‘‘මුළු කොළඹම වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එනවා’’ – පවිත්‍රා

(03.09.2018 – 15:22 +0530 – lankadeepa.lk)

ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) උඩවළවේ දී පැවසුවාය.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ උඩවලව උප කාර්යාලය සහ පුස්තකාලය විවෘත කරමින් පැවති ජන හමුවේ දී ඇය මේ බව පැවසුවාය.

ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති සුරන්ත වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදුවිය.

එහිදී තවදුරටත් කතා කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය :

‘‘මහින්ද මහත්තයා ඉන්නකම් යුද්දෙන් රට බෙදන්න බැරි බව දෙමළ ඩයස් පෝරාව දැනගෙන හිටියා. ඒ නිසා මහින්ද මහත්මයා ඉන්නකම් ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි බවත් දැනගෙන හිටියා. දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියට නටවන්න පුළුවන් මෛත‍්‍රී සහ රනිල් බලයට පත් කළා. එහෙම කරලා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනාවා. මේ ව්‍යවස්ථාව සම්මත වුණොත් ස්ථිරවම රට බෙදනවා.’’

‘‘අද ආණ්ඩුවක් තියනවාද කියන ගැටලූව තියනවා. රටේ ආර්ථිකය, කර්මාන්ත සහ ගොවිතැන කඩා වැටිලා. ගම්මිරිස්, තේ, රබර්, මැණික් කර්මාන්ත කඩා වැටිලා. ආණ්ඩුවට විසඳුම් නෑ. මහින්ද මහත්තයා දුන්න පෝර සහනාධාරයට කප්පාදු කරලා ගොවියා අසරණ වෙලා.’’

‘‘අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ, පෝර සහනාධාර කප්පාදුවට විරුද්ධ, රටේ ආර්ථිකය කඩා වැටීමට විරුද්ධ සෑම කෙනෙකුටම මහින්ද රාජපක්‍ෂ මහත්තයා වටා එකතුවෙන්න කියා අපි ඉල්ලනවා. මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න අපි සියලු දෙනාම පස් වෙනිදාට කොළඹට ඇවිල්ලා කොළඹ හැම තැනක්ම වටලනවා. පහුවදා ආපහු ගෙදර එන්නේ අපේ ආණ්ඩුවක් අරගෙන. ඒ ඓතිහාසික අවස්ථාවට අපිත් එක්ක රොද බැඳගෙන එකතු වෙන්න කියලා අපි හැමොගෙන් ම ඉල්ලනවා’’ යැයි ද කීය.

මේ අවස්ථාවට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ පක්‍ෂ සහ විපක්‍ෂ එජාපයේ සභිකයන් ද පැමිණ සිටියේය. ඇඹිලිපිටිය නගර සභාවේ සහ කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ පාලක පක්‍ෂවල සභිකයන් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++++++++++++

මර්දනකාරී දේශපාලනය හැර රජයට කිසිදු වැඩපිළිවෙලක් නැහැ – නාමල්
(03.09.2018 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මර්දනකාරී දේශපාලනය හැර වෙනත් කිසිදු වැඩපිළිවෙලක් වර්තමාන ආණ්ඩුවට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අනිද්දා පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට රජය විසින් බාධා එල්ල කිරීම සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

++++++++++++++++++++++++++++++++

කුමන බාධා පැමිණිය ද ජන බලය කොළඹට අනිවාර්යයි
(03.09.2018 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කවර ආකාරයේ බාධා මධ්‍යයේ වුවද, ජන බලය කොළඹට විරෝධතා රැළිය අනිද්දා පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මොණරාගල – ලියන්ගොල්ල – සිරි ගවේෂී ආරණ්‍ය සේනාසනයේ පැවති ආගමික උත්සවයකට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

+++++++++++++++++++++++++++++++

16 යේ කණ්ඩායමෙන් අනතුරු ඇඟවීමක්
(03.09.2018 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ විපක්ෂය අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට රජය සූදානම් වුවහොත් රට පුරා සමස්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අනතුරු අඟවනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් විරෝධතා රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් එම දින කිහිපය තුළ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

+++++++++++++++++++++++++++++++

ජනබලය කොළඹට ආණ්ඩුව බයවෙලා – ගම්මන්පිල
(03.09.2018 – 12:42 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතා රැළියට ආණ්ඩුව බියවී ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නිදහස් පක්ෂ මහ ලේකම්වරයාගේ ප්‍රකාශවලින් එය සනාථ වන බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නක්.

“ජනබලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව තමන් දන්න සෙල්ලම් සියල්ලම දානවා.”
“සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ ක්ෂේත්‍ර රාජකාරී තහනම් කර තිබෙන්නේ ඔවුන් ජනතාව අතරට යාම වැළැක්වීමටයි.”

+++++++++++++++++++++++++++++++++++++

‘ඒකාබද්ධයේ උද්ඝෝෂණය සාමකාමී එකක් පොලිස්පති බියවිය යුතු නෑ’
(03.09.2018 – 15:03 +0530 – lankadeepa.lk)

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය අහිංසක එකක් බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.

‘‘උද්ඝෝෂණයට කොළඹට කැඳවන ජනතාව සුරක්ෂිතව ගමට ගෙනයාමේ වගකීම අපට තියෙනවා’’ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

‘‘අප කරන්නේ ආණ්ඩුවට එරෙහි සාමකාමී උද්ඝෝෂණයක්. කොළඹට එන්නේ ගහ මරා ගන්න නෙවෙයි. තැන් පහක ඉඳගෙන සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීම අපේ අරමුණයි.

සාමකාමීව උද්ඝෝෂණය කරන ජනතාවට ආරක්ෂාව දීම පොලිස්පතිවරයාගේ වගකීමක්. සාමකාමීව උද්ඝෝෂණ කටයුතුවල යෙදෙන්නැයි ජනතාවට දැනටමත් උපදෙස් දීලා තියෙනවා’’ යි හෙතෙම කීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *