නවක වදයෙන් මියගිය අමාලි වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා මවගෙන් පැමිණිල්ලක්

(01.09.2018 – 19:20 +0530 – newsfirst.lk/sinhala)

2014 වසරේදී නවක වදයට මුහුණදීමෙන් රෝගාතුරව සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියක 2015 වසරේදී සියදිවි නසාගෙන ඇති අතර ඇයට සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් ඇයගේ මව ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

අමාලි චතුරිකා නැමැති අදාළ දැරිය නවක වදය හේතුවෙන් විසාදයෙන් පෙලුණු අතර ඊට ප්‍රතිකාර කිරීමෙන් පසු 2015 වසරේදී නැවත විශ්වවිද්‍යාලයට යාමට සුදානමින් සිටියා ය.

නමුත් ඊට පෙර ලිපියක් ලියා ඇය සියදිවි හානිකර ගෙන තිබේ.

ඇයගේ මව්පියන් චෝදනා කරන්නේ එම ලිපියේ සඳහන් ව ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා හෝමාගම පොලීසියට එරෙහිව මියගිය දැරියගේ මව ඊයේ එළෙස පැමි‍ණිල්ලක් ඉදිරිපත් කළා ය.

විශ්වවිද්‍යාල තුළ පවතින නවක වදය හේතුවෙන් වසරකට සිසුන් 1000 කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල හැර යන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ ය.

මියගිය අමාලි වෙනුවෙන් සාධාරණයක් ඉටු වන්නේ කවදා ද?

මියගිය අමාලි වෙනුවෙන් සාධාරණයක් ඉටු වන්නේ කවදා ද?Read More: https://goo.gl/BtH7PL #lka #News1st #Ragging #University

Posted by Newsfirst.lk on Saturday, September 1, 2018


+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

නවකවදයේ තවත් අමිහිරි අත්දැකීමක්
(01.09.2018 – 21:54 +0530 – hirunews.lk/sinhala)

දැඩි කැපවීමකින් සිප් සතර හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම ඕනෑම දරුවෙකුගේ අපේක්ෂාවයි.

එහෙත් එම අපේක්ෂාව මල් ඵලගැන්වීමෙන් අනතුරුවත් තම ජීවිතය නැතිකර ගැනීමට කරුණු කාරණා පෙළගැසෙන්නේ නම් එය ඛේදවාචකයක්.

නවක වදය, එවැනි ඛේදවාචක රැසකට මේ වනවිටත් ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

2014 දී උසස් පෙළ සමත්වූ ඇය සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වනවා.

පියාද නොමැති මවගේ සෙවනේ මහත් පරිශ්‍රමයෙන් අධ්‍යාපනය හැදෑරු ඇය සරසවියට පිවිසෙන්නේ අහස උසට නැගි බලාපොරොත්තු සමගින්.

එහෙත් අමාලිට ජ්‍යෙෂ්ඨයින් විසින් දෙනු ලැබූ නවක වදය දැඩි මානසික පීඩනයක් ගෙන දුන්නා.

තමා විශ්වවිද්‍යාලය තුළදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම් පිළිබදවමවට විටින් විට ලිපි ලියුවත් ඇයට සැබෑ තත්ත්වය පවා පැවසීමට ඇතැම් විට හැකිවූයේ නැහැ.

අවසානයේදී ඇය 2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා සිය නිවසේදී සියදිවි නසා ගන්නවා.

+++++++++++++++++++++++++++++++++

“ගමෙන් කැම්පස් එන සිසුන්ගෙන් කොළඹ සිසුවියන්ට ලිංගික නවකවද” සරසවි සිසුන්ට හීනමානයද ? නවකවදය නිසා මිය ගිය අමාලිගේ කතාව!
(02.09.2018 – nethgossip.lk)

කොළඹ දේවි බාළිකා විද්‍යාලයෙන් සිප්සතර හදාරා සබරගමු විශ්ව විද්‍යාලයට තේරී පත්වූ අමාලි චතුරිකාගේ කතාව සමාජයේ ආන්දෝලනයට තුඩු දුන්නේය. 2014 වසරෙ උසස් පෙළ ඉහළින්ම සමත් වූ අමාලි, පියාද නොමැති පවුලක මව සමග ජීවත් වූ තරුණියකි. ඇය 2015 වසරේ සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවද ඇයගේ සරසවි ගමන සිතූ සේ මිහිරි වූයේ නැත.


අමාලි චතුරිකා

ඒ සරසවිය වෙලා ගෙන තිබෙන නවකවද භීතිකාව නිසාවෙනි. සබරගමු සරසවියේදී පළමු දිනයේ පටන් නවකවදයට ලක්වූ අමාලි, නවකවදය ලබා දෙන ජ්‍යේෂ්ඨ සිසු සිසුවියන්ගේ විශේෂ ඉලක්කයක් විය. ඒ ඇය කොළඹ පාසලකින් සරසවියට පැමිණි නිසාය. එම හිරිහැර ඉවසා ගැනීමට නොහැකි තැන ඇය 2015 වසරේ පෙබරවාරි 16 වැනිදා සියදිවි නසා ගන්නේ අමානුෂික නවකවදයේ අඳුරු පැතිකඩ සමාජයට නිරාවරනය කරමිනි.

අමාලි පිළිබද ශෝකජනක පුවත නැවත දිග හැරෙන්නේ ඇයට යුක්තිය ඉල්ලා අමාලිගේ මව නැවතත් නීතිය ඉදිරියට පැමිණි නිසාය. අමාලි සියදිවි නසා ගැනීමට පෙර ලිපි කිහිපයක් ලියා ඇයට සිදුවු අසාධාරණය පිළිබදව විස්තර කර තිබුනද තවමත් අමාලි වෙනුවෙන් නීතියෙන් යුක්තිය ඉටුවී නොමැත. නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ දින (01) පොලිස් මූලස්ථානයට පැමිණෙන අමාලිගේ මව සිදුවීම පිළිබදව පොලිස් මුලස්ථානයටද පැමිණිලි කළේය. මින්පෙර වසර තුන හමාරක් තිස්සේ අමාලිගේ මව පොලිස් කොමිසමට, පොලීසියට, මානව හිමිකම් කොමිසමට ආදි නීතිය රැකීමට ඇති නොයෙකුත් ආයතන වලට පැමිණිලි කළද තවමත් අමාලි වෙනුවෙන් යුක්තිය ඉටුව නැත්තේ ඇයට නවක වදය ලබා දුන් ජ්‍යේෂ්ඨ සිසු සිසුවියන්ගේ නම් පවා ඇයගේ ලිපි වලින් සඳහන් කර තිබෙද්දීය.

ජ්‍යේෂ්ඨ සිසු සිසුවියන් විසින් අමාලි ‍රැගෙන ගොස් හුදෙකලා කොට ඇයට අසභ්‍ය දර්ශන අඩංගු චිත්‍රපට පවා පෙන්වා තිබෙන බව අමාලිගේ මව පවසයි. ජ්‍යේෂ්ඨ සිසුන් විසින් ඇයට අසභ්‍ය වචනයෙන් දැඩි ලෙස බැන වැදී තිබෙනා බවත් මෙම හිරිහැර දරා ගත නොහැකිව අවසන් දිනවල අමාලි දැඩි මානසික පීඩනයකින් කල් ගෙවූ බවත් ඇයගේ මව පවසයි. කොළඹ ප්‍රදේශයෙන් සරසවියට පැමිණෙන නවක සිසු සිසුවියන්ට නවකවදය අමානුෂික ලෙස ලබා දුන් බවටත්, අමාලි දේවී බාළිකා විද්‍යාලයෙන් සරසවියට පිවිසි නිසා ඇය නවකවදයේ දැඩි ඉලක්කයක් වූ බවත් අමාලිගේ මව මාධ්‍යයට වැඩිදුරටත් පැවසූවා.

සබරගමුව සරසවියේ 2015 වසරේදි දෙවන වසර ශිෂ්‍යාවක් වූ මාෂා සහ ශිෂ්‍යයෙක් වන ඉසුරු යන සිසු සිසුවියන් දෙදෙනා මෙලෙසින් අමාලි ඉලක්ක කරමින් ලිංගික හිරිහැර පවා සිදුකරමින අමානුෂික නවකවදය ලබා දුන් බවට අමාලි ලියූ ලිපියක සඳහන් වේ. සැකකරුවන්ගේ නම් පවා සඳහන්ව තිබිය දී තවමත් යුක්තිය ඉටු නොවුනු අමාලි වෙනුවෙන් පමා වී හෝ යුක්තිය ඉටු විය යුතු බවට සමාජජාලා මාධ්‍යයන්හි කතාබහක් ඇතිව තිබුනා. බොහෝ සරසවි සිසු සිසුවියන් හීනමානයෙන් පෙළෙන බවත්, ඔවුන් කොළඹ පාසල් වලින් පැමිණෙන සිසු සිසුවියන් ඉලක්ක කරන්නේ එබැවින් බවත් සමාජජාලා ක්‍රීයාකාරීකයන් අදහස් දක්වා තිබීමද විශේෂත්වයක්.


අමාලි අවසන් වරට ලියූ ලිපිය

++++++++++++++++++++++++++++++++

සබරගමුවේ නවක වද සිද්ධිය ගැන ඇමැතිගෙන් පැමිණිල්ලක්
(03.09.2018 – 18:51 +0530 – lankadeepa.lk)

නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.

අමාලි චතුරිකා සිසුවියගේ මරණය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් නොවලහා සිදුකොට එකී මරණයට වගකිව යුත්තන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩු පවරන ලෙසත් එම මරණයට අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්ෂි වසං කිරීම නිසා එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමටත් සහ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකොට නඩු පැවැරීම පැහැර හැරී එවකට හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

පන්නිපිටිය මාඹුල්ගොඩ පදිංචිව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ සායක්කාර හේවගේ අමාලි චතුරිකා නැමැති සිසුවිය නවක වදයට ලක්ව 2015 පෙබරවාරි මස 16 වැනිදින ලිපි දෙකක් ලියා තබා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවද විජයදාස රාජපක්ෂ මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

අමාලි චතුරිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දිනයේ පටන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකු නිරන්තරයෙන් නවක වදයෙන් ඔබ්බට ගිය ශාරීරික හා මානසික පීඩනයක් ඇති කරමින් ප්‍රචණ්ඩත්වය දියත් කර විවිධාකාර වදහිංසාවන්ට ලක්කර තිබෙන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ ෴

++++++++++++++++++++++++++++++++

නිල් චිත්‍රපටයේ විදිහට ‘ඇක්ට්’ කර කෑගහන්නැයි සබරගමු ජ්‍යෙෂ්ඨයින් දුන් නවකවද නිසා සියදිවිනසාගත් අමාලිගේ මරණය ගැන පරීක්ෂණ යළි ඇරඹේ
(04.09.2018 – gossiplankanews.com)

මින් වසර තුනහමාරකට පමණ ඉහත 2015 පෙබරවාරි මසදී සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා නමැති සිසුවියක නිවසේදී සාරියක එල්ලී සියදිවිනසාගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබුණි.එය නවක වදය හේතුවෙන් ඇතිවූ දැඩි චිත්ත පීඩාවක් නිසා සිදුවූ බවට ඒ දිනවල කථාබහක් පැතිර ගියේ ඒ දිනවල මාධ්‍ය තුළින් මියයන්නට පෙර ඇය අතින් ලියූ ලිපියක කොටසක්ද ප්‍රචාරය කරමිනි.

නමුත් මෙම සිද්ධිය නවක වදයක් නිසා නොව ඇයට උත්සන්නව පැවති මානසික රෝගයක් නිසා සිදුවූ බවට අදාළ සරසවියේ උප කුලපතිවරයාත් පීඨාධිපතිවරයාත් ඒ දිනවල මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වූයේ ඇය ඊට පෙරත් දිවිනසාගන්නට වෑයම් කළ අයෙකු බවට හා මනෝ වෛද්‍ය උපදේශන හා ඖෂධ ප්‍රතිකාර ඇයට ලබාදුන් බව පවසමිනි.

ඔවුන් තර්ක කර තියා තිබුනේ මියගිය අමාලිගේ මෙම මානසික දුර්වලතාව නිසා විභාග අසමත්වූ නිසා දෙවන වරටත් සරසවියේ පළමු වසරේ රැඳෙන්නට අවස්ථාවක් ලබාදී තිබූ බවයි.

සියදිවි නසාගැනීම වාර්තා වූයේ ඇය මාස ගණනාවක් නිවසේ නිවාඩුවෙන් සිටයදී බවත් මෙම සිද්ධියට නවක වදයක් සම්බන්ධ නැති බවත් පැවසූ ඔවුන් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැතැයි ඇගේ මව දන්වා ඇතැයිද ප්‍රකාශ කර තිබුණි. ඒ දිනවල සබරගමු ශිෂ්‍ය සංගමයද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා නවකවද කතාව ප්‍රතික්ෂේප කරන ලදි.

සරසවියෙන් කරුණු ලබානොදුන් නිසා පන්නිපිටියේ නිවසේදී මියගිය අමාලි වෙනුවෙන් හෝමාගම පොලිසියද නවක වදයක් ගැන පරීක්ෂණයක් සිදු කර තිබුනේ නැත.

මේ හේතුවෙන් මෙම සියදිවිනසාගැනීමේ සිද්ධියට හේතු ඇගේ මරණයත් සමගම යට ගොස් තිබුණි.
පන්නිපිටියේ නිවසේදී සාරියකින් ගෙළ වැළලාගෙන මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අමාලි චතුරිකා 23 හැවිරිදි වියේ පසුවූ අතර ඇය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි.

මියයන කාලය වනවිට ඇය මානසික ආතතියකින් පීඩා විඳි බව සත්‍යයක් වූ අතර එයට ප්‍රතිකාර ගනිමින් සිටි බවද සත්‍යයකි. නමුත් එම ගැටලුවලට මුල ඇය නවක වදය නිසා වින්ද පීඩාව බවට සැකයක් මතුවේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක ඇගේ මරණය ගැන 2015 දී අදහස් පළ කර තිබුනේ මෙසේය :

‘‘මේ ළමයා විශ්වවිද්‍යාලයට ඇවිත් ගොඩක් කල්. ගිය අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර ආවේ. නේවාසිකාගාරයේ අමුතු ලෙස හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. මේ පිළිබඳව වාර්තා වුණාට පස්සේ අම්මා සමග ගෙදර යැව්වා. බෙහෙත් කරලා හොඳවෙලා ගෙදර ආවා. ඔය ආකාරයෙන් කීප වාරයක් හතර පස් සැරයක් ආවා ගියා. ඒ අතර වාරයේ ඇයට අතපසු වූ ප‍්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනමම ඉගෙන ගන්නට අවස්ථාව සැලසුවා. මේ දිනවල අධ්‍යයන නිවාඩු දීලයි තියෙන්නේ. මේ සිසුවිය වසරක් කල් ඉල්ලුවා නැවත අලුත් කණ්ඩායමක් එක්ක එන්න. ඒ අනුව අපි එම අවස්ථාව සලසා දුන්නා. නිවසට ගිහින් කීප අවස්ථාවකදී කතා කළා නැවත එන්න පුළුවන්ද කියලා.

ඒ සිසුවිය ආපු මුල් දින එක එක ප‍්‍රශ්න හදා ගත්තා. සමහර අවස්ථාවලදී කියන දේ එකිනෙකට පරස්පරයි ගැළපෙන්නේ නෑ. අමුතුයි. ඒ කාලයේ නවක වද සිද්ධියක් මත එහි බලපෑමක් තිබුණාද කියා පරීක්ෂණයක් අප සිදුකළා. මෙම පරීක්ෂණ කරන අතරතුර ඇය සහ ඇගේ මව ‘තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ’ යන ඉල්ලීමක් නිසා පරීක්ෂණය නැවැත්තුවා. ‘මෙතනින් එහාට පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය සකස් කර දෙන්න’ යැයි ඉල්ලා සිටියා.

ඊට පස්සේ මේ වනතුරු කිසිම පැමිණිල්ලක් තිබුණෙ නැහැ. නවකවදයක් හෝ එවැනි සිද්ධියක් සම්බන්ධව නැවතත් ඇයට බැරිවුණ ප‍්‍රායෝගික කොටස් අධ්‍යයනයට අවස්ථා සලසා සහය දුන්නා. ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියා අවුරුද්දක් නිවාඩු අයැදුම් කළා. මේ සිද්ධිය වන විය ඇය එම නිවාඩු ගෙන නිවසෙයි හිටියේ.’’

මේ සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපති චන්දන පී උඩවත්ත 2015 ප‍්‍රකාශ කළේ :
‘‘ඇය ආතතියකින් පෙළෙන බවට වාර්තාවී තිබුණා. මානසික සෞඛ්‍ය ඒකකයක් තියනව විශ්ව විද්‍යාලයේ ඇය එයින් ප‍්‍රතිකාර අරන් තිබුණා. සබරගමුවේ නවක වද සිද්ධියක් නිසා ඇය දිවි නසාගත්තය කියන වැරදි ප‍්‍රකාශය ගැන මම බෙහෙවින් කණගාටුවෙනවා.’’

පවුලේ එකම දරුවාවූ මියගිය අමාලි චතුරිකාට පෙම්වතෙකු සිට ඇත. නමුත් ඔහු සමග සම්බන්ධයට කිසිවෙකුගේ විරෝධයක් තිබී නැත. පියා මවගෙන් දික්කසාදවූ පසු ඇය වයස 6 සිට මව සමග වෙනම ජීවත්වී ඇත. රැග් නිසා ප‍්‍රශ්න ඇතිවූ බව කියමින් විශ්ව විද්‍යාලය කළකිරී ඇය 2014 වසරේ පැමිණි අවස්ථාවේ මෙට්ටයට භූමිතෙල් වත්කරගෙන දිවිනසාගන්නට දැරූ උත්සාහයක් ව්‍යවර්ථවී තිබුණි.
ඇයගේ මව ඒ ගැන අදහස් දක්වා කියා තිබුනේ,

‘‘එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දේ විශ්ව විද්‍යාලෙ යාම අත්අරින්න උත්සාහ කළා. පසුව මානසික පීඩාවට බෙහෙත් ගත්තා.එයාට දිගටම ප‍්‍රතිකාර ගත්තා. මරණය සිද්ධවුණ දා උදේත් ක්ලිනික් යන්න හිටියෙ. සිකුරාදට කවුන්සලින් යන්න හිටියෙ. එයාට තව පොඞ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න ඕන කියලා තිබුණා.’

අමාලි චතුරිකා සිය අවසන් කැමැත්ත ලෙස ලිපියක් ලියා තබා අවාසනාවන්ත ලෙස දිවි හානි කරගෙන තිබූ අතර 2015 දී මාධ්‍ය වෙත ඉදිරිපත්ව තිබුනේ එම ලිපියෙ එක් කොටසක් පමණි. එහි අනෙක් දීර්ඝ කොටසේ ඇය ඇයට නවකවදය දුන් අයගේ නම් පවා හෙළි කර තිබුණි. නමුත් ඒ අය ගැන බලධාරීන් විධිමත් පරීක්ෂණ සිදු කළ බවක් වාර්තාවී නැත.

ඇගේ මරණයට සාධාරණයක් ඉටු නොවූ බවට ඇගේ මව විසින් පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත කරන ලද ඉල්ලීම මත වසර තුනහමාරකට පසු ඒ ගැන පරීක්ෂණයක් දැන් ඇරඹී තිබේ.

නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යෙවරයා ඒ අනුව පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.

පන්නිපිටිය මාඹුල්ගොඩ පදිංචිව සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ සායක්කාර හේවගේ අමාලි චතුරිකා නැමැති සිසුවිය නවක වදයට ලක්ව 2015 පෙබරවාරි මස 16 වැනිදින ලිපි දෙකක් ලියා තබා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බවද අමාලි චතුරිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දිනයේ පටන් කිරිවත්තුඩුවේ පිටිපන පදිංචි ඒ එම්එම් අතුකෝරල හෙවත් මාෂා සහ හෝමාගම කැන්දලන්දේ පදිංචි ඒ අයිඑන් අකරවිට හෙවත් ඉසුරු නමැති ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙනකු නිරන්තරයෙන් නවක වදයෙන් ඔබ්බට ගිය ශාරීරික හා මානසික පීඩනයක් ඇති කරමින් ප්‍රචණ්ඩත්වය දියත් කර විවිධාකාර වදහිංසාවන්ට ලක්කර තිබෙන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

ඔවුන් අවස්ථා ගණනාවකදී ඇයට සියදිවිනසැගැනීමට පොළඹවා ඇති බවද නේවාසික ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවෙන් බිමට පනින්නට නියෝග කර ඇති බවද එහි දැක්වේ.

මේ අතර සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇති කරුණු වලින් අනාවරණය වන්නේ අමාලිට දුන් නවක වදය විකෘති මානසික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ද යොදාගත් බවකි. ඇයට සරසවියේ ආපන ශාලාව තුළට එන්නට කියා එහිදී ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙන ප්‍රසිද්ධියේ අසභ්‍ය ලිංගික ජවනිකා වීඩියෝ පටයක් පෙන්වා එහි කාන්තාව අනුකරණය කරමින් සිරුර තබාගෙන රඟපාන්න යයිද ඒ ආකාරයට කෑගසන්නයයිද නියෝග කර ඒවා නරඹා එම සිසුසිසුවියන් පහත් විනෝදයක් ලබා ඇති බවද අනාවරණය වී තිබේ.

සරසවියේ නමට කැළලක් යයි කියමින් එම මරණයට අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්ෂි වසං කිරීම නිසා එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමටත් පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකළ එවකට හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නටත් ඇමැතිවරයා ඉල්ලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම ඉදිරියේදී කටයුතු කරනු ඇත.

පහත පළවන්නේ අමාලි ලියූ බවට පැවසෙන ලිපියයි :

+++++++++++++++++++++++++++++++++

අමාලිට සරසවියේදී නවක වදය දී මරාගත්තේ එකම පාසලක ඉගෙනගත් ශිෂ්‍යාවක්වන මාෂා ද? වසර 03 කට පසු ඇමති හෙළි කරපු කතාව
(04.09.2018 – webgossip.lk)

නවක වදය නිසා ඉකුත් 2015 වර්ෂයේදී සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා සිසුවිය ගැන නැවත වරක් කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ ඇගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි.

අමාලි චතුරිකා නම් එම සිසුවියගේ මරණයට අදාළ සාක්‌ෂි පොලිසියට ලබා නොදීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් එවකට උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද සියදිවි නසා ගැනීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම පැහැර හැරීම පිළිබඳව හෝමාගම පොලිසියේ එවකට සිටි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව පරීක්‌ෂණ පවත්වා සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසද ඇමැතිවරයා තවදුරටත් ඉල්ලා තිබෙනවා.

විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම ශිෂ්‍යයාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකුගේ කෲර නවකවධයට ලක්‌ව දැඩි මානසික ව්‍යාධියකට ලක්‌ව ඇතැයි සඳහන් කරන රාජපක්‌ෂ මහතා 2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.

එම මරණය ස්‌වාභාවික මරණයක්‌ නොවන බවද ඇමැතිවරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සමගම මේ ගැන අලුත් කතාවක් මතුවෙමින් තිබෙනවා.

අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.

එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ “මාෂා” සහ “ඉසුරු” නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා.

මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට “මාෂා” සහ “ඉසුරු” යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.

සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.

මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.

හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.


+++++++++++++++++++++++++++++++++++++

මියගොස් වසර තුන හමාරකට පසු ගොඩ ආ අමාලි
(08.09.2018 – lakbima.lk)

කාලයාගේ වැලිතලාවෙන් වැළලී ගිය කතාවක් දෙසතියකට ඉහතදී යළිත් ගොඩට ආවේය. මීට වසර තුනහමාරකට පමණ පෙර සිය දිවිනසාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ අමාලි චතුරිකා සිසුවියගේ කතාවයි. මෙසේ වසර තුනහමාරක් වැළලී තිබූ කතාවක් නැවතත් කරළියට පැමිණියේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ‍පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුවය. අමාත්‍යවරයාගේ එම පැමිණිල්ලට අනුව අමාලිගේ සිය දිවිනසා ගැනීම පිළිබඳව විවිධ කතාබහ සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වන්නට පටන් ගත්තේය.

පන්නිපිටියේ පදිංචිව සිටි අමාලිට සිය පියා අහිමි වන්නේ වයස අවුරුදු හයේදීය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අකුරු කරන අමාලි අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වී උසස් පෙළ සඳහා බොරැල්ල දේවි බාලිකා විදුහලට ඇතුළත් වන්නීය. ඇය උසස් පෙළ සඳහා තෝරා ගන්නේ ගණිත අංශයයි.

උසස් පෙළ විභාගයෙන්ද හොඳින් සමත්වන ඇය වයඹ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නීය. මේ අතුරේදීම ඇයට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය විසින් පවත්වන විභාගයකට පෙනී සිටීම සඳහා කැඳවීමක් ලැබෙන්නේය. විභාග මධ්‍යස්ථානය වූයේ සබරගමු විශ්වවිද්‍යාලයයි. එම විභාගයට පෙනී සිටීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයට ගිය අමාලි එම විශ්වවිද්‍යාලයේ සුන්දරත්වයෙන් වශී වන්නීය. ඒ අනුව ඇය තමාට සබරගමු විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. ඇයට සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වීමට වරම් ලැබෙන්නේ ඒ අනුවය.

අමාලි 2014 වසරේ මාර්තු 23 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී මාසයකට පමණ පසු අප්‍රේල් 30 වැනිදා සවස් යාමයේ ඇගේ මවට විශ්වවිද්‍යාලයෙන් දුරකථන ඇමැතුමක් ලැබෙන්නේය. එම ඇමැතුමෙන් කියැවුණේ අමාලිට අසනීප බවත් ඇය රැගෙන යාමට මවට සබරගමු විශ්වවිද්‍යාලයට එන ලෙසත්ය. එවිට අඳුර වැටී තිබූ බැවින් අමාලිගේ මව පසුදා පාන්දර තුනට පමණ සබරගමු විශ්වවිද්‍යාලය පිහිටා ඇති බෙලිහුල්ඔයට යාමට ගෙදරින් පිටත් වන්නේය.

අමාලිගේ මව විශ්වවිද්‍යාල කාර්යාලයට යනවිට අමාලිද එහි සිටියාය. නමුත් අමාලි මව සමගවත් වෙනත් කිසිවකු සමගවත් කතා නොකළාය. ඉඳහිට කතා කළ ඇය පැවැසුවේ එකම දෙයකි. ඒ මට මැරෙන්න ඕනෑ යන වදන පමණි.

අමාලි ගෙදර රැගෙන එන මව ඇයත් සමග කතා බහ කිරීමට උත්සාහ කළාය. නමුත් අමාලි මට මැරෙන්නට ඕනෑ යන්න හැර වෙනත් කිසිවක් නොකීවාය. පසුදා උදයේම අමාලි තම කාමරයට වැදී දොර වසා ඇතුළින් අගුලු දමා ගත්තාය. මඳකින් කාමරය ඇතුළෙන් දුමක් නගින්නට විය. වහා දොර කඩා කාමරයට ඇතුළුවන මවට දකින්නට ලැබුණේ අමාලි මෙට්ටයට ගිනි තබා ඒ මත ඉඳගෙන සිටින ආකාරයකි.

අමාලිගේ මව වහාම සිය දියණිය හෝමාගම රෝහලට ඇතුළු කළ අතර එහිදී ඇය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සිය මව ඉදිරියේ කියා සිටියේ විශ්වවිද්‍යාලයේ තමන්ට වඩා වසරකින් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුවියන් දෙදෙනෙක් අමානුෂික ලෙස වධදුන් බවයි.

පසුව අමාලිගේ මව අදාළ සිසුවියන් දෙදෙනාගේ නම්ද සහිතව මේ පිළිබඳව හෝමාගම ‍පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. ඒ අනුව කට උත්තර ලබා ගැනීමට අමාලිට සහ ඇගේ මවට හෝමාගම ‍පොලීසියට පැමිණෙන ලෙස ‍පොලීසිය දන්වා තිබුණි. නමුත් තම දියණිය රෝහ‍ලේ නේවාසික ප්‍රතිකාර ගන්නා නිසාත් තමන් ඇය ළඟ සිටින නිසාත් මේ මොහොත් ‍පොලීසියට පැමිණීමට නොහැකි බවත් අමාලිගේ මව දුරකථනයෙන් ‍පොලීසියට දැනුම් දුන්නාය.

අමාලිට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා සිටියේ ඇය විශාදය නම් මානසික රෝගයට දැඩි ලෙස ගොදුරු වී සිටින බවයි. ඒ සඳහා ප්‍රතිකාර ගැනීමෙන් පසුව ඇය නැවතත් මැයි මස විශ්වවිද්‍යාලයට ගියාය.

මේ වනවිට අදාළ සිද්ධිය පිළිබඳව විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පරීක්ෂණයක්ද පැවැත්වෙමින් තිබූ අතර අමාලි සහ ඇගේ මව එහිදී කියා සිටියේ අමාලිට හිරිහැර කළ ශිෂ්‍යාවන්ට වෙනත් දඬුවමක් නොදී අවවාද කොට මුදා හරින ලෙසය.

අමාලි නැවත විශ්වවිද්‍යාලයට ගොස් සති කිහිපයක් යනවිට එක්තරා රාත්‍රියක අමාලි තමන්ගේ විශාදය තත්ත්වයට දුන් බෙහෙත් පෙති අධි මාත්‍රාවක් ගත්තාය. අමාලිගේ මව සිය දියණිය යළි ගෙදර කැඳවා ගෙන විත් කළුබෝවිල රෝහ‍ලේ මානසික සායනයට රැගෙන ගියාය. එහිදී ඇයට ප්‍රතිකාර කරන්නේ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්ය.

වෛද්‍ය ප්‍රතිකාර සමගම අමාලි තමාට ජයවර්ධපුර විශ්වවිද්‍යාලය වෙත මාරුවක් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලීමක් කළත් ඇගේ එම ඉල්ලීම ඉටු නොවුණේය. මේ අතරතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ද මෙම ගැටලුව පිළිබඳව විභාග කිරීමක් ආරම්භ කර තිබුණි. මෙසේ කාලය ගෙවී යද්දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර විවෘත කිරීමේ උළෙලක් පැවැත්විණි. නමුත් ශිෂ්‍යයන් විසින් එම උළෙල වර්ජනය කළෝය. ඒත් විශ්වවිද්‍යාල පරිපාලනය අමාලි එම උත්සවයට ගෙන්වා ගත්තේය. විශ්වවිද්‍යාලයෙන් එම උළෙලට සහභාගි වූ එකම ශිෂ්‍යයාව අමාලිය.

එකල උසස් අධ්‍යාපන අමාත්‍යව සිටි එස්.බි. දිසානායක අතින් අමාලි සිසු නේවාසිකාගාරයේ එක් කාමරයක යතුරද භාර ගත්තාය. මෙම ක්‍රියාවත් සමගම විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව අමාලි සමග වෛර බැඳ ගත්තෝය.

මෙවැනි තත්ත්වයක් යටතේ අමාලි තම වසරේ කණ්ඩායම සමග අධ්‍යාපන කටයුතු නොකොට ඉන්පසු වසරේ කණ්ඩායම සමග තම අධ්‍යාපනය කරගෙන යාමට අවසර ඉල්ලා සිටින්නීය. ඒ ඉල්ලීමට විශ්වවිද්‍යාල පරිපාලනය අවසර ලැබෙන අතර ඒ අනුව ඇයට නැවතත් විශ්වවිද්‍යාලයට යාමට සිදුවන්නේ 2015 පෙබරවාරි 26 දිනය.

කාලය ගෙවී ගොස් නැවතත් විශ්වවිද්‍යාලයට යාමට දින ළංවනවිට අමාලි නැවතත් නොසන්සුන් වූවාය. අමාලිගේ මව ඇගෙන් ඒ ගැන විමසූ විට ඇය මවට කීවේ නවක වදය දුන් සිසුවියන් දෙදෙනා තවදුරටත් තමන්ට කරදර කරතැයි යන බිය ඇය තුළ ඇති බවයි.

2015 පෙබරවාරි 16 දින උදාවිය. සුපුරුදු ලෙස අමාලිගේ මව රැකියාවට යෑමට සූදානම් වූවාය. පුරුදු පරිදිම අමාලි මවට වැඳ ඇගේ මුහුණ සිඹ අම්මාට සමු දුන්නාය. රැකියා ස්ථානයට ගිය අමාලිගේ මව ගෙදරට ඇමැතුමක් ගත්තාය. ඒත් ප්‍රතිචාරයක් නොලැබුණි. පසුව අසල්වැසි තැනැත්තියක් අමාලිලාගේ ගෙදරට ගොස් විපරම් කර බැලීමේදී අමාලි සාරියකින් ගෙල වැලලාගෙන සිටිනු දුටුවාය. අමාලිගේ කතාව මෙසේ අවසන් විය. නමුත් අවසන් නොවූ කතාවක් ඇගේ පවු‍ලේ හිතවතෙකු වූ ධනුෂ්ක වීරසේකර අපට පැවැසුවේය.

අමාලි මැරුණේ එයාට විශ්වවිද්‍යාලයෙන් ලක්වුණු අමානුෂික වධහිංසා හින්දා. අමාලිට වධදුන් සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් අමාලි ගිය දේවි බාලිකා විදුහ‍ලේම සිසුවියක්. ඇය තවත් ළමයි ඉස්සරහ අමාලිට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්නලා අසභ්‍ය ලෙස බැණ වැදිලා. පරණ වුණු කෑම පවා කන්න දීලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ තමයි අමාලි මානසික රෝගියෙක් වුණේ. ඒවාගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් මේ පිළිබඳ පරීක්ෂණ කිරීමට ගිය අවස්ථාවේ අදාළ සිසුවියන් ප්‍රශ්න කිරීමට යොමු කරලා නැහැ. මේ පිළිබඳව අමාලිගේ අම්මා ‍පොලිස්පතිට, ‍පොලිස් කොමිසමට, මානව හිමිකම් කොමිසමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ජනාධිපතිතුමාට දැන්වූවා සාධාරණව පරීක්ෂණයක් පවත්වන්න කියලා නමුත් ‍පොලිස්පතිගෙන් ලිපියක් ලැබුණා එහි තිබුණේ 2014 මැයි මව විසින් හෝමාගම ‍පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ඇය ඉල්ලා අස්කර ගත්තා කියලා. නමුත් අමාලි හෝ මව ඔය කියන විදිහට පැමිණිල්ල අස්කර ගෙන නැහැ.

එසේම මෙතරම් ප්‍රශ්න තිබියදී එස්.බි. ඇමැතිතුමා පැමිණි උත්සවයට අමාලිව ගෙන්වා ගැනීම වැරදිය. එයත් අපට ගැටලුවක්. අවසාන ලෙස කියන්නේ මෙයට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලායි අමාලිගේ පවු‍ලේ හිතවතෙක් එලෙස ප්‍රකාශ කරද්දී ඇගේ මව වන බි.ඩබ්ලිව්.ජී. ඇල්විටිගල පවසන්නේ මෙවැන්නකි.

මගේ දුවට විශ්වවිද්‍යාලයට යනකම් උණක්, හෙම්බිරිස්සාවක් ඇරුණාම කිසිදු රෝගයක් තිබුණේ නැහැ. ඇය විශාදයට ලක්වූවේ විශ්වවිද්‍යාලයේදී සිදුවූ දේවල් නිසා ඒ පිළිබඳ ඔප්පු කරන්න මගේ ළඟ අවශ්‍ය වෛද්‍ය සහතික තිබෙනවා. මම ඉල්ලන්නේ මගේ දරුවව මේ තත්ත්වයට පත් කළ අයට නිසි දඬුවම් ලබා දෙන්න කියලා.

අමාලිට මෙවැනි අසාධාරණකම් සිදුවෙද්දී විශ්වවිද්‍යාල පරිපාලනය නිහඬව සිටියේද යන්න ඇතැමුන්ට ගැටලුවකි. අප එම හේතුව නිසාම සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය චන්දන උඩවත්තගෙන්ද විමසීමක් කළෙමු. ඔහු පැවැසුවේ ලක්බිම මේ පිළිබඳව විමසනතුරු මතෛක් කිසිදු මාධ්‍යයක් මේ සිද්ධිය පිළිබඳව තමාගෙන් විමසීමක් නොකළ බවයි.

මම ඇත්තටම රැග් කිරීමට විරුද්ධ පුද්ගලයෙක්. මගේ කා‍ලේ මේ හේතුව නිසා ශිෂ්‍යයෝ මාත් සමග තරහෙන් හිටියේ. මම අමාලිගේ සිදුවීමෙත් අවශ්‍ය පරීක්ෂණ කරගෙන ගියා. අමාලියි ඇගේ මවයි තමයි කිව්වේ. මේ පරීක්ෂණ තවදුරටත් කරගෙන යන්න අවශ්‍ය නැහැ, එම සිසුන්ට අවවාද කරන්න කියලා. මගේ ළඟ ඒ පිළිබඳ අවශ්‍ය ලියකියවිලි පවා තිබෙනවා. මේ සිදුවීමට අදාළ සිසුවියන් දෙදෙනා ආරක්ෂා කිරීමටත් මට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔවුන් මගේ ශිෂ්‍යයින් පමණයි.

මේ සිදුවීමෙන් මට කරලා තිබෙන චෝදනාවලින් මට වගේම මගේ පවුල ලොකු අපහසුතාවයකට පත් වුණා.

අමාත්‍යවරයා විසින් ‍පොලිස් කොමිසමට ඉදිරිපත් කළ ලියවිල්ලෙහි අවසාන වශයෙන් ඉල්ලීම කර ඇත්තේ මෙම මරණය පිළිබඳව පූර්ණ පරීක්ෂණ පවත්වා එකී මරණයට වගකිව යුත්තන්ට නඩු පැවරීමටත්, මෙම මරණයෙහි සාක්ෂි ‍පොලීසියට නොදීම අපරාධයට අදාළ කරුණු හිතාමතා වසං කිරීම වරද සම්බන්ධව පරීක්ෂණ පවත්වා එවකට උපකුලපතිව සිටි මහාචාර්ය චන්දන උඩවත්තට එරෙහිව නඩු පැවැරීමේ කටයුතු සිදු කිරීම හා එවකට හෝමාගම ‍පොලීසියේ ස්ථානාධිපති නිසි පරීක්ෂණ නොපවත්වා නඩු පැවැරීම පැහැර හැරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා සුදුසු දඬුවම් ලබා දීමත්ය.

මේ වනවිට සියල්ල සිදුව අවසානය. දැන් අප කළයුත්තේ තවත් අමාලිලා බිහිනොවන තැනට වැඩ කිරීමය.

– ශිරෝමි රත්නායක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *