පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 1

(13.09.2018 – 19:31 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධය කියයි

ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ පිලිබදව අදහස් පලකලා.

+++++++++++++++++++++++++++++++++++++

16 කණ්ඩායමෙන් ජනපතිට අනතුරු ඇගවීමක්

(13.09.2018 – 18:44 +0530 – hirunews.lk/sinhala)

රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මේ බව සදහන් කළා.

මේ පිළිබඳව තමන් ජනාධිපතිවරයාද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++++

DIG නාලකට එරෙහිව පොලිසියෙන්ම පරීක්ෂණ

(13.09.2018 – 17:19 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති අනාවරණ කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා පිළිබදව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ පරීක්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දෙන ලෙස පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චෝදනා කළේ දුරකථන සංවාදයක් ද මාධ්‍යයට ඉදිරිපත් කරමින්.

මේ අතර, දූෂණ විරෝධී බලකාය විසින් මෙම සිද්ධියට අදාළව අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ද ගොනුකරනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

ජනපති හා ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් (13.09.2018)

+++++++++++++++++++++++++++++++++++++

ජනතාවට පොලීසිය ගැන විශ්වාසය නැති වෙලා

(14.09.2018 – 16:20 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ස්වාධීන කණ්ඩායමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ පාතාලය මෙහෙය වන්නේ පොලීසිය විසින් බවත් ආණඩුවේ නිල නොවන අලුගෝසුවා බවට පාතාලය පත්ව ඇති බවද ඒ මහතා පැවසීය.

ජනතාවට පොලීසිය පිළිබඳ ඇති විශ්වාසය නැති වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

+++++++++++++++++++++++++++++++++++++

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගැන, අගමැති වාර්තාවක් කැදවයි – පරීක්ෂණ CID යට

(14.09.2018 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර ඉදිරිපත් කළ දුරකථන සංවාදය සහ එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ද පොලිස්පතිවරයා නියෝග කළ බවයි.

+++++++++++++++++++++++++++++++++++++

මධුෂ්ට බාරදෙන්න ගිය නියෝජ්‍ය පොලිස්පතිගේ ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සුලමුල

(16.09.2018 – mawbima.lk)

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු කරන ලද කුමන්ත්‍රණයක් හෙළිවීම නිසා දේශපාලන අංශ තුළ මහත් ආන්දෝලනයක් පැනනැඟී තිබේ. මෙම ඝාතන ප්‍රයත්නයට අදාළ සියලු තොරතුරු මේ වන විට ජාතික පොලිස් කොමිසමට භාරදී තිබේ. එකී රහසිගත කරුණු හෙළි කරනු ලැබ තිබෙන්නේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසිනි. ඔහු මෙහිදී එකහෙළා ප්‍රකාශ කරන්නේ 2020 වෙනකොට ගෝඨාභය රාජපක්ෂට හෝ මෛත්‍රිපාල සිරිසේනට හෝ මාකඳුරේ මධුෂ් කියන පාතාල නායකයා යොදවා ‘කරන්න පුළුවන් දෙයක් කරන්න’ කියා ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමන්ට පැවැසූ බවය.

නාමල් කුමාර මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය :

‘‘ඔබ දන්නවා පසුගිය දිනවල මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් ගැටුමක් ඇතිවුණා. එම ගැටුමට සම්බන්ධ යැයි මහසොහොන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තා. එහිදී අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළේ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ නාලක ඩී. සිල්වා කියන නිලධාරියායි. මෙම අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී එය මානුෂීයව සිදුවුණා කියන තැනක මම නැහැ. ඒ වගේම මට කියන්න පුළුවන් මේ අත්අඩංගුවට ගැනීම් සිදු වුණේ මේ නිලධාරියාගේ පෞද්ගලික අභිමතාර්ථය උඩ බව.

මට එය ඔප්පු කළ හැකියි. මම රටේ ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් සාක්ෂි කීපයක් පමණක් ඔබට ඉදිරිපත් කරනවා.

මොහු ශ්‍රී ලංකා පොලිසියේ සිටින දූෂිත නිලධාරියෙක්. මම ඒ බව තේරුම් ගත්තේ දැනට වසරකට පමණ ඉහතදී. ජාත්‍යන්තර ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් මට එක් අවස්ථාවක තොරතුරක් ලැබුණා. මම පොලිස්පතිතුමාව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන එතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා මාව ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සම්බන්ධ කළා. ඒ අනුව මම ඔහු සමඟ කටයුතු කරන්න පටන් ගත්තා. රොහින්ග්‍යා සරණාගතයන්ගේ ප්‍රශ්නය ඇති වූ අවස්ථාවේ ඔහු මට කතාකර යම් යම් උදවු ඉල්ලා සිටියා. මම ඔහු සමඟ පරෙස්සමින් කටයුතු කළා.

මම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා මේ සිදුවීම්වලින් අපට තිබෙන ප්‍රයෝජනය කුමක්ද කියා. එවිට ඔහු පැවැසුවා තමාට යම් දවසක පොලිස්පති වීමට මේවා හේතු වන බව.

මම එතැනට ගියොත් අපි දෙන්නටම හොඳ බව ඔහු කීවා. මම කල්පනා කළා ‘රටේ නීතිය, සාමය ආරක්‍ෂා කිරීමට එතුමා මේවා කරනවා නම් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් පොලිස්පති වීමේ සිහිනය නිසා මේවා කරනවා නම් අපට ඒ ගැන නැවත හිතන්න වෙනවා’ කියා.

ඔබ දන්නවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යම්කිසි වපසරියක තමයි කටයුතු කරන්න සිදුවන්නේ. ඒ නිසා මේ පුද්ගලයා කුමන්ත්‍රණ දියත් කරනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා ඒ තනතුරින් ඉවත් කරන්න.

මා ළඟ ඒ පිළිබඳ සාක්‍ෂි තිබෙනවා. ඒ තොරතුරු අපි ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කරනවා.

ඊළඟට ඔහු මට කියනවා, ‘‘ජනාධිපති ගැන, අපට විශ්වාස කරන්න බැහැ. අපි අගමැතිතුමා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනෑ. 2020 දී ගෝඨාභය රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන දෙදෙනා එකතු වෙනවා. දැනටත් ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා. මේ වනවිටත් ජනපති, අගමැති දෙදෙනා අතර ගැටුමක් තියෙනවා.

අපට ජනාධිපතිතුමා විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ට ළං වෙනකොට ගෝඨාභය රාජපක්ෂට හරි මෛත්‍රිපාල සිරිසේනට හරි මාකඳුරේ මධුෂ් යොදවලා කරන්න පුළුවන් දෙයක් කරන්න’’ කියලා මට කිව්වා. එතැනදී මම ඇහුවා ‘‘මොන වගේ දෙයක් කරන්නද කියන්නෙ’’ කියලා. එවිට මට කිව්වා, ‘‘ඕනෑම දෙයක් කරන්න. මොකද ගෝඨාභය එක්කත් මධුෂ්ගෙ ප්‍රශ්නයක් තියෙනවා’’ කියලා.

ඒ වගේම මට කිව්වා, ‘‘මෛත්‍රි එක්කත් මධුෂ්ගෙ ප්‍රශ්නයක් තියෙනවා’’ කියලා. මම ඒ ගැන වැඩියෙන් විස්තර ඇහුවම ‘‘මධුෂ් කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල නායකයෙක්’’ කියා මට පැහැදිලි කළා. මධුෂ් මත්ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට පත්වෙලා අවුරුද්දක විතර කාලයක් අත්අඩංගුවේ සිටි බව කිව්වා. ඒ කාලේ මධුෂ් සමඟ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයක් ඇති කරගත් බවත් මධුෂ් ඩුබායිවලට ගියාට පසුත් ඒ සම්බන්ධකම දිගටම පවත්වාගෙන යන බවත් කිව්වා. මෛත්‍රිපාල සිරිසේන වර්තමානයේ මත්ද්‍රව්‍යවලට වැට බඳින නායකයා නිසා මාකඳුරේ මධුෂ් ඒ චරිතය විනාශ කරන්න පෙරමුණ අරගෙන සිටිනවා කිව්වා. ඒකට නාලක ද සිල්වා මහත්තයා සහයෝගය ලබා දෙනවා.

මේක කරන්න එතුමා මට කිව්වා. මම මෑත කාලෙ සම්බන්ධකමක් හදාගත්තා නැඟෙනහිර පළාතේ දේශපාලන නායකයෙක් එක්ක. ඔහුගේ නම පුෂ්පරාජ්. දෙමළ පක්ෂයකින් පළාත් සභාවෙ වැඩිම ඡන්දගත් පුද්ගලයෙක්. ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් මට මොහු ගැන සැකයක් ඇති වූ නිසා මම ඔහු ගැන නාලක ද සිල්වා මහතාට දැනුම් දුන්නා. එවිට එතුමා මට කිව්වේ ‘‘අපි විමර්ශන කටයුතු කරගෙන යමු. හැබැයි මඩකළපු හරි අම්පාරෙ හරි ජනාධිපතිතුමා යන වෙලාවක අපි ගහමු. ගහලා පුෂ්පරාජ්ගෙ පැත්තට අනිවාර්යයෙන්ම මේ කේස් එක දමමු’’ කියලයි. ‘‘අපට එහෙ සම්බන්ධකම් තියනවා. සාක්ෂි මොනව හරි ටිකක් එකතුකර ගන්නත් පුළුවන්. අපි මේ කේස් එක ඒ පැත්තට දමමු’’ කිව්වා.

මම හිතුවා මේක තවදුරටත් සඟවාගෙන සිටීම සුදුසු නැහැ. ඒ වගේම මම දන්නවා පසුගිය දවස්වල සිදුවූ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් වුණෙත් මේ විදියට තමයි. මම මා සතුව තියෙන තොරතුරු ඔබට කිව්වා. නමුත් හැම දෙයක්ම මම කියන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා. මට විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ ශ්‍රී ලංකා පොලිසියේ නාලක සිල්වා කියන්නේ පෞද්ගලික අභිමතාර්ථ අනුව වැඩ කරන චරිතයක් බව.

මොහුට විරුද්ධව අගොස්තු 29 දා පුවත්පතක ලිපියක් පළවුණා. නියෝජ්‍ය පොලිස්පතිගේ උපාධි සහතිකේ කොස්සක් කියලා. ඒ ගැනත් යමක් කියන්න ඕනෑ. ඔබ දන්නවා ප්‍රාථමික පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා නම් ඒ පුද්ගලයා මේ වනවිට වැඩ තහනමට ලක්වෙලා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙන්නෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබියදීත් මේ ප්‍රශ්නය ගැන මේ වනතුරු පියවරක් ගෙන නැහැ. කළ යුතු හොඳම දේ වැඩ තහනමට ලක්කර විමර්ශනයක් සිදුකිරීම. මෙතෙක් එය සිදුව නැහැ.

දැන් මා ඉදිරිපත් කළ කාරණා සම්බන්ධව මා සතුව තිබෙන සාක්ෂි කීපයක් මා ඔබට දෙනවා. අනෙක්වා පොලිස් කොමිසමට දුන්නාට පසුව තොරතුරු දැන ගැනීමේ පනතට යටත්ව ඔබට ලබා ගන්න පුළුවනි.

මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ මා සම්බන්ධවී මාස දෙකකට වඩා නැහැ. ඔහු මේ දේවල් මා සමඟ කීවේ ඇයිදැයි මා දන්නේ නැහැ. මා ඔහු ගැන සොයා බැලුවා. පොලිසියේ බොහෝ දෙනකු කියන්නේ ඔහු පිළිබඳ හෙළිදරව් කරන්න, ඒක රටට ජාතික වශයෙන් සිදුකරන ලොකු සේවයක්, පින්කමක් කියලායි. මොහු බොහෝ අයට පීඩා හිංසා කරන නිලධාරියෙක්. මම හැප්පෙන්නෙ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එක්ක.

මම මේකට අත ගහන්නෙ දිනන්න බලාගෙන. මම පැරදුණොත් මට වෙනදේ හිතා ගන්න පුළුවන්නෙ. මෙතැන මගේ ජීවිතයටත් ලොකු තර්ජනයක් තියෙනවා. මේ වගේ මිනිස්සු රටට හෙළිදරව් කරලා ජීවිතේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. රටට තියෙන පිළිලයක් නැති කරලා මැරෙන එක වටිනවා. අපි හරිදේ සාධාරණ දේ කරන්නේ. ‘අපේ ජීවිතයට කිසිම කෙනකුට වරදක් කරන්න බැහැ’ කියන විශ්වාසය මට තියෙනවා.

නාමල් කුමාර මහතා ප්‍රසිද්ධ කළ හඬ පටවල ඇසෙන දෙබස් මෙසේය :

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
මට අමතර වැඩ වැඩියි බං. දින 14ක් රට ගියානෙ. මම හිරවෙලා ඉන්නේ ඒකයි.

නාමල් කුමාර –
මම එක පාරටම බය වුණා. සර් ෆෝන් ඕෆ් කරලා. අමිත් වීරසිංහගෙ කේස් එකෙන් පස්සෙ සර්ට කේස් එකක් ආවද කියලා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
කේස් නම් ඇවිත් තිබෙනවා. එක එක්කෙනා මට මඩ ගහනවා. මම ඒවට බයත් නැහැ. මම ඒවා ගනන් ගන්නෙත් නැහැ. මම දවස් දාහතරක් රට ගිහින් හිටියා. දැන් ප්‍රශ්නයක් නැහැ. උඹට බැරිද මිනිහට විරුද්ධව හාමුදුරුවරු අතේ පත්තු කරන්න.

නාමල් කුමාර –
එස්.අයි.එස්. ලොක්කටද ?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔව්

නාමල් කුමාර –
කිසි ගැටලුවක් නැහැ. මට හරි තොරතුරු තමයි ඕනෙ සර්

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
මම තොරතුරු දෙන්නම්. කොහොම හරි එයාගේ අතේ යවන්න. කෙළින්ම පීචං කරලම දාන්න ඕනෙ. ඒ කියන්නේ අමිත් වීරසිංහ ගාවට මෙයා මිනිස්සු දාලා අමිත් වීරසිංහව අමාරුවෙ දැම්මෙ මෙයා කියන එක පත්තු කරන්න ඕනෙ. ඩී.අයි.ජී. නුවර නෙවෙයි ඩී.අයි.ජී. එස්.අයි.එස්. කියලා යවන්න ඕනෙ. බෞද්ධ සංවිධාන හරහා කතා පතුරවන්න. මෙයාගේ මිනිස්සු අමිත් වටකරගෙන ඉඳන් අමිත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කළේ මෙයා. එයා කළේ කොන්ත්‍රාත්තුවක් කියලා පතුරවන්න. අමිත් වීරසිංහ බින්දුවට දාලා අල්ලන තත්ත්වයට පත් කළේ මෙයා කියන්න. එවිට ඒ සෙට් එකම මෙයත් සමඟ තරහ වෙනවා.

නාමල් කුමාර –
මොකක්ද නම සර්? එයාගෙ මට නම මතක නැහැ.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
නිලන්ත ජයවර්ධන

නාමල් කුමාර –
අගමැතිවරයා එයාව විශ්වාස කරනවද සර්.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
අගමැතියි, ජනාධිපති දෙන්නම

නාමල් කුමාර –
ඒ දෙන්නම විශ්වාස කරනව නේද?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
හම්. ඔය ප්‍රචාරය ඇරියොත් එහෙම අගමැතිතුමා අතඅරිනවා ටක් ගාලා.

නාමල් කුමාර –
ලතිෆ් මහත්තයා ගැන මට දැනගන්න ලැබුණා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
එයා එස්.ටී.එෆ්. එකෙන් අයින් කරන්න ඕනෙ.

නාමල් කුමාර –
එයාට නාකොටික් එක තියෙනව නේද සර්.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
නාකොටික් කියන එකෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. එස්.ටී.එෆ්. එකෙන් අයින් කළා නම් ඔක්කොම බලය බිඳෙනවා. එස්.ටී.එෆ්. එකේ ඉන්න නිසා තමා එයාගෙ බලේ තියෙන්නේ.

නාමල් කුමාර –
මගේ යාළුවෙක් ඉන්නවා නාකොටික් එකේ. එයා කීවා පොලිස්පතිතුමා එස්.ටී.එෆ්. එකට දෙන ප්‍රතිපාදන නවත්තලා කියලා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඒක බොරු කතාවක්. දැන් මිනිසුන්ට එස්.ටී.එෆ්. භීතිකාවක් හැදිලා. දැන් අපිනෙ මහසොහොනා ඇල්ලුවේ. එස්.ටී.එෆ්. එක ගිහිල්ලද? නැහැනෙ. අපිට කරන්න පුළුවන්. පොලිසියෙ මිනිසුන්ට කරන්න පුළුවන්. එස්.ටී.එෆ් එකක් මොකටද? බොරු භීතිකාවක් හදාගෙන එස්.ටී.එෆ්. – එස්.ටී.එෆ්. කියනවා.

නාමල් කුමාර –
සර් කිව්ව ආකාරයට ෆේස්බුක් එකක් හදලා දාන්න ඕනෙ. අද ෆේස්බුක් එක තමයි හොඳම මාධ්‍යය. එක පැයෙන් මුළු රටම, ලෝකයම දැනගන්න පුළුවන්. බස් එකේ , ට්‍රේන් එකේ යන ගමන් වුණත් ඕන කෙනෙක් බලනවා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඕකට හදන්න බැරිද එකක්

නාමල් කුමාර –
බෑ සර්. මේකට හදන්න බැහැ. කට්ටිය දන්නවා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔය මැරුණු එක්කෙනකුගේ දෙන්නකුගේ නමට හදන්න බැරිද.

නාමල් කුමාර –
පුළුවන් සර්. ගොඩක් හදන්නේ එහෙමයි. තාක්ෂණයත් තියෙනවානේ.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ප්‍රවේශමෙන්. තාක්ෂණයත් තිබෙනවා. ඒ වගේම නීතියත් තියෙනවා. මඩ ගහන්න ගිහින් අන්තිමට ඇතුළෙ තමයි ඉන්න වෙන්නේ. මම ගහන්න ඕනෙ ඇමට් එක ගහලා ඉවරයි. ඒ ඇමට් එකට මූ ඉවරයි. නැඟිටින්න බැරිවෙන්නම ගහනවා. නමුත් මට මේක වෙන්න ඕනෙ. සාලිය රණවක සහ ඩෑන් ප්‍රියසාද් මුගෙත් එක්ක එකතුවෙලා ගමනක් යන්න යනවානේ. ඒක බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් මට ඕනෙ. ඒ කියන්නේ මම අරිනවා ෆේස්බුක් එකවුන්ට් එකක්. ඒ ෆේස්බුක් එකට මේ දෙන්නා කරන අලුගුත්තේරු වැඩ ගැන තොරතුරු දෙන්න ඕන. අපි ඒක දම්මල ගස්සනවා. ඊට පස්සේ මුන් දෙන්නා පීචං කරන්න ඕනෙ එන ඡන්දෙට ඉස්සරවෙලා. දෙන්නකුට තුන්දෙනකුට ගහන්න දුන්නොත් ගහන්න පුළුවන්ද?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
දැන් මාත් එක්ක සම්බන්ධකම් තියෙන්නෙ කවුද, උන් අල්ලනවා.

නාමල් කුමාර –
ඇත්තටම සර්ට බයකුත් ඇති.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
මට බයයි. බය නිසා තමයි අල්ලන්නෙ.

නාමල් කුමාර –
එස්.අයි.එස්. ලොක්කට හිතෙනව ඇතිනෙ සර් යම්කිසි දවසක එතෙන්ට එයි කියලා. ඒකනෙ එයා මොනව හරි ගේම් ගහලත් ඇතිනෙ.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
අනිවාර්යයෙන්ම, ගේම් නෙවෙයි හම්බ කරනවා. ඉන්දියාවෙ බුද්ධි අංශ තමයි එයාට ස්පොන්සර් කරන්නෙ. මම ඒව ඔක්කොම දෙන්නම් ඔයාට. ඉන්දියාවෙ බුද්ධි අංශ මෙයාට බිස්නස් එකක් සෙට් කරලා තියෙන්නෙ මෙයාව බලාගන්න. මිලියන ගාණක බිස්නස් එකක්. එයා රිටයර් වුණාමත් ඒ බිස්නස් එකෙන් ජීවත් වෙන්න පුළුවන්.

නාමල් කුමාර –
ඩී.අයි.ජී. නන්දන මුණසිංහ කියලා කෙනෙක් ඉන්නව නේද?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
එයා තමයි ලොකුම කරදරේ. බඩු පොට්වලින් හම්බු කරනවා. දූෂණ ගුහාවක්.

නාමල් කුමාර –
සීනියර් ඩී.අයි.ජී. කෙනෙක් නේද. මට මතකයි ගිය අවුරුද්දේ මේ කාලෙ හිටියා.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
එයා තමයි, අක්මීමන දයාරතනලට ඇප දෙන්න මූලික වෙලා වැඩ කළේ. මම ඔයාට කතා කළොත් ඔයා ෆෝන් එකට එන්න.

නාමල් කුමාර –
මගේ ෆෝන් එකටද සර්.

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔය මොබිටෙල් ෆෝන් එක ගඟට විසි කරලා දමන්න. හොයා ගන්න බැරි වෙන්නම ගඟට විසි කරන්න. ඒ ෆෝන් එකට වෙන සිම් දාලා කතා කරන්න එපා. මම ඔයාට වෙන ෆෝන් එකක් ලබන සුමානෙ ලැබෙන්න සලස්වනවා. අපේ ඔෆිස් එකට ෆෝන් 5 ක් විතර ගන්නවා. එයින් එකක් ඔයාට මම දෙන්නම්. සිම් එකකුත් දාලා. ඒ සිම් එකෙන් මට විතරක් කතා කරන්න. ඒ කතා කරන කොටත් ගෙදර ඉඳන් ගන්න එපා. කිලෝමීටරයක්වත් ඈතට ගිහින් ගන්න. ඔයා මතක තියාගන්න ඔයාගෙ පස්සෙන් දැන් එස්.අයි.එස්. එක ඉන්නවා. තාක්ෂණයෙන් බේරෙන්න කිලෝමීටරයක් ඈතට ගියාම ඉවරයි. එතකොට හොයා ගන්න බෑ. මමත් ඒ වගේම නොම්මරයක් තියෙන ෆෝන් එකක් ගන්නවා. එතකොට අපි දෙන්නට විතරක් කතා කරන්න පුළුවන්.

අනිත් එක තමයි මම කියන්න හිටියෙ ඇල්පිටියෙ ඉන්නවා නිහාල් තල්දුව කියලා එකෙක්. ඌ ඔය හාමුදුරුගොල්ල එක්ක හොඳටෝම ෆිට්.

නාමල් කුමාර –
පොලිසියෙ කෙනෙක්ද සර්?

නියෝජ්‍ය පොලිස්පති බව කියන පුද්ගලයා –
ඔව්, ඇල්පිටියෙ එස්.පී. එයා ඇවිල්ල බැසිල්ල, ගෝඨාභයල, බොදුබල සේනාව, ඔය කා එක්කත් හොඳටම ෆිට්. අන්න එයා ඔය සංවිධාන එක්ක තියෙන සම්බන්ධෙ ගැන තොරතුරු හොයල දෙන්න ඕන. එයා කට්ටියට දෙන පොලිස් උපදෙස්, නීති උපදෙස් මොනවද කියලත් හොයලා තියාගන්න. මතක තියාගන්න නම නිහාල් තල්දූව ෴

උදේනි සමන් කුමාර
මහනුවර – ගයා ශ්‍රී කාරියවසම්

+++++++++++++++++++++++++++++++++++++

මෛත‍්‍රී-ගොටා ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මීලග පොලිස්පති ධුරයට..

(15.09.2018 – 15:03 +0530 – lankacnews.com)

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ජනාධිපතිතුමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක යෙදී සිටින බවට සාක්ෂි ඉදිරිපත් වෙලා පැය 48 ට වැඩියි. මේ වන තුරු කිසිවෙකූ අත්අඩංගුවට අරගෙන නැහැ. භික්ෂුන් වහන්සේ නමකට විරුද්ධව චෝදනා එල්ල වුණා නම් රණවිරුවෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වුණා නම් විපක්ෂයේ දේශපාලකයෙකුට විරුද්ධව චෝදනාවක් එල්ල වුණා නම් ක්ෂණික විහිදුම් බලකාය වගේ ක්‍රියාත්මක වෙලා කුදලාගෙන ගිහිල්ලා කූඩුවෙ දානවා.

පොලිසියේ ඉහළ නිළධාරියෙකු වරදක් කළාම මුලින්ම කළ යුත්තේ වැඩ තහනම් කිරීමයි. ඊළගට වහාම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි. ඒ ඔහුට සාක්ෂි විනාශ කළ හැකි නිසා. සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි නිසා. ඉහළම පොලිස් නිලධාරියෙකු නිසා පරීක්ෂකයින් ටත් බලපෑම් කරන්න ඉඩ තියෙනවා.

ඒ විතරක් නොවේ. මේ නිලධාරියා කවට පොලිස්පතිගේ සමීපතමයෙක්. මොහුට විරුද්ධව විවිධ චෝදනා එල්ල වුණත් හැමදාම පොලිස්පති මෙයාව ආරක්ෂා කළා. දිගන සිංහල – මුස්ලිම් ගැටුමේ වරද මහසොහොන් බලකාය මත ‌‌බොරුවට පටවලා ඒ අයව අත්අඩංගුවට ගන්න කටයුතු කළේ නාලක ද සිල්වා. 2018 මාර්තු 7 වැනිදා පූජ්‍ය ආරච්චි කුඹුරේ සෝභිත හිමිගේ බඩට පා පහරක් එල්ල කළේ නාලක ද සිල්වා. අපේ රටේ බෞද්ධයෝ නැති නිසා නාලක ද සිල්වා බේරුණා. බෞද්ධ රටක මේක වුනානම් නාලක ද සිල්වා මෙලහකටත් ඇතුලේ.

මම අමිත් වීරසිංහ බැලීමට අනුරාධපුර බන්ධනාගාරයට ගිය වෙලාවේ ඔහු අපූරු දෙයක් මා සමග පැවසුවා. ඒ තමයි “දිගන සිදුවීම් පිටුපස ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශයක් දුන්නොත් පවුල පිටින් පිටරට පදිංචි වෙන්න අවස්ථාව ලබා දෙනවා ” යැයි පවසමින් නාලක ද සිල්වා විසින් අමිත්ට බලපෑම් කළ බව. මේ සිදුවීමෙන් පේන්නේ නාලක ද සිල්වා කියන්නේ ගෝඨාභය විරෝධී චරිතයක් බව.

මේ සෑම අවස්ථාවකම පොලිස්පති මැදිහත්වෙලා නාලක ද සිල්වා බේරාගත්තා. තමන් ගෙදර යන විට ඊළඟ පොලිස්පති ලෙස නාලක සිල්වා පත්කිරීමට පොලිස්පති කටයුතු කරමින් සිටින බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨයෝ අපට කියන්නේ. මේ පසුබිම යටතේ පූජිත ජයසුන්දර මහතා පොලිස්පති තනතුරේ සිටින තුරු මේ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුවේවි යැයි අප හිතන්නේ නැහැ. ඒ නිසා මේ පරීක්ෂණ ස්වාධීනව සිදුවීමට නම් වහාම පොලිස්පති ඉල්ලා අස් විය යුතුයි.

දෙව්දත්, අජාසත්ත කුමාරයාට කිව්වාලු ‘‘මම බුදුන් මරා බුදු වෙන්නම්. ඔබ පියා මරා රජ වෙන්න’’ කියලා. ඒ වගේ නාලක සිල්වා පොලිස්පති වෙන විට සිරිසේන ජනපති තුමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනාම මරලා රටේ ජනාධිපති වෙන්නේ කවුද? අපේ ව්‍යවස්ථාව අනුව ධූරකාලය මැද ජනපති ධූරය හිස් උනොත් ඊළඟ ජනාධිපති පත් කරන්නේ පාර්ලිමේන්තුව. මේ මොහොතේ පාර්ලිමේන්තු බහුතරය තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව පසුගිය අප්‍රේල් මාසයේ ඔප්පු වුණා. ඒ නිසා ජනපති ඝාතනයක වාසිය හිමි වන පුද්ගලයා ලෙස අගමැති තුමා දෙසටත් ඇඟිල්ලක් දිගු වෙන්න පුළුවන්. පොලිසිය තිබෙන්නේ එජාප ඇමතිවරයෙකු යටතේ. ඒ නිසා ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුවන බවට වගබලා ගැනීමේ වගකීමක් අගමැතිතුමාටත් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ අපේ රටේ රාජ්‍ය නායකයා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ අනාගත රාජ්‍ය නායකයා වෙන්න බොහෝදුරට ඉඩ තිබෙන පුද්ගලයා. රාජ්‍ය නායකයා රකින්න ඉන්න පොලිසියම රාජ්‍ය නායකයා විනාශ කරන්න කටයුතු කරනවා නම් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කුමන කතාද?

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව ?

+++++++++++++++++++++++++++++++++++++

15.09.2018

+++++++++++++++++++++++++++++++++++++

මෛත්‍රී සහ ගෝඨාභය ඝාතනයට මධුෂ්ට කොන්ත්‍රාත්තුවක්‌; අතිවිශේෂ හෙළිදරව්ව !

(16.09.2018 – divaina.com)

ශ‍්‍රී ලංකා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජීවිතවලට තර්ජන ඇති කරමින් සිදු කළ සැලසුම් පිළිබඳ ඉකුත් දින කිහිපයේදී කළ හෙළිදරව්වෙන් රටේ ආරක්‍ෂාවට තර්ජන ඇති බවට රාවයක් පැතිර ගියේය. ඊට අදාළ තොරතුරු සියල්ල සාක්‍ෂි ද සහිතව හුවාදැක්වීම පිණිස, එක් පුද්ගලයෙක් නැඟී සිටියේය. තමන් ත‍්‍රස්ත විමර්ශනයට අදාළ තොරතුරක් ශ‍්‍රී ලංකා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලබා දීමට ගොස් මෙවන් රාජ්‍ය විරෝධී කටයුත්තකට දායක වීමට සිදු වූ බවටද කරුණු පෙන්වා දෙමිනි.

මාධ්‍ය සැබැවින්ම ජනතාවාදීය. මානුෂීය ගුණයන්ට ප‍්‍රමුඛත්වය ලබාදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින වගට හොඳම සාක්‍ෂිය ඉකුත්දා දූෂණ විරෝධී ව්‍යාපාරයේ, අධ්‍යක්‍ෂ නාමල් කුමාර සපථ කළේය. ‘‘අදටත් මේ රටේ විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලයා මාධ්‍ය පමණයි. රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව වෙනුවෙන් මා දන්නා සියල්ල මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර සිටින්නේ ඒ නිසයි’’ ඔහු කියා සිටියේය.

ඔහුගේ වචනවලට අපි ගෞරවය දැක්විය යුතුය. රටක බලය නීතිය අතට ගෙන, රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව උදෙසා දිවි නොතකා කැපව සිටින රාජ්‍ය ආරක්‍ෂක නිලධාරීහු යම් අගතියක් සිදු කරන වගට කවුරුන් හෝ සාක්‍ෂි සහිතව කරුණු දක්වන්නේ නම්, ඒ වග මහජනතාවගේ දැන ගැනීම හා අවබෝධය පිණිස හෙළි කළ යුතුය. දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග කළ විශේෂ සාකච්ඡාව සවිස්තරාත්මක ලෙස ගෙන එන්නේ එබැවිනි.

වසර 2017 දවසක මම යනවා පොලිස්පති පූජිත් ජයසුන්දර මුණ ගැහෙන්න. රටට තර්ජනයක් ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මම ඔහුට තොරතුරු දෙනවා. ඒ මොහොතේ ඔහු මට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව හඳුන්වා දෙනවා. හඳුන්වා දී මාව ඔහුට භාර දෙනවා. මාස දෙකක් පමණ අපි තොරතුරු කතා කරනවා. වැඩ කරනවා ඉදිරියට යනවා. ඔය අතරේ ගල්කිස්සේ ගෙදරක බංග්ලාදේශයෙන් පැමිණි රොහින්යා නමැති ඉස්ලාමිය අනාථයන් පිළිබඳ හටගත් ප‍්‍රශ්නයේදී මගෙන් උදව් ඉල්ලනවා. මම උදව් කරනවා. එතනදී කියන කරන ඇතැම් දේ සමග මට ගැටලු මතු වෙනවා.

මම තොරතුරු ලබා දෙන්නේ රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම පිණිස පමණයි. නමුත් නාලක සිල්වා කටයුතු කරන්නේ අනාගත පොලිස්පති තනතුර අරබයා නම් ඊට රුකුල් දීම මගේ රාජකාරිය නොවෙයි. මේ කටයුතු පිළිබඳ දෙවරක් සිතිය යුතුයි කියා මට යළිත් සිතිවිල්ලක් එනවා.

මේ අතරතුර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මට කටයුත්තක් භාර දෙනවා. පොලිස් කොමිෂන් සභාවේ සමන් දිසානායක සහ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අණදෙන නිලධාරී වාකිෂ්ඨ කියන දෙන්නාගේ ගෝලයෝ දෙන්නෙක් වන වරකාපොල ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනකාන්ත සහ කොළඹ අපරාධ කොට්ඨසය භාර අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් යන අයට කොහොම හරි ගහලා නැති කරන්න ඕනෑ කියා මොහු කියනවා. දවසක් ඔහු රියදුරෙක් සමග මාව එක්ක ගෙන යනවා ප‍්‍රසන්න අල්විස්ගේ ගෙදර පෙන්වන්න. මොන විදිහෙන් හරි ඌට ගහන්න කියා ඔහු මට කියනවා. හරි මං කරන්නම් කියා පවසමින් මම එතැනින් ඇඟ බේරා ගන්නවා.

මොකද ඇත්තෙන්ම මට කාවවත් මරන්න හැකියාවක් නැහැ. මැරෙන්න යන කෙනෙක් බේරා ගන්නවා මිසක් මට මනුස්ස ජීවිතයක් නැති කරන්න තරම් හැකියාවක් නැහැ.

මේ අතර මහනුවර තෙල්දෙණියේ ගැටුම මතුවෙනවා. නාලක සිල්වා මට කතා කරලා කියනවා. ‘‘පොලිස්පතිතුමා කිව්වා පැය විසිහතරක් ඇතුළත අමිත් වීරසිංහ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියලා. නාමල් ඇවිත් මට උදව් කරන්න’’ කියනවා. මම අහනවා මේ අය අත්අඩංගුවට ගත්තොත් මොකද වෙන්නේ කියලා. එතකොට ඔහු කියනවා මේ වෙලාවේ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්ම අගමැතිතුමාගෙන් ලකුණු වැටෙනවා වැඩේට. කවදා හරි මම මේ රටේ පොලිස්පති වෙන්න ඒක ලොකු උදව්වක් වෙනවා කියලා මට කියනවා.

මම ඔහු සමග නුවර යනවා. මේ දවස් ටිකේම මම ඔහු සමග නුවර ඉන්නවා. මට ඇත්තෙන්ම ඒ සිද්ධිය සම්බන්ධයෙන්ම කනගාටුයි. විශේෂයෙන්ම කිවයුතුයි එහිදී අමානුෂික අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙන්නේ. සියැසින් දුටු සාක්‍ෂි දෙන්න මම ඕනෑම වෙලාවක ලෑස්තියි. පාරේ ගිය සාමාන්‍ය ජනතාව, කටුගස්තොට පාලම අසල හිටපු සාමාන්‍ය මිනිස්සුන් අත්අඩංගුවට ගත්තා. මම ඔහු සමග එක ළග සීට් එකේ හිටියේ, මගේ හදවතට දැනුන ඇත්තම වේදනාවට මම හිතුවා ඔහුට කවදා හෝ දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙන්න ඕනෑ කියලා. එතනදී ඔහු මා සමග තවත් හිතවත් වෙනවා.

ඉන් පස්සේ ඔහු මට කියනවා. මේ රටේ එස්ටීඑෆ් කියලා එකක් රටේ තියෙනවා. රටට එස්ටීඑෆ් එකක් අවශ්‍ය නැහැ. ඒ නිසා නියෝජ්‍ය පොලිස්පති එම්. අයි. ලතීෆ්ට මොනවා හරි දෙයක් කරන්න ඕනෑ. එයා නැති කරන්න ඕනෑ. ඒකට අවශ්‍ය කරුණු එකතු කරලා අගමැතිතුමාගේ හිතේ එස් ටී එෆ් එකා නැති කරලාම දාන්න ඕනෑ කියන අදහස ඇති කරන්න ඕනෑ. ඊට අවශ්‍ය ජනතා මතය මතු කරන්න වැඩපටන් ගන්න. එතකොට ත‍්‍රස්ත විමර්ශනයට වැඩ සේරම එනවා. කියා මොහු කියනවා.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂකගේ තනතුර අරන් මට ඒ පුටුවේ වාඩි වෙන්න ඕනෑ, ඒ නිසා නුවර ගැටුම සම්පූර්ණයෙන් ඇති කළේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂගේ උපදෙස් මත කියලා ජාතික වෙබ් අඩවි හරහා ප‍්‍රචාරය කරන්න කියා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මට උපදෙස් දුන්නා. මේවාට මා ළඟ සාක්‍ෂි තියෙනවා.

ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රන්මල් කොඩිතුවක්කු, නන්දන මුණසිංහ යන අය තනතුරුවලින් ඉහළට නොයන්න ව්‍යාජ හෝ සත්‍ය හෝ අසත්‍ය හෝ කුමන හෝ තොරතුරු සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දිගින් දිගටම ප‍්‍රචාරය කරන්න කියා මට උපදෙස් ලැබෙනවා.

මේ සියල්ල මා සමග සැලසුම් කිරීම සමගම ඔහුට මා පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන්න ඇති. මම ඔහු ඇසුරු කළාට මගේ යටි හිත නිතරම කියන්නේ ‘‘උඹ වැඩ කළ යුත්තේ රටේත් ජනතාවගේත් යහපත පිණිස පමණමයි’’ කියායි.

ඔය අතරේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට 2020 දී ජනාධිපතිවරණය පිළිබඳ ප‍්‍රශ්නයක් එනවා. ඒ තමයි ඔහුට තිබෙන ප‍්‍රබලම ප‍්‍රශ්නය. ඔහු හිතනවා ජනාධිපතිතුමායි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයායි දැන් එකතු වෙලා ඉන්නේ. මේ දෙන්නා එකතු වුණොත් ප‍්‍රබල බලයක් ඇති වේවි කියලා ඔහු හිතනවා. බලය පිහිටුවන්න හැකි වෙනවා කියාත් ඔහු හිතනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයාටත් ඔහු පක්‍ෂග‍්‍රාහීයි. අනෙක් සියලුම ප‍්‍රබල පොලිස් නිලධාරීන්ට මොහු විරුද්ධ බවට සාක්‍ෂි මා ළඟ තියෙනවා.

‘‘දැනට මුකුත් ප‍්‍රශ්නයක් නොවුණත් වසර 2020 දී අපට ලොකු ප‍්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ නිසා 2020 කිට්ටු කරලා අම්පාරට හෝ මඩකලපුවට ගෝඨාභය රාජපක්‍ෂ හෝ මෛත‍්‍රීපාල සිරිසේන යන්න ලෑස්ති වෙද්දී මම විස්තර කියන්නම්’’ කියා ඔහු මට කියනවා.

මම ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සම්බන්ධ වෙන්නේ රටේ වැදගත් සිද්ධියකට අදාළ තොරතුරු දෙන්න. එම කටයුත්තේදී මම මගේ අවංකභාවය මත විශ්වාසය තහවුරු කරලා මා සමග ද්‍රවිඩ අංශයේ නායකයෝ සම්බන්ධ වෙලා ඉන්න අන්දම පිළිබඳව විමර්ශන ඒකකයට ත‍්‍රස්ත තොරතුරු ලබා දෙනවා. නමුත් කල දුටු තැන වළ ඉහගන්නා සේ නාලක සිල්වා ඉන් ප‍්‍රයෝජන ගන්නවා.

මම ඩයස්පෝරාව හරහා ද්‍රවිඩ අංශයේ නායකයෝ කිහිප දෙනෙක් සමග සම්බන්ධ වී සිටිනවා. ඒ අතරින් නැගෙනහිර පළාතේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී පුෂ්පරාජ් සම්බන්ධ වෙනවා. ඒ බව නාලක සිල්වා දන්නවා. ඔහුත් සම්බන්ධ කරගනිමින් 2020 දී උවමනා වුවහොත් ගෝඨාභයට එරෙහිව පවුරු බඳින්න නාලක සිල්වා පුෂ්පරාජ්වත් යොදා ගන්නවා. ඒ සම්බන්ධයෙන් ඔහු මට මෙහෙම කියනවා.

‘‘2020 දී ගෝඨාභය සහ මෛත‍්‍රී එක්ව බලයට එන්න උත්සාහ කළොත්, කළ යුතු කටයුතුවලට පුෂ්පරාජ්ගේ සහාය අපට අවශ්‍ය වෙනවා. ඒ නිසා පුෂ්පරාජ්ගේ සම්බන්ධය දිගටම පවත්වාගෙන යන්න’’ කියා කියනවා. ඔහු මට මාකඳුරේ මදුෂ් සම්බන්ධ කර දෙන බව කිහිප විටක්ම කී නිසා මා ඔහුගෙන් ඇහුවා මාකඳුරේ මදුෂ් ඔබතුමා සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියා. නාලක සිල්වා කියා සිටියා, ‘‘මාකඳුරේ මදුෂ් දැනට අවුරුදු කිහිපයකට කලින් යම් සිදුවීමකට අත්අඩංගුවට පත්වුණා. වැඩිදුර විමර්ශන සඳහා ඔහු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර වුණා. ඔහු මගේ භාරයට පත් වූවාට පසුව මාත් ඔහුත් අතර හොඳ හිතවත්කමක් ගොඩනැඟුණා. ඒ නිසා මදුෂ් මං කියන දේ අහනවා. මම මදුෂ්ව නාමල්ට මුණගස්වන්නම්’’ කියා ඔහු කියනවා.

‘‘දැනට මදුෂ් ඉන්නේ ඩුබායිවල ඒකේ ගැටලුවක් නැහැ. මම උඹට සම්බන්ධ කරන්නම්කො’’ කියා ඔහු කියනවා.

මට තිබුණ ලොකුම ගැටලුව මධුෂ් ගෝඨාභය මහත්තයාට හෝ මෛත‍්‍රි ජනාධිපතිතුමාට ගහයිද කියන කාරණය. මම ඒ ගැන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් ඇහුවා.

ඔහු කියනවා. ‘‘මධුෂ් කොහොමත් ගෝඨාභය රාජපක්‍ෂ සමග විරෝධතාවක ඉන්නවා. මොකද ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක තිබුණ තරහක් නිසා. මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා කියන්නේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැට බඳින රටේ ප‍්‍රධානියා නැත්නම් නායකයා නිසා ඒ තරහා ඔහුගේ හිතේ තියෙනවා. මේ ගැන උඹ හිතේ තියා ගනින්. මධුෂ් ඕනෑම වැඩක් කරන්න පැකිලෙන්නේ නෑ. ගෝඨාභය හෝ මෛත‍්‍රි මඩකලපුවට යන වෙලාවක උඹත් පලයං මං මධුෂ් ලෑස්ති කරලා එවන්නං මධුෂ් හරහා ගහපන්. ඉන් පස්සේ මේ කේස් එක දානවා පුෂ්පරාජ් පිට එතකොට කේස් එක ත‍්‍රස්ත විමර්ශනට එනවා. ත‍්‍රස්ත විමර්ශනයේ සිද්ධවන දේ මම බැලන්ස් කරනවා’’ කියා ඔහු කියනවා.

ඔබ මෙවැනි හෙළිදරව්වක් කරන්නේ ඇයි?

මේ පුද්ගලයා සම්බන්ධ වෙලා ගිය මාසේ 29 දා ජාතික පුවත්පතක ප‍්‍රවෘත්තියක් පළකරවනවා ‘‘නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපාධි සහතිකය කොස්සක්’’ කියලා. ඒ මේ පුද්ගලයා ගැනයි. පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙන්නෙක් සහ පොලිස් අධිකාරීවරයෙක්. ඒ අය නමින් පැමිණිලි ඉදිරිපත් කරනවා නම් ඔවුන් බොරු කියන්නෙ නෑ කියන විශ්වාසය අපට එනවා. අඩු අධ්‍යාපනයක් ඇති අයෙක් කූට ලේඛන හදලා ඇති කියලා අපට දැනෙනවා.

මේ වගේ පුද්ගලයෙක්, ත‍්‍රස්ත විමර්ශනයට අදාළ ප‍්‍රධානියෙක් ලෙස කටයුතු කිරීම සමස්ත රටටම, රටේ ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක්.

වසර තිහක් පැවැති යුද්ධය අවසන් වෙලා සාමය ස්ථාපිතව ඇති බව කීවත්, නැවත යුද්ධයක් ඇති නොවෙන්නය කියා ස්ථිරසාර සහතිකයක් කොතැනකවත් නැහැ.

ඒ නිසා මේ කරුණු රටට හෙළි කරලා අදාළ පාර්ශ්ව දැනුවත් කරලා පැමිණිලි කරලා, වරදක් ඇත්නම්, සාක්‍ෂි මත සනාථ කරමින් ඔහු වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක කරලා මෙවන් වගකිව යුතු තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත් කරලා සැබෑ යහපාලනයකට රට ගෙනයෑමට උදව් දීම පමණයි මගේ බලාපොරොත්තුව.

ත‍්‍රස්ත විමර්ශන කොටඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමග ඔබ සම්බන්ධවී සිටින්නේ රටේ පොලිස්පතිවරයා නිසා නම් ඇයි ඔබ මේ වගක් ඔහු සමග නොකියන්නේ ?

මේ ඉන්නේ තාත්තායි පුතායි. තාත්තා මාව පුතා වෙතට යොමු කරනවා නම්, පුතාගේ වරදක් තාත්තා දකීවිද?

මේ රටේ මාධ්‍ය කියන්නේ අංක එකට විශ්වාසවන්තම ආයතනයයි. ඒ නිසායි මා මුලින්ම මේ ගැන මාධ්‍ය වෙත කියා සිටින්නේ. පුද්ගලයෙකුගේ ආරක්‍ෂාව වෙනුවෙන් මාධ්‍ය අදටත් පෙනී සිටිනවා. ඒ හැර වෙන කිසිවෙක් ගැන විශ්වාසයක් නැහැ.

මේ නිසා ඔබේ ජීවිතයට තර්ජන එන්න පුළුවන්. එය ඔබට ගැටලුවක් නෙවෙයිද?

මගේ ජීවිතයට තර්ජන එන්න පුළුවන්. නමුත් මේ ප‍්‍රකාශ කොට සිටින්නේ සම්පූර්ණ සත්‍යය. ඒවාට සාක්‍ෂි ඉතා පිළිවෙළට මා සතුව තිබෙනවා. මේ රට වෙනුවෙන්, එහි වෙසෙන නායකයින් වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මා දන්නා සත්‍යය මට හෙළි කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. එතන තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ආරක්‍ෂා වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් අපි නිවට සිංහලුන් සේ පොළොවට පස්වෙලා යාවී.

ඔබ පූජිත් ජයසුන්දර මහතා මුණ ගැසෙන්නේ, ඔහු පොලිස්පති තනතුරේ සිටියදීද?

නැහැ. මම 2011 වසරේදී පූජිත් ජයසුන්දර මහතා හඳුනාගන්නවා මහනුවරදී. මහවෙල පොලිසියේ ස්ථානාධිපති සාරනාත් සමරසිංහ මහතා කටයුතු කරන වකවානුවේ මාතලේ මහවෙල සිදු වූ සිද්ධියකට අදාළ සත්‍ය සාක්‍ෂි මා සතුව තිබුණා. මාතලේ මහවෙල හතමුණ ගාල ගමේ කළු සුදා කියන පුද්ගලයා දැනට වසර විසිතුනකට කලින් තමන්ගේ තාත්තා මෝල්ගහකින් ගහලා මරනවා. මරලා අඹංගඟට දානවා. එම සිද්ධියට අදාළ සාක්‍ෂි මා සතුව තිබෙනවා. අපරාධකාරයා නිදැල්ලේ ඉන්නවා. එය මහා අපරාධයක් කිව්වාම, එවකට මාතලේ මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිවැරදි විමර්ශනයක් සිදු කර වරදකරු අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරනවා. මා එහිදී බෙහෙවින්ම ඔහු ගැන පැහැදෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා දෙනවා. ඔහු සමග සම්බන්ධය තියා ගත්තා.

ඉකුත් වසරේ මම යළිත් ඔහු මුණ ගැහෙන්න යනවා රටට තර්ජනයක් වන සිද්ධියකට අදාළ තොරතුරු ලබා දෙන්න. ත‍්‍රස්තවාදය, සම්බන්ධ සැකකටයුතු සිද්ධියක් වන ‘‘ප‍්‍රභාකරන්’’ චිත‍්‍රපටයට අදාළ තොරතුරක් තමයි එය. ශ‍්‍රී ලාංකිකයකු වන තුෂාර පිරිස් ප‍්‍රංශයේ සිට ‘‘ප‍්‍රභාකරන්’’ නමින් චිත‍්‍රපටයක් සකසනවා.

අවුරුද්දකට පමණ පෙර සමාජ ජාලා වෙබ් අඩවියකින් අපි මිත‍්‍රයින් වෙනවා. තොරතුරු කතා කරනවා. තුෂාර දවසක් කියනවා. සිංහල දෙමළ මිනිසුන්ට ප‍්‍රශ්න තියෙනවා. නැගෙනහිර පළාතේ දෙමළ උදවියට ප‍්‍රශ්න වැඩිපුර තියෙනවා. අපි එකතු වෙලා වැඩක් කරන්න ඕනෑ මොකද මුස්ලිම් ජනතාව නිසා තමයි ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මුස්ලිම් අයට ගහමු මං ආයුධ එවන්නම්. මෙහෙ ඉන්න උදවිය සම්බන්ධ කරලා පල්ලිවලට මුස්ලිම් නිවාසවලට ගහන්න කියා ඔහු කියනවා. ඒ සැලසුම හදන්න මට භාර දෙනවා. මම හා කියන වචනය දීලා කල්පනා කරනවා. ඔහු ප‍්‍රංශයේ ඉඳන් වචන කිව්වාට මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ අපේ ශ‍්‍රී ලාංකික අය කියන හැඟීම මට එනවා.

එම සිතිවිලි සමඟම මම පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා මුණගැසී මේ වග කියනවා. එතනදී ඔහු මාව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අණදෙන නිලධාරී නාලක සිල්වා මහතා මුණ ගස්වනවා. එතනදී සිද්ධ වෙන්නේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ වැඩක්.

ඔබ කාලයක් ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බළකායේ සේවය කරාද?

එතනට ආවේ කොහොමද කියන කාරණය මම පැහැදිලි කරන්න කැමැතියි.අම්පාර මහඔය ගමේ ගොවි පවුලක මම කුළුඳුල් නිවුන් දරුවන් ලෙස 1986 අගෝස්තු 19 වැනිදා මෙලොව එළිය දකිනවා. අපොස සාමාන්‍ය පෙළ දක්වා බොරපොළ විද්‍යාලයට යනවා. එතනින් පසුව මම රැකියාවක් හොයාගෙන කොළඹ එනවා. පුද්ගලික ආයතන කිහිපයකම රැකියාවල් කරනවා. මා සමග උපන් මගේ නිවුන් සහෝදරයා හමුදාවට බැඳෙනවා. ඔහු ක‍්‍රියාන්විතයේදී මිය යනවා. බාල නිවුන් සහෝදරයින් දෙදෙනෙක් සහ තවත් බාල සහෝදරයෙක් මට ඉන්නවා. මේ හැමෝම හමුදාවේ සේවය කරනවා.

මම වසර 2014 දී වරකාපොළ ප‍්‍රදේශයෙන් විවාහ වෙනවා. බිරිඳගේ නිවසේ පදිංචියට යනවා. වරකාපොළ එම ගමේ පවුල් පනස් හතරක් ජීවත් වෙනවා. ඉන් පවුල් අටක පිරිමි කසිප්පු පෙරනවා. ගමේ එක පුද්ගලයෙක් හෙරොයින් ජාවාරමේ නිරත වෙනවා. මට උවමනා වෙනවා මේවා නතර කරන්න. මත්ද්‍රව්‍ය හා ඒ ආශ‍්‍රිත තොරතුරු දැන ගන්න මම අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පාඨමාලාවක් හදාරනවා.එම පාඨමාලාවෙන් පසුව මට හැකිවුණා ගමේ මිනිස්සු දැනුවත් කරන්න. වරකාපොළින් ආරම්භ කරපු මේ කටයුත්ත දිවයින පුරාම ගෙන යන්න මට උපකාරී වූයේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බළකාය. මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක පාඨමාලාව හදාරා තිබූ නිසාත් මාගේ කථන හැකියාව දුටු නිසාත්, මා හට තිබූ ඉල්ලුම වැඩි වුණා. මාස කිහිපයකින් පසුව, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ, අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කිතලාගොඩ ආරච්චි මහත්තයා මුණ ගැහෙනවා. ඔහුගේ උදව් ඇතිව, කොළඹ ගාල්ල මාතර කළුතර කන්තලේ අම්පාර ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශ වෙත ගොස් ජනතාව දැනුවත් කළා. මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනට මම දායක වුණා. මේවා අති සාර්ථක වූවා. එයයි මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකවරයෙක් දක්වා පැමිණි ගමන් මඟ.

අරක්කු බියර් මිල පහත දමන ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා ඉල්ලීම් කළ මොහොතේ ඔබ මහනුවර දළදාමැඳුර අභියස උපවාසයක යෙදුනා?

‘‘පෝය දවසට බාර් අරින්න අවශ්‍යයයි. බියර් සඳහා සහන මිලක් අවශ්‍යයි’’ ඔහු කියනවා. මෙතන පරස්පර විරෝධී ක‍්‍රියාවක් ආණ්ඩුව තුළම සිද්ධ වෙනවා. ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කරද්දී මුදල් ඇමැති මත්පැන් සඳහා සහන මිලක් ඉල්ලනවා. ඒක ප‍්‍රශ්නයක්. 2017.07.02 දා මම තනිව ඇවිත් මහනුවර දළදා මැඳුර අභියස උපවාස ආරම්භ කරනවා. එදිනත් නව සම්බන්ධතා රැසක් මුණ ගැහෙනවා. එදින රාත‍්‍රියේ ජනාධිපති ලේකම්වරයෙක් මට පණිවිඩයක් දෙනවා ජනාධිපතිතුමා සිටින තුරු එවැන්නක් වෙන්නෙ නැහැ කියලා. එබැවින් මම එතනින් ඉවත් වෙනවා. මට හැම අවස්ථාවෙම අවශ්‍ය වන්නේ රටට ජාතියට සේවයක් කරන්න. මම දැනටමත් වරකාපොළ නාසෙවන සඳහම් ආශ‍්‍රමයක් ගොඩ නැඟුවා. මගේ හිතට ඒ දේවල් සහනයක්.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජීවිතවලට මරණීය තර්ජන ඇති බවට වූ සැලසුම් ඊට අදාළ පුද්ගලයින් ඔබ ලොවට හෙළි කළා. එතනින් එහාට ඔබගේ කටයුතු සිදුවන්නේ කෙසේද?

මම මේ මහා චරිතයක් නෙවෙයි. මගේ ජීවිතයට තර්ජන ඒවි. අවදානමක් පවතීවි. ඊටත් වැඩි ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මගේ ඥාතියෙක් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවය කරනවා. ඔහු කල්මුණේට මාරුකර යවා තිබෙනවා. ඔහුගේ ජීවිතයට යම් තර්ජනයක් ඇති වේවිද කියන සැකය මා තුළ පවතිනවා.

මාගේ ජීවිත අවදානම දැනුම් දීමට හෝ මතු ආරක්‍ෂාව ලබා ගැනීමට මේ රටේ ආරක්‍ෂක සේවයක් නැහැ. ජීවිත තර්ජනයක් ඇති වූ පසුව වින්දිතයන් හා පැමිණිලිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඒකකයට පැමිණිලි කරන ලෙස ඔවුහු මට දන්වා සිටියා. එතනදී ගම්‍ය වන්නේ මරන්න ආවට පස්සේ කියන්න කියන කාරණයයි.

මම පොලිස්පතිවරයා හමුවට යන්නේ රටට ඇතිවීමට යන අනතුරක් පිළිබඳව දැනුම් දෙන්න. එතනදී සිද්ධ වෙන්නේ ඊට වඩා අනතුරක් නම් එය සඟවා තබා ගත යුතු නැහැ.

– සමන්තී වීරෙස්කර

+++++++++++++++++++++++++++++++++++++

නාමල් කුමාර ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි

(16.09.2018 – 22:00 +0530 – lankadeepa.lk)

මාකදුරේ මදුෂ් නැමැත්තා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරක් සිදුකළ හැකි බවට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළේ යැයි කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පැය 7 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

lankadeepa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සමන්විත පොලිස් කණ්ඩායමක් පෙරේදා (14) වැනි දා රාත්‍රීයේ 11.00 ට පමණ මහතාගේ වරකාපොළ නිවසට පැමිණ මෙම ප‍්‍රකාශයට සටහන් කරගෙන තිබු අතර එම ප‍්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ (15) පෙරවරු 6.15 පමණ තෙක් සිදුකර කර තිබුණි.‍

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මුලින්ම ඒ මහතාගෙන් නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා එම අවස්ථාවේ නාමල් කුමාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින් ජනාධිපතිවරයා මෙම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවත් තම පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට බල පැමිණෙන බවට දැනුම් දී ඇත.

එම දැනුම් දීම මත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර රාති‍්‍රයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම එහි පැමිණ ප‍්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ හඬපට ඇති නාමල් කුමාර මහතාගේ ජංගම දුරකතනය හෙට (17) දින පෙරවරු 9.30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී නාමල් කුමාර මහතා කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++++

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 2

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *