චෝදනාවලට යුද හමුදාවෙන් පිළිතුරු

(09.09.2018 – 18:59 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ඇතැමුන් විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධ කරගනිමින් විවේචනයන් සිදුකිරීම තරයේ හෙළා දකින බව යුධ හමුදා මුලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හමුදා මූලස්ථානය පෙන්වා දෙන්නේ මෑතකදී ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුධමය සූදානම පිළිබඳ සැහීමකට පත් නොවන බවට ප්‍රකාශ සිදුකර ඇති බවයි.

විශ්‍රාම ගොස් පිටත සිට යුධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබද සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් ද ඔවුන්ට නොමැති බව යුධ හමුදාව පවසයි.

අවශ්‍ය අවස්ථාවල දී හිටපු යුධ හමුදාපතිවරුන්ගෙන් මෙන්ම අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද අදහස් හුවමාරු කරගනිමින් යුධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කරගැනීමට සෑම විටම ක්‍රියා කර ඇති අතර ඉදිරියටත් එලෙසම කටයුතු කරන බව යුධ හමුදා මූලස්ථානය පෙන්වා දෙයි.

ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සියලුම බලඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අවස්ථාවාදීන්ගේ ප්‍රකාශවලට කන් නොදී යුධ හමුදාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙස යුධ හමුදා මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

+++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීම
(09.09.2018 – 13:41 +0530 – army.lk)


ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක මහතා

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය විජයග්‍රාහි ලෙස නිමාකර මේ වන විට වසර 09 ක් අවසන්ව ඇත. එම වසර 09 ක කාලසීමාව තුල අත්දැකීම් සහිත යුද්ධ හමුදාධිපතිවරුන් සිව්දෙනෙකු යුද්ධ හමුදාවට අණදීම සිදුකර ඇති අතර, ඔවුන් සියළුදෙනා විසින්ම යුද්ධ හමුදාවේ යුධමය සූදානම උසස් තත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති අතර මේ වන විටද එම පුහුණු වැඩසටහන් හා අභ්‍යාස වඩා උසස් මට්ටමකට ගෙනඑමින් පවත්වාගෙන යනු ලැබේ. එමෙන්ම නව අභ්‍යාස සහ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින් යුද්ධයේදි ලත් අත්දැකීම් මෙන්ම නව තාක්‍ෂණික ක්‍රම භාවිතා කරමින් යුද්ධයකට මුහුණදීම සඳහා අවැසි සියළුම ආකාරයේ පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික පුහුණු අභ්‍යාස සියළුම නිළධාරීන් හා සෙසුනිළයින් හට අඛණ්ඩව ලබාදීමටද කටයුතු කර ඇත. එමෙන්ම අනෙකුත් කාලසීමාවන් වලින් ඔබ්බට යමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිළධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසකට විදේශ පුහුණුව ලබාදීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. එමගින් ඔවුන්හට ජාත්‍යන්තර යුධ ශිල්පය පිළිබඳවද මනා දැනුමක් ලබාදීමට හැකිවී ඇත.

තවද, යුද්ධ හමුදා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ අඩු භඨපිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කර ඇති අතර, එමගින් ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙය යුද විශ්ලේෂකයින් යැයි හඳුන්වාගත් ඇතැම් පුද්ගලයින් විසින් කඳවුරු වසාදැමීමක් බවට අර්ථකතනය කර ඇත. මේ වන විට ආරක්‍ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශයෙහි සියළුම ඒකක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ප්‍රතිසංවිධානය කර ඇති හෙයින්, එහිදි වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත හඳුන්වාගත් යුද විශ්ලේෂකයින් හට යුද්ධ හමුදාව අභියෝග කර සිටී.

කෙසේ වුවද යුද්ධය නිමවන විට හා ඉන් අනතුරුව පැවති කඳවුරු යුද්ධය නිමවී වසර ගණනක් ගතවන විට ඒ ඒ අවස්ථාවන්හි ඇති ආරක්‍ෂක තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ක්‍ෂේත්‍ර අණදෙන්නන්ගේද නිර්දේශ සැලකිල්ලට ගනිමින් වෙනස් කිරීමට කටයුතු කිරීම කිසිඳු අයුරකින් වරදක් නොවන අතර ඒ අනුව සිටි හමුදාධිපතිවරුන් විසින් සමහරක් කඳවුරු ස්ථාන වෙනස් කිරීමට අවැසි පියවර ගෙන ඇත. ඉදිරියේදී ද රටේ ඇතිවන ආරක්‍ෂක වාතාවරණයන්ට අනුකූලව අවැසි වුවහොත් එසේ තවදුරටත් ක්‍රියාකිරීමට සිදුවනු ඇත.

මෑතකදී ද ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ කර ඇති අතර වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි අතර සදාචාරාත්මක අයිතියක්ද ඔවුන් වෙත නොමැත. එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හීදි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් යුද්ධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද්ධ හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇති අතර ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක නොපසුබට වන බව තවදුරටත් දන්වා සිටිමි.

රජය, ආරක්‍ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය තමන්ගේ පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්‍ෂාව ඈඳාගනිමින් විවේචනය කිරීම සමස්ථ යුද්ධ හමුදාවම තරයේ හෙලාදකින අතර රටේ බුද්ධිමත් ජනතාවගෙන් මෙවැනි අවස්ථාවාදීන්ට කන්නොදී, තම රට ආරක්‍ෂා කරදුන් සහ රට නැවත යුද්ධයකට ගෙනයාමට ඉඩනොදී වෘත්තියමය හමුදාවක් වශයෙන් කටයුතු කරන ඔබගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි තවදුරටත් තම විශ්වාසය තබාගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු ෴

++++++++++++++++++++++++++++++++

ෆීල්ඩ් මාර්ෂල්ගෙන් හමුදාපතිට චෝදනාවක්
(10.09.2018 – 19:06 +0530 – hirunews.lk/sinhala)

හමුදාපතිවරයා විසින් රටේ බලධාරීන්ට නිසි තොරතුරු ලබානොදීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබදව ගැටළු මතු ව ඇතැයි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කැළණිය ප්‍රදේශයේ අද පැවැති වැඩසටහනකින් අනතුරුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යුද හමුදාව ඊයේ නිකුත් කළ නිවේදනය පිළිබදව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ වසර ගණනාවක සිට විශ්‍රාම ගොස් බාහිරව සිටින ඇතැම් නිලධාරීන්ට යුද හමුදාවේ යුදමය සූදානම ගැන සෑහීමකට පත් නොවන බවට ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

පෞද්ගලික හා දේශපාලන හේතූන් මත ජාතික ආරක්ෂාව විවේචනය කිරීම තරයේ හෙළා දකින බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් යුද හමුදාව සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *