පෙර භවයේ ප්‍රබල සාක්කි : පෙර පන්සල සොයා ගිය යළි උපන් ‘පොඩි සාදු’

(04.10.2017 – lankadeepa.lk)

දෙද‌ාස් හය වසරේදී උපත් ලද කළිඟු ඉපදී අට මසක් වැනි ඉතා කුඩා වයසේදී බහ තේරීමට උත්සාහ ගත් දරුවෙක් විය. ඒ සමඟම ඔහු තුළින් දක්නට ලැබුණ විශේෂත්වයක් වූයේ බුද්ධ රූපවලට දැඩි ලැඳියාවක් දැක්වීමය. අන් දරුවන් මෙන් වෙනත් ක්‍රීඩා භාණ්ඩ ඔහු ප්‍රිය නොකළේය. බුද්ධරූපයක් දුටු විගස ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. වයස අවුරුදු එකහමාරක් පමණ වන විට හොඳින් වචන උච්චාරණය කිරීමටද ඔහුට හැකියාව ලැබිණි. පාලි ගාථ සහ පිරිත් වදන් කීමටද ඔහු පුරුදුව සිටියේය.

දෙවසරක් වයස් වන විට නිතර නිතර ගාථ කියමින් මල් පූජා කිරීමටද ඔහු උනන්දුවිය. කිසියම් විටෙක බුද්ධරූපයක් දුටු විට එය රැගෙන දෙන ලෙස මාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අයුරින් නිවෙසට ගෙන එන බුද්ධරූප දැඩි භක්තියෙන් උස ස්ථානයක තබා වැඳුම් පිදුම් කිරීමටද ඔහු පුරුදුව සිටියේය. තම දරුවා මෙතරම් ආගමික භක්තියකට හුරුවූයේ කෙසේ දැයි මාපියෝ පුදුමයට පත්ව සිටියහ. ඒ වන විට ඔහුට මල් පහන් පූජා කරන ගාථාද කට පාඩමින් කිව හැකි වීමද පුදුම උපදවන සුළුවිය.

මේ අතර දිනක් මව අමතා ‘‘බබාව ජෝවලට වැටුණා.’’ යයි කීවේය. දරුවා එසේ කියන්නේ කුමක්දැයි මවට අවබෝධයක් නොවීය. තවත් දිනක් නිවෙසින් පිට මව සමඟ ගමන් කරමින් සිටියදී විහාරස්ථානයක වැලක එල්ලා තිබූ සිවුරක් දුටුවේය. ඒ දෙසට අත දිගුකළ කළිඟු ‘‘ එ් වගේ එකක් මටත් තිබුණා’’ යයි කීවේය.

තම පුත්‍රයා කිසියම් පෙර භවයක් පිළිබඳ හෙළි කිරීමක් කරන බැව් මාපියන්ට වැටහුණි. දින කීපයකට පසු නැවතත් මව ඇමතූ කළිඟු ‘‘මට තව අම්මෙක් ඉන්නවා. ඒ සුදු අම්මා’’ යයිද කීවේය. අනතුරුව පෙරභවයේදී ​ෙසායුරු සොහොයුරියන් කීප දෙනෙක්ම සිටින බැව් පැවසුවේ. ‘‘අයියා අක්කා නංගී ඉන්නවා’’ යනුවෙනි. දරුවා ප්‍රකාශ කරන වදන් සහ ඔහු තුළ තිබූ පිරිත් සහ ගාථා කීමේ හැකියාව නිසා ඔහු පෙරභවයේදී පන්සලක ජීවත් වූ අයෙකු බැව් මාපියන්ට සැක සිතුණි. එහෙත් ඒ පිළිබඳව ඔවුහු දැඩි අවධානයක් යොමු නොකළහ.

මේ අතර පෙරභවයේ ජීවන තොරතුරු නිතර හෙළි කළ කළිඟු ‘‘මට අනෙක් අම්මා බලන්න යන්න ඕනෑ’’යයි දින කීපයක්ම කියා සිටියේය. පෙර භවයක් පිළිබඳ දරුවා හෙළි කරන බැව් අවබෝධ වූවත් ඔහු සිටි ප්‍රදේශයක් ඒ වන විට අනාවරණය නොවීය. සති කීපයක් ගතවිය.

‘‘මට මගේ සුදු අම්මාව සොයා දුන්නේ නෑ’’ කළිඟු සිය මවට නැවත කීවේය. එයට පිළිතුරු දුන් මව.

‘‘ඔයාගෙ අම්මව සොයා දෙන්න ඔයා හිටියෙ කොහේද?’’ යයි ප්‍රශ්න කළාය. ටික වේලාවක් කල්පනාවේ යෙදී සිටි දරුවා ‘‘දැදිගම’’ යයි හෙළි කළේය. තවත් දිනක් නිවසේ සිටියදී ගාථාවක් කී දරුවා මම එහෙදී පිරිත් කියනවා යයිද ප්‍රකාශ කළේය. ඔහු නිතර පැවසූ වදනක් වූයේ ‘‘සුදු අම්මා’’ යනුවෙනි. වරක් පියාගේ කනේ දක්නට තිබූ ගැටිත්තක් අතින් ස්පර්ශ කළ දරුවා.

‘‘තාත්තගෙ කනේ තියෙන්නෙ හරියට පුළුන් ඇටයක් වගේ’’ යයි කීවේය. පුළුන් ඇටයක් යන වදනක් ඒ වන විට කිසි දිනෙක භාවිතා නොවීය. පුළුන් ඇටයක් දැක ගැනීමට හෝ එම දරුවාට ඒ වන විට අවස්ථාවක් නොලැබුණු බැව්ද පියාට පැහැදිලිය. එසේ නම් දරුවා පුළුන් අැට යයි ප්‍රකාශ කළේ ඇයිද යන්නද මාපියන්ට ප්‍රශ්නයක් වීය. බිලි නැන්දා යන වදනක්ද ඔහු අනාවරණය කළේය.

මේ අයුරින් පෙර භවයට සම්බන්ධ ඔහු අනාවරණය කළ තොරතුරු අනුව පෙරභවයේ නිවෙස සොයා බැලීමට මාපියෝ තීරණය කළහ. කළිඟුගේ පියා ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට දැදිගම ප්‍රදේශයට ගියේය. කිසියම් විහාරස්ථානයක සිටි අයෙක් දියේ ගිලීමකින් මරුමුවට පත් වූයේද යන්න ඔහු පරීක්‍ෂා කළේය. එහිදී ඔහුට අසන්නට ලැබුණේ දැදිගම පුරාණ විහාරයේ සිටි සුමනසිරි නම් භික්‍ෂූන් වහන්සේ නමක් ළිදේ වැටීමකින් අපවත් වූ බවකි. ඒ අනුව දරුවා එම ස්ථානයට රැගෙන ඒමට පියා උනන්දුවීම නිසා කළිඟුට එම විහාරස්ථානයට එ්මට අවස්ථාව ලැබිණි.

එද‌ා කළිඟු විහාරස්ථානයට පැමිණෙන බැව් ආරංචි පැතිර යාම නිසා පෙරභවයේ මව සහ ඥ‌ාතීන් කීප දෙනෙක්ද විහාරස්ථානයට පැමිණ සිටියහ. විහාරස්ථානයේදී ඔහු ‘‘මේ මගේ පන්සල යයි එකවරම ප්‍රකාශ කළේය. අනතුරුව එහි තිබූ බුදු මැදුර වෙත දිව ගියේ ඉතා පුරුදු අයෙකු විලසිනි.

එහි තිබූ විෂ්ණු දේවාලය වෙතද ගිය දරුවා එහි ඇති වෙනස්කම් කීපයක් ගැනද විමසා සිටියේය. කළිඟු විහාරස්ථානයට එන විට නා හිමියෝ එහි නොසිටියහ. විහාරස්ථානයේ පුරුදු ලීලාවෙන් ස්වල්ප වේලාවක් ගත කළ දරුවා ඊළඟට ගියේ ඔහු පෙරභවයේදී වැටුණු ළිඳ වෙතය. මේ අතර තුර නා හිමියෝ පන්සලට වැඩම කර සිටියහ. උන්වහන්සේ සිටි ස්ථානයට ගිය කළිඳු නාහිමියන් දෙස ටික වේලාවක් බලා සිටියේය. නාහිමියන්ට වැඳ නමස්කාර කළ ඔහු එහි එල්ලා තිබූ ඡායාරූපයක් දෙසට අත දිගුකර එය හඳුනාගත් බැව් කළිඳුගේ මව අප සමඟ පැවසුවාය.

ඉන්පසු ඔහු ඉල්ලා සිටියේ නිවෙසට යායුතු බවය. ඒ අනුව ඔහු පෙර භව නිවස වෙත කැඳවාගෙන ගියේය. එහිදී ඔහු එම නිවෙස තුළදී ඉතා හොඳින් පුරුදු තැනක් ලෙස එහි ඇතුළු වූයේ රැස්ව සිටි අය පුදුමයට පත් කරවමිනි. නිවෙසේ කාමරයක් තුළට ගිය දරුවා එහි තිබූ ඇඳක් මත වැතිර ටික වේලාවක් නිදහසේ සිටියේය. පෙර භවයේ මව ප්‍රකාශ කළේ කළිඳුගේ පෙරභවය වූ සුමනසිරි හිමියන් නිවෙසට පැමිණි අවස්ථාවල දී එම කාමරයේ ඇදේ සිට විවේක ගන්නා බවය.

කළිඳුගේ පුනර්භවය පිළිබඳව විමර්ශනයක් සඳහා අප ගිය විටෙකදී ඔහු අනාවරණය කළ පුළුන් ඇට කතාව ගැනද විමසීමක් කළෙමු. එහිදී අනාවරණය වූයේ අතිශය ප්‍රබල සාක්කියකි. එනම් කළිඳු ප්‍රකාශ කළ ‘‘බිලි නැන්ද‌ා’’ සමඟ ඔහු පැවිදි වීමට පෙර නිවෙසේ සිටියදී පුළුන් ඇට ඇහිලීමට ගිය බවය, මේ අයුරින් කළඟු හෙළි කළ පෙරභව කරුණ රැසක් සනාථවීමෙන් පසු මේ පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී සුමනසිරි හිමියන්ගේ මව හමුවූ විටදී ඇය ඒ පිළිබඳ ප්‍රකාශ කළේ මෙසේය.

මගේ හාමුදුරු පුතා උපන්නෙ 1963 අගෝස්තු මාසේ එයාගෙ ගිහි නම හේමචන්ද්‍ර එයා පස්වෙනි දරුවා එයා මහණ වුණේ වයස අවුරුදු දොළහෙදී එද‌ා හාමුදුරුවො ළිදේ වැටුණ කියලා මට ආරංචි වුණ ගමන් මම පන්සලට ගියා. ළිඳ ළඟ සෙනග පිරිලා හිටියා. මිනිය අරගෙන මරණ පරීක්‍ෂණයට ගෙන ගියා. එයත් කුඩා කාලෙදි ආගමට හරිම කැමතියි. මහණවෙන්න කැමතියි කියලා එයා තමයි ඒ තීරණය ගත්තේ. කළිඳු පුතා එද‌ා ගෙදරට ඇවිත් එක පාරටම එයා හිටපු කාමරයට දුවගෙන ගියා. එතන තිබුණු ඇඳට ගිහින් දිගාවුනේ හාමුදුරුවො ගෙදර ආපු වෙලාවට ගෙදර හැසිරුන විදිහටමයි.

‘‘ලොරියෙන් දර ගෙනාවා’’ යිය එයා කියලා තිබුණා. එයාගෙ තාත්ත ලොරියෙන් ලී ගෙනා බව හෙළි කිරීමත් පුදුමයි. හාමුදුරු පුතා කළිඳු විදියට නැවත ඉපදිලා කියලා මම විශ්වාස කරනවායි පැවසූ ඇය නිතරම වගේ එයා මා බලන්න ගෙදර එනවා. ඇවිත් එයාගේ කාමරයට ගිහින් විවේක ගන්නවා. පැවිදි ජීවිතයේදී පිරිත් කියන්න හරිම දක්‍ෂයි. එද‌ා කළිඳු දරුවා පන්සලට ආපු වෙලාවෙ මම හිටියා. ආපු වාහනය නවත්තපු ගමන් ඒකෙන් බැහැලා මෙන්න ම​ෙග් පන්සල කියල මහ හයියෙන් කෑ ගහල කියනව මට ඇසුණා. මා ළඟට දුවගෙන ඇවිත් මා දිහා බලාගෙන හිටියා. අම්මා කියලා නම් කිව්වේ නෑ. එද‌ා ඇවිත් විෂ්ණු දේවාලෙ තිබුණ තැන හරියටම පෙන්නුවා. පන්සලේ ඇතැම් ස්ථාන වෙනස් වෙලා කියලත් කිව්වා. ඒ පුතා කියපු තොරතුරුවලින් අයියලා අක්කලා නංගිලා ඉන්නවා කියපු සේරම ඇත්ත. ඊටත් වඩා පුදුම වැදගත් ප්‍රකාශයක් තමයි ‘‘බිලි නැන්ද‌ා’’ ගැන කියපු කතාව යයි මව ප්‍රකාශ කළාය.

සුමනසිරි හිමියන් වැඩ විසූ දැදිගම විහාරස්ථානයේ නායක හිමියන්ගෙන්ද ඒ පිළිබඳව අපි විමසීමක් කළෙමු. උන්වහන්සේ අප සමඟ කළ ප්‍රකාශය මෙසේය :

එද‌‌ා මට මතකයි දහවල් පොඩි හාමුදුරුවො ළිදේ වැටිලා කියලා මට කිව්වා. ළිදෙන් ගොඩගන්න කොට මරණය සිදු වෙලා. සිරුර ගොඩගන්නා විට සිවුර ජලය උඩ පාවී තිබුණා. කළිඳු පන්සලට එන විට මම හිටියේ. එයා ඇවිත් වැටුණු ළිඳ පෙන්නලා තිබුණා. අපවත් වුණ පොඩි හාමුදුරුවො පිරිත් කීමට පුදුම දක්‍ෂතාවක් තිබුණු හිමි නමක්. එද‌ා පන්සලට ඇවිත් හැසුරුණේ හොඳට හුරු පුරුදු කෙනෙක් විදියටයි. යනුවෙන් නායක හිමියෝ පැවසූහ.

කළිඳු විසින් පිරිත් සහ ගාථා කීම ආරම්භ කරනු ලැබුවේ අවුරුදු දෙකක පමණ කුඩා කළ සිටය. ඔහු තුළ බුද්ධරූපවලට තිබූ දැඩි ආශාව අතිශය පුදුම උපදවන සුළුවිය. වරින් වර ඔහු මාපියන් මගින් ගෙන්වා ගත් බුද්ධ රූප රැසක් ඔහු එක්රැස් කර තිබිණි. ඒ අතර දේව රූපද විය. එම දේව රූප කිසිවෙකුගේ ඉගැන්වීමක් නොමැතිව අ‌ද‌ාළ දේවරූප හඳුන්වා දීමටද එද‌ා මෙම දරුවාට හැකියාව තිබිණි. එසේ නම් කළ දේවරූප අතර විෂ්ණු කතරගම සහ සමන් යන දෙවිවරුන්ගේ රූප ඇතුළත් වීය.

මෙම දරුවා ප්‍රකාශ කළ පෙර භව තොරතුරු අතර පුද්ගල නම් කීපයක්ද සඳහන් කර තිබිණි. එහෙත් එම නම් වලට අද‌ාල අය සොයා ගැනීම දුෂ්කර විය. මිය යන විට තරුණ වියේ සිටි නිසා මිතුරන් සිටි බවත් ඔවුන් ගේ නම් පවුලේ අය හෝ විහාරස්ථානයේ හිමිවරුන්ගේ හෝ නොදැන සිටි බවත් ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළිවිය.

පෙර භවය හෙළිකළ මෙම දරුවා උපත ලබා ඇත්තේ 2006 සැප්තැම්බර් මාසයේදී කොළඹ කාසල් රෝහලේදීය ඔහු අනාවරණය කළ පෙරභවය ලෙස හෙළි වූ සුමනසිරි හිමියෝ අපවත් වී ඇත්තේ 1989 අගෝස්තු මාසයේදීය. ඒ අනුව උපත සහ මරණය අතර කාලය වසර ද‌ාහතක් (17) ගත වී ඇති බැව් දක්නට ලැබේ.

කළිඳුගේ පුනර්භව පර්යේෂණයේදී ඔහු හෙළි කළ පෙරභව තොරතුරු ලිඛිතව සටහන් වී ඇත්තේ මෙසේය :

‘‘සුදු අම්මා ඉන්නවා – අයියලා අක්කලා නංගිලා ඉන්නවා – සුනිල් ලාල් හිටියා – වෙලේ උඩහ ගේ තියෙනවා – ලොකු සාදු පන්සලේ ඉන්නවා – දැදිගම හිටියා – සිවුරක් ඇන්දා – බිලි නැන්දා – පුළුන් ඇට – බබා ​ජෝවලට (වතුරට) වැටුණා – යට ගියා – උඩට ආවා – ලොරියෙන් දර ගෙනාවා – බවුන් ගෙදර – ළිඳේ වැටුණම කළුපාට වුණා – සිවුර උඩ පාවුණා.’’

කළිඳු හෙළි කළ මෙම තොරතුරු අතරින් පුද්ගල නම් සහ බවුන් ගෙදර යනුවෙන් හැදින්වූයේ කුමක්දැයි නිරීක්‍ෂණය නොවිනි. ඔහු ප්‍රකාශ කළ පරිදි දැදිගම විහාරස්ථානයකදී ළිදේ වැටීමක් නිසා මරණයක් සිදුවී ඇත්තේ සුමනසිරි හිමියන්ගේ අපවත් වීම පමණක් බැව්ද මෙම පරියේෂණයේදී දක්නට ලැබිණි. පුනර්භව පර්යේෂණවලදී පෙරභවයේ භික්‍ෂූන් වහන්සේ ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවන් පිළිබඳ සිදුකළ පර්යේෂණ (Children who speak of memories of a previous life as a Buddhist monk) ලෙස පුනර්භව සාධක වලට ඇතුළත් වී තිබේ. මේ වන විට ශ්‍රීලංකාවේ දරුවන් පස් දෙනෙකු පමණ පෙරභවයේ භික්‍ෂූන් වහන්සේ ලෙස ජීවත්ව සිටි බැව් අනාවරණ කර ඇත. ඒ අතරින් තුන්දෙනියේ දුමින්ද සහ කෙසෙල්හේනාවේ රුවන් යන දරුවන්ගේ සිදුවීම් ප්‍රබල සාක්කි ලෙස විදේශිය පර්යේෂණ වාර්තාවලටද ඇතුළත් කර ඇත.

– තිස්ස ජයවර්ධන

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *