පොලීසියට වැලි ගසා සැකකරුවෙක් පැන යයි – CCTV දර්ශන සහිතයි

(25.09.2018 – 20:55 +0530 – sinhala.adaderana.lk)

පොලිස් අත්අඩංගුවට පතුවූ පුද්ගලයෙකු පොලිස් ඇසට වැලි ගසා පැන යාමේ සිදුවීමක් ආණමඩුව පල්ලම පොලිස් වසමෙන් වාර්තා වෙයි.

අද (25) පෙරවරුවේ වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරගේ විශේෂ වැටලීම් ඒකකය පල්ලම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරතව සිට ඇති අතර එහිදී බලපත්‍ර කොන්දේසි කඩකරමින් මැටි ප්‍රවාහනය කල පුද්ගලයෙකු හා ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව පොලිස් නිලධාරීන්ගේ රැකවල් මැද සැකකරු හා ටිපර් රථය පල්ලම පොලීසියට රැගෙන එන අවස්ථා වේ සැකකරු පල්ලම නගර මාධ්‍යයේ දී ටිපර් රථයේ මැටි ප්‍රධාන මාර්ගයේ හලා ටිපර් රථය හා පොලිස් නිලධාරියා රැගෙන පලා ගොස් තිබේ.

පසුව සැකකරු ටිපර් රථය ඔහුගේ ගෙවත්තේ ගාල් කර පලා ගොස් ඇත.

මේ ටිපර් රථය මැටි හලා ගෙන යන අයුරු හා පොලිස් නිලධාරීන් පිරිසක් ත්‍රිරෝද රථයකින් ටිපර් රථය ලුහුබඳින අයුරු පල්ලම නගරයේ සී.සී.ටිවී කැමරා පද්ධති කීපයකම සටහන්ව තිබේ.

සෙන්ගල් ඔය ව්‍යාපෘතිය සඳහා මැටි ප්‍රවාහනය කරන ටිපර් රථයක් මෙම ක්‍රියාව සිදුකර තිබේ.

ප්‍රධාන මාර්ගය මැද මේ සිදුවීම වීම හේතුවෙන් ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට හා දුරකථන රැහැන් පද්ධතියකට හානි සිදුව තිබේ.

මිට අමතරව මාර්ගයේ හැලි තිබු මැටි හේතුවෙන් වාහන කීපයකට හානි සිදුව ඇති අතර කීප දෙනෙකුට තුවාල ද සිදුව ඇත.

සෙනගල් ඔය ව්‍යාපෘතිය භාර නිලධාරීන් මේ මැටි ඉවත් කිරීම අද පස්වරුව වන තෙක් සිදු කල නමුත් එය සාර්ථකව අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියි.

මේ සිදුවීමෙන් පසු තවත් ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමටද මේ නිලධාරීනට හැකිව තිබේ.

මේ අවස්ථාවේ ටිපර් රථයේ පොලිස් නිලධාරියෙකු නොසිටි බව වැටලීම භාරව සිටි පොලිස් නිලධාරියා පැවසිය. සිදුවුයේ තමන් ටිපර් රථය පසුපසින් පැමිණීම බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මේ සිදුවීමට අදාල ටිපර් රථය පොලිස් භාරයට ගෙන ඇති බව වයඹ නියෝජ්‍ය පොලිස් පති චම්පික සිරිවර්ධන මහතා පැවසිය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.පල්ලම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

*****************************************

ඥානසාර හිමියන් යළි ජයවර්ධනපුර රෝහලට

(25.09.2018 – 14:59 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඥානසාර හිමියන් යළි රෝහල් ගත කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කිරීම හේතුවෙන්.

ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ලබාදුන් සය මසක සිරදඩුවමට එරෙහිව ඥානසාර හිමියන් හෝමාගම මහාධිකරණයේ ගොනුකළ අභියාචනා පෙත්සම යළි සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබෙනවා.

එසේම වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඔහු ගොනුකළ ඇප අයදුම්පතක් අභියාචනාධිකරණ සහභාගි විනිසුරු ප්‍රීති පද්මන් සූරියසේන හමුවේ පසුගිය සිකුරාදා සලකා බැලූණු අවස්ථාවේදීයි.

එමෙන්ම රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ද අද ඇප මත මුදා හැරුණා ෴

*****************************************

තුන්දාහේ සැප කෝච්චිය නිකම්ම එහාමෙහා ගිහින්

(26.09.2018 – 09:25 +0530 – lankadeepa.lk)

දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ගල්කිස්ස සහ රඹුක්කන අතර ඊයේ (25) සිට ධාවනයට යොදවන ලද විශේෂ දුම්රියෙන් රුපියල් තුන්දාහක ගාස්තුවක් ගෙවා ගමන් කිරීමට කිසිදු මගියකු ඉදිරිපත් නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ඊයේ උදේ 6.30 ට පිටත්වූ මෙම සුඛෝපභෝගී දුම්රිය පෙ.ව. 10.11 ට රඹුක්කන දුම්රිය ස්ථානයට ළඟා වූ අතර පස්වරු 4.30 ට රඹුක්කනින් පිටත්වී ප.ව. 6.28 ට ගල්කිස්සට ළඟාවිය. මෙම යනඑන ගමන් දෙකේදීම කිසිදු මගියකු ගමන් නොකළ අතර දුම්රියේ සිටියේ දුම්රිය රියැදුරු, රියැදුරු සහායක සහ ප්‍රධාන නියාමක පමණකැයි වාර්තාවේ.

කිසිදු පූර්ව ප්‍රචාරයක් නොමැතිව මෙම දුම්රිය සේවය ආරම්භ කිරීම සහ ගාස්තුව වැඩිවීම මගීන් නොසිටීමට හේතු වූ බව පැවසේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි

(26.09.2018 – 16:02 +0530 – lankadeepa.lk)

රුපියල් 3000 ක ගාස්තු අයකිරීමක් යටතේ ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද (26) පියවර ගත්තේය.

විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ඊයේ (25) සිට ධාවනයට එක්කළ මෙම සුඛෝපභෝගී දුම්රියේ ගමන් ගැනීමට කිසිදු මගියෙකු නොසිටි අතර අද (26) දින ද එසේ වීම දුම්රිය අවලංගු කිරීමට හේතු වී තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත දුම්රිය ධාවනය අවලංගු කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *