දේශද්‍රෝහී ජේවීපී වල් පරයන් ගෙන් මව්බිම රැකගනිමු

ජවිපෙ පූසා අගලවත්තේ දී මල්ලෙන් එළියට
(10.09.2018 – facebook.com/jayasumanachanna)


මහාචාර්ය චන්න ජයසුමන මහතා

20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊනියා සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (2018 සැප්තැම්බර් 09 ඉරිදා) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පැවත්වී ඇත. එහිදී දෙමළ ජාතික සන්ධානයේ MA සුමන්තිරන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න අදහස් දක්වා ඇත. තිදෙනාම 20 ට පක්ෂව කතා කර ඇති බවක්ද දැනගන්නට ඇත. මෙහිදී වැදගත්ම දේ කටින් පැන ඇත්තේ ජයම්පති විශාරදයන්ගේ මුව කමලෙනි. “අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම අගනේ වුව ද ඒ අපහසුනම් 20 උනත් නරකම නැතැයි” වික්‍රමරත්න තෙමේ ප්‍රකාශ කර ඇත.

රටේ සම්මන්ත්‍රණ පවත්වන්නට ඕනෑ තරම් තැන් තිබියදී සිංහලයෝ සහ බෞද්ධයෝ 95% පමණ වෙසෙන [මා ද උපන්] පස්දුන් කෝරළයට මේ තිදෙනා පැමිණියේ කවර අරමුණකින්දැයි පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් දැන් එකක් සක්සුදක් සේ පැහැදිලිය. 20 යනු විධායක ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුවට දෙන, අහිංසක පාරිශුද්ධ සත්පුරුෂ යෝජනාවක් නොවේ; 2014 දී බටහිරට, ඉන්දියාවට, ජාතිවාදීන්ට, සිංහලවිරෝධීන්ට ලබා දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමේ උවමනාවෙන් ගෙන ආ දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී, අශිෂ්ඨ, කුපාඩි, කපටි නූල් සුත්තරයකි; නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි නිසා, ඒ නව ව්‍යවස්ථාවෙන් දීමට බලාපොරොත්තු වූ සියලු දොළපිදේනි සුක්ෂමව ලබා දීමේ අරමුණෙන් ගෙන ආ සැලසුම්ගහගත ලැජ්ජා නැති ලියවිල්ලකි. එදා මව්බිම නැතිනම් මරණය නමින් දහස් ගණනක් සිංහල තරුණ ජීවිත බිලිදුන් ජවිපෙ අද මේ සැරසෙන්නේ මහා නිහීන කටයුත්තකට ය. 20 මල්ලේ ඇත්තේ කුමක්දැයි ජාති හිතෛශීහු වසරක පමණ සිට පෙන්වා දුන්හ. එහෙත් උගත්, ප්‍රබුද්ධ, බුද්ධිවාදී බොහෝ දෙනා කෝ තාම එහෙම එකක් නැතැයි කීහ; මල්ල ඇතුල දැක්කද දැක්කද විමැසීය; තර්කයෙන් අගතැන් පත්, විචක්ෂණශීලී බවෙන් මුහුකුරා ගිය ශ්‍රී ලංකාවේ විශාලම රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයෝ මල්ලේ මාක්ස්ගේ පිළිමයක් ඇතැයි සේ සලකා 20 පුජාසනයක නැංවූහ.

ඕන් ජවිපෙ පූස් පැටියා අගලවත්තේදී එළියට පැනල; විගහට බලා ගන්න. මතුගම නලින්ද ජයතිස්ස (ජවිපෙ පරිමේන්තු මන්ත්‍රී ) කියනවා පූස් පැටිය හරී ප්‍රියමනාපයි, අහිංසකයිලු .

– චන්න ජයසුමන

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

20 ට එරෙහිව තවත් පෙත්සමක්
(10.09.2018 – 14:17 +0530 – lankacnews.com)

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා.

එම පෙත්සම ගොනුකර තිබුණේ රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින්.

මෙම සංශෝධනයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණේ පසුගිය 7 වනදායි.

ජනතාව විමුක්ති පෙරමුණ පසුගිය 05 වනදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා ෴

++++++++++++++++++++++++++++++++

විස්‌සෙන් දෙන්නේ ඊලමයි – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින්
(09.09.2018 – divaina.com)

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ජවිපෙ ආණ්ඩුවේම කොටසක් බැවින් මාස 6 ක් තුළ නොව සති 2 ක් තුළ අදාළ ඇමැතිවරයා/වරිය ඒ පිළිබඳව කටයුතු කිරීමට ඉඩ තිබේ. ඉන්පසු එය කැබිනට් මණ්ඩලය අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක. ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කළ යුතුයි, යන මුවාවෙන් හෙතෙම මෙම යෝජනාවට කාරක සභා අවස්ථාවේදී අනෙකුත් අනේකවිධ, එනම් ආණ්ඩුකාරවරයා මහඇමැතිගේ කැමැත්ත අනුව පත් කිරීම, සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම යනාදී සියලුම අගයන් එක්කොට තුනෙන් දෙකෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරනු ඇත. එසේ තුනෙන් දෙකෙන් සම්මත වුවහොත් ජනමත විචාරණයකින් තොරව රට ස්වාධීන පළාත් රාජ්‍යයන් 9 ට බෙදෙන අන්දම අප මීට පෙර මෙම පුවත්පත මගින්ම පෙන්වාදී ඇත. ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් මන්තී‍්‍රවරයා ළඟදීත් කියා සිටියේ ඔවුනට ‘ඒකීය’ නම හෝ ‘ෆෙඩරල්’ නම හෝ අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ පූර්ණ බලතල පමණක් බවත් ය. දැන් මේ සිදුවන්න යන්නේද එයයි. මෙම ලිපියෙන් ජනතාවට දන්වා සිටීමට අදහස් කරන්නේ වර්තමාන ජවිපෙ නායකයන් රට බෙදන නින්දිත කුමන්ත‍්‍රණයට දේශද්‍රෝහීන් ලෙස හවුල් වී ඇති අන්දමය. ඒ බව ජනතා විමුක්ති පාක්‍ෂිකයන් ද නොදන්නා බවට කිසිදු සැකයක් නැත.

එදා ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් දහස් ගණනක් දිවි පිදුවේ ඉන්දියාව විසින් අප වෙත බලෙන් පැටවූ 13 වැනි සංශෝධනයට විරුද්ධවය. එම 13 වැනි සංශෝධනයෙන් අපේ රට යම්කිසි ආකාරයකින් පෙඩරල් වුවද, එය මුළුමනින්ම පෙඩරල් වීම වළක්වාලීමට යම් යම් බාධක ඇතුළත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට හැකි වූයේද එම ජනතා විමුක්ති පෙරමුණේ බලවත් විරෝධය පෙන්වාලමින්ය. අද වර්තමාන ජ.වි.පෙ. පාලකයන් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා කිරීමට යන්නේ ජේ. ආර්. ජයවර්ධන විසින් දමා ඇති එම ‘බාධක’ ඉවත් කිරීමය. එවිට රට මුළුමනින්ම පෙඩරල් වීම වැළැක්විය නොහේ. එසේ නම් මෙම ජ.වි.පෙ. පාලකයන් අද කිරීමට යන්නේ එදා 13 ට විරුද්ධව තම වටිනා ජීවිත බිලිඳුන් දහස් ගණන් තරුණ / තරුණියන්ව නින්දිත අයුරින් පාවාදීම නොවේ ද? සැප්තැම්බර් 5 වැනිදා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රජයට විරුද්ධව කොළඹට ඇදෙන බවත්, එදින බොහෝවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ නොසිටින බව සමස්ත ජනතාවගේම අවධානය එදින එම උද්ඝෝෂණ කි‍්‍රයාවලියට බවත් සියල්ලන්ම දැනසිටි කරුණකි. ජවිපෙ මෙම අතිශය සංවේදී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ද සැප්. 5 වැනිදාය.

වර්තමාන ජනපති බලයට පත් වූ විගස එනම් 2015 වර්ෂයේ පෙබරවාරි 10 වැනි දින, උතුරු පළාත් සභාවේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති විසින්, ඉතා කුප‍්‍රකට යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී. එහි අඩංගු කරුණු කිහිපයක් ඉතා සැකෙවින් මෙසේය :

අ. මෙතෙක් පැවැති සියලුම ලංකා රජයන් ඉතා සැලසුම් සහගත ලෙස දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක් කරමින් සිටී.

ආ. සියලුම රජයන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් සැලසුම් සහගත ලෙස උල්ලංඝනය කරමින් සිටි අතර එහි කූටප‍්‍රාප්තිය වූයේ 2009 වර්ෂයේදීය.

ඇ. රජයේ අනුග‍්‍රහයෙන් දෙමළ ජනතාවට ලිංගික හිංසා සිදුවූ අතර සංස්කෘතිමය, භාෂාමය වශයෙන් ද ඔවුන්ට එරෙහිව විනාශකාරී ප‍්‍රතිපත්තීන් ගෙන යමින් තිබේ.

ඈ. දේශීය අධිකරණය කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති හෙයින් හමුදාව විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික යුද අධිකරණයට යොමු කළ යුතුය.

ඉ. එජා සංගමයේ මහලේකම්ගේ දරුස්මාන් වාර්තාවේ ද ගෝඨාභය රාජපක්‍ෂ සුදු වෑන්වලින් පැහැරගෙන යෑම සඳහන් කොට තිබේ. එවන් පැහැර ගෙන යෑම් සහ සරණාගත කඳවුරුවලදී ලංකා හමුදාව මගින් එහි සිටි කාන්තාවන්ට ලිංගික අපරාධ කර ඇති හෙයින් එයින් දෙමළ ජනතාව දැඩි මානසික පීඩනයට ලක්ව ඇත.

ඊ. මධ්‍යම පළාතේ දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් වඳ භාවයට පත්කොට තිබේ. 2007 වර්ෂයේදී ද ඇමරිකානු තානාපති කාර්යාලය විසින් දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් ගබ්සා කර ඇති බවට සඳහන් කොට තිබේ. උතුරේ හමුදා සාමාජිකයන් නිසා දෙමළ කාන්තාවන් නිරතුරුවම ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානමට ලක්ව තිබේ.

උතුරු පළාත් සභාව මෙම යෝජනාව අනුමත කරගත් පසු, අද වනතුරු, වරින්වර දෙමළ ජනතාවට වන අසාධාරණය සහ හමුදා ආක‍්‍රමණයන් / යුද අපරාධ සම්බන්ධ යෝජනා සම්මත කර ගනිමින් සිටී. මෙම යෝජනා කිසිවක් රජය විසින් ප‍්‍රතික්‍ෂේප කොට නොමැත. පළාත් සභාවක් මගින් සම්මත කර ගන්නා යෝජනාවන්ට රජය නිල වශයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ නැත්නම්, එසේ නැත්නම් පාර්ලිමේන්තුවේ හෝ එයට විරුද්ධව මතයක් ප‍්‍රකාශ නොකරන්නේ නම් එය පිළිගත්තා සේ සැලකේ. එසේ නම් ඉහත සඳහන් සියලුම දෑ වර්තමාන රජය විසින් වක‍්‍රව නොව සෘජුව පිළිගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය විසින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කරන කොන්දේසිවලින් එකක් වනුයේ එම පළාතේ ජීවත් වන ජනතාව, වසර ගණනක් තිස්සේ, නොකඩවා ලිංගික හා අනෙකුත් වධහිංසා, හිරිහැරවලට භාජනය වීමය. උතුරු පළාතේ විග්නේශ්වරන් එම කොන්දේසිය දැනටමත් සපුරා ඇත්තේ එසේය. එයට අපේ යහපාලන අඥාන පාලකයන් දායක වී ඇත්තේ මෙසේය :

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, පෙර සඳහන් කළ පරිදි, 13 වැනි සංශෝධනයට අන්තර්ගතකොට ඇති ‘බාධක’ වලින් සමහරක් වනුයේ ජනපතිගේ විධායක බලය පාවිච්චි කරන ආණ්ඩුකාරවරයාගේ තනතුර සහ සමගාමී ලැයිස්තුවයි. උදාහරණයක් ලෙස උතුරේ මහඇමැති රටට ‘අහිතකර’ නීතියක් ගෙන ආවොත් ආණ්ඩුකාරවරයාට ‘ජනපති විධායක බලය’ පාවිච්චි කරමින් එය හරවා හැරිය හැක. එසේ ම සමගාමී ලැයිස්තුවේ තිබෙන, පරිසරය, ඓතිහාසික නටබුන්, උසස් අධ්‍යාපනය, විවාහ / උප්පැන්න යනාදී විෂයයන් 36 ක් සම්බන්ධයෙන් නීති සෑදීමට පළාත් සභාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය. ජනපතිගේ විධායක බලය අහෝසි වුවහොත් ආණ්ඩුකාරවරයාට ප‍්‍රධාන ඇමැති අභිබවා යෑමට බලයක් නොලැබේ. තවද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ තිබෙන්නේ ආණ්ඩුකාරවරයා ප‍්‍රධාන ඇමැතිගේ කැමැත්ත අනුව පත් කළ යුතු බවය. මේ කරුණු දෙක එසේ වුවහොත් උතුරේ ප‍්‍රධාන ඇමැතිවරයාට ලැබෙන ‘බලය’ කොපමණ දැයි ඔබට සිතා ගත හැකිය. උතුරේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති දැනටමත් උතුරේ බුදුපිළිම ඉවත් කළ යුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි යයි. නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීමට තවමත් තහංචි පනවමින් සිටී. උතුරේ සිංහලයාට ජීවත් වීමේ අයිතියක් නැතැයි ප‍්‍රසිද්ධියේ කියයි. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කළ යුතු යැයි දිනපතා මොරදෙයි. ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් මේ කිරීමට හදන්නේ එවන් වූ විග්නේශ්වරන්ට උතුරේ නීති සෑදීම සම්බන්ධයෙන් පූර්ණ බලතල ලබාදීමය. ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ අඩංගු අනෙක් වැදගත්ම නිර්දේශය නම් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමය. එම කරුණු දෙක සම්බන්ධ බලය විග්නේශ්වරන්ට ලබා දුනහොත් උතුරේ සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවේ.

ජවිපෙ ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධන පනතට කාරක සභා අවස්ථාවේදී පෙර කී, නොකී සංශෝධන ගණනාවක් එකතු වනු ඇත. ප‍්‍රාදේශීය සභා පනතේ කාන්තා නියෝජනය කියමින් ගෙන ආ යෝජනාව අවසානයේ පාර්ලිමේන්තුවේ සම්මත වනවිට මුලින් නොතිබූ යෝජනා 323 අඩංගුව තිබූ බැව් සියල්ලන්ම දනී. මෙම පනතට ද සිදුවන්නේ එයමය. එවිට රට බෙදන, බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් තෘප්තිමත් කරන, ‘ඒකීය’ නාමය යටතේ රට මුළුමනින්ම පෙඩරල් කරන සංශෝධන ගණනාවක් සමග මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත තුනෙන් දෙකින් සම්මත කර ගැනීමට මොවුන් උත්සාහ කරනු ඇත. ජවිපෙ නායකයන් ජනතාවට කොලේ වසා එසේ කිරීමට තැත් කරන්නේ ‘විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුය’ යන ‘ආකර්ෂණීය’ සටන් පාඨය ඉදිරියට දමාගෙනය.

එසේ 2/3 න් එය සම්මත වූවා යැයි සිතමු. එවිට වන්නේ කුමක්ද?

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විගස උතුරු පළාත් සභාව (උදාහරණයක් ලෙස) තමන්ට අවශ්‍ය ජාතිවාදී නීති සියල්ලක්ම සම්මත කරගනු ඇත. එසේ ම පොලිස් බලතල සහ ඉඩම් බලතල වැනි සංවේදී බලතල කි‍්‍රයාත්මක කරනට සැරසෙන විට අනිවාර්යයෙන් එයට දකුණේ විරෝධය හට ගනු ඇත. ඊළම ලබා ගැනීම සඳහා තමන්ගේම ජනතාව සහ නායකයන් මරා දැමූ ප‍්‍රභාකරන් ‘වීරයෙක්’ යැයි උදම් අනන විග්නේශ්වරන්ට හමුදා සාමාජිකයන් පිටපටවමින් ජාතිවාදී කෝලාහලයක් වුවද ආරම්භ කිරීමට හැකියාවක් තිබේ. එවිට ලෝකයාට පෙන්වන්නේ තමන්ට පාර්ලිමේන්තුවෙන් ලබා දුන් ‘බලය’ පාවිච්චි කිරීමට ‘සිංහල’ ජනතාව එරෙහි වන බව සහ එයට එරෙහිව ‘දෙමළ’ ජනතාව ඝාතනය කරන බවය. එ.ජා.සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය මගින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් යනුවෙන් නම් කිරීමට අවශ්‍ය වන තවත් වැදගත් කොන්දේසියක් වනුයේ එම ජන කොට්ඨාසයට දී ඇති බලය පාවිච්චි කිරීමට ඉඩ නොදීමය. විග්නේශ්වරන් ඉතා සූක්‍ෂම ලෙස එම කොන්දේසිය සපුරා ගැනීමට යන්නේ එලෙසිනි. අපේ ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එයට උඩගෙඩි දෙන්නේ මේ අයුරිනි.

වෙනම රාජ්‍යයක් හෙවත් ‘ඊළමක්’ සඳහා වන අනෙකුත් කොන්දේසි නම් එම පළාතේ වෙනම ජන කොට්ඨාසයක් විසීමය. උතුරේ ජීවත් වූ සිංහල / මුස්ලිම් ජනයා අමු අමුවේ ඝාතනය කොට පලවා හැර ජනවාර්ගික ශුද්ධයක් කළේ ප‍්‍රභාකරන්ය. ඉන්පසු එහි ජීවත් වූ සිංහල / මුස්ලිම් වැසියන්ට නැවත එහි පදිංචියට ඉඩ නොදෙන්නේ විග්නේශ්වරන් ය. උතුරේ 99.9% ක් දෙමළ ජනතාව පමණක් ජීවත් වන්නේය යන අවශ්‍යතාව ද බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් සපුරා ඇත්තේ එසේය.

එසේ නම් ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එක්ව දියත් කරන්නා වූ මෙම දේශද්‍රෝහී කුමන්ත‍්‍රණය හමුවේ රටේ ජනතාව කළ යුත්තේ කුමක්ද?

අප විසින් කළ යුත්තේ කෙසේ හෝ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම වැළැක්වීමය. දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ 69 ක් පමණ සිටී. එසේනම් තව මන්තී‍්‍රවරුන් 7 දෙනෙක් නොවරදවාම මෙයට විරුද්ධ නොවන බව අප තහවුරු කර ගත යුතුය. තමාගේ පළාතේ මන්තී‍්‍රවරයාට කරුණු පහදා ඔහුට මෙයට පක්‍ෂව ඡුන්දය දීමෙන් වළක්වාලිය යුතුය. අද වන විට මූල්‍යමය අතින් ඉතාම ශක්තිසම්පන්න බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයකුටම රුපියල් මිලියන 300 බැගින් (එනම් ඩොලර් මිලියන 2 බැගින්) දීමට සූදානම්ව සිටින බව ආරංචි මාර්ග පවසයි. වසරකට ඩොලර් මිලියන 400 ක ආදායමක් ඇති ඔවුනට එය ඉතා සුළු දෙයකි. එසේ නම් මෙම ව්‍යවස්ථාව සංශෝධනයට පක්‍ෂව ඡන්දය දෙන සෑම මන්තී‍්‍රවරයෙක් ම මුදලට තම මාතෘභූමිය පාවා දෙන්නෙකි. ඔහුගේ බිරිඳ, දූපුතුන් මවුපිය ඥාතීන් සියල්ලන්ම මාතෘභූමිය පාවා දුන් කෙනකුගේ ඥාතීන් බවට පත් වේ. කරුණු එසේ බැවින් එම ඥාතීන්ගේ ද යුතුකම සහ වගකීම වනුයේ තම මන්තී‍්‍ර ඥාතිවරයා එම නින්දිත කි‍්‍රයාවෙන් වළකාලීමය.

කවුරු කෙසේ රට බෙදීමට වෑයම් කළත් දේශපේ‍්‍රමී ජනතාව සහ රණවිරුවන් එය දිවි පුදා හෝ වළකාලනු ඇත. එම ව්‍යායාමයේ දේශද්‍රෝහීන් කවුරුන්දැයි ජනතාවට තේරුම් යනු ඇත. එවන් වූ දේශද්‍රෝහීන්ට සහ එම පරම්පරාවට ස්වභාවධර්මය විසින්ම දඬුවම් දෙනු ඇත. මන්ද රට ආරක්‍ෂා කිරීමට වසර දහස් ගණනක් තිස්සේ දිවි පිදූ වීරයන්ගේ අනුහසට ස්වභාවධර්මයා ද සවන් දෙන බැවිනි.

– රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

++++++++++++++++++++++++++++++++++++

20 ට එරෙහි වු ගම්මන්පිලගේ පෙත්සම විභාගයට
(12.09.2018 – 18:09 +0530 – sinhala.adaderana.lk)

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම ව්‍යවස්ථාව 20 වන සංශෝධනය නැමති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පිරිස හමුවේ පෙත්සම් විභාගය පැවැත් විය.

එහිදී අදාල මන්ත්‍රී යෝජනාවට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම් සිදු කළේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ යෝජිත පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මඟින් වත්මන් ව්‍යවස්ථාව යටතේ පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනා කර තිබෙන බවයි.

ඒ හරහා විධායක බලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත බෙදී යාමේ අවදානමක් පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම සංශෝධනය මඟින් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කොට පළාත් ප්‍රධාන අමාත්‍ය වරුන්ගේ බලය ඉස්මතු වීමක් සිදුවූ බවත් මේ හරහා බලය බෙදී ගොස් රට ෆෙඩරල් පාලනය කරා යොමු වීමේ අවදානමක් මතුව තිබෙන බව දැන් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වැඩිදුර පෙත්සම් විභාගය හෙට දිනට කල් තැබුණි.

මෙම විභාගය සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන මෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර නීතිඥ පාලිත සේනාධීර ඇතුළු පිරිසක් විසින් අදාළ මන්ත්‍රී යෝජනා වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබු‍ණි ෴

++++++++++++++++++++++++++++++++++++++

ජවිපෙ දෙබිඩි පිළිවෙත ගැන ජානිපෙන් හෙළිදරව්වක්
(13.09.2018 – 21:45 +0530 – sinhala.adaderana.lk)

අද ‘විධායක ජනපති ධුරය අහෝසි කිරීම’ නැමැති ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය තොරොම්බල් කරමින් බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ජවිපෙ, 2010 දී සරත් ෆොන්සේකා නැමැති මිලිටරි නායකයා විධායක ජනාධිපති කිරීමට දඟලද්දී ඉහත සටන් පාඨය සඟවා තිබුණේ කොහේදැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්නකර සිටී.

අද (13) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය :

‘‘පසුගියදා උතුරු පළාත් සභාව ඉතාමත් භයානක, අන්තවාදී, ජාතිවාදී යෝජනාවක් සම්මත කරගනු ගනු ලැබුවා. එම යෝජනාව ගෙන එනු ලැබුවේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් විසිනුයි. ‘උතුරු පළාත ද්‍රවිඩ ජනතාවගේ නිජබිම බැවින් එහි සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කිරීම තහනම් කළ යුතුයි ’ කියලයි එම යෝජනාවේ සඳහන් වෙන්නේ.

මෙහිදී මතක් කළ යුතු තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. අද මේ ජනතා විමුක්ති පෙරමුණ ‘දූෂිතයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි’ කියා කියන විධායක ජනපති ක්‍රමය 2010 කර තබා ගෙන ගියේ ඔවුන් විසින්මයි.

සරත් ෆොන්සේකා නමැති මිලිටරි නායකයා ජනාධිපති කරන්න ජවිපෙ එදා උත්සාහ කළේ ‘විධායක ජනපති ධුරය අහෝසි කිරීම’ කියන එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය විසිකර දමලයි.

මෙමගින් තහවුරු වන්නේ ජවිපෙ දෙබිඩි පිළිවෙතයි. අද ජවිපෙ ඉටුකර දෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ, ඉන්දියාවේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවයි.

ඒ වගේම ඔවුන් අද ප්‍රභාකරන්ගේ නූතන ප්‍රකාශකයන් වන සුමන්තිරන්ලාට වේදිකා තනන්නන් බවට පත්ව අවසන්. පසුගියදා කළුතර දී බෙදුම්වාදී සුමන්තිරන්ලාට, ජයම්පති වික්‍රමරත්නලාට වේදිකා හැදුවේ ජවිපෙයි. එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දුන් තම සාමාජිකයන්ගේ සොහොන් කොත් මත අද ජවිපෙ පහරමින් සිටිනවා.’’

+++++++++++++++++++++++++++++++++++++++++

20 ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති
(13.09.2018 – 18:28 +0530 – lankadeepa.lk)

විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නමැති පුහු සද්දය මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

13 බලාත්මක කරලා බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ දෙන්න ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියොත් ඒක කරන්න නොලැබෙන නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නැයි ව්‍යාජ සටන් පාට හදන්නට පටන්ගෙන ඇතැයි ද අභයතිස්ස හිමියෝ කීහ.

ඡන්දයෙන් පත් කිරීම වෙනුවට ජනාධිපති පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා වී ඇති මෙම සංශෝධනය ගෙන එන්නට ඇති සියලු ඉඩ අහුරාලිය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.

මේ සංශෝධනයට විරුද්ධ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට එළියට බහින්නැයි ජනතා නියෝජිතයන්ට අභියෝග කළ උන්වහන්සේ එසේ එන ජනතා නියෝජිතයන් මල් මාලා දමා පිළිගන්නට ජනතාව සුදානම් යැයි ද පැවැසූහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ අද (13) පැවැති ජාතික විද්වත් භික්ෂු සංසදයේ සමනේසනා කතිකාවේ පළමු සැසියේ දී අදහස් දක්විමිනි ෴

++++++++++++++++++++++++++++++++++++++

මෛත්‍රි-රනිල් චන්ද්‍රිකා-ජවිපෙ ටීඑන්ඒ එකතු වී සිංහල බෞද්ධ රට විනාශ කරන්න හදනවා
(14.09.2018 – mawbima.lk)

උතුර නැඟෙනහිර ඇතුළු සියලු පුරාවස්තු රටේ ඒකීයභාවයේ සංකේතය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් ඒකීයභාවය ආරක්ෂා කරන්නට නම් මහ පොළොවේ ඇති ඓතිහාසික නටබුන් ආරක්ෂා කළ යුතු යැයි ජාතික හිමිකම් සංවිධානයේ නීති ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (13 දා) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ජාතික හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබූ එම මාධ්‍ය හමුවේදී බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය :

‘‘උතුරු – නැඟෙනහිර පළාත් තුළ දිගින් දිගටම බෞද්ධ විහාරස්ථාන, නටබුන් හා පෞරාණික ස්ථාන ඉලක්ක කරගත් සංවිධානාත්මක සංහාරයක් ඉතා ශීඝ්‍රයෙන් වෙනවා. එම සංහාරය ඉදිරියේ ආණ්ඩුව නිසොල්මන්ව සිටිනවා. ඒවා ආරක්ෂා කරන්න කිසිදු උත්සාහයක නිරත වන්නේ නැහැ.

මේ පුරාවස්තු සංහාරය නිසා රටේ ඒකීයභාවයටත්, භෞමික අඛණ්ඩතාවටත් නිවැරැදි කළ නොහැකි අභියෝග සිදු වෙනවා. උතුරු පළාත් සභාව විසින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම, බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය වළක්වන ආකාරයේ යෝජනාවකුත් සම්මත කරගෙන තිබෙනවා. ඒත් එවැනි යෝජනාවක් සම්මත කර ගැනීම නීති විරෝධීයි. රටේ පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දී තිබෙන මූලික අයිතිවාසිකම්වලට යටත්වයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක විය යුත්තෙ. රටේ පුරවැසියකුට උතුරට හෝ රටේ ඕනෑම ස්ථානයකට යෑමට එරෙහිව නීති හදන්න පළාත් සභාවේ මහ ඇමැතිට හෝ වෙනත් කෙනකුට හෝ අයිතියක් නැහැ.

මුලතිව්හි කුරුන්දන්කුලම අශෝකාරාම පුරාණ විහාරය සංරක්ෂණය කිරීමට උතුරේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කොට තිබෙනවා. ඒත් එම ස්ථානයේ තමයි ලංකාවේ ලියැවුණු අට්ඨකතා තුනෙන් එකක් වන’ කුරුන්දන් අට්ඨකතාව’ ලියැවිලා තියෙන්නෙ. ඛල්ලාටනාග, විජයබාහු සහ අග්බෝ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහයත් එම ස්ථානයට ලැබී තිබෙනවා.

මේ ආකාරයට පුරාවිද්‍යා ස්ථානවලට සිදු වන සංහාරය හුදෙක්ම පුරාවිද්‍යා ස්ථානවලට අභියෝග කිරීමක් විතරක් නෙවෙයි. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට එකතුවුණු මෛත්‍රි – චන්ද්‍රිකා කණ්ඩායමත්, රනිල් වික්‍රමසිංහ කණ්ඩායමත්, ජවිපෙ සහ ටී.එන්.ඒ. කණ්ඩායම් දෙකත් එකතු වෙලා මේ රටේ ඒකීයභාවය දිය කරලා හැරලා සිංහල බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන වෑයමේ කොටසක් ලෙසයි මේ සංහාරය හඳුනා ගත යුතු වෙන්නෙ. 2015 ජනවාරි 8 වැනිදා වැඩසටහනේ කොටසක් තමයි මේක.

අපේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරගන්න අපි උද්ඝෝෂණ සිදු කරනවා. 20 වැනි සංශෝධනයට, නව ව්‍යවස්ථාවට ආදී වශයෙන් කරන උද්ඝෝෂණවලින් ආරක්ෂා කරගන්න හදන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පිහිටුවන ලද ඒකීයභාවය. නමුත් මහපොළොවෙ ඒකීයභාවය ආරක්ෂා නොවී ආණ්ඩුක්‍රම ව්‍යවසථාවෙන් ඒකීයභාවය ආරක්ෂා වුණාට ප්‍රයෝජනයක් නැහැ.

අපි මාවිල්ආරුවලට ගොස් ඒකීයභාවය ආරක්ෂා කළා මෙන් කෝකිලායි, නයාරු ආදී ප්‍රදේශවලට ගොස් අපේ ඒකීයභාවය ආරක්ෂා කරන්න දේශහිතෛශී බලවේග පෙළ ගැසිය යුතුයි. අපේ උරුමය යටපත් කරන්න මෛත්‍රි – රනිල් වගේම ජවිපෙ, දෙමළ සන්ධානය ලෑස්ති වෙනව නම් අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා.’’

– දෙනගම ධම්මික රණවීර

+++++++++++++++++++++++++++++++++++++

20 ට අත උස්සන මන්ත්‍රිවරයකුට දෙමළ ඩයස්පෝරාව රු.මිලියන 300 ක් දෙනවා
(19.09.2018 – mawbima.lk)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට පක්ෂ වන මන්ත්‍රිවරුන්ට රුපියල් මිලියන 300 ක් බැගින් අල්ලස් දීමට දෙමළ ඩයස්පෝරාව සූදානමින් සිටින නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගැන අවිශ්වාසයක් පවතින බැවින් එම පනත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ගෙන නොයෑමට කටයුතු කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (18 දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරය සංවිධානය කළ එම මාධ්‍ය හමුවේදී සරත් වීරසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය :

‘‘ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ මන්ත්‍රිවරු හය දෙනෙක් පමණයි. 20 වැනි සංශෝධනය වැනි අතිශයින් සංවේදී පනතක් ඉදිරිපත් කරන්න ඔවුන්ට තනියෙන් බැහැ. ඒ පිටුපස රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයත්, දෙමළ සන්ධානයත් ඉන්නවා.

කළුතර ජවිපෙ වේදිකාවට නැඟලා 20 ගැන කතා කළේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන්. ජයම්පති වික්‍රමරත්න මුළු ජීවිත කාලය පුරාම මේ රට ෆෙඩරල් කරන්න දඟලන පුද්ගලයෙක්. චන්ද්‍රිකා ජනාධිතිනියගේ කාලයේ පැකේජයේ නිර්මාතෘ ඔහුයි. සුමන්තිරන් කියන්නේ එල්ටීටීඊයේ දේශපාලන සංවිධානයේ නියෝජිතයෙක්. රට ෆෙඩරල් කරන්න ඔහු සෘජුවම පෙනී සිටිනවා. එවැනි පිරිසක් තමයි මේ පනත වෙනුවෙන් පෙනී ඉන්නේ.

එදා ජවිපෙ මවුබිම නැත්නම් මරණය කිව්වා. 13 වැනි සංශෝධනය ක්‍රියාවට නංවනවට විරුද්ධව 65,000 ක් ජීවිත පූජා කළා. එම බලවත් විරෝධය නිසා තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට 13 සංශෝධනයෙන් රට බෙදීම වළක්වන්න බාධක ඇති කරන්න සිදුවුණේ. ආණ්ඩුකාරවරයාට බලතල දීම, විෂයයන් 36 ක් සම්බන්ධ සමාගම් ලැයිස්තුව වැනි බාධක ඇති කළත් අද එම බාධක ඉවත් කරන්න ජවිපෙ උත්සාහ ගන්නවා. ජීවිත පූජා කළ 65,000 ක් පමණ පිරිස නින්දිත අයුරින් පාවාදීමක් තමයි ජවිපෙ සිදු කරන්නේ.

වෙනම රාජ්‍යයක් කරා යන්න නම් වෙනම ජන සමූහයක් තිබිය යුතුයි. ප්‍රභාකරන් ඇතුළු පිරිස උතුරේ ජනවර්ග ශුද්ධයක් ඇති කළා. ඒ කරුණු සම්පූර්ණයි. වෙනම ප්‍රදේශයක් ඔවුන් පාලනය කරනවා. ඒකත් සම්පූර්ණයි. සමූල ඝාතනයට හෝ හිංසාවට ලක් විය යුතුයි කියලා තියෙනවා. උතුරු පළාත් සභාවේ පනත්වලින් දැනටමත් ඒක කර තිබෙනවා. තමන්ට දී තිබූ බලයක් ක්‍රියාත්මක කරන්නට නොදීම ඊළඟ කරුණයි. 20 න් කරන්න හදන්නේ ඒකයි.

20 සංශෝධනයෙන් එම බලතල ලබාදී ඒවාට දකුණෙන් උද්ඝෝෂණ ඇති වුණොත් එම කොන්දේසියත් සම්පූර්ණ වෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දන්වා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට අවකාශ සැලසෙනවා.

මෙලෙස ගෙනත් තියෙන 20 තුළ මතුපිටට නොපෙන්වන තවත් දෙයක් තියෙනවා. පළාත් සභා පනත ගෙනාවේ පිටු 4 කින්. ඒත් කාරක සභා අවස්ථාවේ පිටු 40 ක පනතක් ලෙසයි පාර්ලිමේන්තුවේ සම්මත කළේ. 20 මඟින් විධායකය අහෝසි කරනවා කියලා යෝජනාව ගෙනත් වෙනත් දෙයක් තමයි කාරක සභා අවස්ථාවේ කරන්න යන්නේ.

මේක ඡන්දයකටවත් ගෙන යා යුතු නැහැ. මන්ත්‍රිවරු ගැන අපට විශ්වාසයක් නැහැ. ඡන්දයකටවත් ගෙන යා යුතු නැත්තේ ඒ නිසයි.’’

නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ඩබ්.ජී. රුද්‍රිගු මහතා :

‘‘අද පවතින ආර්ථිකය 1987 දී 13 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවෙත් දුටුවා. විනිසුරුවරුන් 9 දෙනෙක්ගෙන් 5 දෙනකුගේ බහුතර තීන්දුවක් ලෙස එය ලබා දුන්නත් 4 දෙනෙක් විරුද්ධ වුණා. වනසුන්දර විනිසුරුතුමා එම අර්බුදය දුටුවා. උතුරේ දිස්ත්‍රික්ක 5 කට විශාල බලතල ලැබෙන බවත් කිව්වා. අනවශ්‍ය අය පලවා හැරීමට ඒ අයට පුළුවන් බවත් කිව්වා. 1990 දී වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයා වෙනම රටක් ප්‍රකාශ කිරීමෙන් එය තහවුරු වුණා. පසුගිය කාලයේ සර්බියාවෙන් කොසෝවෝ ප්‍රාන්තය වෙන් වුණා. ජාත්‍යන්තර අධිකරණයෙන් වෙන්වීමේ අයිතිය තිබෙන බව පැවැසුවා. ජනගහනයෙන් 20% ක්, භූමියෙන් 2/3 ක් තිබෙන බවත් උතුර මේ සංශෝධනය හමුවේ වෙන්වීම වළක්වන්න බැහැ.’’

+++++++++++++++++++++++++++++++++++++++

 Hiru Balaya – Episode 260 – 2018-09-20 (120 Min.s Video)

+++++++++++++++++++++++++++++++++++++++

20 ගැන ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු
(24.09.2018 – 20:51 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා :

‘‘ජනතා විමුක්ති පෙරමුණ මල්වත්තේ හාමුදුරුවන්ටත්, මාධ්‍ය සාකච්ඡාත් මේ සියල්ල තියලා රට හෙළි කළේ සම්පූර්ණ මුසාවක්. මේ විසිවන ව්‍යවස්ථාවේ අරමුණ මේ රටේ කවදාවත් ඡන්දයකින් දිනන්න බැරි අග්‍රාමාත්‍යවරයාට විධායක බලය සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරන්න. එක්සත් ජාතික පක්ෂය ජ වි පී එක පාවිච්චි කලේ බලල් අතක් විදිහට. මේක තමයි මේ රටේ මහජනාව දැනගතයුතුම ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි ප්‍රතිපත්තිය. මේ තියෙන්නේ – ජනතා විමුක්ති පෙරමුණේ ඔය විජිත හේරත් මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ දිවුරුම් පෙත්සමේ 4 වෙනි ජේදෙන් පැහැදිලිව කියනවා මේ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැත කියලා. ඊයේ මට මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුනේණේ කිහිප දෙනෙක් කතා කළා, මේක රටට හෙළි කරන්න එපා කියලා. දැන් මේ සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් තීන්දු ප්‍රකාශ කරයි. නිශ්චිතවම කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේක ප්‍රතික්ෂේප කරනවා. ඔබේ පරමාධිකාරී අයිතිය මේ රටේ තිබෙන පිළිගත් දේශපාලන පක්ෂ මේ විදිහට වංචා කරනකොට ඔබ දැනගන්න ඕනේ සංවිධානාත්මක අපරාධකාරයෝ ටිකක් රටේ පාර්ලිමේන්තුව විධායකය ඔවුන්ගේ ග්‍රහණයේ තබාගෙන දෙපයින් අධිකරණය පාගගෙන මේ රටේ ක්‍රියාත්මක වන්නේ මහා මංකොල්ලයක් බව.’’

+++++++++++++++++++++++++++++++++++++++++

20 ගේන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නැතිව උතුරට ස්වයං පාලනයක් දෙන්නයි
(03.10.2018 – mawbima.lk)

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවක් නැතිවම උතුරට ස්වයං පාලනයක් ලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

එවිට දුටුගැමුණු මහ රජතුමා වැනි ශ්‍රේෂ්ඨ නරපතියකුට මෙරට පාලන බලය ලැබුණද ඔහුටද කළ හැකි යමක් ඉතිරි නොවන බවද ඔහු පැවැසුවේය.

‘බෙදුම්වාදී 20 වැනි සංශෝධනය හකුළා ගනු!’ යන තේමාව යටතේ පසුගියදා නාත්තණ්ඩිය මහවැවදී ජා.නි.පෙ. පුත්තලම් දිසා සභාව සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ පැවැසීය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද සඳහන් කළේය :

‘‘අද මේ රටේ ආර්ථිකය හතර ගාතෙන් ඇදවට්ටලා තිබෙනවා. ස්වදේශික ගොවි ජනතාව, වෙනත් නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් අසරණ වෙලා තිබෙනවා. නවතම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙනවා, ‘දකුණු ආසියාවේ දුප්පත්කමින් කරවටක් ගිලී සිටින රටවල් දෙක අතර ශ්‍රී ලංකාව සිටිනවා’ කියලා.

ලංකාවේ විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් ඇමැති මලික් සමරවික්‍රම හා ඇමැති සුජීව සේනසිංහ පගා ඉල්ලපු බව දැන් අනාවරණය වෙලා තිබෙනවා. විදුලි දුම්රිය ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරුවකු ගෙනුත් පගාව ඉල්ලපු මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුවට පාවාදෙන ගිවිසුමක් අස්සන් කරලා සිංගප්පූරුවෙන් කොහොම පගාවක් ගන්න ඇතිද?

දැන් රට බෙදන්න, අස්ථාවර කරන්න, අපි උපන් රටේ අනාථයන් බවට පත් කරන්න වුවමනා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජ.වි.පෙ.ට දුන්නා අරගෙන එන්න. නමුත් මේක හැදුවේ ජ.වි.පෙ. නොවෙයි, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්, රට කෑලි 09 කට කඩනකම් නින්ද යන්නේ නැති ජයම්පති වික්‍රමරත්න හා තවත් සුරේෂ් නමැති එන්ජීඕකාරයෙක් එකතු වෙලයි මේක හැදුවේ. මේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණය අහෝසි කරන්නේ රනිල් වික්‍රමසිංහට කවදාවත් ජනාධිපතිවරණයකින් ජයගන්න බැරි නිසයි.

සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක් දෙනවා. ‘ඔයා ඔය පුටුවටම වෙලා පත්තරයක් බලබලා ඉන්න’ කියලා. විධායක බලතලවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයකින් දිනන්න බැරි රනිල්ට දෙනවා. ‘රනිල්ට බෑ’ කිව්වේ අපි නොවෙයි මංගල සමරවීර. අද රනිල්ට විතරක් නොවෙයි, මංගලට, සාගලට මේ සියලුදෙනාට ‘බෑ’ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂයට දෙන උදව්ව, මේ නාමල් කුමාර හඬපට සහිතව අනාවරණය කළ බරපතළම කරුණ වූයේ ‘ජනාධිපති – හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන තැත’ පිළිබඳ කරුණයි. ජනාධිපති මරා දැමුවොත් වැඩබලන ජනාධිපති වෙන්නේ කවුද? රනිල් (සභාවෙන් පිළිතුරු).

ඒ වගේම ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහගේ භයානකම ප්‍රතිවාදියා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. එහෙනම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මරා දැමුවොත් එහි වාසිය කාටද? රනිල්ට (සභාවෙන් පිළිතුරු). පසුගියදා පාර්ලිම්න්තුවේදී මේ ඝාතන තැත පිළිබඳ අප ප්‍රශ්න කරන විට, වෙනදා ‘ඇදගෙන නාන’ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පොලිසිය භාර ඇමැතිට ‘නාන්න දීලා’ පූස් පැටියෙක් වගේ හැංගිලා හිටියා. ඒ මේ වැඩෙන් වාසිය ලැබෙන්නේ එයාට නිසයි.

අනේ අම්මපා මෙහෙමත් ජනාධිපති කෙනෙක්. ‘මට කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ’ කියමින් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ‍දොස් කියපු මෙයා දැන් කියනවා. ‘මට අවසාන සති දෙකේ යුද්ධය කරන්න ආරක්‍ෂක ඇමැතිකම දීලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට ගියා’ කියලා. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා හා හමුදාපති සරත් ෆොන්සේකා යන දෙන්නත් රටේ හිටියේ නැහැ කියලා.

කමක් නැහැ. අපි ඔයා යුද්දේ කළා කියලා පිළිගන්නම්කෝ. ඔය සති දෙකේ තමයි යුද අපරාධ සිදු කළ කියලා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය චෝදනා එල්ල කළේ. ඉතින් ඔයා ඒ චෝදනාවත් භාර ගන්න. ඒ අනුව බැලුවාම ජිනීවා යෝජනාවෙන් එල්ල කළ යුද අපරාධ චෝදනාවලට වගකිව යුත්තේ අවසන් සති දෙකේ යුද්ධයට අණ දුන් ශ්‍රී ලංකාවේ හිටපු වැඩ බලන ආරක්‍ෂක ඇමැති මෛත්‍රිපාල සිරිසේන වීරයා.

++++++++++++++++++++++++++++++++++++++++++

විස්ස කුණු කූඩයට විසි කරමු – නලීන් ද සිල්වා
(14.10.2018 – divaina.com)

විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මටත් තේරුණා.

විස්ස ඉදිරිපත් කරල තියෙන්නෙ ජ වි පෙ. එය අනුර කුමාර ගෙනාව ද විජිත හේරත් හරි වෙන කවුරු හරි ගෙනාව ද කියන එක නොවෙයි ප‍්‍රශ්නය. ජ වි පෙ තමයි ගෙනාවෙ.

ජ වි පෙ ඔය සංශෝධනය ගෙනෙන විට දැනගෙන හිටියෙ නැද්ද එහි වගන්ති කිහිපයක්වත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව. මෙයට කලින් ජනාධිපති බලතල වෙනස් කිරීම පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් තිබුණ. ඒකෙත් කියා තිබුණෙ ඒ වෙනස කරන්න ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය කියලා. ජ වි පෙ නායකයන් ඒ ගැන දැන සිටියෙ නැහැ කියන්න බැහැ.

ජ වි පෙ විස්ස ඉදිරිපත් කළේ රනිල්, සුමන්තිරන් හා හකීම් වෙනුවෙන්. ඔවුන් බලයට පත්වුණෙම (සුමන්තිරන් ආණ්ඩුවෙ නැහැ කියල පඬි කතා කියන්න ඕනෙ නැහැ. දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් විපක්ෂයෙ අසුන් ගෙන සිටින ආණ්ඩුවෙ උදවිය) දෙමළ ජාතිවාදයට හා මුස්ලිම් ජාතිවාදයට අවශ්‍ය අන්දමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ කියන්නෙ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න. ඒ සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩල පිහිටුවලා පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සම්පාදන මණ්ඩලයක් බවට පත් කරලා වැඩ පටන් ගත්ත. ඒත් ඒක අමාරු වැඩක් බව කල් යන විට තේරුණා. මෙරට සිංහල බහුතරයට විරුද්ධව ව්‍යවස්ථාව දෙමළ හා මුස්ලිම් නායකයන් සතුටු කරන්න වෙනස් කරන්න බැහැ. සිංහල ජනමතය දේශපාලනඥයන්ට උඩින් ක‍්‍රියාකරනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න බැරි බව තේරුම් ගත්ත රනිල් සුමන්තිරන් හකීම් තුන් කට්ටුව ඊළඟට වෙනත් උපක‍්‍රමයක් හෙවුවා. ඒක තමයි විස්ස. පහුගිය දා හකීම් වැදගත් ප‍්‍රකාශයක් කළා. ඔහු කියා සිටියෙ ආණ්ඩුවක් බලයට පත් වෙලා අවුරුද්දක් ඇතුළත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න බැරි නම් එය පසුව කරන්න බැරි බව. ඒත් බටහිරයන් හා ඉන්දියාව ආණ්ඩුව පත්කර ගත්තෙ සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. ඒක කොහොම හරි කරන්න ඕන බව ආණ්ඩුව දැන සිටියා.

ජ වි පෙ ලවා විස්ස ගෙනාවෙ ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්න. විස්ස කියන්නෙ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බව දැන් පැහැදිලියි. අනුර කුමාර කියලා තිබුණ ජනමත විචාරණයක් පවත්වමු කියලා. ඒ අර ලාම්පු කළගෙඩි සෙල්ලමකට අත වැනීමක්. ආණ්ඩුවක් බලයේ ඉන්න විට ජනමත විචාරණයකින් ආණ්ඩුව පරාද කිරීම පහසු වැඩක් නො වෙයි. ජේ ආර් ඒක පෙන්නල දුන්න. රනිල් ඒක දන්නවා. රනිල් දන්න බොහෝ දේ අනුර කුමාරත් දන්නවා.

අද රනිල්ගෙ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ ජනමත විචාරණයක් පවත්වල, තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කරල, පාර්ලිමේන්තුවේ දි තවත් සංශෝධන ගෙනැල්ල විස්ස මගින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න. සිංහලයන් මෙයට ඉඩ දෙනවා ද? විස්ස මගින් ජනාධිපති බලතල නැති කරලා මහඇමැති බලතල වැඩි කරලා දහතුන්වැනි සංශෝධනය ඉක්මවා යන ඊනියා විසඳුමක් දෙමළ ජාතිවාදීන්ටත් මුස්ලිම් ජාතිවාදීන්ටත් දෙන්න යනවා.

නන්දිකඩාල් ජයග‍්‍රහණයෙන් ඊනියා දෙමළ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීල ඉවරයි. හමුදා විසඳුම් කියන්නෙත් දේශපාලන විසඳුම්. හමුදා ක‍්‍රියා කරන්නෙ ජනාධිපතිගෙ දේශපාලන නායකත්වය යටතෙ. නන්දිකඩාල් ජයග‍්‍රහණයට පස්සෙ දෙමළ ජාතිවාදීන් එක්ක කිසිම සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවෙ පරාජය වුණෙ දෙමළ ත‍්‍රස්තවාදය පමණක් නො වෙයි. 1833 සිට පැවත එන සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වුණා. අවශ්‍ය නම් දහතුනත් අහෝසි කරන්න පුළුවන්. එහෙත් අවාසනාවකට ඉන්දියාවෙ මෙනන් හා නාරයනන් (ට්‍රොයිකාව) සමග 2009 මැයි 21 වැනිදා අත්සන් කර එකඟ වුණු ලියවිල්ලක් අනුව දහතුන ක‍්‍රියාත්මක කිරීමටත් දහතුන ඉක්මවා යන විසඳුම් ගැන දෙමළ පක්ෂ සහ අනෙක් පක්ෂ සමග සාකච්ඡා කිරීමටත් ආණ්ඩුව පොරොන්දු දී තියෙනවා. එහෙත් මෙයට සිිංහල බහුතරය කැමති නැහැ.

මේ පටලැවිලිවලින් ගොඩ එන්න පුළුවන් එකම එක විධියකටයි. විස්ස කුණු කූඩයට විසි කරලා පොලිස් බලතල හා ඉඩම් බලතල නොදෙන ආකාරයට ව්‍යවස්ථාව සකස්කර ගන්න ඉඩක් තියෙන්නෙ සහ තවත් ප‍්‍රශ්න ගණනාවකට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නෙ රනිල්ගෙ ආණ්ඩුව වෙනස් කිරීමෙන් පමණයි. අද මෛත‍්‍රිපාල වෙනස් කරනවා කියන්නෙ රනිල් පළමුව තාවකාලිකවත් පසුව 2020 දක්වාත් ජනාධිපති කරන එක. රනිල්ගෙ ආණ්ඩුව වෙනස් කරන්න තියෙන එකම විධිය මහින්ද අගමැති කරලා ආණ්ඩුවක් පිහිටුවන එක. ජනාධිපතිට ඒක කරන්න පුළුවන්.

ඒ සඳහා මන්ත‍්‍රීවරුන් 113 දෙනකු ඉන්නව ද කියල අහන එක නොවැදගත් ප‍්‍රශ්නයක්. ජනාධිපතිට හිතෙනවා නම් තම මතය අනුව යම් අයකුට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙනව කියලා ඒ අය අගමැති ලෙස පත්කරන්න පුළුවන්. 2015 ජනවාරි 09 රනිල් අගමැති කමට පත් කළෙ මන්ත‍්‍රීවරුන් හතළිස් ගණනක් පමණක් සිටිය දී. මෛත‍්‍රීපාලට ඒ ක‍්‍රමය අනුගමනය කරන්න පුළුවන්. මහින්ද අගමැති කරලා ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සෙ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට එකතු වේවි. 2015 ජනවාරි 09 වැනි දාට පසු සිද්ධවූයේත් එයයි.

අද ඇත්තේ විස්ස පරාජය කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් නො වෙයි. විස්ස කුණු කූඩයට විසි කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒකට උත්තරයක් තියෙනවා. මහින්ද සියලූ ප‍්‍රශ්නවලට උත්තර සපයන විශ්වකර්මයකු නොවුණත් විසස කුණු කූඩයට විසි කරන්න පුළුවන් මහින්ද අගමැති කිරීමෙන්. එයට විවිධ පඬි කතා කියමින් විරුද්ධ වන්නන් විස්සටත් රනිල්ටත් සුමන්තිරන්ටත් හකීම්ටත් පක්ෂ අය. ජ වි පෙරමුණට පක්ෂ එතරම් පිරිසක් රටේ නැහැ.

– නලීන් ද සිල්වා

++++++++++++++++++++++++++++++++++++

අගමැති මහින්දට එරෙහිවීමෙන් ජවිපෙයේ සැබෑ මුහුණුවර හෙළිවෙලා

(02.11.2018 – mawbima.lk)

එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩුව විසින් රට අගාධයටම ඇද දමන විට නිහඬව සිටි ජවිපය ව්‍යවස්ථානුකූලව අලුත් අගමැතිවරයෙක් පත් කිරීමට එරෙහිව අද පාරට බැස ඇතැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

බැඳුම්කර වංචාව, මැතිවරණ කල් දැමීම, දේශීය සම්පත් විකිණීම, රණවිරුවන් දඩයම අසාධාරණ ලෙස බදු පැනවීම, අපනයන ආර්ථිකය විනාශ කිරීම නිසා රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට නොහැකි වීම වැනි ප්‍රශ්න හමුවේ මුනිවත රැකි ජවිපය ව්‍යවස්ථානුකූලව නව අගමැතිවරයෙක් පත් කිරීමට එරෙහිව පාරට බැසීමෙන් ඔවුන්ගේ සැබෑ ස්වරූපය රටටම ප්‍රදර්ශනය කළ බව වීරසේකර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

හෙතෙම මෙසේ පැවැසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් නාවල පාර රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන සම්බන්ධීකරණ කාර්යාලයේ ඊයේ (01දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය :

“ජනතා විමුක්ති පෙරමුණත් අද හැසිරෙන්නේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන අධිරාජ්‍යවාදී බටහිර රටවල් හැසිරෙන ආකාරයටමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අගමැතිවරයෙක් පත් කිරීමටත් අලුත් ආණ්ඩුවේ අය වැය සකස් කරගන්නා තුරු පාර්ලිමේන්තුව දින 11 කින් කල් දැමීමටත් එරෙහිව අද බටහිර රටවල් අපේ රටට බලපෑම් කරන්න පටන් අරන්. මීට පෙර හිටපු ජනාධිපතිවරු කොච්චර නම් පාර්ලිමේන්තුව කල් තියල තිබෙනවද? එතකොට ඔය කෑගහන රටවල් මුකුත් කීවේ නැහැ.

රනිල් වික්‍රමසිංහට පුළුවන් අගමැති පත් කිරිම නීත්‍යනුකූලද නැද්ද කියල අධිකරණයෙන් විමසීමක් කරන්න. එයා ඒක කරන්නේ නැතිව රටට ආණ්ඩුවට එරෙහිව බටහිර රටවල්වලට ගතු කියමින් නාඩගමක් නටනවා. ඔහු කවදාවත් අපේ රටේ අපේ සංස්කෘතියේ පය ගහල හිටපු කෙනෙක් නොවේ.”

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා :
“දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ විධායක බලය ලොකුවට අඩු වුණේ නැහැ. තිබූ බලතලවලින් එකක් දෙකක් හැරෙන්නට අනෙක් සියලු බලතල ඔහුට තාම තිබෙනවා. පාර්ලිමේන්තුවට අගමැතිවරයා පත්කරන්න බැහැ. ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කරල තිබෙනවා ජනාධිපතිවරයාට උපරිම විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව ඔහුට අගමැති කළ හැකි බව. නීත්‍යනුකූලව පත් කරන ලද අගමැතිවරයාට එරෙහිව කැරලි ගැසීම වරදක්.”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා :
“ජනාධිපතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් හොරෙන් කොටි ත්‍රස්තවාදී සංවිධානය සමඟ ගිවිසුම් අස්සන් කළා.
රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිව ‘හයිජැක්’ කරල එදා බලය ලබාගත්තේ කුමන්ත්‍රණකාරී ආකාරයකටයි.”

++++++++++++++++++++++++++++++++++++

ජවිපෙ කළ යුතුව තිබුණේ පරගැති ගමන තවත්වන්න සහාය දීමයි
(05.11.2018 – mawbima.lk)

එදා 2004 දී එ.ජා.ප.ය 132 ක බහුතරයක් සහිතව සිටිද්දී පාර්ලිමේන්තුව විසිර වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහ ඊට කණවැල ඇල්ලූ ජනතා විමුක්ති පෙරමුණට අද ජාතික ආණ්ඩුව විසිරී ගොස් තිබෙද්දී වත්මන් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ අගමැති පත්කිරීම සහ පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වීම විහිළුවක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා පවසයි.

පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු පක්‍ෂ කාර්යාලයේ ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව පැවැසීය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය :

“මෙසේ එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට ඒ සඳහා සහාය දීමට ජ.වි.පෙ.න් නායකත්වය දුන්නේ සෝමවංශ අමරසිංහ. නායකත්ව දීලා පමණක් එදා නතර වුණේ නෑ. චන්ද්‍රිකා කුමාරතුංග එදා බල කරනවා එවකට රට ස්වයං පාලනයක් දක්වා යන ගමන, ඊළම දක්වා යන ගමන, රට විකුණන, සංස්කෘතිය සදාචාරය විනාශ කරමින් එදා රනිල් වික්‍රමසිංහ රට ගෙන ගිය ගමන වහා නවත්වන්න කියලා. බිම් මට්ටමින් මතු වී තිබූ ජනතා උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙසත් ජ.වි.පෙ. එදා කළ ඉල්ලීම අනුවත් 2003 නොවැම්බර් 04 දා එවකට ජනාධිපතිනිය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවරා ගත්තා. ඒ විදියටයි විධායක බලතල පාවිච්චි කරලා අමාත්‍යාංශ 3 ක් පවරා ගත්තේ.

ඊට පස්සේ එතැනින් නැවතුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායකට එදා ජ.වි.පෙ. එතැනින් නතර වෙන්න ඉඩ දුන්නෙත් නැහැ. ජ.වි.පෙ. දිගින් දිගටම උද්ඝෝෂණය කළා. එවකට මංගල සමරවීර මහත්තයා දිගින් දිගටම මැදිහත් වෙලා 2004 පෙබරවාරි 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 ට, 132 ක් සහිතව අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසුරුවා හරිනවා. එහෙම කරලා 2004 පෙබරවාරි 12 නාම යෝජනා කැඳවා පෙබරවාරි 14 නාම යෝජනා අවසන් කරලා 2004 අප්‍රේල් 02 මහ මැතිවරණයක් කැඳෙව්වා.

එහිදී එ.ජ.නි.ස.යට ආසන 105 කුත්, රනිල් වික්‍රමසිංහගේ එ.ජා.ප.යට ආසන 83 කුත් ලැබෙනවා.

දැන් අපි ජ.වි.පෙ.න් අහන්නේ, අනුර කුමාර දිසානායකගෙන් අහන්නේ, විජිත හේරත් ඇතුළු මහත්වරුන්ගෙන් අපි අහන්නේ එදා විධායක බලතල පාවිච්චි කරලා ආසන 132 ක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර බලෙන් පවර ගන්නකොට ඒක ඔබතුමාලට අනුව ප්‍රජාතන්ත්‍රවාදියි. එදා නම් බහුතර ආණ්ඩුවක බලතල පවරා ගැනීම ඔබතුමාලට ප්‍රජාතන්ත්‍රවාදී වුණා නේද?

ඒ විදියට එහෙනම් එදා බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් විසිරුවා හැරීම ප්‍රජාතන්ත්‍රවාදී වුණේ කොහොමද? එහෙනම් එදා ඒක ව්‍යවස්ථානුකූලද? ඒක සදාචාරසම්පන්නද? අපි අහනවා අනුර කුමාර මහත්තයාගෙන් මේ ගැන.

ජාතික ආණ්ඩුවෙන් එ.ජ.නි.ස.ය ඉවත් වුණාට පස්සේ, ජාතික ආණ්ඩුව බිඳ වැටුණට පස්සේ, කැබිනට් එක විසිරුණාට පස්සේ, නව අගමැතිවරයෙක් පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් එදා ආණ්ඩුවට කළ දේ හරිද?

එහෙනම් එදා ඇයි ජ.වි.පෙ. ඒ ආණ්ඩුවේ ඇමැති ධුර පවර ගන්න, ආණ්ඩුව යන ගමන අඩාල කරන්න කියලා හිටපු ජනාධිපතිනියට බල කර සිටියේ?

ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි රනිල් වික්‍රමසිංහ වේළුපිල්ලේ පිරුබාහරන් එක්ක රට යටත් කිරීමේ ඊනියා ගිවිසුම් ගසමින් රට පාවා දෙමින් සිටියා. ඒ අනුව උතුරු – නැඟෙනහිර ස්වයං පාලන ආණ්ඩුවක් ගොඩනැඟෙමින් තිබුණා. වෙනම කච්චේරි ආරම්භ වෙමින් තිබුණා. වෙනම පොලිසි, වෙනම බැංකු ක්‍රමයක් ආරම්භ වෙමින් තිබුණා. වෙනම මුදල් නෝට්ටු අච්චු ගසමින් තිබුණා. වෙනම ඊළමක් ගොඩනැඟෙමින් තිබ්බා. එදා නායකත්වයෙන් යුතු ජ.වි.පෙ.ට දේශ ප්‍රේමීව මේක නැවැත්වීමේ වුවමනාවක් තිබුණා. අපි හිතනවා ඒක ලාල්කාන්ත සහෝදරයාට මතක ඇති කියලා.

ජ.වි.පෙ. හිටපු, ජ.වි.පෙ අදටත් ජාතිකවාදී දේශප්‍රේමී පක්‍ෂයක්ව තිබිය යුතු යැයි අදටත් කල්පනා කරන රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහ සමයේ පටන් ඒ ආකල්පය පෙරදැරි කරගත් සහෝදරවරු පිරිසක් එහි සිටිනවා කියලා අපි හිතනවා.

නමුත් දැන් ජ.වි.පෙ, අනුර කුමාර ඔළුවෙන් හිටවලා තියෙන්නේ. ආර්ථික අර්බුදයෙන් රට කරවටක් ගිලිලා ඉවරයි. රුපියල බරපතළ ලෙස කඩා වැටෙමින් අතුරුදන් වන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. රටේ දේපළ නොරටුන්ට එකින් එක විකිණෙමින් තිබුණේ. ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වෙමින් හමුදා බුද්ධි අංශ හිරේ විලංගුවේ වැටෙමින් තිබුණේ. හමුදා කඳවුරු ගැලවෙමින් තිබුණා. අධි ආරක්‍ෂිත කලාප කට්ටි කඩමින් මහවිරු පවුල්වලට බෙදා දෙමින් තිබුණා. රටේ මත්කුඩු සහ ගණිකා වෘත්තීය කර්මාන්තයක් ලෙස නැඟෙමින් පැවැතුණා. පාතාලය යළි හිස ඔසවමින් තිබුණා. ජනතාවට මුරුංගා කොළයි බතුයි කන්න සිද්ධ වෙලා තිබුණා. ජනතාව නොමැරී මැරෙන තත්ත්වයට පත් වෙමින් තිබුණා. රට මහා අර්බුද සුළියකට මැදිවෙමින් තිබුණා.

හරි නම් එදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බල කළා වගේ ජ.වි.පෙ. කළ යුතුව තිබුණේ පරගැති ගමන නැවැත්වීමට සහයෝගය ලබාදීමයි. ජාතිකවාදී, දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරයක් නම්, රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහ නායකත්වය සැපයූ ජ.වි.පෙ. අදටත් තියෙනවා නම් කළ යුතුව තිබුණේ මේ පරදේසක්කාර ආණ්ඩුවේ ගමන අඩාල කිරීමට මැදිහත් වෙන එකයි. ඒකට නෙවෙයි ඔවුන් අද මැදිහත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ රැකීමේ ව්‍යාපෘතියටයි ඔවුන් අද මැදිහත් වෙන්නේ. ජනාධිපති මෛත්‍රිපාල පාර්ලිමේන්තුව කල් තිබ්බේ දින 11 යි. නමුත් එදා චන්ද්‍රිකා කුමාරතුංග මාස 2 ක් කල් තිබබා.

එ.ජා.ප.යේ කුලී සේනාංකයක්, බටහිර කුලී සේනාංකයක් තත්ත්වයට අද ජ.වි.පෙ. පත්වෙලා.

ඒ වගේම මංගල සමරවීර මහත්තයාටත් මතක් කරන්න ඕන. එදා ඔහු ජ.වි.පෙත් එක්ක හිටගනිමින් තමයි අමාත්‍යාංශ පවරා ගන්න සම්බන්ධීකරණ කාර්යය කළේ. අද මේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර ‘විරෝධීයි – විරෝධීයි’ කියලා කෑගහන මංගල සමරවීරටත් ඒක මතක් කළ යුතුමයි” ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *