බෙල්ලන්විල නිවසක ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරිය මියයයි – වෛද්‍ය සැමියාට සහ පුතාට අසාධ්‍යයි

බෙල්ලන්විල නිවසක ගින්නකින් වෛද්‍යවරියක් මියයයි
(06.09.2018 – 16:28 +0530 – hirunews.lk/sinhala)

බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගින්නෙන් වෛද්‍යවරයෙකු වන ඇයගේ සැමියා සහ පස්හැවිරිදි පිරිමි දරුවා ද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අද දහවල් 1 යි 25 ට පමණ හට ගත් මෙම ගින්නෙන් තුවාල ලැබු ඔවුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි පස්මස් ගැබිණියක් වූ මෙම වෛද්‍යවරිය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඇය හොරණ රජයේ රෝහලේ වෛද්‍යවරියක ලෙස මීට පෙර සේවය කර ඇති අතර සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරනවා.

+++++++++++++++++++++++++++++++

————————————————————

++++++++++++++++++++++++++++++

දෙහිවල නිවසේ ගින්නෙන් වෛද්‍ය ගැබිණි බිරිය මරුට වෛද්‍ය සැමියා හා පස් හැවිරිදි දරුවාට පිළිස්සුම් තුවාල
(06.09.2018 – gossiplankanews.com)

දෙහිවල බෙල්ලන්විල විහාර මාවතේ පිහිටි නිවසක අද (06) දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් තිස්හත් හැවිරිදි ගර්භනී තත්ත්වයේ වෛද්‍යවරියක මියගොස් අක්ෂි ශල්‍ය විශේඥ වෛද්‍යවරයකුවන ඇයගේ සැමියා සහ 5 හැවිරිදි දරුවාද ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා විය.

තිදෙනාම කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරිය මිය ගොස් ඇත.

වෛද්‍ය යුවළ සහ දරුවා නිවසේ උඩු මහලේ සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවත් එම අවස්ථාවේ නිවසේ පහත මාලයේ සිටි ඔවුන්ගේ මව නිවසින් එළියට පැන දිවි බේරාගෙන ඇති බවත් වාර්තා විය. පසුව ගින්න සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ පසුව නිවස පරීක්ෂා කිරීමට පැමිණි ඔවුන් නාන කාමරයේ සිහිසුන්ව වැටී සිටි දරුවා සහ වෛද්‍ය යුවළ කළුබෝවිල රෝහලට ඇතුළුකර ඇති අතර බරපතල පිළිස්සුම් ලද වෛද්‍යවරිය මියගොස් තිබේ.

මිය ගිය වෛද්‍යවරිය විදර්ශි ඩයස් නමැති හොරණ මූලික රෝහලේ වෛද්‍යවරියක වන අතර ඇය දරුවෙකු ලැබෙන්නට සිටි කෙනෙකි. තුවාල ලබා රෝහල්ගත කර සිටින ඇයගේ සැමියා අනුරංග ඩයස් ජයවර්ධනපුර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයෙකි. සැමියා හා පස් හැවිරිදි දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

ගින්න නිවා දැමීම සඳහා දෙහිවල ගිනි නිවීම් ඒකකයේ සේවා රථ 4 ක් යොදා ගෙන ඇති බව පොලීසිය පවසයි.

බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

++++++++++++++++++++++++++++++

බෙල්ලන්විල හෙල්ලූ ගින්න නාන කාමරය ඇරලා බලනකොට තුන්දෙනාම බදාගෙන වැටිලා හිටියා
(07.09.2018 – mawbima.lk)

‘‘වෛද්‍ය යුවළ විසූ නිවෙස පැත්තෙන් කෑ ගහන හඬක් ඇහුණා. මම ඒ පැත්තට දුවගෙන යනකොට මුළු ගේම ගිනිදැල්වලින් වැහිලා තිබුණා. වෛද්‍ය යුවළ හා ඔවුන්ගේ කුඩා දරුවා ගිනිදැල්වලට අහුවෙලා ඉන්න බව දැනගත් නිසා මම ඉහළ මාලයට යන්න උත්සාහ කළත් දුමාරයයි ගිනිදලුයි නිසා යන්න බැරි වුණා. මම ඒ අය ඉන්න තැන හොයන්න කෑ ගැහුවා. නමුත් ඒ අයගෙන් කිසිම ශබ්දයක් ඇහුණේ නැහැ.

ගිනි නිවන රථ ඇවිත් ගින්න පාලනය කළාට පසුව පොලිසියත් සමඟ මමත් ඉහළ මාලයට ගියා. ඒ වෙලාවෙ මම දැක්කා වෛද්‍ය යුවළ ඔවුන්ගේ කුඩා දරුවාවත් වැලඳගෙන නාන කාමරයේ වැටිලා ඉන්නවා. ඊට පසුව පොලිසියේ සහායෙන් ඒ තුන්දෙනාව කළුබෝවිල රෝහලට අරගෙන ගියා. පසුව අපට දැනගන්න ලැබුණා වෛද්‍යවරිය මියගියා කියලා.’’

බොරලැස්ගමුව, බෙල්ලන්විල සෝමරතන මාවතේ පිහිටි වෛද්‍ය යුවළකට අයත් දෙමහල් නිවෙසක් තුළ ඊයේ (6දා) පස්වරුවේ හටගත් හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් එහි ඉහළ මාලයක පදිංචිව සිටි පස්මස් ගැබිනි වෛද්‍යවරියක් මියගොස් විශේෂඥ වෛද්‍යවරයකු වන ඇයගේ සැමියා හා පස් හැවිරිදි කුඩා දරුවකු අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසියෙක් අදහස් දක්වමින් එසේ කීය.

මෙහිදී විදර්ශී ඩයස් නමැති 32 හැවිරිදි වෛද්‍යවරියක එසේ මියගොස් ඇති අතර ඇය මියයෑමට පෙර හොරණ මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවයෙහි යෙදෙමින් සිට පසුව ඉන් ඉවත්ව සිය නිවෙසේ පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත.

ඇයගේ සැමියා වන ජයවර්ධනපුර රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු ලෙස සේවය කරන තරංග අනුරාධ ඩයස් (36) හා ඔහුගේ පුතු වන අවුරුදු පහක් වයසැති ආර්ය ඩයස් දරුවා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ අසේල ගුණවර්ධන මහතා පැවැසීය. වෛද්‍යවරිය රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවද ඒ මහතා කීය.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වෛද්‍යවරයාට කෘත්‍රිම ශ්වසනය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

ගින්න ඇතිවන අවස්ථාවේදී එකී දෙමහල් නිවෙසේ වෛද්‍ය යුවළට හා ඔවුන්ගේ පුතුට අමතරව වෛද්‍යවරයාගේ මව (63) පහළ මාලයේ සිට ඇති අතර ඇයට කිසිදු හානියක් සිදුවී නැති බව පොලිසිය පවසයි.

එම ගින්න හටගෙන නිවෙස දුමෙන් වැසී යන අවස්ථාවේදී වෛද්‍යවරයාගේ මව පහත මාලයේ සිට ඉහළ මහලේ සිටින සිය පුතුට හා ඔහුගේ බිරියට ඉක්මනින් පහළට බසින ලෙස දන්වා ඇති නමුත් ඔවුන්ට පහළට පැමිණීමට නොහැකිවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අසනීප තත්ත්වයෙන් සිටින මවට දුමාරය මැදින් ඉහළ මහලට යා ගත නොහැකි වූ විට ඇය නිවෙසින් පිටතට පැමිණ සුළු වේලාවකදී මුළු නිවෙසම දුමෙන් හා ගින්නෙන් වෙළී ඇතැයි පොලිසිය කියයි.

බෙල්ලන්විල සෝමරතන මාවතේ නිවෙසක් ගිනිගන්නා බවට බොරැලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රියංක සිල්වා මහතාට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ බව දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකයට දන්වා සිය නිලධාරීන් සමඟ එමස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහායද ඇතිව ගිනි නිවන භටයන්ද සමඟ එක්ව ගින්නට කොටු වී සිටි වෛද්‍ය යුවළ හා දරුවා බේරා ගැනීමට ක්‍රියාකොට ඇත.

යාබද නිවාසවල කොන්ක්‍රීට් බැමිවලට ඉණිමං තබා වෛද්‍ය යුවළ පදිංචි දෙමහල් නිවෙසේ වහලට මතට නැඟගත් පොලිස් නිලධාරීන් හා ගිනි නිවන භටයන් වහලයේ සෙවිලි කඩා සිදුකළ පරීක්ෂාවේදී වෛද්‍ය යුවළ හා දරුවා නාන කාමරය තුළ වැටී සිටින අයුරු දැක ගැනීමට හැකිවී ඇති බවත්, ඒ අවස්ථාවේ ඔවුන් තිදෙනා එකට වැලඳගෙන සිටි බවත් පොලිසිය පවසයි.

ඔවුන් ඒ වන විට සිහිසුන්ව සිට ඇති අතර දැඩි ආයාසයක් දරා පළමුව දරුවා පිටතට ගත් ඔවුන්, බොරැලැස්ගමුව පොලිස් ස්ථානයේ නතර කර තිබෙන 1990 “සුව සැරිය” ගිලන් රථය මඟින් රෝහල් ගත කිරීමටත්, වෛද්‍ය යුවළ බොරලැස්ගමුව පොලිසියේ ජීප් රථය මඟින් රෝහල්ගත කිරීමටත් පියවර ගත් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් හා ගිනි නිවන භටයන් වෛද්‍ය යුවළ හා දරුවා සොයා සිදුකළ මෙහෙයුමේදී ඔවුන් නානකාමරයේ වතුර කරාමය විවෘත කරගෙන සිටි බව පොලිසිය කියයි.

මෙම ගින්න පහත මහලේ සාලයෙන් ඇති වන්නට ඇති බවට සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගින්න හට ගත්තේ කුමක් නිසාද යන්න මෙතෙක් කිව නොහැකි බව බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසීය.

හටගත් ගින්නෙන් නිවෙසේ සියලුම දේපළ විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂණයක් අද (07දා) සිදු කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා, උප පොලිස් පරීක්ෂක දිනේෂ්, උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන බුද්ධික (88112), සම්පත් (60024), අමරසූරිය (68843) ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි ෴

+++++++++++++++++++++++++++++






——————————

+++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

දෙහිවල වෛද්‍ය නිවසේ ගින්නට හේතුව විදුරුවක් කඩාගෙන බාහිරින් එල්ලවූ ගිනිගන්නා යමක් ගැන සැකයක්
(08.09.2018 – gossiplankanews.com)

පෙරේදා දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍යවරියකට මරු කැඳවමින් වෛද්‍ය සැමියා හා දරුවා තුවාලයට පත් කරමින් නිවසක ඇතිවූ අභිරහස් ගින්න සම්බන්ධ පොලිස් පරීක්ෂණ හා රස පරීක්ෂණ වාර්තාවට අදාළ කරුණු සොයා බැලීම ඊයේ සිදුවූ අතර පහත මාලය මුළුමනින්ම අළුවී යන්නට තරම් ප්‍රබලවූ මෙම ගින්න ඇතිවූ ආකාරය පිළිබඳ කරුණු රැස්කිරීම ඒ අනුව සිදුවිය.

මූලික පොලිස් පරීක්ෂණ අනුවද තහවුරු වූයේ පහළ මාලයේ සිට ඉහළ මාලයට ගින්න පැතිරී ගිය බවය.

එම ගින්න හටගැනීමට හේතුව ගෑස් කාන්දුවක් බවට සැකයක් පොලිසිය මතු කළ නමුත් රස පරීක්ෂණ වාර්තා අනුව ගෑස් සිලින්ඩර නිරුපද්‍රිතව තිබූ ආකාරය එය ගින්න හා සම්බන්ධ වූ ආකාරයක් හෙළිනොවීම නිසා එම සැකය ඉවත ලන්නට පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබිණි.

මෙම ගින්න සිදුවන අවස්ථාවේ තුවාල ලද වෛද්‍යවරයාගේ 63 හැවිරිදි මව පහළ මාලයේ පිහිටි ඇගේ කාමරයේ සිට ඇත. ඉහළ මාලයේ නිදන කාමරයේ ගැබිණි වෛද්‍ය ලේලියත් වෛද්‍ය පුතාත් ඔවුන්ගේ දරුවාත් දහවල් නින්දේ පසුවූ බවත් තමා කාමරයේ අවදියෙන් සිටියදී එක්වරම සාලය තුළ පිහිටුවා ඇති වීදුරු ජනේලයක් පුපුරා යමක් ඇතුළට වැටෙනවා වැනි ශබ්දයක් ඇසුණ බව මව සාක්ෂි සපයා ඇත.

ඒ අනුව ඒ කුමක්දැයි බලන්නට ඇය වහාම කාමරයෙන් එලියට ආ බවත් එම අවස්ථාවේ සාලය මැද විශාල ගිනි ජාලාවක් නැගෙමින් තිබෙනු දුටු බවත් ඇය පවසා ඇත. එම ගින්න මැදින් ගමන් කරන්නට අපහසු තත්වයක් තිබුණ බවත් සාලයේ හැම අතටම දුම් දමමින් තිබූ බවත් පැවසූ ඇය ගින්න ගැන කෑ මොරදී පුතාව දැනුවත් කරන්ට උත්සාහ කළමුත් පුතා එක්වරම අවදිවී නො ආ බවත් ටික වේලාවකින් එද්දී ගින්න තවත් පැතිර තිබූ බවත් ඇය පවසා ඇත.

ඉහළ සිටි පුතා ගින්නට හසුවූ මව දැක පවසා ඇත්තේ අම්මා ඉක්මණට උඩට එන්න ලෙසිනි. නමුත් තමා වම් පසට ගමන් කර පඩිපෙළ දිගේ උඩට ඒම මගින් ගින්නට හසුවීමේ අවදානමක් දැනුණ නිසා පුතා කී දෙය එක්වරම කරන්නට බැරි බව වැටහුණෙන් අනෙක් පැත්තෙන් එළියට යන මාර්ගයක් සොයාගත් බවද ඇය පවසා ඇත.

ඉහළ මාලයේ සිරවූ වෛද්‍ය පුතා හා ලේලියගේ කාමරය තුළටත් ගින්න පැතිර තිබූ නිසා ඔවුන් කුමක් කරනවාදැයි තමන්ට සිතා ගන්නට බැරිව ගිය බවත් එලියට ආ සැණින් අසල්වැසියන්ගේ උදව් මත පොලිසියට දන්වා ගිනි නිවන ඒකක වෙත දන්වා ඔවුන් බේරාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඇය පවසා ඇත.

මෙම තොරතුරු අනුව පොලිසිය හා ගිනි නිවන සේවා එම ස්ථානයට මිනිත්තු 20 කින් පමණ ළඟාවී තිබිණි. ඒ වනවිට පහළ මාලයට කිසිසේත් ගමන් කරන්නට බැරි තත්වයක් තිබිණි. ඉහළ මාලයටත් බසින්නට තැනක් නොවූ බවත් අසළ නිවාස වල බැමි දිගේ නැග එම වහළට පමණක් ගමන් කරන්නට අවස්තාව තිබූ බව ගිනි නිවන ඒකක දන්වා ඇත. ඒ අනුව ඉහළ මාලයට නැගගත් ඔවුන් වහලේ සෙවිලි ගලවා ඔවුන් බේරාගැනීමට මාර්ගයක් සොයාගෙන ඇත. ඔවුන්ව පරීක්ෂා කර බලන විට නිදන කාමරයට පැතිරුණ ගින්න නිසා වෛද්‍ය යුවළ හා දරුවා එයින් ඉවත්ව යාබද නානකාමරයට පැන දිවි බේරාගැනීමෙ උත්සාහයක සිටි බව වාර්තාවේ.

නමුත් උළු ඉවත් කර බලන විට අධික ලෙස විෂ වායු ආඝ්‍රණය නිසාදෝ තිදෙනාම සිහිවිකල්ව එහි වැටී සිට ඇති අතර ජලය කරාමයක් විවෘතව තැබී ඇත. ඉහළ සිට පහළට බැසගත් නිලධාරීන් ඔවුන් බේරාගෙන තිබුනේ එම අවස්ථාවේය.

රෝහලට ඇතුළත් කරන විටත් විදර්ශී ඩයස් (32) වෛද්‍යවරිය මියගොස් සිටි අතර විශේෂඥ අක්ෂි වෛද්‍ය විදුරංග ඩයස් හා පුතු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මියගිය වෛද්‍යවරියගේ දේහය ඇගේ සොයුරා වෙත භාර දෙන්නට රෝහල් බලධාරීන් කටයුතු කරන ලදි. සිද්ධිය පිළිබඳ රස පරීක්ෂක වාර්තා ඉදිරියේදී ඉදිරිපත්වීමට නියමිතය.

ගින්න ගෑස් කාන්දුවකින් නොවූ බවට පරීක්ෂණය තුළදී අනාවරණය වීමත් සාලය තුළ වීදුරු ජනේලයක් පුපුරා යමක් ඇතුළට වැටෙනවා වැනි ශබ්දයක් ඇසුණ පසු සාලය මැද විශාල ගිනි ජාලාවක් නැගෙමින් තිබෙනු දුටු බවට මෙම ගින්න සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ මව සපයා තිබූ සාක්ෂිය පදනම් කරගෙන මෙය කඩාකප්පල් ක්‍රියාවක ප්‍රතිපලයක්ද යන්න ගැන පරීක්ෂණ සිදු කිරීමට බොරලැස්ගමුව පොලිසිය තවත් සාක්ෂි රැස්කරමින් සිටී.

+++++++++++++++++++++++++++++++++

දෙහිවල වෛද්‍ය නිවසේ ගින්න – මීට පෙරත් නිවස ගිනි අරන් – පළමු ගිණිනිවන රථයේ වෑල් එක වට්ටගත්තෙ නැත්නම් ගින්න කලින් නිවලා
(11.09.2018 – gossiplankanews.com)

පසුගියදා දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍යවරියකට මරු කැඳවමින් වෛද්‍ය නිවසක ඇතිවූ ගිනිගැනීමේ සිදුවීමට අදාළ වැඩිදුර විස්තර මේ වනවිට තවදුරටත් අනාවරණය වෙමින් පවතී. බෙල්ලන්විලට හිටපු ‘රත්තරං දොස්‌තර නෝනා’ යනුවෙන් අසල්වාසීන්ගේ ආදරයට ලක්වූ මියගිය විදර්ශි ඩයස් මහත්මිය හා එම පවුල සම්බන්ධයෙන් අසල්වාසීන් විස්තර සපයා ඇත. එම විස්තර අනුව සිද්ධියට පෙර දින මෙම පවුලේ අය විනෝද චාරිකාවක නිරතවී සිට ඇති අතර එම වෙහෙස නිසාම පසුදින විවේක ගනිමින් දහවල් කාලයේද නින්දට වැටී ඇත. ආවාසනාවන්ත ගින්න හටගන්නේ එම අවස්ථාවේය. මේ අතර ගිනි නිවීම සඳහා පැමිණි අය ‘ජලය විදින වෑල් එක වට්‌ටාගැනීමේ දෝෂයක්’ නිසා ගින්න නිවීම ප්‍රමාදවීමත් ඒ නිසාම ගින්න වඩාත් පැතිරුණ අවස්ථාවක දොස්තර යුවළ හා දරුවා වෙත පමාවී යාමට ඔවුන්ට සිදුවීමත් මෙම මරණය වළක්වාගැනීමේ මං ඇහිරයාමක් ලෙස අසල්වාසීන් විස්තර කර තිබේ.

සිද්ධිය ගැන විස්‌තර කළ මෙම නිවසට යාබද නිවසේ වාසය කරන පද්මා ජයසිංහ මහත්මිය මෙසේ කියා සිටියාය :

‘‘මේ ගෙදර විදර්ශි දොස්‌තර නෝනයි, දොස්‌තර මහත්තයයි, පුතයි, දොස්‌තර මහත්තයාගේ අම්මයි ඉන්නේ. මම ඉන්නේ ඊට අල්ලපු ගෙදර. ඒ ඉන්න කොට පාරේ ඉස්‌සරහ අම්මා කෙනෙක්‌ කෑගැහුවා දොස්‌තර මහත්තයාගේ ගේ ගිනි ගන්නවා කියලා. මම එළියට පැනලා බලනකොට ගේ හෝ ගාලා ගිනි ගන්නවා. දොස්‌තර මහත්තයාගේ අම්මා එලියට පැනලා කෑගැහුවා මගේ ළමයි පිච්චෙයි බේරගනියෝ කියලා. පස්‌සේ මම ඒ අම්මව අපේ ගෙදරට එක්‌කර ගෙන ගිහින් වාඩි කළා. පස්‌සේ අපේ ගේ පැත්තෙන් ගමේ අයයි ගිනි නිවන හමුදාවේ අයයි දොස්‌තර මහත්තයාගේ සීට්‌ වහල උඩට නැගගත්තා.

ගින්න ඒ තරමටම සැරයි. පස්‌සේ ගිනි නිවස හමුදාවේ මහත්වරු වහලයේ සීට්‌ කඩලා දොස්‌තර නෝනයි, මහත්තයයි දරුවවයි හිටපු නාන කාමරයට බැහැලා තියෙනවා. ඊට පස්‌සේ මුලින්ම පුංචි පුතාව එළියට ගත්තා. පුතාව 1990 හදිසි ගිලන් රථයට දානකොට තාත්තයි, අම්මයි ගේ ඇතුලේ ඉන්නවා කියලා අවසිහියෙන් වගේ කිව්වා. ඒ එක්‌කම දරුවව රෝහලට අරන් ගියා. පස්‌සේ දොස්‌තර නෝනව එළියට ගත්තා. නෝනට සිහිය තිබුණේ නැහැ. පස්‌සේ මහත්තයාවත් එළියට ගත්තා. අනතුරුව ඒ දෙන්නම බොරලැස්‌ගමුව පොලිසියේ ජීප් රථයෙන් රෝහලට රැගෙන ගියා. අනේ දෙයියනේ මේක කොහොම වුණාද දන්නේ නැහැ. මේ පවුල කාටත් කරදරයක්‌ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වූ අය. මෙහෙම අහිංසක පවුල්වලටත් මෙහෙම විපත්ති වෙනවනේ.’’

අවාසනාවන්ත අන්දමින් මියගිය විදර්ශි ඩයස්‌ ගැබිනි වෛද්‍යවරිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. පසුව ඇය කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගත්තාය. පසුව ඇය වෛද්‍ය අනුරංග ඩයස්‌ මහතා සමඟ විවාහ වී වෛද්‍ය අනුරංග මහතාගේ බෙල්ලන්විල නිවසේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන්ගේ එකම පුතණුවන් වන ආර්ය ඩයස්‌ පුතාගේ පස්‌වැනි උපන් දිනය පසුගිය 31 වැනිදා සතුටින් සමරා තිබේ. මෙම නිවසේ පදිංචි වෛද්‍ය අනුරංග මහතාගේ 63 හැවිරිදි මෑණියන් අසනීප තත්ත්වයෙන් පසුවූවාය. බෙල්ලන්විල විහාර පාර දෙස සිට පැමිණෙන විට ශ්‍රී සෝමරතන මාවත එක්‌වන ස්‌ථානයේ මෙම දෙමහල් නිවස පිහිටා තිබේ. විදර්ශි වෛද්‍යවරිය මීට පෙර හොරණ මූලික රෝහලේ සේවය කළ අතර, පසුව ඇය ආර්ය පුතු බිහිකිරීමෙන් පසු රැකියාවෙන් ඉවත් වූ නිවසේ පහල මාලයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ සැමියා සමඟ පවත්වාගෙන ගියාය.

ප්‍රදේශවාසියකු වන ලලිත් විඡේසිංහ මහතා මෙසේ පැවැසීය :

‘‘අපි දොස්‌තර නෝනයි, මහත්තයයි, දරුවයි බේරාගන්න ගේ ඇතුළට යන්න උත්සාහ කළත් ගින්නේ සැරකම නිසා එකපාරටම ඇතුළට යන්න බැරිවුණා. පස්‌සේ අපි ගිනි නිවන හමුදාවේ අයත් එක්‌ක අනික්‌ පැත්තේ ගෙදරින් දොස්‌තර නෝනගේ සීට්‌ වහලයට නැගගත්තා. දැන් මේ අය ඉන්නේ කොහෙද කියන එක හිතාගන්න බැරිවයි හිටියේ. පස්‌සේ අපි පැත්තකින් වහලයේ සීට්‌ කඩලා ඇතුලට පැන්නා. අපි දැක්‌කා නාන කාමරයේ තුන්දෙනාම එකට බදාගෙන ඉන්නවා. සිහිය නැතිව වගේ ඒ අය හිටියේ. වතුර කරාමයක්‌ සවර් එකත් ඇරලා තිබුණා. අර දුමෙන් බේරෙන්න.’’

‘‘අනිත් එක තමයි ගිනි නිවන හමුදාවේ මුලින් ආපු ගිනි නිවන රථයේ අර ජලය විදින වෑල් එක වට්‌ටගෙන ඇවිත්. ඒ දෝෂය නිසා ඒ ගින්න මැඬපවත්වන්න අමාරු වුණා. ඊට පස්‌සේ ආපු ගිනි නිවන රථ තුනෙන් තමයි මේ විශාල ගින්න නිව්වේ. ඒ වුණත් දොස්‌තර නෝනගේ මුළු ගේම අළුවෙලා ඉවරයි.”

පශ්චාත් මරණ පරීක්‍ෂණය 07 වැනිදා සිදු කළ අතර අදහස්‌ දැක්‌වු රෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක මහතා මෙසේ කීය :

‘‘මේ වෛද්‍යවරියගේ ශරීරයේ පිළිස්‌සුම් තුවාල කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. අපි සැක කරන්නේ විෂදුම් ආඝ්‍රාණය වීමෙන් මේ මරණය සිදුවෙන්න ඇති කියලා. කොහොම නමුත් වෛද්‍යවරියගේ සිරුරෙ කොටස්‌ අපි රජයේ රස පරීක්‍ෂකවරයා වෙත වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කරනවා. ඒ ලැබෙන තීරණ අනුව මෙම මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කරන්නම් වෛද්‍යවරියගේ මාස 5 ළදරු කලලයත් මියගිහින් තිබුණා. නිවස ගිනි ගත්ත අවස්‌ථාවේ ප්ලාස්‌ටික්‌ වැනි ද්‍රව්‍ය පිළිස්‌සෙන විට එයින් කාබන්මොනොක්‌සයිඩ් වැනි විෂ දුම් පිටවී තිබෙනවා.’’

මියගිය වෛද්‍ය විදර්ශි ඩයස්‌ මහත්මියගේ දේහය ඇගේ සොයුරා භාරගත් අතර ඒ පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (09 වැනිදා) සවස විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ පානදුරදී සිදුකෙරිණි.

වෛද්‍ය අනුරංග මහතා සහ ආර්ය පුංචි පුතු තවමත් කළුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. අනුරංග මහතා සිය ප්‍රිය බිරිඳවූ වෛද්‍ය විදර්ශි මහත්මිය සිය ජීවිතයෙන් සදහටම සමුගෙන ගිය පුවත දන්නේ නැත. ආර්ය පුතු තම දයාබර මෑණියන් තමාවත්, පියාවන් අත්හැර ගිය බව තේරුම් ගැනීමට තරම් මනසක්‌ නැත.

වෛද්‍ය අනුරංග ඩයස්‌ මහතාගේ මෙම නිවස මීට වසර 20 කට උඩදී ද ගිනි ගෙන විනාශ වී ඇතැයිද හෙළිවිය. එසේම මීට වසර 4 කට උඩදී මෙම වෛද්‍ය යුවළගේ නිවසේ දේපල කිසියම් පිරිසක්‌ විසින් සොරාගෙන ගොස්‌ තිබූ බව හෙළිවිණැයිද පොලිසිය පවසයි.

මෙවර ගින්නට හේතුව කඩාකප්පල්කාරී වැඩක්ද යන්න ගැන සැකයක් පොලිසියට ඇතිව තිබුණත් තවම ඒ ගැන පරීක්ෂණ අවසන් නැත ෴

++++++++++++++++++++++++++++++++++++++

බෙල්ලන්විල ‍දොස්තර නිවෙස ඉක්මනින් ගිනි ගත්තේ සුළං කපොල්ලක පිහිටීම නිසාද?
(16.09.2018 – mawbima.lk)

බෙල්ලන්විල සෝමරතන මාවතේ වෛද්‍ය නිවෙසේ ගින්නේ අළු යට ගිනි තවමත් ඇවිළෙනසුලුය. ඒ මන්ද යත් නිවෙස ගිනිගත්තේ කෙසේද යන්න පිළිබඳ කරුණු කාරණා මේ වන තෙක් නිශ්චයකර නොමැති නිසාය. එය රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අයත් රාජකාරියක් වන අතර පොලිසිය මඟින් සම්පිණ්ඩනය කර දෙනු ලබන සාක්ෂි සටහන් ඔස්සේ සහ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඔස්සේ ගින්නට හේතුව පිළිබඳ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සෝමරත්න මාවත ජනාකීර්ණ මුත් නිස්කලංක බව රජයන නිසා වෛද්‍ය තරංග අනුරාධ සහ ඔහුගේ පවුලේ උදවිය විසූ නිවෙස ගින්නට හසුවූ පසු ඔවුන් ගින්නෙන් මුදාගැනීමේ කටයුතු පමා වූවාද යන්න පිළිබඳ පශ්චාත්තාපයක් ඇති වන්නේ තරංග අනුරාධ පවුලට අයත් සාමාජිකයන් නිවෙස ගිනිගන්නා අවස්ථාවේදී නිවෙස තුළ රැඳීසිටියාද යන්න පවා දැන කියා ගැනීමට අසල්වාසීන්ට බොහෝ කාලයක් මිඩංගු කිරීමට සිදුව ඇති නිසාය.

සැබෑ ලෙසම තරංග අනුරාධ පවුල ජීවත්වූ මෙම නිවෙස වටා සිටින ඔවුන්ගේ අසල්වාසීන් මෙම යුවළ පිළිබඳ ගරු කටයුතු ආකාරයෙන් කතාබහ කළද ඔවුන් මෙම යුවළ සමඟ සෘජු ගනුදෙනුවල යෙදුණු අය නොවේ.

එයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ එම නිවෙසට තදාසන්නව පිහිටි අන් නිවාස සියල්ලගේම පාහේ පදිංචිකරුවන් කුලී නිවැසියන් වීමය.

අනුරාධ පවුල වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් සමන්විත බව ඔවුන් දන්නේ නිවෙසේ පහළ මාලයේ ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනකුගේ නාම පුවරු ප්‍රදර්ශනය වන නිසා පමණි. මෙම ගින්නෙන් මියගිය හොරණ මූලික රෝහලේ හිටපු වෛද්‍යවරියක වන විදර්ශනී ඩයස් මහත්මිය (33) පස් මස් ගැබිණි මවක් වග පවා අසල්වාසීන් දැනගනු ලබන්නේ ඇයගේ හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුවය. නිවෙස සහ නිවෙසේ පදිංචිකරුවන් පිළිබඳව ප්‍රදේශවාසීන්ට තිබූ කුතුහලය නොවන්නට සැබැවින් මෙම ගින්න මීටත් වඩා රුදුරු ඛේදවාචයක් බවට පත්වන්නට තිබූ ඉඩකඩ බොහෝය.

පසුගිය බ්‍රහස්පතින්දා දහවල් 1 පමණ වනවිට නිවෙස ගිනිගැනීම ආරම්භ වී ඇති අතර ඒ වන විට වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ පුතු සිට ඇත්තේ ඉහළ මාලයේ දහවල් නින්දේ යැයි කියනු ලැබේ. වෛද්‍ය අනුරාධගේ මව නිවෙසේ පහළ මාලයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ආසන්න කාමරයක සිට ඇති අතර ගිනිගැනීම ආරම්භ වූ අවස්ථාවේ එය පළමු දැක ඇති මව සිය පුතණුවන්ට කෑගැසූ විට ඔහු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඉහළ මාලයට පැමිණෙන ලෙසය.

ගින්න මඟින් වෛද්‍ය අනුරාධගේ මව ඉහළ මාලයට යෑම වැළැක්වූ නිසා ඇය සිදුකර ඇත්තේ නිවෙසේ එක් පසෙක ඇති කුඩා ගේට්ටුවෙන් සෝමරතන මාවතට පැමිණ අසල්වාසීන්ගේ උදවු ඉල්ලා කෑගැසීමය. මවගේ සාක්ෂියට අනුව ඒ වන විටත් නිවෙසේ පහළ මාලය සම්පූර්ණයෙන්ම පාහේ ගිනි ගෙන දැවීගොස් තිබී ඇති අතර ප්‍රදේශවාසීන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රියන්ත සිල්වා මහතාට ගින්න පිළිබඳ ආරංචිය ලබාදීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවීමේ නිලධාරීන් එක්ක ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න මැඬපවත්වා තිබේ.

ගින්න මැඬපවත්වන විටත් නිවෙස තුළ රැඳී සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිත නොවී තිබී ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුවාට පසු ගිනි නිවන නිලධාරීන් නිවෙසේ ඇතුළත පිහිටීම පිළිබඳ ප්‍රදේශවාසීන්ගෙන් ලද අල්ප තොරතුරු මත ක්‍රියාත්මක වී ඉහළ මාලයේ නාන කාමරය විවෘත කරන විට ඒ තුළ වැටී සිටි වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ පස් අවුරුදු දරුවා සොයාගෙන ඇති අතර වෛද්‍ය යුවළ බොරලැස්ගමුව පොලිසියට අයත් ජීප් රථයකින් සහ දරුවා සුව සෙවණ ගිලන් රථයක් මඟින් කළුබෝවිල රෝහල කරා රැගෙන ගොස් ඇතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෛද්‍යවරිය රෝහලට රැගෙන එන විටත් මියගොස් ඇති බවයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ වෛද්‍ය අනුරාධ මහතා ඔහු සේවය කරන ජයවර්ධනපුර රෝහල කරා මාරුකර ඇත්තේ පසුගිය බදාදා (12) දිනයේය. ප්‍රකෘති තත්ත්වයට පත්වුවත් වෛද්‍ය තරංග අනුරාධ (36) මහතාගෙන් ගින්නට හේතු වූ කාරණා පිළිබඳ නිශ්චිත තොරතුරු දැනගැනීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරීන් සැක පහළ කරන්නේ ඔහුගේ මවගේ සාක්ෂියට අනුව පහත මාලයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය මතින් ගින්නක් ඇවිළෙන බව ඇය වෛද්‍ය අනුරාධ මහතාට කෑගසා පවසන විටත් වෛද්‍ය යුවළ සහ දරුවා දහවල් නින්දේ පසුවූ නිසාය.

නිශ්චිත ලෙස තහවුරු කර ගැනීමට නොහැකි වුවත් පහළ මාලයේ වීදුරුවක් කැඩෙන ශබ්දයක් ඇසුණු බවත් එවැන්නක් කුමක් නිසා සිදුවූවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා තමා සාලය දෙසට පැමිණෙන විට සාලය මැදින් ගින්න නිවෙස පුරා පැතිර යන බව දුටු බවද වෛද්‍යවරයාගේ මව සඳහන් කර තිබේ.

නිවෙස ගිනි ගැනීමට ඇති හේතු කාරණා රැසක් අතරින් ගෑස් කාන්දුවීමක් පිළිබඳ සැකය පරීක්ෂණ නිලධාරීන්ට ඉවත දැමීමට සිදුව ඇත්තේ නිවෙසේ පරිභෝජනය සඳහා රැගෙන විත් තිබූ ගෑස් සිලින්ඩර් තුනම ඒ අයුරින් විනාශ නොවී පැවැතීම නිසාය. එම ගෑස් සිලින්ඩර ගින්නට හසුවූවා නම් සිදුවිය හැකි විනාශය කෙතරම්දැයි සිතා ගැනීම පවා සිදු කළ නොහැකිය.

සියල්ල සිදුව හමාරය. වටිනා ජීවිත දෙකක් ගින්න විසින් බිලිගෙන ඇති වටපිටාවක ගින්නට හේතු වූ කාරණය සොයාගත යුත්තේ මෙවැනි ගින්නක් මෙවැනි ජනාකීර්ණ ප්‍රදේශයක ඇවිළීම සහ ගින්න ඇවිළුණාට පසු එය මැඬපැවැත්වීමේදී ඇති වූ ප්‍රමාද දෝෂයන් ඉදිරියේදී වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව තීන්දු තීරණවලට එළැඹිය යුතු නිසාය.

“අපි ඉන්නේ ඩොක්ටර්ගේ ඥාතියකුගේ නිවෙසක කුලියට. අපේ ගෙදර තමයි ගිනි ගත්ත ගෙදරට ආසන්නම ගෙදර. ඒ ගෙදර ගිනිගන්නවා කියලා මට මුලින්ම තේරුණේ නැහැ.

මම හිතුවේ ඒ ගෙදරට ගල්ගහනවා කියලා. ඒ ගෙදරට ගල් ගහනවා නම් අපේ ගෙදරටත් වදින්න එපායැ කියලා මම හිතුවා එක්කම තමයි ලොකු රස්නයක් දැනෙන්න ගත්තේ.

මම අපේ ගෙදරින් එළියට ඇවිත් බැලුවා. ඒක පුදුම ගින්නක් ගිනි දැල් ගෙයින් එළියට විදිනවා. ගේ ඇතුළේ ඉඳලා අඩියක් විතර එළියට ගින්දර විදින්න ගත්තා. තුන්දෙනාම සිටිය බාත්රූම් එක තියෙන්නේ අපේ ගේ පැත්තට වෙන්න. ඒ පැත්තෙන් අපිව බේරගන්න කියලා කෑ ගහනවා ඇහුණා. ඒ කටහඬ අනුරාධ අයියගේ.

එක පාරයි එහෙම කෑගහනවා ඇහුණේ. ගින්න සම්පූර්ණයෙන්ම පහළ කෑල්ල පුරා පැතිරිලා උඩ තට්ටුවත් ගිනි ගනිද්දි තමයි මිනිස්සු එකතු වුණේ. ඒ මොකද ගෙදර පල්ලෙහා කෑල්ල තාප්පවලින් වැහිල හින්දා මොනව වුණත් පේන්නෙ නැහැ. ඒ පාර මම මිනිසුන්ට කෑගහල කිව්වා “අනුරාධ අයියත් ගේ ඇතුළේ ඉන්නවා. එයා කෑගහනවා” කියලා ගින්න නිවලා ඉවරවෙලා වහලෙන් බැහැලා තමයි ඒ අයව එළියට ගෙනාවේ.

ඒ වෙද්දි ඒ තුන්දෙනා බාත්රූම් එකට වෙලා ටැප් ඇරගෙන ඉඳලා තිබෙන්නේ. මම හිතන්නේ එක පාරක් ගෑගහලා අනුරාධ අයියා අක්කවයි පුතාවයි එක්ක බාත් රූම් එක ඇතුළට යන්න ඇති. මොකද ගින්න දරුණු නිසා. පල්ලෙහාට බහින්නත් බැරි නිසා. ඒ අය පිච්චිලා සිටියේ නැහැ. සිහි නැති වෙලා නිකන් තඩිස්සි වෙලා වගෙයි සිටියේ. ගිනි ගන්නවා මම දැකලා තිබෙනවා. ඒත් මේ වගේ ගින්නක් නම් දැකලා නැහැ.

එක විනාඩි ගණනකින් මෙච්චර ඉක්මනට පැතිරුණු ගින්නක් කවදාවත් දැකලා නැහැ. මම හිතුවා අපේ ගෙදරත් ගිනි ගනියි කියලා. අනුරාධ අයියලගේ ගෙදර අපේ ගෙදරින් සීමාවන හරියේ වහලයක් තිබුණේ නැහැ. දිගටම තාප්පය අනික් පැත්තට පාර. ඒ හින්දයි ගින්දර පැතිරුණේ නැත්තේ. ගින්න පැතිරුණා නම් ලොකු විනාශයක් වෙන්න තිබුණා. මීට මාස ගාණකට ඉස්සෙල්ලා අනුරාධ අයියලාගේ ගෙදරට හොරු පැන්නා.

ඊට පස්සේ එයාලා හරි පරිස්සමෙන් හිටියේ. ලොකු ෆ්ලෑෂ් ලයිට් ගේ හතර වටෙම සවි කළා. ඒ ලයිට් එක ස්විච් එකකින් දාන්න පුළුවන් විදියට සවි කරන්න ඇති. මොකද පෙළක් වෙලාවට එක පාරම ගේ වටේටම ප්ලෑෂ් ලයිට් පත්තුවෙන්න ගන්නවා. ඒ මොනවා වුණත් අනුරාධ අයියයි ‍ෙදාස්තර නෝනයි හරි සමඟියෙන් හිටපු කාටවත් කරදරයක් නැති හොඳ මිනිස්සු.”

වෛද්‍ය යුවළගේ නිවෙසට ආසන්න නිවෙසේ තරුණියක් එලෙස සඳහන් කළ අතර ඇය සහ ගිනි ගන්නා ලද නිවෙස ඉදිරිපස වෙළෙඳසලක් පවත්වාගෙන යන වෙළෙඳසල් හිමියෙක් සිදුවීම දුටු ආකාරය මත පදනම් වුවහොත් පහදාගත හැකි කරුණු කාරණා කිහිපයකි. නිවැසියන් හතර දෙනාම ගින්න නිවෙස තුළ පැතිර යනතුරු එවැන්නක් නොදැන සිටියාද යන්න සහ ගින්දර පිළිබඳ අනුරාධගේ මව අනුරාධව දැනුවත් කරන විටද ඉහළ මාලය සහ පහළ මාලය අතර සියලු සම්බන්ධතා ගින්න විසින් අහුරා දමා තිබූ බවය. තම කුඩා දරුවා සහ ගැබිනි බිරිය සමඟ ඉහළ මාලයෙන් පහළට බැසීම අනතුරුදායක බව තේරුම් ගත් නිසා වෛද්‍ය අනුරාධ තමන් බේරාගැනීමට කවුරුන් හෝ පැමිණෙන තෙක් ආරක්ෂාකාරීව සිටීමට නාන කාමරය තෝරා ගන්නට ඇති බවය.

පොලිසිය, ප්‍රදේශවාසීන් හා ගිනි නිවන නිලධාරීන් පැමිණියත් ඔවුන් සම්පූර්ණ ගින්න නිවාදැමීමෙන් පසු නිවෙසට ඇතුළු වූවා විනා නිවෙස ගිනිගනිමින් තිබියදී උපක්‍රමශීලීව සහ තමන් ලද විෂය දැනුම උපයෝගී කරගෙන නිවෙස තුළට ඇතුළු වීමට ගිනි නිවන නිලධාරීන් හෝ ක්‍රියාත්මක නොවී ඇති බවය. ගිනි නිවීමේ රථයක් පැමිණියත් එහි සිදුවූ යාන්ත්‍රික දෝෂයක් නිසා ගින්න මැඬපැවැත්වීමට නොහැකි වූ බවද ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් අප සමඟද පවසා සිටියේ එසේ නොවුණා නම් සිදුවූ හානිය අවම කර ගැනීමට හැකිව තිබූ බව පවසමිනි.

“මම හිතන විදියට ගින්න ඇවිළිලා විනාඩි 10 කට 15 පමණ පසුව තමයි ගෙදර අය දන්නේ ගින්නක් ඇවිළෙනවා කියලා. මගේ සිල්ලර කඩේ තිබෙන්නේ ගිනි ගත් නිවෙසට මුහුණ දාලා.

‍දොස්තර මහත්තයගෙ අම්මා කෑගහනකම් මා දන්නේ නැහැ ගිනි ගන්නවා කියලා. ඒ මොකද පල්ලෙහා තට්ටුව තාප්පය නිසා පේන්නේ නැහැ. අනික් පැත්ත ඩිස්පැන්සරියේ බෝඩ් හින්දා පේන්නේ නැහැ. හිතාගන්න බැහැ විනාඩි 20 ක් යද්දී මුළු ගේම ගින්නට හසු වුණා. ගින්න නිවන්න ආව කවුරුවත් දන්නේ නැහැ. ගේ ඇතුළෙ කවුරු කවුරු හිටියද කියලා. මම නම් හිතුවේ ‍ෙදාස්තර නෝනයි පුතයි විතරක් ඇති කියලා.” ගින්න පිළිබඳ සිල්ලර කඩ හිමියාගේ අදහස එවැන්නකි.

මීට වසර කිහිපයකට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ගින්නක් මෙම දෙමහල් නිවාසයට පැමිණි බව කියැවෙන අතර එම ගින්නෙන් පසු නිවෙසේ පහළ මාලය ප්‍රතිසංස්කරණය කළ බවද පැවැසේ. ඉන් පසුව ඇති වූ සොර සතුරු බිය නිසා ආරක්ෂිත උපක්‍රමයක් ලෙස නව විදුලි පහන් පද්ධතියක්ද සවිකර තිබේ. වඩාත් දිගු ඉතිහාසයකට යන විට, මීට වසර 40 කට පමණ පෙර මෙම නිවෙස ගොඩනඟා තිබූ භූමියේ වෛද්‍යවරයාගේ ඥාති සොහොයුරියක් ගින්නට හසුවී මියගිය බවත් සමහරුන් එම ගින්න ඇය විසින්ම අවුළවා ගන්නා ලද ගින්නක් බවත් පවසනු ලබයි. දෙමහල් නිවෙස මෙම භූමියේ ඉදිකර ඇත්තේ ඉන් අනතුරුවය. නිවෙස ඉදිකිරීමේදී නිවෙස තුළට හොඳින් වාතාශ්‍රය පැමිණීම සඳහා ගෘහ නිර්මාණකරණයේදී වැඩි ඉඩක් ලබාදී ඇති අතර නිවෙසේ පහළ මාලය සම්පූර්ණයෙන්ම පරිසරයට නිරාවරණය වූ පියැසි මඟින් ඉදිව තිබේ.

ඒ සෝමරතන මාවතට මුහුණලූ කොටස නොව එයට ප්‍රතිවිරුද්ධ කොටසය. වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ එම කොටසට යාවය. ගින්න පළමුව ඇවිළී ඇත්තේ නිවෙසේ පහළ මාලයේ යැයි උපකල්පනය කළහොත්, පහත මාලය ගින්නක් ඔඩු දිවීම සඳහා දිරි ලබාදෙන ආකාරයෙන් සැකසී ඇති බව පැවැසීම අනුවණ නොවේ. එයට ප්‍රථම අප නිවෙසේ දකුණු සහ වම් කෙළවරවල අසල්වාසීන් දෙදෙනකුගේ හඬට සවන් දෙමු.

“බෙල්ලන්විල විහාර පාරයි, සෝමරතන පාරයි එකතු වෙන තැන තමයි ගිනි ගත්ත ගෙදර තිබෙන්නේ. අපි ඒ ගෙදරට අල්ලපු ගෙවල්වල අය. මේ පැත්තේ උසම ගෙදර තමයි ‍දොස්තර මහත්තයාගේ ගෙදර. ඒ තරමට උස ගෙවල් බොහොම ටිකයි මේ පාරෙ තිබෙන්නේ. සෝමරතන පාර පල්ලමක තිබුණත් මේ අහළින් තමයි හුළං පාර වේගයෙන් ඇදීගෙන යන්නේ. ඒක භූමියේ පිහිටීම එක්ක සිදුවන දෙයක්.

අපි වැලක රෙද්දක් වැනුවත් හුළං පාර හැම වෙලාවෙම තියන්නේ ‍දොස්තර මහත්තයලගේ ගේ පැත්තට කියලා තේරුම් අරගෙන තමයි ඒක කරන්නේ. සාමාන්‍ය දවස්වලත් එහෙමයි. මේ දවස්වල හුළං වැඩියි. ඒ හින්දා තද හුළඟක් ‍දොස්තර මහත්තයලගේ ගේ පැත්තට අල්ලනවා. ගෙයි උඩ තට්ටුවේ එක පැත්තක් සම්පූර්ණ ඕපන්. එතකොට හුළං ගෙට ඇදෙන වේගය වැඩියි. ඒ කාරණය තමයි ගින්න පැතිරෙන්න හේතුවෙන්න ඇත්තේ. මොන හේතුවකින් ගෙට ගිනි ඇවිළුණත් ඇවිළුණු ගින්න පැතිරිලා ගියේ ඒ හින්දා.”

“විදර්ශනී ‍දොස්තර නෝනා එයාලගේ රෙදි වනන්නේ ඉහළ මාලයේ ‘ඕපන් වැරෙන්ඩා’ එක පැත්තේ. හුළං පාර ඒ පැත්තෙන් තමයි ගෙට අතුළු වෙන්නේ. උඩින් තද සුළඟක් එද්දී ඒ හුළං පාර ගේ ඇතුළට එනවා. එහෙ කැරකෙන හුළං ගින්න ඉක්මනින් පැතිරෙන්න හේතුවෙන්න ඇති. ඇහිපිය ගහන වේගයෙන් ගින්න පැතිරිලා ගියා. කාටවත් කිසිම දෙයක් සිතාගන්න බැරි වුණා.”

ඔවුන්ගේ අදහස්වලට අනුව ගින්නේ අනුපිළිවෙළ සකසා ගතහොත් මෙම නිවෙස පිහිටි භූමිය සෝමරත්න මාවත, බෙල්ලන්වල විහාර පාර අතරමැද පිහිටි කෘත්‍රිම සුළං කපොල්ලක් ලෙසත් හඳුනාගත හැකියි. නිවෙසට තදාසන්නව විශාල ගොඩනැඟිලි නොතිබීම සහ නිවෙස ඉදිරිපිට පිහිටි එකම උස ගොඩනැඟිල්ල සුළං මුහුණතක් ලෙසත් කටයුතු කරන නිසා වෛද්‍ය අනුරාධ මහතාගේ නිවෙසට එක එල්ලේ සුළං ගලාගෙන එනු ලබයි. කුමන හේතුවක් මත ගින්නක් ඇති වුවත් එම ගින්න ක්‍ෂණිකව වර්ධනය කිරීමට මෙම පිහිටීම ඉවහල් වූ බව හොඳින් පෙනී යන කරුණකි ෴

(මීට වසර 40 කට පමණ පෙර ගිණි තබාගෙන සියදිවි නසාගත් ඥාති සොහොයුරිය ප්‍රේතියක වී මෙම ගින්න ඇතිකලා විය හැක – අමරසර)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *