දුක් ගිනි නිවිලා පෙම් රස වෑහෙන කලණ හස්තියාගෙ ආදර කතන්දරේ

(16.09.2018 – mawbima.lk)

මාතර දෙවුන්දර විෂ්ණු දේවාලයේ “කලණ” නමින් අලියකු සිටින බව බොහෝදෙනකු දැන ගත්තේ මාස කිහිපයක් එක තැන ගැට ගසා තැබීම හේතුවෙන් උගේ පාදයක් දරුණු ලෙස තුවාල වී තිබෙන අයුරු මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පෙන්වා දීම නිසාය.

දෙවුන්දර විෂ්ණු දේවාලය මඟින් “කලණ” අලියාව ලබාගන්නේ පින්නවල අලි අනාථාගාරයෙනි. ඒ මීට වසර තිහකට පමණ ඉහතදීය. අලි අනාථාගාර පරිශ්‍රයේ ඔබමොබ දිව යමින් සැමගේ ආදරයටත් හුරතලයටත් පාත්‍ර වූ “කලණ” දෙවුන්දර විෂ්ණු දේවාලයෙන් පැමිණි පිරිසක් විසින් රැගෙන යන විට ඌ අවුරුදු හතරත් පහත් අතර වයසේ පසුවූ පැටවෙකි.

පන්සල්, දේවාල, වෙහෙර විහාරස්ථානවලට ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් පින්නවල අලි අනාථාගාරයෙන් අලින් ලබාගැනීමට නීතියෙන් බාධාවක් නැත.

පින්නවල අනාථාගාරයේ දම්වැල්වලින් බැඳ ඇත්තේ මද කිපී සිටින වැඩිහිටි පිරිමි අලි කිහිපදෙනකු පමණි. අලි පැටවුන් පමණක් නොව සෙසු ලොකු අලි සිටින්නේද නිදැල්ලේය. අනෙකුත් පැටවුන් සමඟ කෙළිදෙළෙන් දිව පැන යමින් එහි සේවකයන් සමඟද සුරතල් වූ “කලණ” පැටවාට විලංගු වැටෙන්නේ විෂ්ණු දේවාලයට රැගෙන යෑමෙන් අනතුරුවය. සෙලවීමටවත් නොහැකි වන අයුරින් පාද හතරටම දම්වැල් යොදා පහරදෙමින් අලි පැටවුන්ට අමානුෂික ලෙසින් වධ දෙන්නේ උන්ට ඇත්ගොව්වන්ගේ අලි භාෂාව ඉගැන්වීමටත් අණට කීකරු වීමට හුරු පුරුදු කිරීමටත්ය.

හෙණ්ඩුවට බය ඇති කිරීමට නිල බලා හෙණ්ඩුවලින් අනින්නේ නිතර දෙවේලේ බීමතින් සිටින හිතක් පපුවක් නැති පුහුණුවක් ද නැති ඇත්ගොව්වන්ය. දෙවුන්දර දේවාලයට රැගෙන ගිය “කලණ” අලි පැටවාට අත්වූයේද මෙම ඉරණමමය.

කාලයාගේ ඇවෑමෙන් කලණ සද්දන්තයකු බවට පත් විය. උගේ දැන් වයස අවුරුදු තිස් හතරක් හෝ තිස් පහක් පමණ වේ. අලියකුගේ සාමාන්‍ය ආයු කාලය වසර හැත්තෑ පහක් පමණ වන අතර මේ සතා දැන් සිටින්නේ උගේ හොඳම ජවයෙන් යුත් වැඩිහිටි වයසේය.

අවුරුදු තිහක් පමණ දෙවුන්දර දේවාලයට සේවය කළ කලණට දේවාල භාරකාරිත්වය මෙන්ම ඇත්ගොව්වන්ද සලකා බලා ඇත්තේ කනගාටුදායක අයුරිනි. අලි ඇතුන්ට හොඳ මතක ශක්තියක් ඇති බව පිළිගත් මතයකි. වැඩිහිටි අපට ළදරු අවධිය පිළිබඳ මතකයන් තිබේ.

කුඩා කල අලි අනාථාගාර පරිශ්‍රය තුළ සහෝදර යහළු යෙහෙළියන් සමඟ කල්ගත කළ ආකාරය මෙනෙහි වන කලණට ඇතිවන හැඟීම දන්නේ ඌම පමණි. අලි ඇතුන් හොඳ මතක ශක්තියක් මෙන්ම තියුණු බුද්ධියක් ඇති සත්ත්වයකු බවද අමතක කළ යුතු නොවේ.

පින්නවල අලි අනාථාගාරය ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් ආයතනයකි. අනාථාගාරයෙන් දේවාල, වෙහෙර විහාරස්ථානවලට ලබාදී ඇති අලි ගැන සොයා බැලීමේ වගකීම ඇත්තේ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් මීට මාස කිහිපයකට ඉහතදී දෙවුන්දර දේවාලයට ගොස් සතා ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ කලණව මාස ගණනකින්ම නහවා පිරිසුදු කර නොමැති බවත් අව්වැසි ආවරණයක් පවා ලබා නොදී ඌව දීර්ඝ කාලයක් තිස්සේ විලංගගු දා ගසක බැඳ තබා ඇති බවත්ය.

එමෙන්ම සතාට ප්‍රමාණවත් ලෙස ආහාර ලබාදී නැති අතර එම කරුණු සියල්ල සඳහන් කරමින් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අලියාගේ භාරකාරිත්වයට අවවාදාත්මක ලිපි කිහිපයක්ද යවා තිබී ඇත.

මාස කිහිපයක සිටම කලණ මද කිපී සිටින අතර ගසක ගැටගසා ඇති සතා ළඟට කිසිවකුට ළංවිය නොහැකි බව ඇත්ගොව්වන් සහ අලියාගේ භාරකරුවන් කියා සිටී.

එමෙන්ම කලණ යනු සාමාන්‍ය අලියකු නොව යකෙක් මෙන් දරුණු අලි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දීර්ඝ කාලයක් කිටි කිටියේ ගැටගසා තැබීම නිසා අලියාගේ පසුපස පාදයක් දම්වැලකට කැපී එය අඟල් කිහිපයක් මස්වලට කාවැදී තිබිණි. දම්වැලට උඩින් මස් ලියලා ඇති ආකාරය සහ එයින් සතා දුක් විඳින ආකාරය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම නිසා බොහෝ දෙනෙක් කම්පාවට පත්වූහ.

සත්ත්වෝද්‍යාන පශු වෛද්‍යවරු කලණව මුදාගෙන ප්‍රතිකාර ලබාදීමට එහි යන විට ළංවීමටවත් නොහැකි බව පැවැසූ ඇත්ගොව්වන්ම උගේ පාදවලට කාවැදී උඩින් මස් ලියලා තිබූ දම්වැල අමු අමුවේම ගලවා දමා තිබිණි. හම්බන්තොට රිදියගම සෆාරි වනෝද්‍යානය ඇත්තේ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේය. සත්ත්වෝද්‍යාන භාරයට ගන්නා ලද අලියාව රිදියගම සෆාරි වනෝද්‍යානයට රැගෙන යන ලද්දේ තුවාලවලට ප්‍රතිකාර ලබාදීමටයි.

අවුරුදු තිස් හතරක් පමණ වයසක් වූ කලණට වසර තිහකට පසුව නිදහස ලැබී තිබේ. පාද හතරටම දමා තිබූ විලංගු ඉවත් කර එක් පාදයක් පමණක් දම්වැලකින් බඳින ලදී. ප්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරුන් සඳහන් කරන්නේ අලියාගේ තුවාල ක්‍රමක්‍රමයෙන් සුවවෙමින් තිබෙන බවයි.

රිදියගම සෆාරි වනෝද්‍යානය යනු කලාප කිහිපයකට බෙදා වෙන්කොට ඇති එම කලාපවල විවිධ සතුන් නිදැල්ලේ ජීවත්වන වන උයනකි. වනෝද්‍යාන සේවකයන්ගේත් පශු වෛද්‍යවරුන්ගේත් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන “කලණගේ” සුවදුක් බැලීමටත් දුක සැප ඇසීමටත් තවත් අමුත්තියන් දෙදෙනකු පැමිණීම බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. වනෝද්‍යානයේ සිටින ඇතින්නියෝ දෙදෙනෙක් දැන් දිනපතා පැමිණ “කලණ” ළඟ ගැවසෙති. අතපත ගාති. එක් ඇතින්නියක් හොඬවැල් පටලවා ගනිමින් ආදරය පෑමට තරම් ඇසුර දුරදිග ගොස් තිබේ.

දෙවුන්දර දේවාලයේ ඇත්ගොව්වන් යකෙක් මෙන් දරුණු බව කී “කලණ” දින කිහිපයක් ඇතුළත මුව පොව්වකු ගානට වැටී ඇත. වනෝද්‍යාන සේවකයන් පවසන්නේ සතා දරුණු හෝ කලබලකාරී එකකු නොවන බවයි.

වසර තිහක පමණ කාලයක් නොදැමුණු ඇත්ගොව්වන් කිහිපදෙනකුගේ හිංසනයටත් වධ බන්ධනයටත් ලක්වෙමින් ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි කලණ නිදහස ලැබීම නිසාත් පෙම්වතියන් දෙදෙනකු මුණගැසීම නිසාත් වෙනස්ම චරිතයක් බවට පත්ව තිබේ. නිදහස, ආදරය, කරුණාව හමුවේ මිනිසුන් පමණක් නොව සතුන් පවා යහපත් වන බවට මෙය කදිම නිදසුනක් නොවේද..?

සපුමල් ජයසේන
ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත

+++++++++++++++++++++++++++++++++++++

• දෙවිනුවර විෂ්ණු දේවාලයේ ‘කලණ’ හස්තියාට දසවධ දීලා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *