දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී

(14.09.2018 – 00:09 +0530 – lankadeepa.lk)

විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.

දැනට විභාග වන නඩු වලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම පමණක් බවත් කිසිවකු එල්ලා මරා දමන්නේ නැතැ බවත් කී මන්ත්‍රීවරයා මෙම දේශපාලන පළිගැනීම් වෙනුවෙන් ජනතාව මිළඟ මැතිවරණයේදී ආණ්ඩුවට පාඩම් උගන්වනු ඇතැයි ද කීය.

සොහොන් කොත් හාරදහසක් පන්දහසක් ඉදිකළ යුතු යුගය හමාර කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියා වෙනුවෙන් ඉදිකළ සොහොන නඩුවකට පටලවා ඇති බවද මන්ත්‍රීවරයා කීය.

ආණ්ඩුවේ ප්‍රධානීන් අතර අර්බුදයක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති බව කී ප්‍රේම ජයන්ත මහතා ශ්‍රීලනීපයේ 23 දෙනා සහ පාර්ලිමේන්තුවේ ඇති නාමික විපක්ෂය සමඟ ආණ්ඩුව කරගෙන යන බවද කීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් – ලක්ෂ්මන් යාපා

(14.09.2018 – 00:09 +0530 – lankadeepa.lk)

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

19 ය සංශෝධනය කර ගැනීමට අධිකරණය ඉඩ නොදුන් දෙය 20 වැනි සංශෝධනය හරහා කිරීමට එජාපයට වුවමනාව වී ඇති බවද ඔහු කීය.

විධායක ජනාධිපති ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වන අනතුරක් පිළිබඳව රටම කතා කළ නිසා ඊට පිළියම් ලෙස ගෙනා 19 වැනි සංශෝධනයට ඡන්දය දුන් බව පැවසු මන්ත්‍රීවරයා අද තමන් ඒ පිළිබඳව කණගාටු වන අතර එය වරදක් යැයි පිළිගන්නා බවද කීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (13) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය ෴

*****************************************

බස්නාහිර පුටු ප්‍රශ්නය කෝප් කමිටුවට

(13.09.2018 – 23:59 +0530 – lankadeepa.lk)

බස්නාහිර පළාත් සභාව මිල අධික පුටු මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය හා එහි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පළාත් සභාවේ ප්‍රධානීන් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇත.

බස්නාහිර පළාත් සභාව පසුගිය කාලයේදී ගත් විවිධ තීන්දු තීරණ සම්බන්ධයෙන් රටේ දැඩි කතා බහකට ලක්වුණු අතර එම තීන්දු තීරණ සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

බස්නාහිර පළාත් සභාවේ වියදම් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විගණන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පවසයි.

බස්නාහිර පළාත් සභාව නව ගොඩනැගිල්ලකට ගෙන යෑමේදී හා ඊට විවිධ දේවල් මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇතැයිද එම කාරක සභාව සඳහන් කරයි.

බස්නාහිර පළාත් සභා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් යම් තොරතුරු ඇත්නම් ලබන 18 වැනිදා පෙර ඒ තොරතුරු ලිපි හෝ දුරකථන මාර්ගයෙන් රාජ්‍ය ගිණුම් සභාවට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *