මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(20.09.2018 – 10:33 +0530 – hirunews.lk/sinhala)

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි ඉල්ලා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

මහ නාහිමිවරුන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සංවිධානාත්මකව හා සූක්ෂමව ධර්ම විනයට පටහැනි ශාසන විරෝධී ක්‍රියාකාරකම් සිදුකරන ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින් ත්‍රිපිටක සූත්‍ර ධර්මවලට අත්තනෝමතික ලෙස විකෘති අර්ථ ඉදිරිපත් කරමින් මිත්‍යා සංකල්ප සහ දෘෂ්ඨිවාද බෞද්ධ සමාජය තුළ පතුරුවන බවටයි.

ජනාධිපතිවරයා වෙත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් යොමු කළ ලිපිය මගින් මහා සංඝ රත්නය, රජය සහ බෞද්ධ ජනතාවගේ අවධානයට කරුණු හයක් දක්වා තිබෙනවා.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා එම කරුණු වහා ක්‍රියාත්මක කරන ලෙසයි අදාළ ලිපිය මගින් මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර බුදු දහම විකෘති කරමින් දේශනා පැවැත්වීම ඇතුලු චෝදනා කිහිපයකට ලක්ව සිටි පූජ්‍ය වහරක රතනාලංකාර හිමියන්ගේ අනුගාමික භික්ෂූන් වහන්සේලා සිව්නමක් මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී වැඳ සමාව ගෙන තිබෙනවා.

මෙලෙස තමන් කළ වරද පිළිගෙන සමාව අයැද සිටියේ දිඹුල්කුඹුරේ උදිතරතන, හඳපාන්ගොඩ නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන සහ වස්සක ධම්ම යන හිමිවරුයි ෴

*****************************************

මත්පැන්වලට එරෙහිව උපවාස කළ පුද්ගලයෙකු රත්නපුරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරේ

(20.09.2018 – 09:04 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කළ පුද්ගලයා මීට පෙර රත්නපුර ප්‍රදේශය අවට නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයා බවට හඳුනාගෙන තිබෙනවා.

රත්නපුර නගරයේ ඇති ජල ටැංකියක් මත නැගී මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර විරෝධතාවක නිරතවුණේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින්.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැමිණි පිරිසක් මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදුකර මාර්ගයක් අසළ දමාගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් මොහු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්පැන් ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ දරුවන් විසින් සිදුකර ඇති බවට පොලීසිය මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි රත්නපුර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ වෙතත් මෙම ඝාතනයත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් අදාළ මත්පැන් ජාවාරම්කරුගේ නිවසටද පහරදී ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++++++

මතට එරෙහිවූ ගම්වැසියා ඝාතනය කළ රත්නපුරයේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට

(20.09.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද 3 කින් පැමිණි 15 කට ආසන්න පිරිසක් මෙලෙස පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණේ අදාළ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

මොහු ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් අලෙවියට එරෙහිව කටයුතු කළ අයෙකු වන අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පිරිසක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර, අදාළ මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් රත්නපුර නගරයේ පිහිටි ජල ටැංකිය මත නැගී විරෝධතාවක ද නිරත වුණා.

ඊයේ මොහු තවත් පුද්ගලයෙකු සමග ෆාම්ගාඩ්න් වත්ත මංසන්ධිය අසල රැදී සිටියදී ත්‍රිරෝද රථවලින් පැමිණි සැකකරුවන් ඔහුව පැහැර ගෙන ගොස් තිබූ අතර, සිරුර පසුව හමුවුණේ රත්නපුර – ගොලුවාවිල මාර්ගය අසල දමා ගොස් තිබියදීයි.

අනතුරුව ප්‍රදේශවාසීන් මොහුව රත්නපුර මහරෝහලට ඇතුළත් කළ නමුත්, ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා.

අදාළ ඝාතනය, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ දරුවන් විසින් සිදුකර ඇති බවට හෙළි වී ඇති අතර, කුපිත වූ ප්‍රදේශවාසීන් ප්‍රධාන සැකකරුට අයත් වෙළදසැලකට සහ නිවසට ගිනි තබා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

*****************************************

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 13 ක ජල කප්පාදුවක්

(20.09.2018 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

හෙට පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ බැඳිවැව සහ සේවාගම ජලසම්පාදනය මගින් ජලය බෙදාහරින සියලු ප්‍රදේශවලටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *