වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි

(10.09.2018 – 12:09 +0530 – lankadeepa.lk)

ඉපැරණි බෞද්ධ වෙහෙර සංකීර්ණයක් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින හෙයින් එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමට ඉඩ නොදිය හැකි බව පුරා විද්‍යා නිලධාරීන් සඳහන් කළේය.

නෙඩුන්කේනි වෙඩුක්කුනාරි ගල් තලාව පුරාවිද්‍යා භූමියක් බැවින් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහගත තත්වය නිරීක්ෂණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසට පුරාවිද්‍යා නිලධාරීන් මේ බව දැනුම් දුන්නේය.

නමුත් ප්‍රදේශවාසී දමිල ජනාතව කියා සිටියේ අදාළ ගල් තලාව පැවති ස්ථානය තුළ අතීතයේ පටන් ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් පැවති බැවින් අදාළ ස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදිකිරීමට අවසර ලබා දිය යුතු බවයි.

අදාළ කාරණය හේතුවෙන් වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන ඇති අතර, එම භූමිය තුළ කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නෙඩුන්කේනි ප්‍රදේශයේ විරෝධතාවයක් ද පැවත්වූහ.

ගැටලු සහගත ස්ථානය නිරීක්ෂණය වෙනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි.ලිංගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්වුහ.

එහිදී පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ පාරම්පරික භූමිය තුළ දෙමළ ජනතාවට කෝවිලක් ඉදිකිරීමට අවසරය ලබා නොදීම තමන් තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.

– රොමේෂ් මධුෂංඛ

**************************************

නාගරික සංවර්ධන අධිකාරයට 40 පිරීමට කෝටි 4 ක උත්සවයක්
(10.09.2018 – 15:53 +0530 – lankadeepa.lk)

නාගරික සංවර්ධන අධිකාරියට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් රුපියල් කෝටි හතරකට ආසන්න වියදමක් දරා සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රට තුළ බරපතල ආර්ථික අර්බුදයක් තිබියදී රුපියල් කෝටි ගණන් වැයකර මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වීම අපරාධයක් යැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ ලබන 27 වැනි දා පැවැත්වෙන ප්‍රධාන සංවත්සර උළෙලට පමණක් රුපියල් 19,400,500 ක මුදලක් වෙන් කිරීමට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ හතලිස් වසර සැමරීමට සාදන උපන්දින කේක් ගෙඩිය රුපියල් 50,000 කි. පිරිත් දේශනය, හීල් දානය හා අන්‍යාගාමික වැඩසටහන සඳහා ද රුපියල් 2,550,000 ක මුදලක් ද කොළඹ කිංස්බරි හෝටලයේ උත්සවයට තවත් රුපියල් 3,860,000 ක මුදලක් ද සමඟ රුපියල් 25960,500 ක මුදලක් සඳහා මෙලෙස අනුමැතිය දී ඇත.

මීට අමතරව තවත් අමතර වියදම් ප්‍රමාණයක් සඳහා ද අනුමැතිය ලබාදී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++

40 සමරන්න ජනපති ප්‍රේමදාස වසර 40 කට පෙර සිටවූ ගස් 6 ක් කපා දමලා
(10.09.2018 – 17:52 +0530 – lankadeepa.lk)

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මීට වසර 40 පෙරාතුව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ ගස් හයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් කපා දමනු ලැබ ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් රුපියල් ලක්ෂ විසිපහක් වැයකොට තොරණක් ඉදිකිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමට කියමින් මෙම ගස් හය කපා දැමූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

මීට වසර 40 කට පෙර නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම සිහිවනු පිණිස රෝපණය කළ ගස් හය වසර 40 සංවත්සරය වෙනුවෙන් කපා දැමීම දෛවෝපගත සිද්ධියකැයි ද හෙතෙම සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *