උතුරුමැද පාසල් සිසුන්ගෙන් 10 % කට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක්

(04.09.2018 – 14:04 +0530 – hirunews.lk/sinhala)

උතුරුමැද පළාතේ පාසල් සිසුන්ගෙන් සියයට 10 කට වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ පළාත තුළ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වූ බවයි.

මේ අතර, වකුගඩු රෝගවලට හේතු වන වල් නාශක නිෂ්පාදන සමාගම්වලට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***********************************

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක්
(04.09.2018 – 13:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – බ්ලූමැන්ඩල් කුණු කන්දේ අද දහවල් ගින්නක් හටගත්තා.

ගිනි නිවීමේ ඒකකය සහ ගුවන් හමුදාවේ සහය ඇතිව මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇති බවයි කොටහේන පොලීසිය සඳහන් කළේ.

ගිනි නිවන රථ 8 ක් ඒ සඳහා යොදා ගැනුනා. එසේම කුණුකන්ද ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් මතුවුවහොත් අවට සිටින පවුල් 500 කට ආසන්න ප්‍රමාණයකට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස පොලීසිය දැනුම්දී තිබෙනවා.

ප්‍රදේශවාසියෙකු විසින් කුණු කන්ද ආසන්නයේ වයර් තොගයක් ගිනි තැබීම නිසා මෙම ගින්න පැතිරී ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

************************************

ලංගම වර්ජනය අවසන්
(04.09.2018 – 16:46 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගැටළුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ ශ්‍රී ලංගම වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී අමාත්‍යවරයා වෘත්තිය සමිති ඉදිරිපත් කළ ඉල්ලීමක් වන 2006 අංක 30 දරණ කළමනාකරණ චක්‍රලේඛය අනුව ශ්‍රී ලංගම වැටුප් ව්‍යුහය ඔක්තෝම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා කියා සිටියේ පොරොන්දු ඉටු නොකළහොත් යළිත් වර්ජනයකට යොමු නොවන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *