මහින්ද-ගෝඨා යුද්ධයට බයේ සැඟවුනේ නෑ – හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා

(28.09.2018 – 19:24 +0530 – sinhala.adaderana.lk)

හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ යුද්ධයට බියෙන් සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

තමන් කරන වගකීම් හඳුනා ගන්නවා මිසක් අන් අයගේ දේවල්වලට ඇඟිලි ගැසීමට යෑමෙන් සිදුවන්නේ කූඤ්ඤේ ඇද්ද වඳුරාට සිදුවු දෙය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා නිව්යෝක් නුවර දී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි.

විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය.

යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්‍රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.

++++++++++++++++++++

යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ ගැන ජනපති නිව් යෝර්ක්හිදී කතා කරයි

යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ ගැන ජනපති නිව් යෝර්ක්හිදී කතා කරයි#lka #President #MaithripalaSirisena #News1st

Posted by Newsfirst.lk on Thursday, September 27, 2018

+++++++++++++++++++++

යුද්දේ අවසන් සති දෙකේ මම රට ගියේ නෑ.. කොළඹට කොටි ගහන සැලසුමක් ගැන මං දන්නෙත් නෑ.. – ජනපතිගේ නිව්යෝක් කතාව ගෝඨාත් ප‍්‍රතික්‍ෂෙප කරයි..

(29.09.2018 – 03:26 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන සති කීපය තුළ එල්ටීටීඊ සංවිධානය කොළඹට ගුවන් ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ බවක් තමන් දැන සිටියේ නැතැයි එවකට ආරක්ෂක ලේකම් පදවිය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම යුද්ධයේ අවසාන දිනවල තමන් විදේශගත නොවූ බව ද ඔහු අවධාරණය කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අගමැතිවරයා, හමුදාපති සරත් ෆොන්සේකා මහතා හෝ එවකට ආරක්ෂක ලේකම්වරයා යුද්ධයේ අවසාන සති දෙක තුළ ශ්‍රී ලංකාවේ නොසිටි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

“අවසාන සති දෙකේ මමයි වැඩ බලපු ආරක්ෂක ඇමතිවරයා. අවසාන සති දෙකේ ලැබුණු වාර්තා තමයි, අවසන් සටන පසුබහින්නේ නෑ එල්ටීටීඊය, දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉඳල ඇවිල්ල, කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දාල කියල රජයට තොරතුරු ලැබුනේ. ඒ නිසා තමයි ඔක්කොම ගියේ රටින්,” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය.

කෙසේ වුවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ තමන්ට පවා එය අලුත් පුවතක් බවය.

“ජනාධිපතිතුමා මම දන්නේ නැති තොරතුරක් ඔය කිවුවේ මම හිතන්නේ ලෝකෙම දැනගෙන හිටියේ නැති දෙයක්. මට නම් එහෙම තොරතුරක් තිබුණේ නැහැ,” ඔහු පැවසීය.

“මම නම් හිටියා ලංකාවේ. මම කොහෙවත් ගියේ නෑ.”

කෙසේ වුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදු කළ බවට ‘බොරුවට දෝෂාරෝපණය කරන්නේ’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි ඔහු යුද්ධයට දේශපාලන නායකත්වය දුන් දිනවලට අදාළව බැවින් ජාත්‍යන්තර වශයෙන් එල්ලවන එම චෝදනාවලින් රට නිදහස් කරගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

“එතකොට ජනාධිපතිතුමා නොදැනුව මං හිතන්නේ එතුමාගේ විදේශ ඇමතිවරයා ජිනීවා නුවරදී යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවා. ඉතින් එතුමා මේක මෙහෙයවපු හන්ද හොඳට දන්නවනේ එහෙම දේවල් සිදු වුනේ නෑ කියල. ඒ නිසා මේක වහාම හකුලාගන්න කියල, මේකෙන් ඉවත්වෙන්න කියල විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන්න ඕන.”

එයින් අදහස් වෙන්නේ කිසියම් ලෙසකින් ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදු කළේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි වගකීම භාරගත යුතු බව දැයි විමසූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, එවැනි කිසිදු අපරාධයක් සිදු නොවූයේ යයි තමන් දන්නා බවය.

යුද්ධයේ අවසාන සති කිහිපයේ තමන්ගේ ජීවිතයට ද තර්ජන පැවති බවත් ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදී සඳහන් කළේය.

“ඒ අවසන් සති දෙකේ මම කොළඹ නෙවෙයි හිටියේ. ඒ අවසන් සති දෙකේ මම රටේ තැන් තැන්වල හිටියේ. මොකද මම ඉන්න තැනත් දැනගනීද කියල,” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අවස්ථාවේ තමන්ගේ ජීවිතයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අන්දමේ තර්ජනයක් එල්ල වී තිබුණේ දැයි කළ විමසීමට පිළිතුරු දීම ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හමුදාපතිවරයා පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළ කළ අදහස් ගැන විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ “මම කතාකරන්නේ මම ගැන නේ,” යනුවෙනි.

– BBC

++++++++++++++++++++++

යුද්ධයේ අන්තිම සති දෙකේ කොටින්ට බය වී රටින් පැන්නාද..? ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශයට මහින්දගේ ප‍්‍රතිචාරය මෙන්න..

(30.09.2018 – 11:20 +0530 – lankacnews.com)

යුද්ධයේ අවසන් සති දෙකක කාලය තුල රටින් පිටව ගොස් සිටි බවට වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දක්වයි.

එම කාලයේදී තමන් ලංකාවෙන් පිටත්ව ගියේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුත්තක් සඳහා යයි ඔහු සදහන් කරයි.

ජෝර්දානයේ පැවති ජී-11 සමුළුව ඇමතීමට තමන් එම දිනවල එහි ගියේ දෙදිනක කාලයක් සදහා පමණක් බවත් පවසන රාජපක්‍ෂ මහතා සමුළුව අතරමග නැවත තමන් ශ‍්‍රී ලංකාවට පැමිණී බවත් සඳහන් කරයි.

කොටි ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් යයි පාර්ලිමේන්තුව අමතමින් 2009 මැයි 19 වනදා ප‍්‍රකාශයට පත් කලේ තමන් විසින් යයිද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා නිව්යෝක් හිදි කියා සිටියේ යුද්දයේ අවසන් සති දෙක තුලදී එවකට හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු හමුදාපති රටින් පිටව සිටි බවයි.

කොටි සංවිධානය විසින් ගුවනින් පහර දී කොළඹ නගරයට දැවැන්ත විනාශයක් සිදු කරන්නේ යයි ලැබී තිබූ තොරතුරු මත ඔවුන් මෙසේ රටින් පිටවූ බවත් තමන් එම කාලයේදී වැඩබලන ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යුද්ධය මෙහෙයවූ බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *