පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 4

පිස්සෙක් කියන මාර්සියෙල් වැඩකාරයෙක්ද මරිසිකාරයෙක් ද ?

(30.09.2018 – mawbima.lk)

අලව්වේ නාමල් කුමාර මහතාගේ නිවෙසේදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතික මාර්සියෙල් තෝමස් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට ගෙන එනු ලබයි. රහස් පොලිසිය ඉන් අනතුරුව සිදු කරනුයේ මෙම පුද්ගලයා රඳවා තබාගනිමින් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙතින් රැඳවුම් නියෝගයක් ලබා ගැනීමය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක කාලයක් ඉන්දියානු ජාතිකයා රඳවා තබා ගනිමින් ප්‍රශ්න කෙරෙනු ඇත.

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ පදනම සකසා ගනු ලැබුවේ තෝමස් නාමල් කුමාර හමුවී ප්‍රථමයෙන් ප්‍රකාශ කළ ‘මට දැනෙනවා ඔබට විවෘත තර්ජනයක් තිබෙනවා’ යන කාරණය මතය.

දැනෙන්නේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය. කුමන හෝ තොරතුරකට අදාළව ඔත්තුවක් නොඑසේ නම් ‘දැනගැනීමක්’ නොමැත්තේ නම් මොහු මේ අය සොයා යන්නේ ඇයි? එවැනි ප්‍රශ්න රාශියකට මැදි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු මොහුගෙන් ප්‍රශ්න කිරීම පටන් ගත්හ. ඇතැම් විට පරස්පර විරෝධී ප්‍රකාශයන් සිදුකරන මොහු මෙම පරීක්ෂණය වෙනතක හරවා පරීක්ෂණ කණ්ඩායම නොමඟ හැරීමේ කුමන්ත්‍රණයක නියැළෙන්නේ දැයි යන්න එම නිලධාරීන්ට ඇති වූ තවත් ගැටලුවකි. ඔහුගෙන් කරන ලද කරුණු විමසීමෙන් පසු මේ පුද්ගලයා සම්බන්ධයෙන් රහස් පොලිසිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ ‘මාර්සියෙල් තෝමස්’ යනු කවරෙක් දැයි විමසා තිබිණි.

‘මාර්සියෙල් තෝමස්’ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සංචාරක වීසා පත්‍රයක් උපයෝගි කර ගනිමින් ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා දිනෙකය.

මසක වීසා පත්‍රයකට අනුව මොහු මෙරටට පැමිණෙන්නේ ඉන්දීය ආර්.එස්.එස්. සංවිධානයෙන් තමාට දැඩි ජීවිත තර්ජනයක් ඇතිවීම හේතුවෙන් බව ඔහු රහස් පොලිසියට පවසයි. මෙම ආර්.එස්.එස්. සංවිධානය භාරතීය ජනතා පක්ෂයට සහාය දක්වන සංවිධානයකි.

එම සංවිධානයෙන් තමාට එල්ල වූ ජීවිත තර්ජනය හේතුකොටගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන මොහු මාසයක සංචාරක වීසා කාලය අවසන්වීමෙන් පසු පොලිසියට කට්ටි පනිමින් මෙරට විවිධ ප්‍රදේශවල ජීවත් වන්නේ බෝඩිංකාරයකු පරිද්දෙනි. මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රාගම තේවත්ත ප්‍රදේශයේ නිවෙසක කාමරයක් කුලියට ගෙන රුපියල් 2,500 ක කුලී දීමනාවක්ද ගෙවමින් සිට ඇත.

කිසිදු රැකියාවක් නොකර මෙරට විවිධ ප්‍රදේශවල ජීවත්වීමට හා කාමර කුලියට ගැනීමට මොහු වෙත මුදල් හදල් ලැබුණේ කෙසේද?

එම පැනයට මොහු පිළිතුරු දෙන්නේ තමා පල්ලිවලට ගොස් මුදල් ඉල්ලා ගන්නා බවයි. හොඳින් දෙමළ භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාවද, යන්තමින් සිංහල භාෂාවද හසුරුවන මොහු බැලූ බැල්මටම පිටරැටියකු බව නොපෙනෙයි.

තම රූපයෙන්ද ප්‍රයෝජනයක් ගැනීමට මොහු සමත්ව ඇත්තේ මේ අයුරිනි. එනම් මෙම තැනැත්තා ඉංග්‍රීසි භාෂාවෙන් ගිණුම්කරණය පන්ති පවත්වා ඇති බවටද මේ වන විට රහස් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එක් ශිෂ්‍යයකුගෙන් රුපියල් 4,000 ක මාසික දීමනාවක් ලබා ගනිමින් මොහු එම දරුවන්ට ටියුෂන් දී ඇත. දැන් ඒ බව දරුවන්ගේ මවුපියන් රහස් පොලිසියට ප්‍රකාශ පවා ලබාදී තිබේ. දිවයිනේ තැන් තැන්වල ජීවත් වූ මොහු මාස එකහමාරක පමණ කාලයක් බස් නැවතුමකද ජීවත්ව ඇත.

රහස් පොලිසිය මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙන්ම විශාල මෙමරි පත් සහ පෙන්ඩ්‍රයිව් දෙකක්ද පොලිසිය සිය භාරයට ගෙන ඒවා නඩු භාණ්ඩ වශයෙන් නම් කොට අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පසුව මෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට අධිකරණ නියෝග නිකුත් වී ඇත.

ඒ අනුව එළිවන යාමයේ හොඳ හොඳ සෙල්ලම් ඒ උපකරණ තුළින් එළියට එනු ඇත. පරීක්ෂණ කණ්ඩායම් තවදුරටත් මේ තැනැත්තා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන්නේ තවත් සුවිශේෂී සිද්ධියක් අතරතුරදීම වීම විශේෂ කරුණකි. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තැනැත්තා සම්බන්ධයෙන් කරුණු විමසමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට කළ දැනුම් දීමට අනුව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යයට දන්වා තිබුණේ මෙම තැනැත්තා 2000 වර්ෂයේ සිට මානසික රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගන්නා ලද තැනැත්තකු බවයි.

කෙසේ වෙතත් මෙම ඉන්දීය ජාතිකයා ඉකුත් වසරේ මෙරටට පැමිණීමෙන් පසු තමාට සරණාගතභාවය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබූ බවත් එය තමාට නොලැබුණු රහස් පොලිසියට දන්වා තිබිණි.

කරුණු කාරණා එසේ පෙළගැසෙද්දී මෙම ඉන්දීය ජාතිකයා වරෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් ගොස් ඇති බවත් එහිදී එතැන සිටි ආරක්ෂක නිලධාරීන් ඔහු හිටපු ජනාධිපතිවරයා ආසන්නයට යෑම වළක්වා ආපසු පිටත් කර ඇති බවත් මොහු ප්‍රකාශ කර තිබූ බව රහස් පොලිසියේ නිලධාරියකු සඳහන් කෙළේය.

එසේම තමන් එහි ගොස් ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පැවැසීමට යැයිද මොහු සඳහන් කර ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් තෝමස් කිසිදු අවස්ථාවක වගකිවයුතු ආයතනයක් වෙත ගොස් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී නොතිබිණි. එසේම තවත් ප්‍රබල මැති ඇමැතිවරු කිහිප දෙනකුද මුණ ගැසීමට ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද රහස් පොලිසිය වරෙක සඳහන් කෙළේය. එහෙත් මේ තැනැත්තා එසේ ක්‍රියා කර ඇත්තේ මන්දැයි යන්න සම්බන්ධයෙන් තවමත් ඇත්තේ විසඳාගත නොහැකි ගැටලුවකි.

අදාළ දේශපාලනඥයන් මෙන්ම නාමල් කුමාර සම්බන්ධයෙන් වුවද වුවමනාවක්, කැක්කුමක් ඇති අය මේ රටේ නොමැතිද? ඒ සඳහා ඉන්දියානුවෙක්ම පෙනී සිටිය යුතුද?

එසේ වී නම් ඔහුට ඇති කැක්කුම කුමක්ද?

රැකියාවක් හෝ වෙනයම් කුමන ප්‍රතිලාභයක් හෝ නොමැතිව මෙරට රැඳී සිටින මෙවැනි ඉන්දීය ජාතිකයකුට අපේ රටේ ප්‍රශ්න හමුවේ ‘උණුවීමක්’ ඇති වීම ප්‍රශ්නගත කරුණක් නොවන්නේද? එම ගැටලු එසේ තිබියදී ඉන්දියාව කියන්නේ ඔහුට ‘පිස්සු’ කියාය.

උභතෝකෝටික ප්‍රශ්න ගැටලු මැදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු රඳවා තබා ගැනීම සිදු කරයි. කෙසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තැනැත්තාව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහලේ සායන තුනකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත්විණි. ඒ අනුව මොහුට කිසියම් හෝ මානසික ගැටලුවක් හෝ රෝගයක් ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම සඳහා මානසික රෝග විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කිරීමට සායනයක් වෙත යොමු කිරීම ඉදිරියේදී සිදුවනු ඇති. පළමුව සිදු කළ යුත්තේද එයයි. එසේම මේ වන විට ඔහුගේ දකුණු අතේ අස්ථි බිඳීමක් සිදුව ඇති බැවින් විකලාංග සායනයක් වෙතද අධික රුධිර පීඩනය සඳහා කායික රෝග සායනය වෙතද ඉදිරිපත් කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. දැන් මොහුට අධික රුධිර පීඩනයද වැලඳී ඇත.

අපේ රටේ ප්‍රශ්න හමුවේ මෙවන් අයට හිත උණුවෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂා නොකළහොත් අධික රුධිර පීඩනය ඇති වන්නේ අපේ රටේ ජනතාවටය. මෙම පුද්ගලයා අධිකරණයේ නිරීක්ෂණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය විත්ති කූඩුවේ සිටි ඔහු සමඟ ඉංග්‍රීසි භාෂාවෙශ්‍රී කතා කළාය. ‘තමාට වෙනයම් ප්‍රතිකාරයක් අවශ්‍ය දැයි අධිකරණය විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ වෙන කිසිවක් අවශ්‍ය නොවන බවයි. එසේම තමා පොලිසිය තුළ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බව මහෙස්ත්‍රාත්වරිය ඔහුට පැවැසූ අතර ඔහු විසින් දෑත් එක්කර වැඳ වැටෙමින් එය පිළිගැනීමක් දක්නට ලැබිණි.

අධිකරණයට රැගෙන එන මොහොතේදීත් ඉන් පිටව යන කාලය අතරතුරේදීත් රහස් පොලිස් භාරයේ සිටි මොහු පිස්සකු – නොඑසේ නම් කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නකු ලෙසින් දිස්නොවීම විමතියට කරුණකි. බැලූ බැල්මටම එසේ නොවන්නටද පුළුවන. එය තීරණය කළ යුතු වන්නේ විශේෂඥ වෛද්‍යවරයකුමය. එහෙත් එවැන්නකුට ටියුෂන් පන්ති ගුරුවරයකු ලෙස ජීවත් විය හැකිද?

එසේම මොහුට ඉන්දීය ආර්.එස්.එස්. සංවිධානයෙන් ජීවිත තර්ජන එල්ල වනවා යැයි මොහු පවසන්නේ ඇයි?

කිසිදු කාරණාවක් නොමැතිව කුමන හෝ සංවිධානයකින් ‘ජීවිත තර්ජන වැනි දේවල්’ එල්ල විය හැකිද? ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් මෙරට රැඳී වැරැදි සිදු කරමින් සිටි මොහු සැබැවින්ම කවුරු විය හැකිද? ඒ සියල්ල විසඳාගත හැකි වන්නේ ඔහු භාවිත කළ ජංගම දුරකථනය සහ අනෙක් උපාංගවල දත්ත සහ තොරතුරු රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලැබුණු පසුවය. එසේම මොහු මානසික රෝගියකුද නොඑසේ නම් කුමන රෝගයකින් පෙළෙන්නේද යන්න සම්බන්ධයෙන් වාර්තා ලද පසු මොහු සැබෑවටම කවරෙක්දැයි හඳුනා ගත හැකි වෙයි.

එතෙක් ‘පිස්සකු’ නොවූ ‘පිස්සෙක්’ යැයි කියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන ‘මාර්සියෙල් තෝමස්’ ගැන අවදියෙන් ඉන්නට අපට සිදුවෙයි.

– දනුජය අමරකෝන්

+++++++++++++++++++++++++++++++++++++

ඉන්දියානු රෝ ඔත්තුකරුවා නාමල් හොයාගෙන කැලේ මැදින් හොර පාරෙන් ආපු හැටි…!

(30.09.2018 – mawbima.lk)

ඉන්දීය ජාතිකයා නාමල් හොයාගෙන කැලේ මැදින් හොර පාරෙන් ආපු හැටි…!

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධව දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් සිදු කරන ලද හෙළිදරව්ව පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී. ඒ අතර නාමල් කුමාර සොයා ඔහුගේ නිවෙසට පැමිණි නන්නාඳුනන ඉන්දීය ජාතිකයකු නිසා සිදු කෙරෙන විමර්ශන නව මුහුණුවරක් ගෙන තිබේ. හදිසියේ පහත් වූ මේ ඉන්දීය ජාතිකයා කවුද? ඔහු නීතියේ රැහැනට හසු වූයේ කෙසේද? මේ පිළිබඳ තොරතුරු සොයා අපි ප්‍රථමයෙන්ම නාමල් කුමාර මහතා හමු වුණෙමු.

නාමල් මේ අද්භූත පුද්ගලයා කවුද? කොහොමද ඔහුගේ පැමිණීම සිදු වෙන්නේ?

මේ පුද්ගලයාගේ නම තෝමස්. ඔහු ඉන්දියාවේ කේරළයේ පදිංචි අයෙක්. පළමුවෙන්ම ආවේ 17 වැනි බදාදා හවස 4.00 ට විතර මගෙ ලිපිනය කරඳ, තුල්හිරිය කියලනෙ පත්තරවල ගියේ. ඒ අනුව මෙයා තුල්හිරියෙන් බැහැල ගම් අස්සෙන් තමයි පාර සොයාගෙන ඇවිත් තියෙන්නෙ. එහෙම එද්දී ඔය කැලේ මැදින් තමයි එන්න වෙන්නෙ. එහෙම එද්දි මට ඒ පැත්තෙ අය කෝල් දුන්නා, නාමල් මෙන්න මෙහෙම කෙනෙක් ඔයාව හොයාගෙන එනවා. එයාට හරියට සිංහල කතා කරන්නත් බෑ කියලා.

නාමල් ගෙදරින් අයින් වුණාද?

නැහැ. මම කිව්වා බාධාවක් කරන්න එපා එන්න අරින්න කියලා. පස්සෙ මනුස්සය මෙහාට ආවා. එක පාරටම ගෙට ගත්තෙ නැහැ. මම කාමරේ ඉඳන් බලාගෙන හිටිය. වයිෆ් ගිහින් කතා කළා. ඔහු කිව්වා, ‘‘මට නාමල්ට කතා කරන්න ඕන. නාමල්ගෙ ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා. මම ආවේ ඒ ගැන දැනුවත් කරන්නයි.’’ කියලා.

නාමල් මොකද කෙළේ?

මම අර පුද්ගලයා මිදුලෙ ඉද්දි වයිෆ්ට කාමරේට කතා කළා. මම එයාට කිව්වා දැන් උදේ වරකාපොළ පොලිසියේ ඕ.අයි.සී. මහත්තය ඇවිත් ගියානෙ. ඒ මහත්තය කිව්වේ ආරක්ෂාවට මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනින් දැනුම් දෙන්න කියලනෙ. දැන් ඔයා ඕ.අයි.සී. මහත්තයට කෝල් එකක් අරන් මෙන්න මෙහෙම පුද්ගලයෙක් ගෙදරට ඇවිත් ඉන්නවා මොකද කරන්නෙ කියලා අහන්න කියලා. ඊට පස්සෙ වයිෆ් මේ ගැන කියල මොකද කරන්නෙ කියලා මහත්තයාගෙන් ඇහුවා.

මහත්තයා කියල තිබුණේ ඒ තැනැත්තාට ෆෝන් එක දෙන්න කියලා. ඉතින් මම කාමරේ බලා ඉද්දි වයිෆ් අර කෙනාට ෆෝන් එක දුන්නා.

ඕ.අයි.සී. මහත්තය කතා කරල කියල තියෙන්නෙ, ‘‘මචං මම නාමල් මගෙ ආරක්ෂාවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවෙ ඉන්නෙ වරකපොළ පොලිසියේ. මාව හම්බුවෙන්න ඕන නම් පොලිසියට ඇවිත් මාව හමු වෙයන්. ඕන තරම් වෙලා කතා කරන්න පුළුවන් කියලා.’’

හරි ඊළඟට මොකද වුණේ?

ඒ පුද්ගලයා පොලිසියට යන විදිය පාර අහගෙන මාව හමුවෙන්න යනවා කියලා වයිෆ්ටත් කියල යන්න ගියා.

මිනිහ වරකා පොළට ගිහිල්ලා අර මට කතා කරපු නොම්මරේට කෝල් එකක් අරන් තියෙනවා. එතකොට ඕ.අයි.සී. මහත්තය කියල තියෙනව හරි පොලිසියට එන්න කියලා.

ඒකටත් උත්තර දීල තියෙනවා. ‘‘ඔව් මම එනවා කියලා.’’

ඒත් සෑහෙන වෙලාවක් ගියත් ආවෙ නැති නිසා ඕ.අයි.සී. මහත්තය එයාට කෝල් එකක් අරන් තියෙනවා. එතකොට ‘‘මම බස් එකේ ඉන්නෙ. මම උඹව නිදහස් වෙලාවක ඇවිත් හමුවෙන්නම්.’’ කියල ගිහින් තියෙනවා.

ඒ වෙලාවෙම ඕ.අයි.සී. මට කතා කළා.

‘‘නාමල් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේක සී.අයි.ඩී. එකට දන්වන්නග’’ කිව්වා. ඊට පස්සේ මම සී.අයි.ඩී. එකට මේ සිදුවීම දැනුම් දුන්නා.

දැන් ඒ වෙනකොටත් මේ නාඳුනන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැහැ ?

ඔව්. නමුත් මගෙන් විස්තර දුරකථන අංක ලබා ගත්තනෙ. ඒ අනුව පරීක්ෂණ සිදු කරන්න ඇති. ඊට පස්සෙ මට ඒ තැනැත්තා එවපු මැසේජ් එකකුත් මම සී.අයි.ඩීයට යැව්වා. ඊට පස්සෙ මට උපදෙස් දුන්න කොහොම හරි මෙයාට කතා කරල හමුවෙන්න යොදාගන්න කියලා.

නාමල් ඔහුට කතා කළාද?

ඔව්. මම කිව්වා ‘‘මට උඹව හමුවෙන්න ඕන’’ කියල. ඒකට හා කිව්වා. තව ගොඩක් දේ ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා. මට ඒවා තේරුණේ නැහැ. මම 20 වැනිදා උදේ 10.00 ට විතර තමා ඔහුට කතා කළේ. මම හවස වරකපොළ හිටියෙ මෙන්න 3.00 ට විතර මට ගෙදරින් කතා කරල කිව්වා ‘‘මෙන්න අර පුද්ගලයා ගමට ඇවිත් ඉන්නවා’’ කියලා.

මම වරකපොළ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තයටත් කියල ඒ ගමන්ම සී.අයි.ඩී. එකටත් දැනුම් දුන්නා. මෙන්න පුද්ගලයා ඇවිත් ඉන්නවා කියලා. ඒ වෙලාවෙම සී.අයි.ඩී.ය ක්‍රියාත්මක වුණා. ඒ මහත්තුරු එනකන් මෙයාව රඳවාගන්න කියලා මට උපදෙස් දුන්නා. මම 4.00 ට විතර වෙද්දී ගෙදරට ආවා.

වරකාපොළ පොලිසියේ නිලධාරීන් ආවද?

ඔව්. දෙදෙනෙක් සිටියා. ඒ අය මෙයා රඳවා ගන්න ඇවිත් ඉන්න බව ඔහු දන්නේ නැහැ. මගේ ආරක්ෂාවට ඇවිත් ඉන්නවා කියලා තමයි ඔහු හිතුවේ.

ඒ පුද්ගලයා නාමල් එනකොට ගෙදරට ඇවිත් සිටියාද?

ඔව්. මේ පුටුවෙ ඉඳගෙන හිටියේ. මම අතන වාඩිවෙලා කතා කරමින් සිටියා.

මොනවද ඔහු කතා කළේ?

ලෝකයේ තිබෙන සූක්ෂ්ම මිනිස් ඝාතන පිළිබඳව ඔහු දීර්ඝ ලෙස විස්තර කළා. රසායනික අවිවලින් මිනිසුන් මරන හැටි. කෙමිකල්ස් යොදා ඝාතන සිදු කරන හැටි. මේ ආකාරයට මෙහෙම සිදුවෙන්න පුළුවන්. මුහුණට කෙමිකල් ස්ප්‍රේ කරන්න පුළුවන්. පාරෙ යද්දී කුඩුකාරයෙක් වගේ ඇවිදින් ඔයාගෙ පර්ස් එක අදින්න හදල ඔයා ගහන්න පනිද්දි බෙල්ලට දැලි පිහියක් අදින්න පුළුවන්. එතකොට පරීක්ෂණ යන්නෙ කුඩු කේස් එකක් විදියට. මේ වගේ ප්‍රශ්න විස්තර කළා. ඔහු කීවේ මේ ඝාතන කුමන්ත්‍රණ හෙළි කිරීම නිසා මගේ ජීවිතයට මෙන්න මේ විදියේ අනතුරු එල්ල වෙන්න පුළුවන් බවයි.

ඔහු සිංහල භාෂාව කතා කළාද?

නැහැ. කැඩිච්ච සිංහල කතා කළේ. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි විස්තර කළේ. අපිට තේරෙන විදියට අපි වටහාගත්තා. මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. නමුත් මෙයා කියන්නෙ මේකයි කියලා වැටහුණා.

නාමල් එයාගෙන් ඇහුවේ නැද්ද ඇයි ඔයා මට උදවු කරන්න අදහස් කළේ කියලා?

මම ඔහුට ප්‍රශ්න ගොඩක් දැම්මා. ඔහු කිව්වේ, ‘‘මගෙ ඥාතීන් බොහෝ දෙනා ඉන්දියාවේ ප්‍රශ්නවලදී මැරුණා. මම දැන් ලංකාවෙ ඉන්නෙ. ආයෙ ඉන්දියාවට නම් යන්නෙ නෑ. මගෙ අතත් කැඩිල තියෙන්නේ.’’ (කැඩුණු අතත් පෙන්නුවා)

ලංකාවෙ කොහෙද ඉන්නේ කියලා ඇසුවාද?

ඔව්. රාගම ඇනෙක්ස් එකක නැවතී සිටින බවත් ඊට රුපියල් 2,500 ක් මාසිකව ගෙවන බවත් කිව්වා. මට එතැනත් සැකයක් ඇති වුණා. රුපියල් 2,500 ට රාගම ඉන්න පුළුවන්ද කියලා. අනෙක ඔහු මෙහේ ඉඳන් යාළුවකුට කෝල් එකක් ගත්තා. මම ඒ නොම්බරේ බලාගෙන ඒකට කතා කරලා ඇහුවා.

‘‘මට ඔයාගෙ යාළුවෙක් හමුවුණා. ඔයා කොහොමද මෙයාව හඳුනන්නේ?’’ කියලා. එතකොට ඔහු කීවා ‘‘මමත් එච්චර හඳුනන්නේ නැහැ. ඇයි එයාට ප්‍රශ්නයක් ද ?’’ කියලා තුන් හතර පාරක්ම ඇසුවා. ‘‘ඇයි, ඇයි, එයාට ප්‍රශ්නයක්ද ?’’ කියලා. ‘‘නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ’’ කියලා මම උත්තර දුන්නා. ‘‘ඔබතුමා අඳුනනවා කීව නිසා කෝල් එක ගත්තෙ. එයා ලංකාවෙ නොවේ ඉන්දියාවේ කෙනෙක් කියනවනෙ. ඒක සනාථ කරගන්න කතා කළේ’’ කීවා.

කොළඹින් සී.අයි.ඩී. එක එද්දී රෑ වුණාද?

රෑ 7.30 ට විතර වෙනකොට ආවා. ‘මෙයා කියන කරුණු පරස්පර නිසා එක්ක යනවා’ කියලා ඒ පදනමින් ගෙන ගියා.

ඔහු ඇසුවේ නැද්ද ඇයි ඔහුව ගෙනියන්නේ කියා?

යන්න බෑ කිව්වා. ඒත් වරකපොළ පොලිසියේ යුනිෆෝම් ඇඳපු නිලධාරීන් දෙදෙනෙක් හිටියනෙ. එයාලගෙ සහායෙන් ගෙන ගියා. මගෙන් නිලධාරීන් ඇහුවා ‘‘මොකද කරන්නේ?’’ කියලා. මම කීවා ‘‘මගෙ ගෙදර මෙයා තියාගන්නත් බෑ. මට තීරණ ගන්නත් බෑ. ඒ වගේම මට මෙයාව ගෙනියන්න කියල ඔයාලට කියන්නත් බැහැ. නමුත් මොනව හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාල වගකියන්න ඕන. ආරක්ෂාව සම්බන්ධ සම්පූර්ණ වගකීම තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ අතේනෙ. තීරණයක් ගන්න’’ කියලා.

පස්සෙ ඒ පැමිණ සිටි නිලධාරීන් කොළඹට කතා කරලා ශානි අබේසේකර මහත්තයාගෙන් නියෝගයක් ලබා ගෙන තමයි මෙයාව අරගෙන ගියේ. ඉන් එහාට සී.අයි.ඩී. එකේ විමර්ශන ගැන මම වචනයක්වත් අහන්න යන්නෙ නැහැ. ඒක අහන්න සුදුසුත් නැහැ. ඒක ඒගොල්ලන්ගෙ රාජකාරියනෙ. මම හිතනවා ඔහු මා සොයා පැමිණියේ කුමකටද යන්න පිළිබඳවත් සත්‍ය හෙළිවේ යැයි කියලා.

– උදේනි සමන් කුමාර

+++++++++++++++++++++++++++++++++++++

සිංහලේ ජාතික සංවිධානයෙන් නාමල් කුමාරට චෝදනාවක්

(29.09.2018 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජාතිවාදී කෝලහල ඇති කිරීම සඳහා කුමන්ත්‍රණ දියත් කළ බවට සිංහලේ ජාතික සංවිධානය චෝදනා කරනවා.

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A

එම සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා මෙම චෝදනාව එල්ල කළේ නාමල් කුමාර මහතා තමන් සම්බන්ධයෙන් ඊයේ කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් නමැත්තා සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග සෘජු සබඳතා පවත්වන බවට නාමල් කුමාර මහතා ඊයේ චෝදනාවක් එල්ල කළා.

+++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

සිංහලේ අපි සංවිධානයෙන් නාමල් කුමාරට චෝදනාවක්

(29.09.2018 – 20:27 +0530 – sinhala.adaderana.lk)

මෙරට සිටින රෝහින්‍යා සරනාගතයින් විරෝධය පළ කළ පිරිස් අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් සිංහලේ අපි සංවිධානය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි සාමාජිතයින් අනාවරණය කළේ එම විරෝධය සඳහා නාමල් කුමාරද එක්ව සිට් බවයි.

එහිදී අදහස් දැක්වූ සිංහලේ අපි සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම සිදුවී වසරක් ගතවන බවත් මෙම විරෝධතාව සඳහා නාමල් කුමාර මහතාද සම්බන්ධ වූ බවයි.

නාමල් කුමාර මහතා එම විරෝධතාවට සම්බන්ධ වූ බවට අදාළ වීඩියෝ පටයක්ද ඔවුන් මෙහිදී ප්‍රදර්ශනය කළේය.

භික්ෂූන් වහන්සේලා හා තරුණ තරුණියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සියල්ල පාවාදුන් නාමල් කුමාරට රටේ සිටීමේ අයිතියක් නොමැති බව එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ අසේල ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++++

නාලක ද සිල්වාට තවමත් නීතිය ක්‍රියාත්මක නෑ – විමල් වීරවංශ

(30.09.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සාක්ෂි පැවතිය ද තවමත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජනහමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

ටී.56 දෙකක් යවන්න ප්‍රංශයෙන් මුදල් ගත්තේ නාලක සිල්වා දැනුවත්වයි… මෛත‍්‍රි සහ ගෝඨා ඝාතන කුමන්ත‍්‍රණයේ තවත් හෙළිදරව්වක්

(30.09.2018 – divaina.com)

1818 කැරැල්ලට වසර දෙසීයක් සපිරෙන නොවැම්බර් විසිතුන් වැනිදා ගරිල්ලා සටනකට සූදානමක් තිබුණා…

වත්මන රට තුළ මහා කැළඹිල්ලක් ඇතිව තිබෙන වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කළ සැලසුම් පිළිබඳ විමර්ශණ දැන් විවිධ ස්වරූප ගනිමින් සිදු වන්නේය. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර පැයක් තුළ කී කතාවකින් ලොවක් සෙලවුණු බව රට්ටු දනී. ත‍්‍රස්ත විරෝධී රටට අගතියක් සිදුවීමට ගියේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට රටේ ආරක්ෂක බලධාරියකු වන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ගිය අවස්ථාවේ දී නාමල් කුමාර වෙත ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හඳුන්වා දුන් මොහොතේ සිට ඇති වූ විවිධ සිදුවීම් මත කතාව ගොඩ නැගී ඇතැයි උපකල්පනය කළ හැක්කේ තවමත් විමර්ශණ සිදුවන නිසාය.

සාකච්ඡාවලට අදාළ හඬ පට පිළිබඳව නිශ්චිත නිගමන කරා එලැඹීමට අදාළව නාමල් කුමාරගේත් නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේත් කටහඬ පරීක්ෂා කිරීම ඉකුත් දිනවලදී සිදු කෙරුණේ බත්තරමුල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදීය. අනතුරුව ඉකුත් විසිහය වැනි බදාදා නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණේ තමන් සතුව තිබූ තවත් තොරතුරු ගොන්නක් ද රැගෙනය. ඔහු කියන පරිදි ඊට ඇතුළත් ව තිබූයේ තමා සමග සම්බන්ධතා පැවැත්වූ ප‍්‍රලංශයේ වෙසෙන ප‍්‍රභාකරන් චිත‍්‍රපටයේ නිර්මාතෘ යැයි කියන පුද්ගලයකු සමග කළ කතා බහ සලංවාද ඇතුළත් හඬ පටය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වරක් තමන්ට තර්ජන කළ බව කියන අවස්ථාව සහ සෙසු කතා බහ ඇතුළත් හඬ පටය, පොලිස්පති පූජිත ජයසුන්දර සමග කළ කතාබහ ඇතුළත් හඬ පටය, ඉන්දියානු ජාතිකයා සිය නිවසට පැමිණ කළ කතා බහ ඇතුළත් හඬ පටය, සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දැනුවත්ව ප‍්‍රලංශයේ පදිලංචි පුද්ගලයා සමග කළ ගනුදෙනුවල සාක්ෂි සහිත ලදුපත් ඇතුළු තවත් තොරතුරු ය. මේ අන්දමට සාක්ෂි ලබා ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සිදු කරන්නේ ලොවක් බලා සිටින කතාවක විමර්ශණය ය.

ඒ අතර අපූරු සිදුවීම් මාලාවක් අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මෙම විමර්ශණ ඇරඹුමේ දීම කියා සිටි පරිදි හඬ පටය පිළිබඳව සැකයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු බවත් කී විට ඇති වූ කුකුස අද ජනතාව තුළ යළි යළිත් ඇතිව තිබෙන්නේය. ඉන්දියානු ජාතිකයා මානසික රෝගාබාධයකින් පෙළෙන්නේද යන්න සොයා බලන ලෙස වෛද්‍ය පරීක්ෂාවකට ඔහු යොමු කිරීම හරහා දහසක් දේ සිතෙන්නේ කවරකු පිළිබඳව හෝ කැත සිතකින් නොවේ. මේ නීතිය මේ සදාචාරය සහ නිරවද්‍යභාවය ගැතිභාවය සඟවමින් සිදු වන්නේ කුමක්ද යන පැනය දිය යට සැඟවූ රබර් බෝලයක් සේ යළි මතුවීම පමණි.

ඒ සමගම නාමල් කුමාර පවසන දෑ පිළිබඳව යළි අවධානය යොමු කරන්නට සිත්වන්නේ, එහි නව තොරතුරු කිහිපයක් ගැන කියවෙන නිසාය.

‘මම පාවාදෙන්නෙක් කියා ඇතැමුන් කියා තිබුණත් මගේ සිතට අවලංකව මම පාවාදෙන්නෙක් නොවෙයි. අපිව මේ ලෝකයට බිහි කළ අම්මා තාත්තා සමග ඇතැම් විට අප වැරදි ආකල්ප මත වගේම දොස් දකින අවස්ථා එනවා ඇති. නමුත් ඔවුන් දෙපළ ගේ ජීවිතවලට හානි කරන යමක් සිදුවන බව දැන ගත් විටක අපි නිහඬව සිටිනවා නම් අපි බිව් කිරිවලටත් සාප වේවි. මෙතන සිදුවන්නෙත් එවැනි තත්ත්වයක්. මට නොලැබුණු මුදලකට හෝ කිසියම් පුද්ගලයකුගේ චරිතය ඝාතනය කිරීමේ අභිලාෂයක් මා තුළ නැහැ. මම පොරක් විය යුතුයි හෝ ජගතෙක් විය යුතුයි කියන චේතනා මට නැහැ. මම උදව් කළේ රටට සමාජයට ජනතාවට ආරක්ෂාව සපයන බලධාරීන්ට. ඒ බලධාරින් තම තමන්ගේ පෞද්ගලික වාසි තකා විවිධ දේශපාලකයින්ගේ අරමුණු කරා අයුතු ලෙස කටයුතු කරනවා නම් මට බලා ගෙන ඉන්න බැහැ. මට ඒවාට උදව් උල්පන්දම් දෙන්න බැහැ.

ඇත්තවශයෙන් ම කියනවා නම්, මම හෙළිදරව් කළේ ප‍්‍රංශයේ වෙසෙන පුද්ගලයකු ලංකාව තුළ ඇති කිරීමට සැලසුම් කළ සටනක් ගැන. ඒ සටන එසේ මෙසේ එකක් නෙවෙයි. ඔහුගේ අපේක්ෂාව වූයේ 1818 කැරැල්ල ඉතිහාස ගතවුණා සේම 2018 නව ගරිල්ලා කැරැල්ලක් ඇති කිරීම. ඒ සඳහා ඔහු ගේ සැලසුම් ගත ක‍්‍රමවේදයක් තිබුණා. මම ඒ වග මේ පොලිස් බලධාරීන්ට කිව්වා. ඔවුන් ඒ සඳහා සෘජුව කටයුතු නොකරමින් තම තමන්ගේ උවමනාවන් සඳහා විවිධ අය යොදා ගන්නට යන එක මට තවත් බලා ගෙන ඉන්න බැරි වුණා. ඒ නිසයි මේ හෙළිදරව්ව කළේ. අදටත් තවමත් ගරිල්ලා අන්තවාදි සටනක් ඇති කරන්නට ප‍්‍රංශයෙන් කෙරෙන සැලසුම් ගැන නිසි පරිදි සොයා බැලීමක් සිදු වන්නේ නැහැ.

මා ගැන කිසිවක් නොදන්නා බව කී ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ සියලු තොරතුරු දන්නවා . ඒ පමණක් නොවෙයි, ප‍්‍රංශයේ පදිංචිකරුවකු ලෙස සිටින මෙම සැලසුම් හදන පුද්ගලයා ලබා දෙන තොරතුරු සියල්ලක්ම මම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට දුන්නා. ඒකට හොඳම සාක්ෂිය තමයි වරක් ප‍්‍රංශයේ පදිංචිකරුවා ගෙන් මට ඉල්ලීමක් ලැබෙනවා ටී 56 ගිනි අවි දෙකක් එවන ලෙසට. මම ඒ ගැන නාලක සිල්වාට කියනවා. ඔහු කියනවා අපි දෙන්නම් කියලා ඔහුට කියන්න කියලා. මම ඒ ගැන කියනවා. ඉන්පස්සේ මට මනිග‍්‍රෑම් හරහා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ එකහමාරක් ලැබෙනවා… ඒ මුදල් කිසිදවසක නාලක සිල්වා ඇල්ලුවේවත් නැහැ. ඉන් රුපියල් ලක්ෂයක් මම පන්සලක් හදන්න පරිත්‍යාග කරනවා. ඉතිරි මුදල් ෆෝන් බිල් ගෙවන්නත් අලුත් ෆෝන් එකක් ගන්නත් මම වැය කළා. ඉන් පස්සේ නාලක සිල්වා මම සහ ප‍්‍රංශයේ සිටින පුද්ගලයා වෙන වෙන සිම් හරහා තමයි කතාබහ කළේ. මොකද ප‍්‍රංශයේ සිටින පුද්ගලයාට ඇති තරම් ප‍්‍රබල සම්බන්ධතා තියෙනවා. ඔහු මේ රටේ දේශපාලකයෝ කිහිප දෙනෙකු සමගත් ඉතාම කුළුපග ලෙස කටයුතු කරනවා. මේ හැම දෙයක්ම නාලක සිල්වා සහ පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා දන්නවා. දන්නා බවට සාක්ෂිත් තිබෙනවා.

මම ප‍්‍රංශ ජාතිකයාගේ ඡායාරූප ඉඳන් විස්තර තොරතුරු ලිඛිත සාක්ෂි ගොන්නක් ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයට ලබා දී තිබෙනවා. ඒ ලිපි ගොනු දැන් කොහෙද කියා මට ප‍්‍රහේලිකාවක් ඇති වෙලා තියෙන්නේ. මොකද මගේ හෙළිදරව්වෙන් පසුවත් දින තුනක් නාලක සිල්වා ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ අණදෙන නිලධාරි – නියෝජ්‍ය පොලිස්පති කියන තනතුරේ සේවය කළා. අනතුරුව ඔහු තොරතුරු තාක්ෂණ ඒකකයේත් බලධාරියා ලෙස එක දවසක් වැඩ කළා. මේවා සැලසුම් සහගතව සිදු වූ කටයුතු කියා මම එකහෙළාම කියනවා. මොකද මම මේ උදවිය සමග සෑහෙන කිට්ටු සබඳතාවයකින් කටයුතු කර තිබෙනවා. දැන් විමර්ශණ සිදු කෙරෙන බව හැබෑව. නමුත් සාක්ෂි ලෙස ලබා ගත හැකි බොහෝ දේවල් ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාසයේ තිබු ලිපි ගොනු හඬපට වෙනත් සාක්ෂි අද තිබෙනවා ද කියා දන්නේ නාලක සිල්වා ම තමයි.

ඉන්දියානු ජාතිකයා මා සමග කියා සිටි බොහෝ දේ අතරේ ගරිල්ලා සටන් ක‍්‍රම අයිඑස්අයිඑස් සලංවිධානවල තොරතුරු පමණක් නෙවෙයි… විවිධ ඝාතන සම්බන්ධ ඡායාරූප ඔහුගේ දුරකතනයේ තිබුණා. ඔහුට කිසියම් මානසික රෝගයක් ඇති බවට ඉන්දියානු තානාපති කාර්යාලය නිවේදනයක් මගින් කියා සිටින්නේ කුමන චේතනාවකින්ද… මේ පුද්ගලයා මාස හතක් ලංකාවේ වීසා නැතුව ඉන්නේ රෝගීභාවය නිසාද? මෙම පුද්ගලයා තවත් දේශපාලකයෝ කිහිප දෙනෙක් මුණ ගැහෙන්න ගොස් ඇති වගට දැන් තොරතුරු ලැබී තිබෙනවා. නාමල් කුමාර වන මාවම සොයා ගෙන එන්නේ මානසික රෝගියෙක් නිසාද? මානසික රෝගයක් ඇති බවට ප‍්‍රකාශ කිරීම හරහා මේ රටේ ජනතාව තුළ ඇතිවන්නේ රටේ ආරක්ෂාව ගැන අපැහැදිලි අදහසක්. එවැනි තත්ත්වයක් ඇති කිරීමට මේ බලධාරින් නිලධාරින් ඉඩ තැබීම හාස්‍යජනකයි. අද හෝ රටේ ආරක්ෂාව ගැන මෙයට වඩා විමසිලිමත්ව කටයුතු කළ යුතු බව මම නැවත කියනවා. හේතුව වට්ටමඩු පල්ලිය ආශ‍්‍රිතව යම්කිසි සිදුවීමක් සිදුවීමට සැලසුම් කළේ නොවැම්බරයේදී. මේ වග ජනතාව හෝ දැනුවත්ව ආරක්ෂාව සපයාගත් බව මම කියනවා (?). මම මේ තොරතුරු දෙන්න ගිය වෙලාවේ අමුත්තන්ගේ ලේඛනයේ මගේ නම සඳහන් වූ විට, ඒ නම ඉවත් කරන්න පවා නාලක ද සිල්වා කටයුතු කළ අවස්ථා තිබුණා.’’

සියල්ල කෙසේ හෝ නිමා විය හැකි මොහොතක් ඉදිරියේදී උදාවනු ඇත්තේය. ආණ්ඩුව විපක්ෂය ජනපති අගමැති පොලිසිය රස පරික්ෂක දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනය හිතවත්කම අවස්ථාවාදී භාවය, ගැතිභාවය, යටහත්භාවය හෝ මේ කවරකු වුවද තම තමන්ගේ හෝ වෙන කාගේ හෝ සතුටට යහපතට ගැතිව කටයුතු කළහොත් තීන්දු තීරණ කුමක් වුවත් තම තමන්ගේ හෘද සාක්ෂියෙන් පලා යා නොහැකි වන්නේය. කෙටි කලකට ලැබෙන තාන්න මාන්න උදෙසා තම ආත්මය පාවා දෙන උදවිය වේ නම් ඔවුහු කවරදාක හෝ සිය පාපය විඳව විඳවා ගෙවා දමනු නියතය……

– සමන්තී වීරසේකර

+++++++++++++++++++++++++++++++++++++

කමාන්ඩෝ කණ්ඩායමක් හැදීමට පොලිස්පතිගෙන් DIG නාලක අනුමැතිය ගත්තේ ඇයි

(01.10.2018 – mawbima.lk)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තුළ කමාන්ඩෝ පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පතිවරයාගෙන් අනුමැතිය ලබා ගත්තේ කුමන චේතනාවකටද යන්න සොයා බැලීම සඳහා රහස් පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

අධි බලැති අවි ආයුධ සමඟ විශේෂ පුහුණුවක් ලද පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තුළ ස්ථාපනය කිරීමට අවශ්‍ය බව සඳහන් කර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස්පතිවරයාට මීට මාස කිහිපයකට ඉහතදී ලිඛිතව දැනුම් දී ඇති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විශේෂ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසටද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස්පතිවරයාට දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී. එම ලිඛිත ඉල්ලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද අනුමැතිය ලබා දී ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ගයන් පවසයි.

අධි බලැති අවි ආයුධ භාවිත කිරීමටත්, සතුරු ප්‍රහාරවලට මුහුණදීම සහ සුවිශේෂී මෙහෙයුම් සිදු කිරීම සඳහාත් විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරීන් පිරිසක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටින නිසාත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඔවුන්ගේ ඕනෑම විමර්ශනයක් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලබා ගැනීමට හැකියාවක් තිබියදීත් මෙවැනි විශේෂ ඒකකයක් බිහි කිරීමේ චේතනාව කුමක් දැයි නාලක ද සිල්වා මහතාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙකී කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ මීට දින කිහිපයකට ඉහතදී ප්‍රකාශ සටහන් කරගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සිදු කරන ලද ප්‍රකාශවලට අනුව බවද රහස් පොලිස් ආරංචි මාර්ගයන් කියා සිටී.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හට චෝදනාවක් එල්ල වන්නේද ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි පැවැසෙන කරුණුවලට අදාළවය ෴

+++++++++++++++++++++++++++++++++++++

නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යට, තවත් පැමිණිල්ලක්

(01.10.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අනාවරණ කළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ හෙළි කළ නාමල් කුමාර, ප්‍රංශයේ සිට මෙරට ගැටුම් ඇති කිරීමේ නිරත වූ බව කියන තුෂාර පීරිස් නමැති පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා අනාවරණයක් සිදුකළා.

ඔහු සමඟ මඩකලපුව ප්‍රදේශයේ ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් ඉදිරිපත් කිරීමටයි නාමල් කුමාර පසුගිය 28 වනදා කටයුතු කළේ.

එමෙන්ම, මුස්ලිම් දේශපාලනඥයෙකු සහභාගි වන රැස්වීමකට පහරදීමේ සැලැස්මක් සම්බන්ධයෙන් වූ දුරකථන සංවාදයක් ද එදින ඔහු මාධ්‍යයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමිනුයි නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ.

මීට පෙර නාමල් කුමාරට එරෙහිව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර, චෝදනා එල්ල වී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නිල කාමරය මුද්‍රා තබා ඇති බවට තොරතුරු වාර්තා වුණා.

එමෙන්ම ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් ද විමර්ශන සඳහා අපරාධ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ඥාණසාර හිමියන්ට දානවේල පිටතින් ලබාදීමට අවසර ඉල්ලයි

(01.10.2018 – 12:52 +0530 – hirunews.lk/sinhala)

දැනට සිර දඩුවම් නියමවී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දානවේල පිටතින් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක නියෝජිතයින් අද බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් භාරදුන්නා.

ඥාණසාර හිමියන්ට වෛද්‍ය උපදෙස් මත නිසි ආහාර වට්ටෝරුවක් නියම කර ඇති බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ.

එසේම බන්ධනාගාරය තුළදී ඥාණසාර හිමියන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා සිටි බව ද උන්වහන්සේ කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++++

DIG නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක්..?

(01.10.2018 – 22:17 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක් තිබේ ද?

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ තවත් එක් මිනීමැරීමේ උත්සාහයක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම. 1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය ආරංචි වුණු වහාම එහි සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත්තා. නියෝජ්‍ය පොලිස්පතිවරු වගේම හමුදාවේ කර්නල්වරු ඒ අතරේ හිටියා. රටේම ගෞරවයට පාත්‍ර වුණු පූජ්‍ය හේනපිටගෙදර ඥාණසීහ නායක හිමියන් තමයි රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක හිමියන්. 1966 දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට උන් වහන්සේ සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම උන් වහන්සේගේ ගෞරවණීය තත්වය නොබලා අත්අඩංගුවට ගත්තා.

ඒ වගේම 1971 දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම තමන්ගේ කෙනා කියලා බැලුවේ නෑ. ආණ්ඩුව වහාම අත්අඩංගුවට අරන් සිර ගත කළා. ලංකාවේ විතරක් නොවේ. ලෝකය පුරාම තත්වය ඒකයි. නමුත් මේ ලෝක දහම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පමණක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

නාලක සිල්වා කට ඇරියොත් තව කී දෙනෙකු අත්අඩංගුවට ගන්න වේවි ද දන්නේ නෑ. ඒ නිසා මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි. නාලක සිල්වාගේ දේහය වල දාන කොට එයා දැන ගෙන සිටි රහස් සියල්ලත් සදහටම වැලලෙනවා. නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඔහු මරා දැමීමට ද යන සාධාරණ සැකය අපට දැන් තිබෙනවා.

ඔය අතරේ නාමල් කුමාර මානසික රෝගියෙක් බවට ප්‍රචාරයක් යවනවා. කිසිම මානසික රෝගයක් නැති අය ගෙන් තමන්ට තර්ජනයක් තිබෙන විට ඔහුට ‘පිස්සු’ කියන ලේබලය අලවා අංගොඩ නතර කිරීම පිළිබඳ මනා පලපුරුද්දක් සහ විශේෂඥ දැනුමක් තිබෙන ඇමතිවරයෙකු ආණ්ඩුවේ ඉන්න නිසා නාමල් කුමාරටත් සුකී තිලකසිරිට අත් වුණු ඉරණම අත් වෙන්න ඉඩ තිබෙනවා. අවසානයේ දී නාලක ඝාතනය වෙලා පස්යට වැලලී යාවි. නාමල් අංගොඩ යාවි. ඝාතන කුමන්ත්‍රණය ඝාතනය වේවි.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++++

ත්‍රස්ත විමර්ශන ලොක්කා ඩීඅයිජී නාලක ත්‍රස්ත සැකකරුවන් 12,500 කගේ දත්ත මකා දාලා..! බූස්ස කඳවුරේ සියළුම දත්ත මකලා…! නාලකට එරෙහි චෝදනා 22 ක් මෙන්න..!

(02.10.2018 – News e Lanka)

ත්‍රස්ත විමර්ශනය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්තවාදී සැකකරුවන් 12,500 කගේ ඡායාරූප සහිත දත්ත ගබඩාවක් විනාශ කර දමා ඇතැයිද, බූස්ස රැඳවුම් කඳවුරේ සම්පූර්ණ දත්ත ගබඩාවම මකා දමා ඇතැයිද පොලිසියේම පිරිසක් චෝදනා කරති.

එමෙන්ම කුප්‍රකට පාතාලයන් වන ආමි සම්පත්, බ්ලූමැන්ඩල් අසංක, සංජීව සමරරත්න යන අයගේ සමීපතමයෙකු වන මාතලේ රාජපක්ෂ නමැත්තා අත් අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබූ පිස්තෝල කිහිපයක් සහ ස්නයිපර් ගිනි අවියක් අධිකරණයට ඉදිරිපත් නොකොට නාලක සිල්වා විසින් ගල් කර ගන්නා ලදැයිද පොලිසියේ කණ්ඩායම චෝදනා කර තිබේ.

නාලක සිල්වාට එරෙහිව පොලිසිය තුල විරෝධතා දක්වන පිරිස් විසින් ඔහුට එරෙහිව සාක්කි සහිත චෝදනා 22 ක් ගොනු කර තිබේ. එකී චෝදනා 22 පහත ඉමේජ වල දැක්වේ :

+++++++++++++++++++++++++++++++++++++

නාමල් සහ නාලක අධිකරණයට පැමිණෙයි

(08.10.2018 – 10:11 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මිට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

එහිද අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණයේ අවසරයකින් තොරව මොවුන් දෙදෙනාට විදේශගත වීමද තහනම් කළ බවයි.

මේ අතර රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ හඩපට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳව නාමල් කුමාර විසින් පසුගියදා තොරතුරු අනාවරණය කළේය.

එහිදී මොහු විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍යවෙත ඉදිරිපත් කරමින් අදාළ තොරතුරු අනාවරණය කළ අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කෙරුණි.

+++++++++++++++++++++

නාමල් කුමාරගේ චෝදනා පොදියට ප‍්‍රංශයේ තුෂාර පිළිතුරු දෙයි

+++++++++++++++++++++++

තවත් හඬපට 20 ක් අනිද්දා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(09.10.2018 – 19:40 +0530 – lankadeepa.lk)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධියට අදාල තවත් හඬපට 20 ක් අනිද්දා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.

මෙම හඬපට අතර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ හඬපට මෙම සිද්ධියට අතර මැදියෙක් වශයෙන් කි‍්‍රයා කළ නාලක සිල්වා මහතාගේ ප‍්‍රධාන ගෝලයකු වන ත‍්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ තවත් පොලිස් නිලධාරියකුගේ හඬපටයක් ප‍්‍රංශයේ වෙසෙන ශි‍්‍ර ලංකිකයකු වන තුෂාර පීරිස්ගේ හඬපට නැගෙනහිර පළාත් හිටපු දේශපාලනඥයකුගේ හඬපට ඇතුලු හඬපට රැසක් ඇතුළත් බව නාමල් කුමාර මහතා කියා සිටියේය.

මෙම හඬපට අනිද්දා පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවද නාමල් මහතා කියා සිටියේය.

තමන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප‍්‍රකාශවල මෙම හඬපට සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දී ඇති බවද නාමල් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++

10.10.2018

++++++++++++++++++++++++++++

නාමල් කුමාර ගැන CIDයට පැමිණිල්ලක්

(12.10.2018 – 14:55 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙසට පෙනී සිටිමින් වංචනික කටයුතුවල නිරතවී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ නාමල් කුමාර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ස්වේච්ඡා සාමාජිකයෙකු ලෙසට පසුගිය වසරවලදී ස්ව කැමැත්තෙන් සහභාගී වී තිබු බවයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චිගේ අත්සනින් යුතුව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නාමල් කුමාර, ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබන අයෙකු ද නොවන බව හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය නොකරන බවයි.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් ව්‍යාප්ත කිරීම සහ තොරතුරු ලබාගැනීමේ අරමුණින් ස්වේච්ඡා අයදුම්පත් මාර්ගයෙන් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පවතින අතර ඒ සඳහා අවශ්‍යතාව ඇති පුද්ගලයන් 20,000 කට අධික ප්‍රමාණයක් එම වැඩපිළිවෙලට සම්බන්ධ වී ඇති බවයි.

වරකාපොළ ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර ද ස්ව කැමැත්තෙන් මත්ද්‍රව්‍ය නිවාරණය කාර්යයන් සඳහා උපකාර කිරීමට එකගතාව පළ කරමින් කෑගල්ල ප්‍රදේශයේ ස්වේච්ඡාවෙන් සේවය කර ඇති පුද්ගලයෙක් පමණක් බවයි මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි සඳහන් කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++++

නාමල් කුමාරගෙන් සී.අයි.ඩී ය පැය පහක් ප්‍රශ්න කරයි

(16.10.2018 – divaina.com)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන් ඝාතන සඳහා කුමන්ත්‍රණයක්‌ පැවැති බවට තොරතුරු හෙළිකළ දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ නමැත්තාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15 වැනිදා) පැය පහකට ආසන්න කාළයක්‌ තිස්‌සේ ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන ඇත

නාමල් කුමාරගේ නමැත්තා වරින් වර මාධ්‍ය ඔස්‌සේ හෙළිදරව් කළ තොරතුරු මෙන්ම හඬපට කීපයක්‌ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණ කළ බවට නාමල් කුමාර මාධ්‍ය හමුවේ සඳහන් කර තිබිණි.

ඊයේ පස්‌වරු 02.15 ට පමණ නාමල් කුමාරගේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස රාත්‍රී 07.00 වන තෙක්‌ ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

– හේමන්ත රන්දුණු

+++++++++++++++++++++++++++++++++++++

හඩපට ගැන නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ විමසිල්ලෙන් බව සිංහලේ ජාතික සංවිධානය කියයි

(16.10.2018 – 18:45 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසිල්ලෙන් බලා සිටින බව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් පවසනවා.

%E0%B7%84%E0%B6%A9%E0%B6%B4%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92

මේ අතර ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පැමිණීමට නොහැකි බවට දැනුම්දී තිබුණා.

තම දරුවා අසනීප තත්ත්වයේ පසුවන බැවින් මෙලෙස පැමිණීමට හැකියාවක් නොමැති බවයි ඔහු දැනුම්දී ඇත්තේ.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සහ පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි ගැන මෙහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍රකාශය ලබාගැනීම සඳහා ඔහුට වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර ඇතිවූ දුරකථන සංවාද සම්බන්ධයෙන් දැනට අනාවරණය වී ඇති තොරතුරු හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ කටයුතු කළ යුතු බවටයි සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අවධාරණය කළේ.

+++++++++++++++++++++++++++++++++++++

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 3

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *