මගීන් පුරවාගෙන මහගල්කඩවල ප්‍රදේශයේදී නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

(27.09.2018 – 09:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනක ධාවනය වෙමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක් කල අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අපට හෙළි වූයේ අදාළ සිසුවා කාර්මික සිසුවෙකු බවයි.

මෙම දුම්රිය සැප්තැම්බර් 19 දින යාපනය සිට කොළඹ කොටුව බලා ගමන්ගත් නගරාන්තර දුම්රියක්.

එය මහගල්කඩවල ප්‍රදේශයේදී ආපදාවකට ලක්ව නතරවී ඇති අතර එම ස්ථානයද කැලෑබද ස්ථානයක් බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දුම්රියේ තාක්ෂණික ශිල්පින් එම කාර්මික දෝෂය සැකසීමට විනාඩි 45 ක් පමණ කාලයක් දැඩි උත්සහයක් ගත්තත් එය ව්‍යර්ථ වූ බව දුම්රිය මගීන් සඳහන් කළා.

පසුව එම ස්ථානයට පැමිණි අදාළ කාර්මික සිසුවා එය සැකසීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති අතර ඒ සඳහා අදාළ නිලධාරීන් මෙන්ම මගීන් සහ දුම්රිය රියදුරු ඔහුට සහය ලබා දී තිබෙනවා.

පසුව මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයකින් සිසුවා දුම්රිය පණගන්වා නැවත ධාවනය කරවූ බවයි දුම්රියේ ගමන්ගත් මගීන් සඳහන් කරන්නේ.

මෙලෙස තැනට උචිත අයුරින් තමන් දන්නා දේ ප්‍රයෝජනයට ගනිමින් මගීන් රැසක් පත්ව සිටි අපහසුතාවයෙන් ගලවාගෙන ඇත්තේ ජනිත් දීමන්ත නමැති සිසුවෙක් විසින්.

එම අවස්ථාවේ මගියෙකු විසින් ලබාගෙන සමාජ මාධ්‍ය වෙත එක්කළ ඡායාරූපයක් පහතින් :

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%AB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F

+++++++++++++++++++

කාර්මිකයන්ට හදන්න බැරි දෝශය නිවැරදි කර “මහවන මැදදී දුම්රියට පණ දුන්” සිසුවා

(28.09.2018 – nethnews.lk)

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබියදී කාර්මික දෝෂයකට ලක් වූ 4022 දරණ දුම්රිය, එහි මගියෙකු වූ තරුණයෙකු විසින් යළි පණ ගන්වනු ලැබූ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ, අදාළ කාර්මික දෝෂය දුම්රිය තාක්‍ෂණික ශිල්පීන්ට සකස් කිරීමට නොහැකිවීම හේතුවෙන්. මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබුණේ ගල්ගමුව, මහගල්කඩවල ප‍්‍රදේශයේදීයි. අධිපීඩන නළයක ඇති වූ දෝෂයක් ඊට හේතු වී තිබුණා.

දුම්රිය යථා තත්ත්වයට පත්කිරීම සදහා තාක්‍ෂණ ශිල්පීන් විනාඩි 45 ක් පමණ දැඩි වෙහෙසක් දරමින් උත්සාහ දරා තිබුණා. එහෙත් දුම්රිය පන ගැන්වීමට ඔවුන්ට හැකිවී නැහැ. ඒ අවස්ථාවේ ඊට ස්වේච්ඡාවෙන් මැදිහත් වූ දුම්රියේ සිටි තරුණයෙකු එම කාර්මික දෝෂය නිවැරදි කර තිබුණා. ඒ, දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේද අවසරය මතයි. මෙම තරුණයාට දුම්රිය නැවත පණ ගැන්වීම සදහා ගතවි තිබුණේ විනාඩි 20 ක පමණ කාලයක් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඔහුට දුම්රිය රියදුරා ඇතුළු තාක්‍ෂණ නිලධාරීන්ද සිය සහාය ලබාදී තිබුණා.

ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබාදුන් මෙම තරුණයා ජනිත් දිමන්ත විතානාරච්චි ය. ඔහු මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා පසුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක වැඩිදුර අධ්‍යපනය ලබමින් සිටින්නෙකි.

+++++++++++++++++++++++++++++++++++++

29.09.2018

%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B7%94

+++++++++++++++++++++++++

(03.10.2018 – nethgossip.lk)

විනාඩි 20න් කෝච්චිය හැදූ සිසුවා දෙපාර්තමේන්තුවට පිළිතුරු දෙයි. (Video)

විනාඩි 20න් කෝච්චිය හැදූ සිසුවා දෙපාර්තමේන්තුවට පිළිතුරු දෙයි. (Video)

Posted by Neth FM Balumgala on Tuesday, October 2, 2018

+++++++++++++++++++++++++

මහගල්කඩවලදී කැඩුණු දුම්රියට නියම බෙහෙත දුන් ජනිත් සිසුවාට ඇමැති නිමල් සිරිපාලගෙන් ඇගැයුමක්‌

(03.10.2018 – divaina.com)

යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්‌ වූ දුම්රිය යථා තත්ත්වයට පත් කළ ජනිත් දීමන්ත විතානආරච්චි ශිෂ්‍යයා අමාත්‍යාංශයට කැඳවා ප්‍රණාම පිදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන ඇත.

nimala555

ගල්ගමුව දුම්රිය ස්‌ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී සිදු වූ මෙම කාර්මික දෝෂයකට නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකිව තිබියදී මෙම ශිෂ්‍යයා ඉදිරිපත් වී දෝෂයකට හඳුනාගෙන නිවැරදි කර තිබේ. මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයක වැඩිදුර අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යයා පසුගියදා අමාත්‍යාංශයට කැඳවූ ඇමැතිවරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේද ගෞරවය හා ප්‍රශංසාව පුද කර ඇගයීම් ලිපියක්‌ ලබාදීමට කටයුතු කර ඇත. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති සරත් අමුණුගම මහතා මෙන්ම නිලධාරීහු ද මෙම අවස්‌ථාවට එක්‌ වූහ ෴

++++++++++++++++++++++++

දුම්රිය දෝෂය නිවැරදි කළ සිසුවා ඇමතිවරයාගේ ඇගයීමට

(01.10.2018 – 16:36 +0530 – lankadeepa.lk)

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා මහාගල්කඩවල කැලෑබැද ප‍්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේ එම දෝෂය නිවැරදි කළ ජනිත් දිමන්ත විතානාරච්චි සිසුවා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට කැඳවා ඔහු ඇගයීමට එම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (01) කටයුතු කළේය.

දුම්රියේ වායු පීඩක නළයක දෝෂයක් ඇතිවී දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් ගුවන්තොටුපළ කරා ගමන් ගත් විදේශිකයින් ඇතුළු මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටි අවස්ථාවේ එම දුම්රියේ ගමන් කළ මෙම සිසුවා ඉදිරිපත් වී එම දෝෂය නිවැරදි කර තිබූ අතර එම අවස්ථාවේ දුම්රියේ ගමන් කළ මගියෙකු ඒ පිළිබඳව මුහුණු පොතට සටහනක් එක්කර තිබිණි.

අනතුරුව එම පුවත ලංකාදීප ඉකුත් 28 වැනිදා පුවත්පතෙහි පළවූ අතර එය දුටු ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ජනිත් දිමන්ත සිසුවා ගෙන්වා ඇගයීමට පියවර ගත්තේය.

මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්තගේ පියා වන සුනිල් විතානාරච්චි මහතා ද ඉංජිනේරුවරයෙකු වන අතර ‘ලෝර්ඩ් මාස්ටර්’ නැමති ට‍්‍රැක්ටරයක් ඇතුළු නව නිර්මාණ ගණනාවක්ම ඔහු විසින් කර තිබේ.

ඔහුගේ මව වන ධම්මිකා විතානාරච්චි විශ‍්‍රාමික ගුරුවරියකි.

පවුලේ එකම දරුවා වන ජනිත් පියාගේ අඩි පාරේ යමින් සිටින අතර ඔහු ද මේ වන විට නව නිර්මාණ කිහිපයක්ම කරමින් සිටී. එමෙන්ම ඔහු ජාත්‍යන්තර මට්ටමේ තරඟ කිහිපයකින්ම ජයග‍්‍රහණ ද ලබා ඇත.

ජනිත් මේ වන විට ජර්මානු කාර්මික තාක්‍ෂණ ආයතනයේ අධ්‍යාපන කටයුතු අවසන් කර ඇතත් එහිදී ඔහුට සහතිකය ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් ඇති වී ඇති අතර ඒ ගැන සොයා බලා සාධාරණයක් කරදීමට ද ප‍්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.

මෙම අවස්ථාවට දුම්රිය සේවකයින් පිරිසක් ද එක්ව සිටි අතර ජනිත් දුම්රියේ පැවති දෝෂය හා එය නිවැරදි කළ ආකාරය මෙහිදී පැහැදිලි කළේ රූප සටහන් ද යොදා ගනිමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනිත් මෙසේ ද කීවේය :

‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට ‘වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන’ බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්‍ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලු කරුණු පැහැදිලි කර දුන්නා.

මට මේ තුළින් ප‍්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ නැහැ.

මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’

විද්‍යා, තාක්‍ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා මහනුවර සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

(සටහන : ඩයනා උදයංගනී , ඡායාරූප : ලහිරු හර්ෂණ)

+++++++++++++++++++++++

කෝච්චිය හදපු සිසුවා චෝදනා වලට පිළිතුරු දෙයි :

YouTube > Neth Fm Balumgala (03.10.2018)

++++++++++++++++++++++

යාල්දේවි දුම්රියේ දෝෂය හැදිල්ල

(06.10.2018 – deshaya.lk)

• වරද හොයාගෙන හැදුවේ මමයි – තාක්ෂණික නිලධාරී
• ‘වොෂර්’ හරියට දාලා ‘එන්ටර්’ කළේ මමයි – ජනිත් දීමන්ත

1965 වසරේ අප්‍රේල් 23 වැනිදා උතුර දකුණ අතර ශක්තිමත් පාලමක් වෙමින් යාල් දේවිය නම් දුම්රිය යාපනයට සිය කුළුදුල් ගමන් ඇරඹුවාය. එක් දුම්රියක් කොළඹ සිට යාපා පටුනටත් තවත් යාල් දේවි දුම්රියක් යාපා පටුනේ සිට කොළඹටත් ගමන් කෙරිණි. එහි ගමනාන්තය වසර 29 කට පමණ සීමා වූයේ 1985 වසරේ ජනවාරි 19 වැනිදා ත්‍රස්තවාදයේ අඳුරැ සෙවනැලි අතර යාල් දේවියත් තව එක් ම්ලේච්ඡ ඉලක්කයක් බවට පත්වීමත් සමඟය.

නැවතත් 1989 වසරේදී සුපුරුදු ගමන් යාමට යාල් දේවිය පන්නරය ලැබූ නමුත් එම වසරේම ජුනි මස 12 වැනිදා එම ගමන ද කඳුලින් අවසන් වූයේ මිලේච්ඡ ත්‍රස්තවාදය හේතුවෙනි. ඉන් වසර 22 කට පසු නැවතත් යාල් දේවිය උතුරේ තල් රුප්පාවේ සිට දකුණේ පොල් රුප්පාව දක්වා ගමන් ආරම්භ කරනු ලැබූයේ 2014 ඔක්තෝබර් මස 13 වැනිදාය. එදා පටන් අද දක්වාම යාල් දේවිය උතුර දකුණ යා කරමින් ඇදෙන්නේ සියලු දෙනාගේ බලාපොරොත්තු ද කැටිකර ගනිමිනි.

යාල් දේවිය ගැන පැරණි මතකයන් අවදි කිරීමට සිදුවූයේ පසුගිය දිනක යාල් දේවිය මුහුණ පෑ අකරතැබ්බයක් සහ එම අකරතැබ්බය නිම වීමෙන් පසුව මේ වනවිට සමාජයේ බොහෝ දෙනා කතාවන සිදුවීමක් පාදක කොටගෙනය.

පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා සවස යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර සීඝ්‍රගාමී යාල්දේවී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්විය. එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බවද එම දෝෂය නිවැරදි කර යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කළ සිසුවකු නිසා බවට ද පසුගිය දා මාධ්‍යවල වාර්තා පළවිය.

මෙලෙසින් එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇති බවට පැවසුණේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුවකු වන ජනිත් දීමන්ත වන අතර ඔහු කළ මෙම ක්‍රියාව ඇගයීමට විෂය භාර අමාත්‍යවරයා විසින් පසුගියදා කටයුතු කර තිබිණි.

එහෙත් පසුගිය දිනක Sri Lanka Railway Journal නැමති අන්තර්ජාල වෙබ් පිටුවක් මඟින් මෙම දුම්රියෙහි ඇති වූ කාර්මික දෝෂය නිවැරදි කළ සිසුවා සහ එහි කාර්මික නිලධාරියා අතර සිදු වූ දුරකථන සංවාදයක් මුදා හැර තිබූ අතර එහි සුලමුල පිළිබඳව දැන ගැනීමට දේශයේ අපි අදාළ පාර්ශවයන්ගෙන් විමසීමක් කළෙමු.

දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු සම්පත් රාජිත මහතා :

‘‘පසුගිය මාසේ 19 වන දින අංක 4021 දුම්රිය අඩාල වුණා යාපනය සිට කොළඹ දක්වා ගමන් කිරීමේදී. එහිදී දුම්රිය අලුත්වැඩියා කරන්න අපේ කාර්මික ශිල්පියෙක් යොදවනු ලැබුවා. එහිදී අලුත්වැඩියා කටයුතු කරන්න පොඩි ප්‍රමාදයක් වෙලා තියෙනවා. එහිදී එම ප්‍රමාදය අතරවාරයේ මොරටුවේ විශ්ව විද්‍යාලයේ (?) ශිෂ්‍යයෙක් පැමිණිලා දුම්රිය ධාවනය කළා කියලා තමයි දැන් සමාජ ජාලා හරහා පැතිරී යන්නේ. නමුත් එහිදී වෙලා තියෙන්නේ පොඩි උදව් කිරීමක් විතරයි. ඕනතරම් මේ වගේ දේවල් වෙනවා. නමුත් මේකට ලොකු ප්‍රසිද්ධියක් ලබා දීලා තියෙනවා. ඇත්තටම උදව් කිරීමක් පමණයි එහිදී වෙලා තියෙන්නේ. ඕක තමයි දැනට තියෙන තත්ත්වය.’’

අදාළ දුම්රිය කාර්මික දෝෂයට ලක්වූ අවස්ථාවේදී දුම්රියේ සිටි කාර්මික නිලධාරීවරයා වූ ඩබ්ලිව්. එම්. වයි. නිමලසිරි මහතා ප්‍රකාශ කළේ ජනිත් දීමන්ත නම් තරුණයා දෝෂය නිවැරදි කරගැනීමට ‘සපෝට්’ කළ බවයි :

‘‘කෝච්චිය ඉස්සර වෙලාම නැවතුණා. එහෙම නැවතුණාම ඩ්‍රයිවර් මට කතා කරලා කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පස්සේ එන්ජින් එක ළඟට ඇවිල්ලා බලලා වැරැද්ද මුලින්ම සොයාගත්තේ මම. එහිදී ‘ටෙන් බාස්’ කියන පයිප්පය ගැලවිලා තිබුණේ. ඒ වෙලාවෙම මගේ සහයකයා එක්ක මම එන්ජින් එක ඇතුළට ගියා. ගිහින් මේ තියන විදිහට ඒ පයිප්පය උස්සලා දාගන්න තමයි බැලුවේ. නමුත් ඒක හරි ගියේ නෑ. මේකට ඕන කරන යතුරු මොනවත් අපි ගෙනිහින් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මම ඒ පයිප්පය ගලවලා බැලුවා. නමුත් එහි දෝෂයක් තිබුණේ නැහැ. ඊටපස්සේ මේ දේවල් හයිකර ගෙන යනකොට මගේ සහයකයා නැවත ගියා උපකරණ වගයක් රැගෙන ඒමට. ඒ යන අතරතුරේ මම හුඟක් උත්සාහ කළා බටය දාගන්න. ඒක මම හරියට සෙට් කරගෙන තිබුණේ. එහෙම සෙට් කරලා තිබෙන අතරතුර තමයි අර මල්ලි ආවේ. එයා මට සහයට ඇතුළට එද්දි එයාගේ තරාතිරම මම හෙව්වේ නෑ. එයා කිව්වා අයියා මම ඔයාට ‘සපෝට්’ එකක් දෙන්නම් කියලා. ඒ වෙලාවේ මම කිව්වා එයාට එහෙනම් මල්ලි මට තරහා නැතුව මේ පයිප්පේ උස්සලා දෙන්න කියලා. ඒ වෙලාවේ එයා මට උදව් කළා. හැබැයි ඒ පයිපේ උස්සපු ගමන් ඒක වැටුණේ නෑ. ඊට පස්සේ තමයි ඒක තද කළේ. ඊට පස්සේ මේ ඔක්කොම කරගත්තට පස්සේ ඒ මල්ලිත් එළියට ගියා. ඊට පස්සේ මම ‘ඩ්‍රයිවර්’ට කිව්වා ‘ස්ටාර්ට්’ කරන්න කියලා. එතකොටත් මම එන්ජින් එක අස්සේ. ඊට පස්සේ කිසිම අවුලක් තිබුණේ නැහැ. එයාට තිබුණේ ඔය පයිප්පේ උස්සන එක විතරයි. වෙන කිසිදෙයක් කළේ නැහැ. ඇත්තටම ඔය වැඩේ සම්පූර්ණයෙන් කළේ මම විතරයි. මට ඕන මගේ ජොබ් එක හරියට කරන්න. ඒ වගේම මගේ හිත දන්නවා මම ඒක කළා කියලා. නමුත් එයා මාධ්‍යට කියලා තියෙනවා ඒ ‘රින්ග්ස්’ එහාට මෙහාට වුණා කියලා. නමුත් වෙච්ච දේ එතන හිටිය අය දන්නවා.’’

මේ වනවිට මෙම සිදුවීම පිළිබඳව මුළු රටම කතාබහ කිරීමට පටන්ගෙන ඇති අතර එහිදී ප්‍රශංසා මෙන්ම දෝෂාරෝපණයන් ගැන ද සමාජය පුරාවටම විවිධ මත පළවෙමින් තිබේ. අදාළ සිදුවීමට සම්බන්ධ තරුණයා වූ ජනිත් දීමන්ත විතානාච්චි මහතා ගෙන් ද අපි අදහස් විමසුවෙමු :

‘‘මේ සිද්ධිය වුණේ මහගල්කඩවල ප්‍රදේශයේදී. මෙම අදාළ සිදුවීම වෙලා විනාඩි 45 ක් විතර යනකම් මම නිදාගෙන හිටියේ. අම්මා කිව්වට පස්සේ තමයි ඉස්සරහට ගියේ. මම ගියාට පස්සෙත් මේ අය දෙවතාවක්ම උත්සාහ කළා. ඊට පස්සේ තමයි මම ඔය ‘ටෙක්නීෂියන්’ ගෙන් ඇහුවේ මම ඇතුළට එන්නද කියලා. ඊට පස්සේ එයා කිව්වා ඇතුළට ඇවිත් බලන්න කියලා. බටේ ගැලවුණා කියලා කවදාවත් එහි තියන ‘වොෂර්’ වෙනස් වෙන්නේ නැහැ. එතකොට මට හොඳටම පෙනුණා උඩට එන්න ඕන ‘වොෂර්’ එක යටට දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක ‘ප්‍රෙෂර්’ වුණාම ගැලවෙනවා කියලා. ඊට පස්සේ මම ‘වොෂර්’ ටික හරියට දැම්මා. ඊට පස්සේ ඉස්සරහා ‘යුනියන්’ එකත් තද කළා. එහෙම ‘එන්ටර්’ කළේ මම. හැබැයි ඒවා තද කළේ ඔය කියන කාර්මික ශිල්පියා එක්ක. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා ‘ස්ටාර්ට්’ කළා. එයාගේ ‘ටෙක්නිකල්’ දැනුම ගැන මට කියන්න ඕන නැහැ. එතන හිටපු මිනිස්සු ඔක්කොම දන්නවා සහ දෙවැනි පාරට ‘ට්‍රයි’ කරන අවස්ථාවේදී ‘න්‍යු මැටික් ලයින්’ එක ළඟ ඉඳන්ම ඔහු ඒක ‘ස්ටාර්ට්’ කරන්න කිව්වා. කවදාවත් ‘ටෙක්නිකල් නොලේජ්’ එකක් තියෙන ‘ටෙක්නීෂියන්’ කෙනෙක් වුණත් ‘ප්‍රේෂර්’ වන ‘ලයින්’ එන බටයක් ළඟ ඉඳලා ‘ඔන්’ කරන්න කියන්නේ නැහැ. එයා එයාගේ ‘ටෙක්නිකල් නොලේජ්’ එක පාවිච්චි කරලා ‘ටෙක්නීෂියන්’ කෙනෙක් කරන්න පුළුවන් දේවලා කළා. එතැනදී මම කියන්නේ නැහැ මම සාර්ථකයි එයා අසාර්ථකයි කියලා. වෙලාවකට ‘ටෙක්නීෂියන්’ කෙනෙක් කරන දේවල් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. එයා පුළුවන් දේ කළා.

ඒ වගේම තමයි එයා මට දෝෂාරෝපණය කරලත් තිබුණා. නමුත් මම මේ සිදුවීම ගැන කාටවත් කිව්වේ නැහැ. ඒකට හේතුව වුණේ මේ ‘ට්‍රේන්’ එකේ ‘එන්ජින් ඩ්‍රයිවර්’ මට කතා කරලා කිව්වා එයාගේ ‘ජොබ්’ එක ‘ඉන්ටඩික්’ වෙන්න යන්නේ, ඒ නිසා මෙයාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වයි, මල්ලි කවුරුහරි ඇහුවොත් මෙහෙම කියන්න කියලා එයා මට කිව්වා. එහෙම කිව්වට පස්සේ තමයි දැනට ඔය සමාජ ජාලා වෙබ් අඩවි හරහා දුරකථන සංවාදයේ තොරතුරු යන්නේ. ඇත්තටම මට ඕන වුණේ ජනතාව පීඩාවට පත්වෙන එක වළක්වන්න. මේ විදිහට උදව් කළාට පස්සේ ඇතැම් මිනිස්සු කරන දේවල් ගැන ඉතාමත් කනගාටුයි.’’

වාර්තා වන ආකාරයට මෙම තරුණයා අදාළ දුම්රිය අලුත්වැඩියා කිරීමට පැමිණ ඇත්තේ එහි සිටි මගීන් වෙනත් දුම්රියකට මාරු කිරීම සඳහා නිවේදනය නිකුත් කළාට පසුවය. එහෙත් ඇතැම් සමාජ ජාලා මොහු මේ වනවිටත් වැරදිකරුවකු ලෙස හංවඩු ගසා අවසන්ය. එසේම සිද්ධිය මාධ්‍යයට ලබා දී තිබුණේ ද එම දුම්රියේ සිටි මගීන් මිස මේ තරැණයා නොවන බවද සඳහන්ය.

– හසිත් අංජන

*****************************************

ගුවන් යානයක් ජලයට ගොඩබායි. මගීන්ට අනතුරක් නැහැ

(28.09.2018 – 10:42 +0530 – hirunews.lk/sinhala)

පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා දිවයිනේ සිට පැපුවා නිව්ගිනියාව බලා ගමන් ගත් මගී ගුවන් යානයක් හදිසි දෝෂයකට ලක්ව ධාවන පථයට ඔබ්බෙන් වු මුහුදු කලපුවකට ගොඩබා තිබෙනවා.

එහෙත්, එහි ගමන් ගත් මගීන් 35 දෙනාට සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනාට බරපතල හානියක් සිදුව නැහැ.

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90

කෙසේ නමුත්, පැපුවා නිව්ගිනියා – එයාර් නිව්ගිනි ගුවන් සේවයට අයත්, බෝයිං 737 – 800 යානයේ ගමන්ගත් මගීන් සියලූදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව සඳහන්.

මෙම ගුවන් යානය අද උදෑසන මෙලෙස හදිසි කාර්මික දෝෂයකට ලක්වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *