ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න අත්අඩංගුවට ගන්න යයි

(29.08.2018 – 12:13 +0530 – lankadeepa.lk)

සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අද (29) අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෙම කරුණු අනාවරණය කරනු ලැබුයේ පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය සම්බන්ධ නඩුව අද (29) කැඳවු අවස්ථාවේදීය.

සැකකාර චන්දන ප්‍රසාද් යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් ලබා දීම යන කාරණා මත හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර සැකකරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නෙහොත් නේවි සම්පත් ලබන මස 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය ෴

+++++++++++++++++++++++++++++++++++++++

සුදු වෑන් නේවි සම්පත්ට රැකවරණය දුන් හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට
(30.08.2018 – gossiplankanews.com)

පසුගියදා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුදුවෑන් පැහැරගැනීම් කළ බවට චෝදනා සහිත නේවි සම්පත්ට රැවරණය ලබාදීමේ චෝදනාවක් නිසා හිටපු නාවික හමුදාපති හා වර්තමාන ආරක්ෂක මණ්ඩල ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ දැනුම් දී ඇත.

අපරාධකරුවන්ට නවාතැන්දීම, රාජ්‍ය නිලධාරියෙකුට බාධා කිරීම යන චෝදනා යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 209, 174, 183 වගන්ති ප්‍රකාරව හිටපු නාවික හමුදාපති හා වර්තමාන ආරක්ෂක මණ්ඩල ප්‍රධානී විජේගුණරත්න වරදක් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී දැනුම් දී ඇත.

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු සුදුවෑන් මගින් පැහැරගෙනගොස් අතුරුදන් කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි හෙවත් නේවි සම්පත් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නට සූදානම්ව සිටි අවස්ථාවක ඔහුට නාවික හමුදා මූලස්ථානයේ සැඟවී සිටීමට විජේගුණරත්න මහතා රැකවරණය සපයා තිබේ. මේ බව ඔහුගේ කාමරයට යාබද කාමරයක නාවික හමුදා නිලධාරියෙකු සාක්ෂි සපයා තිබේ.

මීට ටික කලකට පෙර හම්බන්තොටදී මාධ්‍ය වේදියෙකුට ප්‍රසිද්ධියේ අසභ්‍ය වදනින් බැණවැදී ඔහුට පහරදීමේ සිද්ධියක් නිසාද හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න අන්දෝලනයට ලක්ව සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *