‘ස්ලිට්’ (SLIIT) එකට දැන් අයිතිකරුවෙක් නෑ – ඇමති විජේදාස

(03.09.2018 – gossiplankanews.com)

මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරිත්වය යටතේ පැවැති මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවැරීම නිසා මේ වන විට එම තාක්‍ෂණ ආයතනය කිසිදු හිමිකාරිත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ හෙළි කළේය.


SLIIT Malabe Campus – Pittugala, Malabe

මේ පැවැරීම දින 100 ආණ්ඩුව යටතේ එවකට ආහාර සුරක්‍ෂිතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සමයේදී සිදුව ඇති බවද මහපොළ භාරකාරඅරමුදලේ සාමාජිකයන්ව කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආචාර්ය වික්‍රම වීරසූරිය ගත් තනි තීන්දුවක් අනුව ක්‍රියාත්මක වී ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

මේ හේතුවෙන් එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් 7000 කගේ පමණ වගකීම භාර ගැනීමට වගකිව යුතු බලධාරියකු නොමැති වී ඇතැයිද ඔහු පැවැසුවේය.

මේ පැවැරීම පිළිබඳ තමා වෙත පවතින තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මහපොළේ කිසිම ලිපි ගොනුවක නොමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතියක් රහිතව මේ පැවැරීම සිදු කර ඇති බව යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ පැවැරීමත් සමඟම එම සීමිත සමාගමේ අධ්‍යක්‍ෂවරු කිහිපදෙනකු නම් සිය වැටුප් වැඩි කරගෙන ඇතැයිද ඔහු පැවැසුවේය.

සීමිත වගකීම් සහිත අධ්‍යක්‍ෂ මණ්ඩලයක් යටතට මේ ආයතනය පැවැරීම අවලංගු කරන ලෙස මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට තමා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද එම ආයතනයට රජයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත්කරන ලෙස එහි යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

ඒ යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණතා සහිත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පවත්වා ගෙන යෑමටත් එහි කළමනාකාරීත්වය සමඟ එක්වී කටයුතු කරගෙන යෑමේ බලය භාරකාර මණ්ඩලයට පැවැරීමටත් යෝජනා කර ඇතැයි හෙතෙම පැවැසීය.

මේ ආයතනයෙන් ලැබෙන ලාභ සියල්ලම මහපොළ ශිෂ්‍යාධාර යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්ව වෙනුවෙන් වෙන් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (31 දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

– හර්ෂනී අර්සකුලරත්න

+++++++++++++++++++++++++++++

රවි කරුණානායක සමාගම් දෙකක් හදා ‘මහපොළ’ට කෝටි 250 ක පාඩුවක් කරලා. සමාගම් ඇති කළේ ඇයිදැයි දන්නේ නෑ – අමාත්‍ය විජයදාස රාජපක්ෂ
(04.09.2018 – mawbima.lk)

රවි කරුණානායක මහතා (2001 – 2004) වෙළෙඳ කටයුතු විෂය භාර ඇමැතිවරයා ලෙස සිටියදී “මහපොළ” භාර අරමුදල කළමනාකරණය කිරීමට උප සමාගම් දෙකක් ස්ථාපිත කිරීම හේතුවෙන් රුපියල් කෝටි 250 ක පාඩුවක් “මහපොළ” අරමුදලට සිදුවී තිබේ. පසුගිය 2001-2004 රජය කාලයේ “නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ්” සහ “නැෂනල් වෙල්ත් සිකියුරිටිස්” යන ආයතන දෙක ස්ථාපිත කොට තිබුණේ “මහපොළ” භාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා බව පවසමිනි. එහෙත් එම සමාගම් ඇති කිරීමේ අවශ්‍යතාව තමන් නොදන්නා බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා (31 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

එම සමාගම් 2 නඩත්තු කිරීමට විශාල මුදලක් යෙදවීමට සිදුවීමත් එම පාඩුවට බලපා ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. “මහපොළ” අරමුදල බදුවලින් නිදහස් කොට තිබුණත් ඉහත කී සමාගම් 2 ඔස්සේ ආයෝජන කොට ආදායම් ලබා ගැනීම නිසා රුපියල් මිලියන 500 කට අධික මුදලක් “මහපොළ” අරමුදලින් ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බව නිගමනය වී ඇතැයිද හෙතෙම කීය.

වසර 15 ක් තිස්සේ එම අලාභයන් සිදුවී ඇති නිසා නීතිපතිගේ උපදෙස් අනුව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බවද හෙතෙම කීවේය.

“මහපොළ” භාරකාර මණ්ඩල හිමිකාරිත්වය යටතේ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) (“ස්ලිට්”) ස්ථාපිත කොට ඇත්තේද එම අරමුදලට මුදල් ලබා ගැනීම සඳහායි.

ඒත් 2015 සිට “ස්ලිට්” ආයතනය තනිව කළමනාකරණය කිරීමට රජය තීරණය කොට ඇත. ලලිත් ඇතුලත්මුදලි මහතා ශිෂ්‍යත්ව අරමුදල ස්ථාපිත කරන විට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අගවිනිසුරුවරයා සිටිය යුතු බවට සඳහනක් කොට ඇත. එහෙත් “ස්ලිට්” ආයතනය තනිව කළමනාකරණය කිරීමට රජය තීරණය කොට ඇත්තේ “මහපොළ” අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වා එහි නීත්‍යනුකූල අනුමැතියක් ලබා ගැනීමකින් තොරවයි.

මේ අතර “මහපොළ” ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබිණි. ඒ අනුව 1981 අංක 66 දරන මෙම පනත සංශෝධනය කිරීමටද නියමිතය. ඊටද “මහපොළ” අරමුදලේ අනුමැතිය ලබාගෙන නොමැත. එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් නොපැවැත්වීම ඊට හේතුවී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, නෙට්වෙල්ත් කෝපරේෂන් සහ නෙට්වෙල්ත් සිකියුරිටිස් සමාගම් දෙකම මහ බැංකු බැඳුම්කර අලෙවිය සඳහා ද්විතීයික වෙළෙඳ පොළක් ලෙසද භාවිත කොට තිබේ. සමස්ත අලාභයෙන් ‘මහපොළ’ අරමුදලට සිදුවූ රුපියල් කෝටි 250 අලාභයට අයත් කෝටි 60 ක් අහිමිවී ඇත්තේ එම ද්විතීයික ගනුදෙනු නිසා බව ‘මහපොළ’ අරමුදලේ උසස් නිලධාරියෙක් පැවැසීය.

– දෙනගම ධම්මික රණවීර

*****************************************

හිටපු ජනාධිපතිනියගේ ක්‍රියාකලාපය ගැන මහින්ද කනස්සල්ලෙන්
(03.09.2018 – 18:58 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආගම් විරෝධි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් අතිශයින් කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (03) පෙරවරුවේ මොණරාගල පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රජයේ මුදල් භාවිත කරමින් බුදු දහමට හෝ වෙනත් කිසිදු ආගමකට පහර ගැසීමට ආණ්ඩුවට අයිතියක් නැති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මොණරාගල දොඹගහවෙල ලියන්ගොල්ල ඥාන ගවේශන ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මේ අතර මොණරාගල දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජා බලමණ්ඩල රැස්වීම ඊයේ(02) පස්වරුවේ පැවැත්වුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *