“ජනබලයට පැමිණි ජනතාවට වස මිශ්‍ර කිරි පැකට්‍ බෙදලා, අසනීප වූ ජනතාව රෝහලේ” රජයේ වැඩක්ලු!

(07.09.2018 – nethgossip.lk)

පසුගියදා (05) කොළඹදි පැවැති ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේදී ආහාර විෂ වූ විරෝධතාකරුවන් පිරිසක් රෝහල් ගත කර තිබුනා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් මෙලෙසින් අසාමිත්කතාවයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර එහි පසුපස ඇති සිදුවීම මේවන විට හෙළිවී තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම බස් රථයට නාඳුනන පුද්ගලයෙක් පැමිණ විරෝධතාකරුවන්ට බෙදා ගැනීමට යැයි කියා කිරි පැකට් තොගයක් ලබා දී තිබෙනවා. ඉන්පසු එම පුද්ගලයා වහාම එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම කිරි පැකට් පානය කළ පුද්ගලයන් අසනීප වී තිබෙන අතර ඔවුන් සියලුම දෙනා රෝහල් ගත කර තිබුනා. වැඩිදුර පරීක්ෂා කිරීමෙන් හෙළිවූයේ මෙම කිරි පැකට් සිඳුරු කර එයට යම් ද්‍රව්‍යයක් මිශ්‍ර කර නැවතත් සූක්ෂමව ගම් වර්ගයකින් එම සිදුර වසා දමා තිබෙන බවයි. තවදුරටත් වාර්තා වන්නේ “ජන බලය කොළඹට” විරෝධතාවයට පැමිණි පිරිසට නාඳුනන පුද්ගලයන් පිරිසක් පාන් තොගයක් බෙදා ඇති බවත්, ඒවා ආහාරයට ගත් විරෝධතාකරුවන්ද අසනීපව සිටින බවයි.

මේ අතර විරෝධතාවයට සහභාගී වූ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනා අතර ඔහුගේ මරණයට හේතුව හෘදයාභාදයක් යැයි පැවසුනද විරෝධතාවකරුවන් චෝදනා කරන්නේ එම පුද්ගලයා මිය ගියේ ආහාර විෂ වීමෙන් බවයි.

මේ පිළිබදව අදහස් දක්වන එම විරෝධතාකරුවන්ට නායකත්වය ලබා දුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රියන්ත සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසන්නේ මෙම කඩාකප්පල්කාරී ක්‍රීයාව රජය විසින් සිදු කළ ක්‍රියාවක් බවයි.

වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා “අපට සැක හිතන්නට වෙනවා මේක රජයෙන්ම කළා කියලා, කිරි පැකට් එකට කුමක් හෝ මිශ්‍ර කර කරලා බෙදලා තියෙනවා” යනුවෙනි ෴

+++++++++++++++++++++++++++++++

ජනබලය ලෙඩ කළ කිරිපැකට් ගැන මන්ත්‍රී මුජිබර්ට චෝදනා
(07.09.2018 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරිපැකට් ලබාදීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා එල්ල කරනවා.

නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම කීර්තිනාමයට හානිවීම සම්බන්ධයෙන් ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි ෴

++++++++++++++++++++++++++++++

ජනබලය අස්සේ කිරි පැකට් නිසා ලෙඩ වුණ මිනිස්සු
(07.09.2018 – 15:49 +0530 – sinhala.adaderana.lk)

ජනබලය විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරි පැකට් වර්ගයක් පානය කිරීමෙන් පසු රෝගාතුර වු පුද්ගලයින් 18 දෙනෙකු වලස්මුල්ල රෝහලෙන් ප්‍රථිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

අප කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලට වෙත පැමිණ ඇත්තේ රෝගීන් දෙදෙනෙකු පමණක් බවයි.

පසුගිය 05 වැනිදා එකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කළ “ජනබලය කොළඹට“ විරෝධතාවයට එක්වු පුද්ගලයින්ට කිසියම් පිරිසක් විසින් ලබා දුන් කිරි පැකට් පානය කිරීමේන් පසු වලස්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙතු ඇතුළු 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබා දුන් බව වලස්මුල්ල ප්‍රාදේශිය සභ මන්ත්‍රී චමිත් ලියනාරච්චි මහතා අද දෙරණට පැවසීය.

තවත් කිහිප දෙනෙක් සෙසු පළාත්වලින් පැමිණ සිටි අය බව ද වාර්තා වෙයි.

රැළිය පවත්වා දින දෙකක් ඉකුත්ව ගොස් ඇති අතර, අද වන විටත් ඇතැම් පුද්ගලයින්ට එම කිරි පැකට් පානය කිරීම හේතුවෙන් ඇති වු රෝගී තත්ත්වය පහව ගොස් නොමැති බව ද වාර්තා වෙයි.

ඇතැම් පුද්ගලයින් මෙම කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව නිවෙස්වල සිටි ඔවුන්ගේ දරුවන් සඳහා ද රැගෙන විත් තිබේ.

එම කිරි පැකට් අද වන විට විශාල ලෙස ඉදිමී ඇති ආකාරය ද දක්නට ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය ෴

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

කිරි පැකට් ප්‍රශ්නය ඔඩු දුවයි – එජාපයත් පොලීසි යයි
(10.09.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala)

ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පුද්ගලයින්ට ආසාත්මික තත්ත්වයක් ඇති වූ කිරිපැකට් ලබාදීම පිටුපස එක්සත් ජාතික පක්ෂය සිටින බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ අදාළ කිරි පැකට් ප්‍රවාහනය කළ වෑන් රථය එදින පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි බවට සාක්ෂි පවතින බවයි.

කොළඹ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද කිරිපැකට් ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කොළඹදී සිදුකළ විරෝධතාව අතරතුර විෂ සහිත කිරිපැකට් ලබාදුන්නේ යැයි තමන්ට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමගින් ඔවුන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, ඊට පෙර ඔවුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ පිළිබදව අදහස් පළ කර සිටියා.

සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ ජනබලය කොළඹට විරෝධය පෙරහුරුවක් බවයි.

එමෙන්ම, ඉදිරියේදී දීප ව්‍යාප්ත වර්ජනයක් සිදුකර ජන විරෝධයක් පවත්වන බව ද ඔහු එහිදී සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++

ගම්මන්පිලගේ සැකය ඇමති මංගල දෙසට යොමු වෙයි
(10.09.2018 – nethnews.lk)

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවයේදී විෂ සහිත කිරිපැකට් බෙදාදීමේ සිද්ධිය පිළිබද අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. පිවිතුරු හෙළ උරුමය අද (10) කැදවූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසුවේ මෙම සිද්ධියට අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධයක් ඇත්දැයි තමන්ට සැක පවතින බවයි.

‘‘එක්සත් ජාතික පක්ෂය අද කොටි සංවිධානයට වඩා මිලේච්ජත්වයේ පහත් තැනක සිටින්නේ අපි ඉතා කණගාටුවෙන් උනත් සිහිකරන්න ඕනේ.’’ මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ හැසිරීම නිසා ගමේ සිටින වැදගත් පාක්ෂිකයින්ටත් පහරක් බව ප්‍රකාශ කළ මන්ත්‍රිවරයා උද්ඝෝෂණයට ආහාර පාන ලබා දෙන බවට එජාපයේ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයන් ගැන මෙහිදී මෙසේ සදහන් කළා :

මෙම සිද්ධිය පිළිබද පොලිසිපතිවරයා විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා කියා සිටියේ :

විෂ සහිත කිරිපැකට් බෙදාදීමේ සිද්ධිය පිළිබදව එක්සත් ජාතික පක්ෂය අද කැදවූ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මේ, එහිදී අදහස් දැක් වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු :

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරන ඕනෑම පරීක්ෂණයකට සහය දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ :

++++++++++++++++++++++++++++++++++

විෂ සහිත කිරි පැකට් ගෙනා හැටි ඒකාබද්ධය හෙළි කරයි
(10.09.2018 – nethnews.lk)

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවයේදී විෂ සහිත කිරිපැකට් බෙදාදීමේ සිද්ධිය පිළිබද අද දිනයේ පොලිසියට පැමිණිලි 02 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය විසින්. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු පිරිසක් විසින් සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ පිටකොටුව පොලිස් ස්ථානය වෙතයි.

අපි වගකිවයුත්තන් ගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ගෙනාපු වාහනය, වාහනයේ අංකය, වාහනය පිටත් උනු ස්ථානය වගේම අවසානයට ගිය ස්ථානය, මාර්ග ධාවන සටහන් සියල්ල අප සතුව තිබෙනවා. අපි අධිකරණයේදී ඒ සියල්ල ඔප්පු කිරීමට සුදානම්. ලබාදීපු පුද්ගලයා සම්බන්ධයෙන් තාමත් හරියට අනන්‍යතාවය ඔප්පු කරන්න බැරි උනා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ වහාම විධිමත් පරීක්ෂණයක් කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි සාක්ෂි ලබාදීලා තියනවා. ඒ සාක්ෂි ඔස්සේ පොලිසියට පුළුවන් පරික්ෂණ කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කළා. අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ද එම අවස්ථාවට එක්වුණා. මේ, එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර :

+++++++++++++++++++++++++++++++

මිලේච්ඡත්වයෙන් කොටි පරදවයි.. ජනබල පෙලපාලියට වස පෙවීමේ සාහසික කුමන්ත‍්‍රණය සියල්ල හෙලි වේ.. වෑන් රථය මුදල් අමාත්‍යංශයේ.. රියදුරුගේ සටහන මෙන්න..
(10.09.2018 – 23:10 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

‘‘වස යෙදූ කිරි පැකට් උද්ඝෝෂකයින්ට බෙදීම මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වුණු තිරිසන්ම කාරණය විධියටයි අපි දකින්නේ. ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවතාවටයි මෙය සිදුවන්නේ. ලෝකයේ බිහි වුණු ම්ලේච්ඡතම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකුණේ කොටි සංවිධානයයි. නමුත් කවදාවත් කොටි සංවිධානයවත් මෙවැනි දෙයක් කලේ නෑ. කොටින් මාවිල් ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර නැති කළ බව ඇත්තයි. නමුත් කොටි වැව් ජලයට වස මුසු කරලා සිංහල ජනතාව මරා දාන්න කටයුතු කලේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ම්ලේච්ඡත්වයෙන් කොටි සංවිධානයටත් වඩා පහත් තැනකට වැටිලා කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. මේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ගේ අමන හැසීරීම නිසා ගම් වල ඉන්න වැදගත් එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පාරට බහින්න බැරි තත්වයක් ඇති වී තිබෙන බව කියන්න ඕනෑ. මම හිතන්නේ නෑ ශිෂ්ඨත්වය හඳුනන කිසිම කෙනෙක් මෙය අනුමත කරයි කියලා.

මෙතෙක් එජාපයට ඇඟිල්ල දිගු කරන්න අපට තිබුණේ වක්‍ර සාක්ෂි පමණයි. පළමු කාරණය තමන් උද්ඝෝෂකයින් කෑම බීම ලබා දෙන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ. දෙවැනි සාක්ෂිය වන්නේ කිරි පැකට් බීලා පිරිසක් අසනීප වුණා කියන කාරණය අපටත් කලින් මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා දන්නේ කොහොමද? ඕකට තමයි හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ.

දැන් අපට ඊටත් වඩා ප්‍රබල සාක්ෂි ලැබී තිබෙනවා. මෙම කිරි පැකට් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ එක් වෑන් රථයක් ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් බවට ලොතරැයි මණ්ඩලයෙන්ම අපට සාක්ෂි ලැබී තිබෙනවා. ND 3094 ලියාපදිංචි අංකය දරණ ලොතරැයි මණ්ඩලයෙ වෑන් රථය එදා දවසේ ක්‍රියාකාරි අධ්‍යක්ෂගේ රාජකාරි සඳහා මුදා හැරිය බවට ධාවන සටහන් අනුව පේනවා. මේ වාහනේ ධාවන සටහන් අනුව එය සිරිකොතට ගිහින් කිරි පැකට් පටවා ගෙන ඇවිත් උද්ඝෝෂණය පැවැති ස්ථාන කරා පැමිණි බව ඔප්පු වෙනවා. මෙම වෑන් රථය තුල කිරි හැලිලා ඉතිරිලා තිබුණ බවට මේ වීඩියෝ පටයෙන් පෙනී යනවා. අද ඒ වාහනය සර්විස් කරන්න යැවූ බවටත් අපට තොරතුරක් තිබෙනවා. 2018 සැප්තැම්බර් මස 05 වෙනි දා රියදුරා විසින් තබලා තියෙන ධාවන සටහන් එදා උදෑසන සිරිකොතට ගිහින් තියෙනවා මේ රියදුරා කියන විදිහට එදා උදෑසන 8.45 සිට රාත්‍රී 8.45 දක්වා ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි වලට මුදා හැරියා කියලා. ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට වහනයක් වෙන් කරලා තියෙනවා ලොතරැයි මණ්ඩලයෙන්. සුපෝකබෝගී වහනයක් වෙන් කරලා තිබිය දී ඇයි ඔහුට මෙම වාහනය මුදා හැරියේ. එකෙන් උදේම සිරිකොතට ගිය බවට රියදුරාම සටහන් තබලා තියෙනවා. මේ වැන් රථයේ කිරි තිබිලා ඉහිරුණු දර්ශන මෙම විඩීයෝ පටයේ තියෙනවා. පොලීසිය මේ පිළිබඳ වහාම අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුවේ මෙයට ඇති සම්බන්ධය හෙළි කරගත හැකි තවත් එක් කාරණයක් වන්නේ නීතිය නමන කුප්‍රකට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තවම මේ ගැන සොයන්න කිසිම කටයුත්තක් කරල නෑ. වෙනදනම් ගනු කඩුව එනු සටනට කියලා මෙවැනි අමානුෂීය දේවල් පොලිසිය කරන්න දෙන්නේ නෑ කියමින් මේ අපේ මව්බිම මෙතරම් පහත් තත්වෙට වැටිලා ද කියලා මාධ්‍ය ඉදිරියේ කඳුළු සලන පොලිස්පති මේ සම්බන්ධයෙන් දැඩි නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ ඔහුට නීතිය නමා ගැනීමට උවමනාවක් තිබෙන බවයි.

– අරවින්ද අතුකෝරල


——————-

*****************************************

අර්ජුන මහේන්ද‍්‍රන් සිංගප්පුරුවේ තානාපති කාර්යාලයේ.. ආරක්‍ෂාව යටතේ.. – එස්. බී. දිසානායක
(07.09.2018 – 16:40 +0530 – lankacnews.com)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ තානාපති වරප්‍රසාද සහ රැකවරණ යටතේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් සිංගප්පූරු තානාපතිවරයාගේ කාලය අවසන් වුවත් ඔහුගේ නිල කාලය තවත් දික් කර ඔහු හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට ආරක්ෂාව ලබා දෙමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

+++++++++++++++++++++++++++++++++++++++

19.09.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *