උසස් පෙළට A 3 ක් අරන් ඕස්ට්‍රේලියාවේ ජාන වෛද්‍ය විද්‍යාව හැදෑරු හර්ෂනීට අත්වූ හද කම්පා කරවන ඉරණම

(29.09.2018 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ජිවත් වෙන්න අරගල කරන මිනිස්සු පුංච් පුංච් දේ නිසා කලකිරෙනවා. ජිවිතේ නැති කරගන්න උත්සහ කරනවා. නමුත් අසරණ වුනු තවත් අය ජිවිතේ ගැටගහගන්න අරගලයක යෙදෙනවා.

මේ කියන්න යන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ එකතැන් වුනු යුවතියකගේ සංවේදී කතාවක් ගැනයි.

නමින් හර්ෂනී කුමාරි වූ ඇය නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ A සාමාර්ථ 3 ක් සමඟින් සමත්වනවා.

A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%91%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B7%93%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%AF+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8

ඉස්සර ඉඳන් ඇයට තිබුන ලොකුම හීනයක් ජාන තාක්ෂණ විද්වතෙක් වෙන එක.

ඇයගේ පියා පොලිස් නිලධාරියෙක් වන අතර මව මැහුම් පාඨමාලා පිලිබඳ ගුරුවරියක්.

සාමාන්‍ය පවුලක් වුවත් ජාන තාක්ෂණය ඉගෙනගන්න අසාව නිසාම ඇය අමාරුවෙන් ඔස්ට්‍රේලියාවට යනවා.

එහිදී මේසය මත තිබූ පෑණ අරන් සටහනක් ලියන්න හදද්දී හර්ෂනිගේ අතින් පෑන එක පාරට බිම වැටිලා තියෙනවා.

එතරම් හිතන්නේ නැතුව ආයේ පෑන අතට ගත්තත් දෙපාරක් තුන්පාරක් උත්සාහ කරලා තමයි ලියන්න හදලා තියෙන්නේ.

ඉතින් හර්ෂනී අම්මලා තාත්තලට කියලා තියෙනවා මෙහෙම පෑන අහු වෙන්නේ නෑ අතට කියලා. එහෙන් දොස්තර වරුන්ට කියලා බෙහෙත් ගත්තත් අඩුවක් වෙලා නෑ .

මේ හේතුවේ 2004 වසරේ දවසක හර්ෂනී යළි ගෙදර ඒනවා.

එතකොට හර්ෂනීට ඇවිදින්න ටිකක් අමාරු වූ අතර ඇය ගමන්කළේ තනි කකුලෙන්.

ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුලත හර්ෂනී සියල්ලන්ගේම හදවත් කම්පා කරවමින් ඇඳට වැටෙනවා.

ඇයට දැන් කතා කරගන්න බෑ. ඇඟේ කිසිම අවයවයක් පණ නෑ.

මව්පියන්ගේ හැමදේම විකුණලා බෙහෙත් කලත් ඇයට කිසිම සුවයක්ගන්න බැරි වෙනවා.

2004 ඉඳන්ම ගෙදරටම වෙලා හර්ෂනීගේ අම්මයි තාත්තයි පුදුම අමාරුවකින් මේ දරුවාගේ බෙහෙත් අවශ්‍ය දේවල් ගන්නේ.

අදට මේ සිද්ධිය වෙලා අවුරුදු 14 ක්මේ ගතවෙන අතර මහත් පරිශ්‍රමයකින් ඔවුන් තමන්ගේ දුව රැක බලාගත්තේ.

එත් දැන් ඔවුන්ටත් ගොඩාක් වයසයි.

මාසෙකට දියණියගේ ඖෂධ වෙනුවෙන් ලක්ෂ එක හමාරකට වැඩි මුදලක් වැයවන බවයි එම තරුණියගේ පියා පවසන්නේ.

මේ වෙද්දී මේ පවුලට කිසිම දෙයක් කර ගන්න බැරුව අසරණවයි ඉන්නේ.

+++++++++++++++++++++++++++++

ලක්ෂ ගණන් වැය කර, ඇඳට වැටුණු දිරිය දියණිය රකින මාපියෝ

(06.10.2018 – deshaya.lk)

ජීවිතේ හරිම පුදුමාකාරය. අවුරුදු තිස්හතක් වූ හර්ෂනී කුමාරි නවරත්න වසර ගණනාවක් තිස්සේම ගෙවන්නේ ලෙඩ ඇඳේය. කුඩා කල දුවපැන ඇවිද අපූරුවට සෙල්ලම් කළ, අධ්‍යාපනයේ ඉහළම ලකුණු ලබපු, සුන්දර රූපයකට හිමිකම් කියපු තම එකම දරුවා අද ගෙවන ජීවිතය දෙස බලා හර්ෂනීගේ මවත් පියාත් ගෙවන්නේ අසරණ කාල පරිච්ඡේදයකි.

1981 වසරේදී ජයන්ති පෙරේරා මහත්මිය ගේත් ඩබ්ලිව්. නවරත්න මහතා ගේත් පුංචි කැදැල්ලට සිඟිත්තියක් එක් වූවාය. ඇය නමින් හර්ෂනී කුමාරි නවරත්නයි. පොලිස් නිලධාරියකු වූ නවරත්න මහතාගේ උපන් ගම රත්නපුරයයි. විවිධ පොලිස් කාර්යාලවල සේවය කළ නවරත්න මහතාගේ අවසන් පොලිස් කාර්යාලය වූයේ හෝමාගම පොලිසියයි. නමුත් අඩු වයසින් නවරත්න මහතාට විශ්‍රාම ගැනීමට සිදුවිය. එයට හේතුව වූයේ රාජකාරි අවස්ථාවක උස් මහලකින් පහළට වැටී කොඳුඇට පෙළට සිදුවූ හානිය හේතුවෙනි. ඔහුට ඒ සඳහා සැත්කමක් කිරීමට ද සිදුවිය.

අවුරුදු දෙකහමාරක් නවරත්න මහතා ලෙඩ ඇඳට පමණක් සීමා විය. එවිට හර්ෂනී ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටියාය. හර්ෂනී මූලික අධ්‍යාපනය ලැබු‍වේ හෝමාගම ජනාධිපති විද්‍යාලයේය. ශිෂ්‍යත්වයට හර්ෂනීව සූදානම් කරන ලද්දේ ද ලෙඩ ඇඳේ සිටි නවරත්න මහතාය. ශිෂ්‍යත්ව විභාගයෙන් හර්ෂනී ඉතා හොඳින් ඉහළින්ම සමත්ව නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වූවාය. හර්ෂනී අනුලාවේ දක්ෂතම ශිෂ්‍යාවක් වූවාය. සාමාන්‍ය පෙළ විභාගයේදී ඇයට “ඒ” සාමාර්ථ දහයක් ලැබිණි.

පාසලේදී ඇය නායකත්ව ගුණාංග පෙන්නුම් කළාය. ඇය අඩි පහමාරක් පමණ උස ශිෂ්‍යාවකි. අනුලා විද්‍යාලයේ වෙනත් ශිෂ්‍යාවක් වරක් ක්ලාන්තය දමා බිම ඇඳ වැටුණාය. හර්ෂනී වහා මැදිහත් වී තනිවම එම ශිෂ්‍යාව දෑතට ගෙන තට්ටු තුනක් ඉහළට රැගෙන ගියාය. ඇගේ ආච්චිඅම්මා මියගිය අවස්ථාවේ හර්ෂනී එකදිගට රාත්‍රී තුනක් නිදිමරා රැය පහන් කර තිබිණි. ඇය ඉතා කඩිසර තරුණියක් වූවාය. ඕනෑම දෙයක් දරාගැනීමේ හැකියාවක් කුඩා කල සිටම හර්ෂනී තුළින් දිස්විය.

සතුන්ට හර්ෂනී අසීමිතව ආදරය කළාය. පාසල් යන හැම දිනකම පාසල් නිල ඇඳුමේ සාක්කුවක මාරි බිස්කට් පැකට්ටුවක් අමතක නොකර හර්ෂනී පාසලට ගෙන ගියාය. අතරමගදී මුණගැහෙන බල්ලන්, පූසන්ට ඒ මාරි බිස්කට් දීම හර්ෂනීගේ සිරිත විය. දඩාවතේ යන සැර බල්ලන් පවා හර්ෂනී ඉතා අපූරුවට යාළු කරගත්තාය. පහුවදා ඒ සත්තු හර්ෂනී එනතුරු බලාසිටියහ. වත්තට එන සතුන්ට ද ඇය කරුණාව දැක්වූවාය. කටුස්සන්ට ඉරටුවකට බත් ඇට අමුණා කෑමට දීම හර්ෂනීගේ එක් ආශාවක් විය. ඉරටුවේ අඟල අඟල කොට කරමින් කටුස්සන් තම දෑතට ගන්නට තරම් හැකියාවක් පසුව ඇයට තිබිණි. වෙනත් තරුණියන් විලාසිතාවලට ඇළුම් කරද්දී ඇයගේ කැමැත්ත කොහේදෝ වෙනත් අපූරු දිශාවකට රැගෙන ගියාය.

මධ්‍යම පන්තියේ අන්තිම අඩියේ ජීවත් වූ හර්ෂනීට හීනයක් තිබුණි. ඒ ජාන තාක්ෂණ විද්‍යාඥවරියක වීමටයි. දේපල උගස් කරමින් හිතවතුන් කිහිපදෙනකුගේ උදව්වෙන් නවරත්නත්, ජයන්තිත් මුදල් සොයා ගනිමින් හර්ෂනීව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට යවන ලද්දේ බොහෝ බලාපොරොත්තු කන්දරාවක් හිත් කොනේ ගුලි කරමිනි. ඕස්ට්‍රේලියාවේ දී හර්ෂනී ජාන වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරුවාය.

ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලය පුරාම හර්ෂනී සෑම දිනකම ලංකා වේලාවෙන් සවස හතරට පමණ අම්මාටත් තාත්තාටත් දුරකතනයෙන් කතාකර දුක සැප විමසුවාය. ඇතැම් දිනවලදී ඇය අම්මාට “අම්මා අදත් ඇප්ලිකේෂන් එකක් ආවා.” කීවාය. ඒ ඇප්ලිකේෂන් එක ගෙන එන ලද්දේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තරුණයන් විසිනි. තමන්ගේ ආදරය පතා එන පිරිමි ළමුන් ගෙනඑන සෑම ආදර යෝජනාවක් පිළිබඳව ඇය අම්මාට දැනුම් දුන්නාය. වරක් නවරත්න “දුව ඇපල් මලක ෆොටෝ එකක් එවන්න.” යැයි කියා සිටියදී ඊළඟ ලියුමත් සමඟ ඇපල් මලක් සමඟ ගත් ඡායාරූපයක් ඇය පියාට තැපෑලෙන් එව්වාය. ඒ ඡායාරූපය පිටුපස ඇය “ඔබ ඇපල් මලක් වාගේ” යැයි තම අත්අකුරෙන් ලියා තිබිණි.

අවසන් වසරේ අවසන් මාස කිහිපයේදී ඇයගෙන් පළමු රෝග ලක්ෂණය මතුවිය. ඒ ඇගේ දකුණු අත වාරු නැතුව යාමය. ඒ 2004 වසරේදීය. “අම්මා… මගේ අතින් පෑන වැටුණා. ඒක මට අහුලගන්න බැරි වුණා. ඇයි දන්නේ නැහැ. කොම්පියුටරය වැඩ කරද්දීත් මවුස් එක අතින් ලිස්සනවා.” යැයි හර්ෂනී දිනක් මවට පැවසුවාය. තවත් දිනෙක ඇය තම යෙහෙළින් දෙදෙනකු සමඟ පාරේ ගමන් කරද්දී ඉන්දීය පිරිමි ළමයෙකු ළඟින් යද්දී ඇය ඔහුගේ ඇඟට මඳක් විසි වී තිබිණි. “අම්මා, මම හිතාමතා ඇඟේ වැදුණේ නැහැ. ඒ පිරිමි ළමයා “මෝඩ කෙල්ල” කියලා මට බැන්නා.” යැයි හර්ෂනී එදින හවසට මවට පැවසුවාය.

මේ නිසාම හර්ෂනී එරට මේ සඳහා ප්‍රතිකාර ගැනීමට උත්සාහ දැරුවද ප්‍රතිකාර සඳහා යන අධික මිල හේතුවෙන් ඇය ප්‍රතිකාර ගැනීම කල් දැමුවාය.

රාත්‍රී අඳුර වැටෙද්දී හර්ෂනීට කාන්සියක් දැනුණි. ඒ හැමවිටම ඇය තම නිවසට කතා කළාය. හර්ෂනී අධ්‍යාපනය ලබන අතරතුරේදී එරට අලුතින් තනනා ගොඩනැගිලිවල පිරිසිදු කරන්නියක ලෙස අමතර රැකියාවක් ද කළාය. “අම්මා දැන් මගේ Exam ඉවරයි. මම ඉක්මනට එනවා. ආච්චි අම්මාට කියන්න මම වෙනුවෙන් බෝධි පූජාවක් තියන්න කියලා.” යැයි හර්ෂනී දිවයිනට ඒමට පෙර අම්මාට කීවාය.

හර්ෂනී :

http://static.deshaya.lk/assets/uploads/image_e62cb265c3.jpg

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් හර්ෂනී දිවයිනට ළඟා විය. ඒ 2005 වර්ෂයේදීය. ගුවන් තොටුපළෙන් ඇය අම්මා වෙත දිව ආවේ මඳක් කලබලයෙනි. ඇය අත ඇගේ පාස්පෝට් එක නොතිබුණි. කෙසේ හෝ අවසානයේදී ඇයගේ පාස්පෝට් එක සොයාගත හැකිවිය. මඳක් අමතක වීමේ ලක්ෂණ ද ඇය කෙරෙන් පහළ වෙමින් තිබිණි.

එක දිනක් ඇය හොඳින් ගෙදර සිටියාය. දෙවැනි දින රාත්‍රියේදී ඇයට අපස්මාරය වැනි රෝග ලක්ෂණ මතුවිය. ඇය මුණින් අතට පෙරළී දඟලන්නට පටන් ගත්තාය. වහාම ඇයව රෝහල් ගත කරනු ලැබීය. මාසයකදී ඇයගේ රෝගය සොයා ගැනීමට හැකිවිය. සරම්ප විෂබීජයක් මොළයට යාම හේතුවෙන් මොළයේ සෛලවලට දැඩිලෙස සිදුව තිබූ හානිය එම රෝගය විය.

හර්ෂනීගේ පියා දියණියට සත්කාර කරමින් :

http://static.deshaya.lk/assets/uploads/image_7fc2b308f7.jpg

හර්ෂනීගේ මව :

http://static.deshaya.lk/assets/uploads/image_044b567a8a.jpg

අද ඇය දවස ගෙවන්නේ ඇඳ මතයි. වසර දහතුනක් තිස්සේ ඇය කිසිවක් කතා නොකරයි. ආහාරය වන්නේ බටයක් ආධාරයෙන් පොවන දියර වර්ග පමණි. අනුලාවේ ඉගෙන ගත් ඉතා දක්ෂ දියණියකගේ බලාපොරොත්තු අද කිසිවක් නැත. ගොඩගැසුණු ඇගේ අධ්‍යාපන සහතික ඇඳ මත තනිය මකයි. ඇය වෙනුවෙන් වෛද්‍යවරුන් පිටි කිරි වර්ග දෙකක් නිර්දේශ කර ඇත. එම එක පිටි වර්ගයක් දිනකට ටින් එකක් අවශ්‍යය. එය ජර්මනියේ නිෂ්පාදිත ISOGAL නම් පිටි වර්ගයයි. එම පැකට්ටුවක මිල රුපියල් දෙදහස් දෙසීය හැටකි. ජර්මනියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හර්ෂනී වෙනුවෙන් මෙවැනි පිටි පැකට් එවන්නට හැකිනම් එය මේ දිරිය දියණියට මහත් උපකාරයක් වනු ඇත.

හර්ෂනීට අවශ්‍ය පිටි වර්ග :

http://static.deshaya.lk/assets/uploads/image_9e554957df.jpg

“අපි කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් නම් මගේ දරුවා වෙනුවෙන් ඒ අවශ්‍ය කරන පිටි, සනීපාරක්ෂක තුවා වැනි දේ පමණක් අපිට ලබාදෙන්න. ඒක ලොකු පිනක්. ඒ වගේම PROGAIN පිටි එකත් දුවට දෙනවා. ඒ පිටි එකත් දවස් පහකට පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු දහතුනක් මායි මගේ මහත්තයයි දුව වෙනුවෙන් බොහෝ දේවල් කළා. අපේ එකම දරුවට මෙහෙම වුණේ කොහොමද?” යැයි හර්ෂනීගේ මව පැවසීය.

“මට දැන් වයස අවුරුදු හැත්තෑවයි. මගේ නෝනට දැන් වයස අවුරුදු හැට තුනයි. අපි දෙන්නගේ මානසික තත්ත්වයයි ශාරීරික තත්ත්වයයි නිසා අපි දෙන්නා ඉන්නේ ලොකු පීඩනයක. මම ඉන්නකන් මගේ නෝනට බයක් නැහැ. මම නැති වුණ දාට මගේ නෝනයි, දුවයි තනිවෙනවා. නෝනාත් නැති වුණදාට අපේ දරුවා මේ ලොකේ තනි වෙනවා. අපිට දේපල අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මගේ දරුවා බලාගන්න පුළුවන් යම් කෙනෙක් හෝ ආයතනයක් තිබෙනවා නම් මේ අපේ දේපල වුණත් දෙන්න අපි ලෑස්තියි. හැබැයි ඉතා විශ්වාසනීයව ඒ දේ කරන්න ඕනේ. අපි ඉන්නකන් අපි නොකා නොබී හරි අපේ දුවව බලාගන්නවා.” යැයි හර්ෂනී පියා දේශයට පැවසීය.

නවරත්න උපන් ගම රත්නපුරය. මැණික්වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක ජීවත් වූ නවරත්නට නිල් මැණිකක් ලැබුණේය. ඒ ආදරණීය දියණියයි. ජීවිතේ බොහෝ බලාපොරොත්තු එක්ක සතුටින් ජීවත් වුණු හර්ෂනීගේ ලෝකය තියෙන බලාපොරොත්තු මොනවාද? අම්මාව තාත්තාව සතුටින් තියන්නට හීන මැවූ ඒ අනුලා කුමාරිගේ අද ඇඳටම සීමා වූයේ මොන පාපයකින්ද…?

ඔබ ආධාර යොමු කළ යුත්තේ :

නම – ඩබ්ලිව්.ඒ.එච්.කේ නවරත්න
ලිපිනය – 25, ප්‍රගති මාවත, හෝමාගම (පොලිසිය ඉදිරිපිට)

ගිණුම් අංකය – 1355338
ලංකා බැංකු ශාඛාව – හෝමාගම

(සටහන – දිශානි ජයමාලි කරුණාරත්න , ඡායාරූප – සුමුදු හේවාපතිරණ)

*****************************************

‘දෙහිවල කෑම හොරා’ කතරගම බත් අම්මාව රවට්‌ටලා; කෑමවලට සල්ලිත් නෑ; උයපු භාජනත් නෑ

(29.09.2018 – divaina.com)

කතරගම පුදබිමක්‌ නිසා වැඩි පිරිසක්‌ පැමිණෙනුයේ බැතිමතුන් ලෙසයි. දෙවියන් බුදුන් වැඳ අධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරගැනීම පිණිස පැමිණෙන වන්දනාකරුවන් නැති බැරි අයට ද උදවු උපකාර කර පරළොව සුගතිය ප්‍රාර්ථනා කරගනු ලබනුයේ තමන් කෙදිනක හෝ මිය යන බව සිහි කරමින්ය. එවන් පුද බිමක කතරගමට පැමිණි පිරිසක්‌ අසරණ බත් අම්මා කෙනකු රවටා රුපියල් 30,000 ක පමණ ආහාර මිල දී ගෙන මුදල් නොගෙවා ඊට අමතරව ආහාර පිසින ලද කුකර් විදුලි උපකරණ ද රැගෙන ගිය අමිහිරි පුවතක්‌ කතරගම පොලිසියෙන් වාර්තාවේ.

බත් අම්මාගේ වයස අවුරුදු 70 කි. ඇය ජීවිතය ගැටගසාගෙන සිටින්නේ වන්දනාකරුවන්ට ආහාර සපයා දෙමින් උපයන මුදලෙනි. පසුගිය දිනක දෙහිවල හිල්වීදිය ප්‍රදේශයේ උත්සව භාණ්‌ඩ සපයන ආයතනයක හිමිකරුවෙක්‌ කතරගමට පැමිණ බත් අම්මා හමු වී බත් ඕඩරයක්‌ භාර දුන්නේය. දින 03 ක්‌ සඳහා 20 දෙනෙකුට අවශ්‍ය තරම් වෑංජන 10 ක්‌ හා කුකුල් මස්‌ කිලෝ 10 ක්‌ මස්‌ හා බිත්තර ඔම්ලට්‌ ද අම්මාට කියා පිළියෙළ කරගෙන වේල් 03 ක්‌ ආහාර සපයා ගනු ලැබීය. මේ සඳහා බත් අම්මා අත්තිකාරම් මුදලක්‌ ඉල්ලුවත් මුදල් පසුව දෙන්නම් කියා රුපියල් 7000 ක්‌ පමණක්‌ ලබා දී ආහාර පිසින ලද විදුලි කුකර් හා වෑංජන සකස්‌ කරන ලද රාස්‌පාං පිටින් මෙම පුද්ගලයා රැගෙන ගියේ බැංකුවෙන් මුදල් ගෙන අදාළ උපකරණ ද රැගෙන එන බව පවසමිනි. බත් සපයා මුදලක්‌ ඉපයූ බත් අම්මා බත් ඕඩරය ලබාදුන් පුද්ගලයාගේ ජංගම දුරකථනයට කතා කළ ද ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත. පසුව බත් අම්මා කතරගම පොලිසියට ගොස්‌ පැමිණිලි කරන්නීය.

පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇත්තේ දෙහිවල කෑම හොරා තිස්‌සමහාරාම ප්‍රදේශයේ කේටරින් සේවයක්‌ පවත්වාගෙන යන මුවාවෙන් පිරිසකට ආහාර ලබාදීම සඳහා බත් අම්මා රවටා ආහාර ගෙන ගොස්‌ අලෙවි කර මුදලක්‌ උපයාගෙන ඇති බවයි. බත් අම්මාගෙන් ලබාගත් ආහාර සඳහා රුපියල් 30,000 කට ආසන්න මුදලක්‌ ද ආහාර පිසූ රයිස්‌ කුකර් හා ආම්පන්න ද ඔහු විසින් රැගෙන ගොස්‌ ඇත. බත් අම්මාට ලබා දී ඇති දුරකථන අංකය ද මේ වන විට විසන්ධි වී ඇත. එමෙන්ම දෙහිවල කෑම හොරා පැමිණ ඇත්තේ අති සුඛෝපභෝගී මෝටර් රථයකිනි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *