අගමැතිකම බ්‍රෝකර්ට – ජනපතිකම ජෝකර්ට – ජනබලය කොලඹට…

(04.09.2018 – 18:48 +0530 – lankacnews.com)

අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

උතුර කොටියාට – මුහුද චීනාට
අහස ඉන්දියාවට – ආර්ථිකය සිංගප්පූරුවට
ආරක්ෂාව පාතාලයට – පොලීසිය කවටයාට
අගමැතිකම බ්‍රෝකර්ට – ජනපතිකම ජෝකර්ට
මේවාට අකමැති නම් – ජන බලය කොළඹට

ඔබ ඔබේ දරුවාට ඇත්තටම ආදරෙයි නම්
දරුවාට හෙටක් තිබිය යුතුයි සිතනවා නම්
සැප්තැම්බර් පස් වන දින
ඔබ සිටිය යුත්තේ කොළඹ නගරයේ පමණමයි.

හෙට දිනයේ දී අපේ පාක්ෂිකත්වයෙන් ඔබ්බට ගිහිල්ලා මේ ආණ්ඩුවෙන් රිදුනු තැලුණු පොඩිවුණු අතිවිශාල ජනතාවක් අපත් සමග එකතු වෙන්නට සිටින නිසා අපට ජාලයන් හරහා පණිවුඩ ලබා දීම දුෂ්කර වී තිබෙනවා.

ඒ නිසා මාධ්‍ය හරහා අප ඔවුන්ට ඉතා වැදගත් පණිවුඩයක් අප ලබා දෙනවා. හෙට දවසේ කොළඹ නගරය පුරාම ආණ්ඩුව මරඋගුල් අට වන්නට ඉඩ තියෙනවා. එනම් ආණ්ඩුවෙන් සැලසුම්සහගතව යම්කිසි පොදු දේපළකට පහර දෙන්නට ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙකුට පහර දෙන්නට කිසියම් පෙළඹවීමක් කරලා අපේ අය ගැටුමකට මැදිකරවන්නට ඉඩ තියෙනවා. ඒ හරහා මේ උද්ඝෝෂණයේ අප විසින් ගොඩනගන රූපරාමු වෙනුවට ආණ්ඩුව විසින් ගොඩනගන රූපරාමු මාධ්‍යයේ ප්‍රචාරය කර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව යෙදෙන්නට පුළුවන්.

එනිසා හෙට දිනයේ මේ වැඩබැරි පරගැති බොරු පිරි ආණ්ඩුවට එරෙහිව පාරට බසින සියලුම දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ ඉතාම ප්‍රඥාවෙන් කටයුතු කරන්න. කවුරුහරි රාජ්‍ය දේපළකට පහරදෙනවනම් පුද්ගලයෙකුට පහර දෙනවා නම් ගල් ගසනවා නම් ඒ කිසිවකටවත් ඔබ සම්බන්ධ වෙන්න එපා. නායකත්වයට ඒ බව දැනුම් දෙන්න. ඊට අමතරව ඔබ සතු ජංගම දුරකථනයෙන් ඒ සිද්ධිය මුල සිට අගටම වීඩියෝ කරන්න. එය අපට තිබෙන හොඳම සාක්ෂිය බවට පත්කර ගැනීමේ හැකියාව තිබෙනවා ෴

++++++++++++++++++++++++++++++

ජන සටන විරෝධය වලකන්න දන්න සෙල්ලං සියල්ල දමයි.. හදිසි සුනාමි පෙරහරුවකුත් කැදවයි…
(04.09.2018 – 06:26 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

‘‘ ‘අපේ ශක්තිය මැනිය හැක්කේ සතුරා අපට දක්වන ප්‍රතිචාරය මතයි’ කියා ලෝක ප්‍රකට යුද විශේෂඥයෙකු වන සුන් සු ප්‍රකාශ කළා. ජන බලය කොළඹට ව්‍යාපෘතියට ආණ්ඩුව දක්වන බිය දෙස බැලුවාම අපේ ව්‍යාපෘතිය අතිශයින්ම සාර්ථකයි කියා කියන්න පුළුවන්.

‘ජන බලය කොළඹට’ වැඩසටහනට සහභාගි වෙන්න සැප්තැම්බර් 5 දා ජනතාව කොළඹට පැමිණීම වලක්වන්න ආණ්ඩුව දන්න සෙල්ලම් ඔක්කෝම දානවා. සමෘද්ධි නිලධාරින්ගේ සහ කෘපනිසලාගේ නිවාඩු අහෝසි කරලා විතරක් නොවේ ඒ අයට ක්ෂේත්‍ර රාජකාරි තහනම් කරලා. ඔවුන් ජනතාව අතරට යෑම වැලැක්වීම තමයි මේ තහනමේ අරමුණ. ඒ වගේම ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 05 දා උදේ සුනාමි පෙරහුරුවක් පවත්වනවා කියලා ජනතාවට ගෙදර ඉන්න කියලා දැනුම් දී තිබෙනවා.

ඒ වගේම බොරු මගී ප්‍රවාහන ආදර්ශ සතියක් ප්‍රකාශ කරලා ඒ සතිය තුල සියළුම බස් රථ තමන්ගේ බලපත්‍රයේ ඇති ධාවන මාර්ගයේ පමණක් ධාවනය කළ යුතු බවට චක්‍රලේඛයකින් දැනුම් දීලා. සැප්තැම්බර් 1 දා සිට මේ සතිය නම් කරන්න ඕනෑ කියලා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මතක් වෙන්නේ අගෝස්තු 29 දා. මේ ඊනියා ආදර්ශ සතියේ අරමුණ වී තිබෙන්නේ සැප්තැම්බර් 5 කොළඹට පැමිණෙන ජනතාවට බස් අහිමි කරන්න. නුවර ඉඳන් කොළඹට පයින් ආපු අපට බස් රථ අහිමි කරලා අපිව නතර කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.

යම් දේශපාලන පක්ෂයකට අවාසියක් කිරීමේ අදහසින් සිය රජයේ තනතුර භාවිතා කරනවා නම් එය දූෂණයක්. අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් කළ හැකි වරදක්. ඊනියා ආදර්ශ සතිය නම් කරලා බස් රථ හිමියන් බිය වැද්දීමට උත්සාහ කරපු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින්ට එරෙහිව අපේ ආණ්ඩුවක් යටතේ දූෂණය පිළිබඳ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනවා කියන එකත් මතක් කරනවා.

– අරවින්ද අතුකෝරල

++++++++++++++++++++++++++++++

‘‘ඉස්සර වගේ වැඩ දැන් බෑ.. හෙට ඒකාබද්ද විරෝධයට අවම බලය නොව අවහ්‍ය බලය යොදනවා..’’ – පොලිස්පති
(04.09.2018 – 15:50 +0530 – lankacnews.com)

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට කොළඹදී පවත්වන විරෝධතාවයේදී ආරක්ෂිත ස්ථානය ලෙස නම් කර ඇති ස්ථානයට ඇතුළුවීමට හෝ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

එවන් අවස්ථාවක දී පොලීසිය අවම බලය නොව අවශ්‍ය බලය යොදා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

පාසල් දරුදැරියන්ට හා රජයේ සේවකයන්ට සිය කාර්යයන් සඳහා යාමට ඒමට ප්‍රමුඛතාවයක් ලබා දී කටයුතු කරන බව ද පොලිස්පතිවරයා සඳහන් කරයි.

ඉස්සර කළා වගේම වෙනත් කටයුතු රහසිගත දේවල්, අකටයුතුකම් කිරීමට දැන් කිසිම ඉඩක් නැති බවත් පවසන පොලිස්පතිවරයා මෙය කිසිම පුද්ගලික න්‍යාය පත්‍රයක් අනුව සිදුකරන දෙයක් නොවන බවද කියා සිටී.

++++++++++++++++++++++++++++++++

දැවැන්ත මිනිස් පවුර ගැන ඩලස් හෙළිකරයි
(04.09.2018 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට දිනයේ දැක ගත හැකි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව පොලිස්පතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

———————–

++++++++++++++++++++++++++++++++

‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවට එරෙහි පොලිසි 3 ක ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
(04.09.2018 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට පවත්වන විරෝධතාවට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම් 3 ක් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

කුරුඳුවත්ත පොලිසිය මීට අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

එහිදී පොලීසිය අධිකරණයට දන්වා තිබුණේ මෙම විරෝධතාව අතරතුර කොළඹ මළලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස වැටලීමේ ප්‍රයත්නයක් ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරු ඇතුලු 11 දෙනෙකු එම ක්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බැවින් එය වළක්වන ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට රැස්වීමට මෙන්ම අදහස් දැක්වීමටද අයිතිය පවතින බවයි.

එහෙත් එම අයිතිය උපයෝගී කරමින් කිසියම් පුද්ගලයෙකු මහජන පීඩාවක් ඇතිවන අයුරින් කටයුතු කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසිය සතු බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් ජනාධිපති නිල නිවස වැටලීම, මූලික අයිතිවාසිකමක් නොවන බව සඳහන් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ දණ්ඩනීති සංග්‍රහයේ 114 /115 වගන්තිවලට අනුකූලව එය රජයට එරෙහි කැරළි ගැසීමක් ලෙස දැක්විය හැකි බවයි.

එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ගැනීම අවශ්‍ය නොවන බවට අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ නම් මේ මොහොතේ වුවද ඔවුන් අත්ඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව කියා සිටියා.

ඒ අනුව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 106 වගන්තිය අනුව ඔවුන්ට එරෙහිව පොලීසිය ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැතිවීම හේතුවෙන් කුරුඳුවත්ත පොලීසිය ඉල්ලා සිටි නියෝගය ප්‍රතික්ෂේප කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට අදාළව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැලිකඩ පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක්ද අද ප්‍රතික්ෂේප කෙරුණා.

වැලිකඩ පොලීසියට අයත් දියත උයන ඔස්සේ පොල්දූව වටරවුමේ සිට ප්‍රධාන මාර්ගයට ඒකාබද්ධ විපක්ෂය පා ගමනකින් පැමිණ මහජන පීඩා ඇතිවන අයුරින් හැසිරීමට කටයුතු කරමින් සිටින බවටයි පොලීසිය එහිදී අධිකරණයට කරුණු දක්වා තිබුණේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර කොල්ලුපිටිය පොලීසියද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතාවට එරෙහි නියෝගයක් ඉල්ලා තිබුණා.

ඒ, විරෝධතාව අතරතුර මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් ඇතිවීමෙන් මහජන සාමය කඩවිය හැකි නිසා විරෝධතාව වළක්වන ලෙස ඉල්ලමින්.

එම ඉල්ලීමද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *