පූජිත ජයසුන්දර වසර 152 ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා වෙයි..

(05.09.2018 – 08:40 +0530 – lankacnews.com)

අධික බදු බරට, රාජ්‍ය සම්පත් විකුණා දැමීමට, ආර්ථිකය – සංස්කෘතික උරුමයන් වනසා දැමීමට, නීතියේ ආධිපත්‍යය බිඳ වැට්ටවීමට, මැතිවරණ සිතියම හැකිළීමට එරෙහිව හෙට දිනයේ කොළඹ දී ඉදිවන ඓතිහාසික ජනපවුරට බාධා නොකරන ලෙසත් එය මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් ගොඩනැගෙන එකක් බවත් ජානිපෙ, හෘද සාක්ෂියක් සහිත පොලිස් ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට සිහිපත්කර සිටියි.

බොරැල්ල එන්. එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේ දී ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා එසේ සිහිපත්කර සිටියේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය :

“මේ අහිමි වෙමින් යන්නේ ලාංකීය ජාතියට හිමි ජාතික රාජ්‍යයයි. ‘ජනබලය කොළඹට’ යනුවෙන් හෙට කොළඹ දී පැවැත්වෙන්නේ ඊට එරෙහිව සිදු කෙරෙන ජාතික සටනක්. 1815 දී ඉංග්‍රීසින් අපේ ජාතික රාජ්‍යය පැහැරගත් අවස්ථාවේ දී ඊට එරෙහිව 1818 දී සහ 1848 දී ජාතික නිදහස් අරගල පැන නැඟුණා. ඔබට මතක ඇති. ඒ වගේම 2015 දී විදේශීය බලවේග තම රූකඩ පාලක ජෝඩුවක් දමලා මේ රට අපෙන් උදුරා ගත්තා. ඒ අනුව බැලුවාම 2018 සැප්තැම්බර් 05 න් ඇරඹෙන්නේ ඉහත කී ජාතික නිදහස් අරගලයේම දිගුවක්.

‘නීතිය නමන පොලිස්පතිට නිසි දඬුවම් ලැබේවි’

මෑත ඉතිහාසයේ අපේ රණවිරුවන් 27,000 ක් දිවි පුදලා තවත් 23,000 ක් අතපය අහිමිකර ගනිමින් රැකගත් රට තමයි අපට අද අහිමි වී තිබෙන්නේ. අපේ රට රැකි මුතුන්මිත්තන්ගේ ජානමය උරුමය සහිත සුජාත දූපුතුන් හෙට දිනයේ තම යුතුකම ඉටු කිරීමට සූදානමින් සිටිනවා. දැන් මේ රූකඩ ආණ්ඩුව මේ ‘ජන සන්නිපාතය’ නතරකර ගන්න බැරිව ‘උණ සන්නිපාතය’ හැදිලා දඟලනවා. මේ ජනපවුර ආපසු හැරවීමේ වගකීම දැන් අතට අරන් තියෙන්නේ ‘මෙරට වසර 152 ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා’ ලෙස තම නම ලියැවෙන පූජිත ජයසුන්දර. විශ්‍රාම ගිහිල්ලා මැතිසබයට එන්න චිට් එක ගන්න මෙයා දැන් තමන්ගේ හාම්පුතුන් කියන ඕන දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ඔහු පිළිබඳව, ඔහු කියන කතා පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු නැහැ. ඔහු විසින් සිදු කළ සහ සිදු කිරීමට නියමිත නීති නැමීම්වලට ඉදිරියේ දී ඔහුට හිමි නිසි දඬුවම් ලැබේවි.

නමුත් අපි මේ රටේ හෘදසාක්ෂියක් තිබෙන පොලිස් ප්‍රධානීන්ගෙන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලනවා, ‘කොළඹ දී ඉදිවන මහා මිනිස් පවුරට අඩන්තේට්ටම් කරන්න එපා’ කියලා. මේ මහා ජනපවුර ගොඩනැඟෙන්නේ ඔබේත් අපේත් දුවාදරුවන්ට රටක් ඉතිරිකර දෙන්නයි. ගොඩනැඟෙන්නේ රට සුරැකීමේ ජනපවුරක්. අසීමිත බදු බරට, රාජ්‍ය සම්පත් විකුණා දැමීමට, නීතිය නැමීමට, අපේ සංස්කෘතික උරුමයන් වනසා දැමීමට එරෙහි ජන පවුරක්. මේ රට මේ රූකඩ පාලනයෙන් මුදා ගැනීමට ගොඩනැගෙන මේ මහා ජනපවුරට රටට හිතැති සියලු ජනකොටස් එක්විය යුතුයි. මේ ජනසටන ජයග්‍රහණයෙන් කෙළවර වන එකක් බව ඊට අකුල් හෙළන සියලු පාපතරයන්ට මතක් කර දීමට කැමතියි.

දේශයේ සුජාත දූපුතුනි, දිනය ඔබේ දිනයයි. එන්න, රට රකින ජනපවුරට එක්වන්න.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

++++++++++++++++++++++++++++++++

බදුල්ලේ දී බස් රථයකට ප්‍රහාරයක්
(05.09.2018 – 08:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අද (05) පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට බදුල්ල – බෝගහමඩිත්ත ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම බස් රථයට පිරිස් එක්රැස් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී අංක තහඩු නොමැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකළ බවයි එහි සංවිධානය කටයුතුවල නිරත වූ කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හාලිඇල පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

එහෙත් එම බස් රථය ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට පැමිණීමට සූදානම් කර තිබූ එකක් බවට එහි රියදුරු ලබාදුන් කටඋත්තරයේ සදහන් නොවන බව ද ඔහු ප්‍රකාශ කළා ෴

————————————

———————————

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ගැන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියයි
(04.09.2018 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව විවිධ උපක්‍රම මගින් වැළැක්වීමට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

++++++++++++++++++++++++++++++++

‘‘ජනබලය කොළඹට’’ රැළියට එන සියලු දෙනාටම පැමිණිය යුතු ස්ථානය දැනුම් දෙන්නේ මෙහෙමයි
(05.09.2018 – nethnews.lk)

‘‘ජනබලය කොළඹට’’ ආණ්ඩු විරෝධි රැළිය සඳහා සහභාගී වීමට මේ වනවිටත් පිරිස් කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

රැළිය ආරම්භ කරන සහ අවසන් කරන ස්ථාන පිළිබඳ අවසන් තීරණය ගැනුණු සැණින් ඒ බව එම පිරිස් වෙත දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

කඩිනම් සන්නිවේදනය සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ : “හැම බස් රථයකටම අපේ පුද්ගලයෙක් අපි දාලා තියෙනවා. ඒයා හරහා දුරකතන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සංවිධායකවරයෙකුත් නම් කර තියෙනවා… ඒ හරහා මාර්ග අවහිර වුණොත් දැනුම් දෙන්න පුළුවන්…ප්‍රශ්න තියෙන තැන් හඳුනගන්න පුළුවන්…ඒ වගේම නීතිඥවරුත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සම්බන්ධ කරලා තියෙනවා..විවිධ උපදෙස් ලබා ගන්න. පෙරවරු 11.00 පමණ වනවිට SMS පණිවුඩ මගින්..සමාජජාල මාධ්‍ය මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පැමිණිය යුතු ස්ථානය අවශ්‍ය වෙලාවට දැනුම් දෙනවා.” යනුවෙනි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *