සාඩ් එක බැලුවම නම් ජූලි මාසයේ විසි දෙවෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී කියලනම් තිබෙනවා. මෙහෙම අභිරහස් විදියට ගෙනාපු සිංගප්පූරු ගිවිසුම රටට හෙළි වෙලා හමාරයි. හෙළිවුණා නෙවෙයි අපේ මන්ත්‍රීවරු රටට හෙළි කළා. මොකක්ද මේ සිංගප්පූරු ගිවිසුමෙන් වෙන්නේ?

මිත්‍රවරුනේ අපේ රටේ සොබා සම්පත් සියල්ලම හූරගෙන සිංගප්පූරුවට යවන්න පුළුවන්. අලියා, ඇතා හාවා මුවා හරකා ඒකා මේකා සියල්ලම ඒ ලැයිස්තුවේ තියෙනවා. බූරුවෝත් ඉන්නවා. හැබැයි මේ රට පාලනය කරන බූරුවන්ගේ සැලැස්ම වෙලා තියෙන්නේ ඒ බූරුවෝ මේ රටේ ඉතුරු වෙලා අනෙක් බූරුවෝ ටික රට පටවන්න විතරයි. නැත්තං අඩුම ගානේ සිංගප්පූරු ගිවිසුමේ එක හොඳක් තියෙනවා, රට පාලනය කරන බූරුවෝ ටික රට පටවනවා කියලා සතුටු වෙන්න තිබුණා. එහෙම නෙවෙයි පුත්තලම් බූරුවෝ රට පටවලා රට පාලනය කරන බූරුවන් තවදුරටත් රැඳී සිටින්න තමයි මේ අය සැලසුම් කරලා තියෙන්නේ.

සිංගප්පූරුවෙන් මොනවද එන්නේ බදු නැතිව ලංකාවට හාල්, තල, බඩ ඉරිඟු, බෝංචි, මේ වගේ නිෂ්පාදන සියල්ලම එන්න නියමිතයි. සිංගප්පූරුව කියන්නේ තණකොළ ගහක් හැදු නැති රටක්. සිංගප්පූරුවේ තණකොළ වැව්වේ 1960 දශකයේ ඕස්ට්‍රේලියාවෙන් තණකොළයි පසුයි දෙකම ගෙනල්ලා. පස් නැති රටකට කොහෙන්ද මේ වී වගාව, බඩඉරිඟු වගාව, බෝංචි වගාව, තල වගාව මේ සියල්ලම කරන්න යන්නේ වෙනත් රටවලින් ගෙනල්ලා සිංගප්පූරු ලේබලය යටතේ බදු රහිතව මේ රටට එවන්න. එහෙනම් මතක තියාගන්න දැනටමත් අර්තාපල් ඉන්දියාවෙන් එනවිට අපේ ගොවියට පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න සිද්ධ වුණා. හැබැයි වී ටික, බඩ ඉරිඟු බෝංචි ටික එනවනං ඉන්දියාවෙන් ලංකාවට අර ප්‍රේමදාස යුගය වගේ අපේ ගොවියට නැවත වතාවක් වහ බොන්න වෙන යුගයක් උදා වෙනවා. හැබැයි මේ ගැන තවම රට උණුසුම් නෑ. හරිනම් ගොවියෝ ටික මේ වන විට පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න ඕන. අපේ ස්වභාව සම්පත් ටික, අපේ ජෛව විවිධත්වය, අපේ ඉන්න සත්තු ටික තොග ගණනින් නැව් ගණනින් පිටරට පටවන්න යනවා කියලා පරිසරවේදීන් ටික පාරට බැහැලා තියෙන්න ඕන. වසර සීයකට වැඩි පුරාවස්තු සියල්ලම පුරාවිද්‍යා නීති නොසලකා සිංගප්පූරුවට පටවන්න සූදානම් වෙනවා කියලා උරුමය ගැන හඬ නගන අය පාරට බැහැලා තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි එහෙන් මෙහෙට එන්නේ ධාන්‍ය විතරක් නෙවෙයි. අපද්‍රව්‍ය එනවා, මිනිස් කෙස් එනවා, සත්ව හම් එනවා, ලෝකයේ උසම කුණු කන්ද මීතොටමුල්ල කුණු කන්ද තියෙන්නේ ලංකාවේ කියලා 2017-04-13 මේ කුණු කන්ද කඩා වැටුන පස්සේ ලෝකයම දැන ගත්තා. ඒ නිසා අද සිංගප්පුරුව හරහා ලෝකයේම කුණු ටික ලංකාවට ගෙනල්ලා සමස්ත ලංකාවම කුණු පිට්ටනියක් කරන්න මේ ආණ්ඩුව පිඹුරුපත් හදලා ඉවරයි.

සිංගප්පූරු ගිවිසුම හරහා බුරුතුපිටින් ඉන්දියානුවන් ලංකාවට

මිත්‍රවරුනි ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ඉන්න කෝටි සංඛ්‍යාත රැකියා නොමැති අයට ලංකාවේ රැකියා ටික අරන් දෙන්න එක්ටා කියලා ගිවිසුමක් ආවා. 2008 ඉඳන් හැමදාමත් විරෝධය දක්වලා අපි මේක නතර කර ගත්තා. ඉන්දියානු සමාගම් සියල්ලම වගේ සිංගප්පූරුවේ ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒ නිසා මේ සිංගප්පුරුව හරහා රැකියා නොමැති ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් බුරුතු පිටින් ලංකාවට පැමිණීමට නියමිතයි. 2018 ජූලි මාසේ විසි වෙනිදා ඉන්දියාවේ තියන New Indian Express කියන පත්තරයේ මුල් පිටුවේ තියෙනවා ලොකු ඡායාරූපයක්. ඒකෙ තියෙන්නෙ හරකෙක් වෙනුවට මිනිහෙක් නගුල ඇදගෙන යනවා. ඒ පින්තූරයේ කතාව යටින් කියනවා. හරකෙක්ව යොදා ගන්න වත්කමක් නැති ගොවියා හරකා වෙනුවට ඊට වඩා ලාභ මිනිහව දාලා නගුල අදිනවා කියලා. අද ඉන්දියාවේ හරකා වෙනුවට නගුල අදින්නේ මිනිස්සු. හරකට වැඩිය මිනිසාගේ ශ්‍රමය ලාබයි. අපේ රටේ තියෙන බක්කි කරත්තය වෙනුවට ඉන්දියාවේ තියෙන රික්ෂෝ රථයේ හරකා වෙනුවට මිනිසාව කරේ තියාගෙන යන්නෙත් මිනිස්සු. මේ කියන්නේ හරකට වැඩිය මිනිසා ලාබයි. අද අපේ රටේ කම්කරුවෙක් කුඹුරු කොටන්න අත් උදව් දෙන්න ආවොත් රුපියල් 1200 නැත්තං 1500 යි. ඉන්දියාවේ රුපියල් 300 යි. තව ඉන්දියාවේ ඉන්නවා මිත්‍රවරුනි මම ඉන්දියාවේ ගියාම දැක්කා තුන්වේල කන්න දීලා වැඩ ඇරිලා ගෙදර බත් පාර්සලයක් ඔතාගෙන යන්න දෙනවා නම්පඩි නැතුව වැඩ කරන්න සූදානම් පිරිසක්. දුප්පත්කම එපමණට. එවැනි අය ලක්ෂ සංඛ්‍යාවක් ලංකාවට ඇදී ආවොත් මේ රැකියාවල් කරන සියලුදෙනාටම ගෙදර නවතින්න වෙනවා. අපේ ශ්‍රමය වඩා ඒ ශ්‍රමය ලාබ නිසා. කවුරුහරි කොන්ත්‍රාත් කරනවා නම් ආණ්ඩුවේ ඒකටත් අබ සරණයි. මේ ගිවිසුමේ කියනවා සිංගප්පූරු සමාගම්වලට ශ්‍රී ලාංකිකයෙක් සේ සලකා රජයේ කොන්ත්‍රාත් ටෙන්ඩර් වලට සහභාගි වීමට ඉඩ ලබාදිය යුතුය කියලා. සිංගප්පූරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා ලෝකයේ කිසිම රටක් මේ වගේ මසුරන් අවස්ථාවක් අපිට දීලා නෑ කියලා.

ආණ්ඩුවේ අවසාන මාස පහළොව

ඒ නිසා මේ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගියොත් අපිට ලංකාවක් ඉතිරි වෙන්නේ නෑ. මේ ආණ්ඩුව කඩිමුඩියේ මෙවැනි ගිවිසුමක් අත්සන් කෙරේ. මිත්‍රවරුනි මේ අය දන්නවා තමන්ගෙ කාලය ඉවරයි කියලා. ජනාධිපතිවරයා නැවත මැතිවරණයට ඉදිරිපත් වෙනවනම් 2019 ජනවාරි මාසේ නව වැනිදා ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඉතින් 12% ක් තියන කෙනා පරදින්න එයිද කියලා සැකයක් තියෙනවා. නමුත් දුවන්නේ නම් ඉල්ලන්න වගේ. එය ඉල්ලන්නේ නැත්නම් 2019 ඔක්තෝම්බර් මාසේ පස් වැනිදා සිට ඕනෑම දිනයක ජනපතිවරණය ප්‍රකාශයට පත් කළ හැකිය. ජනාධිපති යළි ඡන්දේ ඉල්ලනවා නම් ජනාධිපතිවරණයට මාස පහක් වත් නෑ. ජනාධිපති නැවත ඉල්ලන්නේ නැත්නම් මාස 15 කට වඩා ජනාධිපතිවරණයට නෑ. මේ ගත කරන්නේ ආණ්ඩුවේ අවසාන මාස පහළොවයි. ඒ නිසා මිත්‍රවරුනි මේ දවස්වල ආණ්ඩුවේ නායකයින් හැසිරෙන්නේ හෙට බාර් වහනවා කිව්වම අද නහුතෙට බොන බේබද්දෝ ටිකක් වාගේ. පුළුවන් තරම් හම්බ කරගන්න පුලුවන් තරම් සැප විඳින්න මේ අය අද උත්සාහ කරනවා. බදු පිට බදු ගහලා ජනතාවගේ රීරි මාංශ හූරාගෙන ලෝක සිතියම බල බලා එයා යනකොට මෙයා එනවා. මෙයා යනකොට එයා එනවා. ලෝකෙ තියෙන හැම රටටම එකපාරක් හරි යන්න බලනවා මොකද තව මාස පහළොවයි තියෙන්නේ.

ලෝක බලවතුන්ගේ රණබිමක් ලේ විලක් බවට මව්බිම පත්වන හැටි

හැබැයි මේ හැමදේටම සල්ලි ඕනේ. එක පැත්තකින් අපේ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරගෙන ඒ රටවල් වලින් දැවැන්ත මුදලක් උපයනවා කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මරමස්ථාන අද කුණුකොල්ලෙට විකුණමින් තිබෙනවා. හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග පද්ධතිය නොරොච්චෝල විදුලි බලාගාරය, චීනයට දෙන අතරේ මත්තල ගුවන්තොටුපල, ත්‍රීකුණාමල වරාය, පලාලි ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය මේ සියල්ලම ඉන්දියාවට දෙනවා. පැත්තකින් චීනයට දීගෙන යනවා අනෙක් පැත්තෙන් ඉන්දියාවට දීගෙන යනවා. ඉන්දියාවයි චීනය කියන්නේ මිත්‍රවරුනි තවත් වසර 30 කින් ලෝකයේ සිටින සුපිරි බලවතුන් දෙදෙනා. මේ දෙන්නව දැක්ක තැන බුරා පනින දඩෝරි බල්ලෝ දෙන්නෙක් ගානයි. තමුන්නාන්සේලා දන්නවා දඩෝරියා දෙන්නෙක් එක ළඟ ගැටගහලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා. නිකන් බල්ලෝ දෙන්නෙක් නෙමෙයි අර ඇල්ෂේශන් දඩෝරියා බල්ලෝ දෙන්නෙක්, එකිනෙකා බුරා ගන්න බල්ලෝ දෙන්නෙක් ගෙනල්ලා එකට ගැට ගැහුවොත් මුන් දෙන්නා හපා කන්න පටන් ගන්නවා. සුපිරි බලවතුන් දෙදෙනා ලක් පොළොවේ එකිනෙකා සමග බල පොරයේ යෙදෙනකොට අපිට සිද්ධ වෙන්නේ අලි හැපෙනවා අපි තැලෙනවා ලෝක විනාශය කිව්ව වගේ අපි තමයි මේකෙන් තැලෙන ජාතිය බවට පත් වෙන්නේ. ලෝක බලවතුන්ගේ රණබිමක් ලේ විලක් බවට මේ මව්බිම පත්කරන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ.

හුස්ම වලට තවම බදු නැත

ඒවගේම මිත්‍රවරුනේ අද මේ ආණ්ඩුව තමන්ගෙ මේ අවසාන මාස 15 සුපිරියට ඉන්න අවශ්‍ය කරන මුදල් හොයාගන්න හැමදේටම බදු ගහනවා. 2014 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවසන් වසරේ ආණ්ඩුවේ මුළු බදු ආදායම ට්‍රිලියන එකයි. 2018 වසරේ ආණ්ඩුව උපයන්න බලාපොරොත්තු වන සම්පූර්ණ බදු ආදායම රුපියල් ට්‍රිලියන දෙකයි. තමුන්නාන්සේලා උපයාගත් ආදායමෙන් සියයට සීයක් බදු වැඩි කරලා මේ ආණ්ඩුව අද ජනතාවගෙන් මුදල් උදුරගෙන තියෙනවා. මම දැක්කා අගමැතිතුමා කියනවා අගෝස්තු මාසේ 17 වැනිදා ආණ්ඩුවේ තෙවසර සමරන ගමන් හුස්ම ගත්ත වසර තුනක් කියලා. ඇත්තනේ දෙයියනේ හුස්ම වලට විතරයි බදු ගැහුවේ නැත්තේ තාමත් ඒක නොමිලේ. හෙට වදීද දන්නෙ නම් නෑ. තවම නොමිලේ. ඒ නිසා හුස්ම විතරයි පහුගිය වසර තුනේ ගන්න පුළුවන් වුණේ අනිත් හැම දේකටම බදු. එනිසා එතුමාට කියන්න පුළුවන් ජනතාව හුස්ම ගත්තා කියලා විතරයි. කෑමට බදු, බීමට බදු, ගමනට බදු, නිදාගන්නවට බදු, තැනම බදු මිත්‍රවරුනි දැන් කතාවෙනවා පිටරට කවුරු හරි යනවා නම් මූට සල්ලි තියෙනවා ගහන්න ඕන බද්දක් කියලා ආදායම් බදු කොමසාරිස්වරයාම කියනවා. තරු පහේ හෝටල් වලට දැනුම් දෙනවලු විවාහ මංගල්‍යය ගන්න අයගේ ලැයිස්තුව අපිට එවන්න ගහනවා ඒ අයටත් බද්දක් කියලා. මෙහෙම ගියොත් ළඟදීම මේ අය මිනිහෙක් කසාද බඳිනවා කියන්නේ, දරු පවුලක් නඩත්තු කරන්න පුලුවන් කියන්නේ මෙන්න සෑහෙන සල්ලි තියෙන මිනිහෙක් කියලා ළගදිම ගෙනේවි කසාද බද්දක්. ඒ වගේම කවුරුහරි දිනපතාම වැසිකිළි යනවා නම් ඒ කියන්නේ තුන්වේලම හොඳට කන කෙනෙක් අතේ සල්ලි තියෙන කෙනෙක් ගහපිය මුන්ට වැසිකිළි බද්දක් කියලා ළඟදීම මේ ආණ්ඩුව කියන්න ඉඩ තියෙනවා මිත්‍රවරුනි.

ඡන්ද නැති රටක ආණ්ඩුවක් ගෙදර යවන්න තියෙන එකම ක්‍රමය

ජනාධිපතිවරණයට මාස පහළොවයි කියලා මාස 15 අපි බලාගෙන ඉන්න තීරණය කළොත් අපිට රටක්වත් රටට හෙටක් වත් ඉතුරු වෙන්නේ නෑ. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යැවිය යුත්තේ 2019 ඔක්තෝම්බර් මාසේ නෙවෙයි 2018 සැප්තැම්බර් මාසේ කියන තීන්දුව අපි අද අරන් තියෙනවා. හැබැයි මිත්‍රවරුනි ආණ්ඩුව ගෙදර යවන්න ඡන්ද නෑ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ම පාර්ලිමේන්තු ඡන්දයක් හදිස්සියෙන් වත් තියන්න බෑ. පාර්ලිමේන්තුව විසුරවන්න තියෙන බලතල ටික ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයා උදුරගෙන. පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දාලා. සිමා නිර්ණ වාර්තාව 24 වෙනිදා එනවා. මේක ආණ්ඩුවම පරද්දනවා. පරද්දල අවුල ඇතිකරනවා. මොකද ඡන්දය තව දුරටත් කල් දැමිය යුතු නිසා. ඡන්ද නැති රටක ආණ්ඩුවක් ගෙදර යවන්න තියෙන එකම ක්‍රමය මහ පාරේ කරන ජන අරගලය පමණමයි.

මිත්‍රවරුනි අද මේ ආණ්ඩුවට ධන බලය තියෙනවා, මැර බලය තිබෙනවා, නිල බලය තිබෙනවා. ආණ්ඩුවේ වික්‍රමසිංහ සිරිසේන ජෝඩුවට මොන බලය තිබුණත් ජන බලය තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියලා අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ ජන බලය අරගෙන පාරට බැහැලා ආණ්ඩුවට පලයව් කියන්න ඕන. අපි හැමදාමත් පාරට බැස්සා. ආණ්ඩුවට විරුද්ධව පුංචි පුංචි කන් කෙදිරි ගෑවා. හැබැයි කෙඳිරි ගාලා හවසට අපි ගෙදර ආවා. මෙදා පාර අපි පාරට බහින්නේ අපි ගෙදර යන්න නෙවෙයි, මේ ආණ්ඩුව ගෙදර යවන්න කියන පණිවිඩය අපි තමුන්නාන්සේලාට දෙනවා.

ඒකාධිපති ආණ්ඩුවකට එරෙහි පිලිපීන පාඩම

මිත්‍රවරුනි මේ පිළිබඳ අපූරු පාඩමක් පිලිපීනය ජනතාව අපිට ඉගැන්නුවා. සැප්තැම්බර් පස්වැනිදා මහා ජන අරගලයට සූදානම් වෙන තමුන්නාන්සේලාට ඒ පාඩම හරිම වැදගත්. එහි හිටියා මේ වගේම ඡන්ද නොතියෙන ඒකාධිපති ආණ්ඩුවක්. මාකෝස් කියන ජනාධිපතිවරයෙක්. විපක්ෂ නායකයා බෙනීටෝ අකිනෝ පිලිපීනයෙන් පැනලා හැංගිලා හිටියා මරනවට බයේ. ඔහු දීර්ඝ කාලයකට පස්සේ 1986 දී පිලිපීනයට පැමිණෙනවා. පිලිපීනයේදී ගුවන් යානයෙන් බිමට බහින විටම මාර්කෝස්ගේ පාතාල නායකයින් විසින් බෙනීටෝ අකිනෝ වෙඩි තියා මරා දානවා. මුළු රටම බියෙන් ඇලලෙනවා. විපක්ෂයේ බය නැතිව හිටිය එකම එක නායකයයි. ඒ නායකයත් මරලා දාලා. දැන් කුමක් කරන්නද කියලා විපක්ෂය බියෙන් සැලිලා තුෂ්නිම්භූතව බලන් ඉන්නකොට මාකෝස් හිතුවා මෙන්න වෙලාව තියමු ජනාධිපතිවරණයක් කියලා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කලා. අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න නෑ. ඔහොම බියෙන් සලිත වෙලා. මියගිය බෙනිටෝ අකිනෝ ගෙ නෝනා කොරොසාන් අකිනෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. හැබැයි රැස්වීම් ලෑස්ති කරන්න කවුරුවත් නෑ. පෝස්ටර් අලවන්න කවුරුත් නෑ. කොලයක් බෙදන්න කවුරුවත් නෑ. හැමෝම බියෙන් මුළුගැන්විලා ගෙවල් අස්සේ. මාකෝස්ගේ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව රටපුරා බොහොම ජයට ති‍යෙනවා. ජනාධිපතිවරණය ආවා. අවුරුදු විසි ගණනක් පපුවේ තද කරගෙන හිටපු කේන්තිය, කළකිරිම, අපේක්ෂාභංගත්වය, එලියට දාන්න ජනතාව පෝලිං ගැහිලා ඇවිල්ලා කතිරෙ ගැහුවා විපක්ෂයේ අපේක්ෂිකාව ට.

දැන් මැතිවරණය ඉවරයි ඡන්දය ගණන් කළා. ලංකාවේ වගේම පිලිපීනයෙන් තිබුන ස්වාධීනයි කියන මැතිවරණ කොමිසමක්. ගණන් කලාම මැතිවරණ කොමිසමෙන් විපක්ෂයේ අපේක්ෂිකාව ජයග්‍රහණය කරලා. අපේ වගේම මැකෝ කෙනෙක් එහෙත් හිටියා. මැකෝ ගත්ත කෝල් එකක් ජනාධිපතිවරයාට. සර් හරි වැඩේ සර් පැරදිලා කොරොසාන් අකිනෝ දිනලා කියලා කිව්වා. ජනාධිපති කිව්වා මට ඒවායින් වැඩක් නෑ. තමුන් වහාම ප්‍රකාශයට පත්කරනවා ජයග්‍රහකයා මමයි කියලා. හරි සර් කියලා මෙයා කිව්වා අකිනෝ පරාජය කර මාකෝස් ජයග්‍රහණය කළ ඇති බව.ඡන්දය ගණන් කිරීමට ගිය නිළධාරීන් කැලඹුනා, ඡන්දය ගණන් කරන්න ගිය නිලධාරීන් එලියට ඇවිල්ල අඬ අඬා කිව්වා මැකෝ කිව්ව ප්‍රතිඵලය වැරදි. ඇත්තටම දින්නේ අකීනෝ කියලා.

පිලිපීනයේ පල්ලිය හරිම බලවත්. පිලිපීනය පල්ලියෙන් ජනතාවට උපදෙස් දුන්නා යන්න මැනිලා නගරයට අගනුවර. වටලන්න ආණ්ඩුවට. පලයව් කියලා ආණ්ඩුව ගෙදර යනකන් පාරට වෙලා ඉන්න කියලා. ලක්ෂ ගණනින් ජනතාව පාරට බැස්සා. මුළු මැනිලා නුවරම එකම හිස් ගොඩක් මාකෝස් පුරුදු පරිදි හමුදාවට අණ දුන්නා වෙඩිතියලා සෙනග විසුරුවා හරින්න කියලා. හමුදාව යනවා කාලතුවක්කු අරගෙන ජනතාවට .තුවක්කුව එල්ල කරනවා ජනතාවට. හැබැයි හමුදා භටයන්ට පේන්නේ ලක්ෂ සංඛ්‍යාත එකම හිස් ගොඩක් පමණයි. හමුදා භටයන්ගේ හදවත කතා කරන්න පටන් ගත්තා. දෙවියනේ මගේ අම්මා තාත්තා නංගි මල්ලි මෙතන ඇති, මගේ හොඳම යාළුවෝ ටික මෙතන ඇති, ඒ ගෙදර අහල පහල නෑදෑ හිතවත්තු ටික මෙතන ඇති. ඉහලින් අණ දුන්නට වෙඩි තියපන් කියලා හමුදාවේ භටයන්ගේ කොකා ගැසෙන්නේ නෑ.

හමුදාවේ මේ වික්ෂිප්තභාවය දැක්කා එක අම්මා කෙනෙක් අම්මා ඉස්සරහට ඇවිල්ලා කාලතුවක්කුවක බඳ එල්ලිලා කෑගහලා හමුදාවට කිව්වා පුතේ මේ පැත්තට වෙඩි තිබ්බොත් උණ්ඩ දසලක්ෂ ගණනක් ගියත් සටන නතර වෙන්නේ නෑ. අර පැත්තට වෙඩි තිබ්බොත් එක උණ්ඩයයි මාකෝස් ඉවරයි. සටනත් ඉවරයි ඒනිසා හරවපල්ලා උඹලගේ තුවක්කු ජනාධිපති මන්දිරය පැත්තට කියලා. හමුදාව වික්ෂිප්ත වෙලා ගියා. හමුදාවේ මේ සෙළවීම තේරුම් ගිය ආරක්ෂක ඇමතිවරයා ජනතාවගේ පැත්තේ ඇවිල්ලා හිට ගත්තා. ආරක්ෂක ඇමතිවරයා හමුදාවට අණ දුන්නා ජනාධිපති මන්දිරයට තුවක්කු එල්ල කරන්න කියලා. තුවක්කු හැරවුනා ජනාධිපති මන්දිරයට. ජනාධිපතිවරයාට පණිවිඩයක් යැව්වා පැය විසි හතරක් ඇතුළත රටෙන් ගියේ නැත්නම් අපි ජනාධිපති මන්දිරය බිමට සමතලා කරනවා කියලා. මාකෝස්ට තේරුනා එයාගේ කාලේ ඉවර වෙලා කියලා. හෙලිකොප්ටරයක නැගලා මුහුද මැද තිබුණු ඇමරිකානු නැවකට ගිහිල්ලා ඇමරිකාවට ගියා ගියාමයි නැවත කවම කවමදාවත් පිලිපීනයට ආවේ නෑ.

පිලිපීනයේ ජනතාව තෝරා ගත් ජනතාවගේ නායිකාව අකිනෝ 86 පෙබරවාරි 25 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා. පිලිපීන ජනතාව අපට කියාදෙන පාඩම තමයි ජනතාවගේ බලය ඉදිරියේ අනිත් හැම බලයක්ම යටයි කියන එක. ඒ නිසා මිත්‍රවරුනේ ඡන්ද නොතියන මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න සැප්තැම්බර් මාසේ පස්වෙනිදා එදා 1986 පෙබරවාරි මාසයේ පිලිපීන ජනතාව අපිට කියා දුන්න පාර දිගේ ගමන් කරලා කොළඹ නගරය වට කරමු. කොළඹ නගරයේ පාරවල් වල අපි නතර වෙමු. රාජ්‍ය යාන්ත්‍රණය නතර කරමු. වැඩබැරි හොරු පිරි බොරුකාර මේ ආණ්ඩුව ගෙදර යනතුරු පාරේ නතරවෙලා පාරේ නිදාගෙන, පාරේ උයාගෙන කාලා ආණ්ඩුව ගෙදර යවලා අපේ ගෙවල් වලට යමු

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *