අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය ආනයන සීමා පනවයි

(29.09.2018 – 18:27 +0530 – lankadeepa.lk)

ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් වේ :

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ.

• රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවනු ලැබේ.

• සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබේ. මෙම කාලය තුළදී සහනදායී පදනම මත නිකුත් කරන බලපත් වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරනු නොලැබේ.

• දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන සඳහා වාහනයේ වටිනාකම අනුව ණය අනුපාතය 70:30 සිට 50:50 දක්වා සංශෝධනය කෙරේ.

• බස්රථ, ලොරි සහ ගිලන් රථ වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200% ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

• ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100% ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.

මෙම නියමයන් අද (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන නමුත් විනිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත ෴

+++++++++++++++++++++++

+++++++++++++++++++++++

30.09.2018

+++++++++++++++++++++++

ආනයනය සීමා කිරීමෙන් ගැටළුවට විසඳුම් හොයන්න බැහැ

(30.09.2018 – 19:09 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍යංශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මත කළ නව ආනයන රෙගුලාසි හේතුවෙන් රථවාහන වල මෙන්ම ජංගම දුරකථන , රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ආනයනික විද්‍යුත් උපකරණ රැසකද මිලගණන් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් පවසයි.

මේ අතර ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ රුපියල අවප්‍රමාණය වීමෙන් එල්ල වන බලපෑම් වැළැක්වීම සඳහා ආනයනය සීමා කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බවයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අවප්‍රමාණය වීම පසුගිය සති කිහිපය පුරා දිගින් දිගටම සිදු වූ අතර ඒ අනුව ඊට විසඳුමක් වශයෙන් රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක්ම ගනු ලැබීය.

බස් , ලොරි ,ගිලන් රථ හැර වෙනත් වාහන සදහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200 ක තැන්පතුවක් අනිවාර්යකිරීම එහි එක් පියවරක් වූ අතර හයිබ්‍රිඩ් රථ වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගැනිමේදි මෙතෙක් ලබාදී තිබු 70% ක අගය එහි වටිනාකමින් 50% දක්වා අඩු කිරීම එලෙස ගැනුණු තවත් පියවරකි.

මෙම ක්‍රියාමාර්ග මෙරට වාහන වෙළෙඳ පොළට කෙසේ බලපාවිදැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා අදහස් පළ කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ මේ තුළින් ඉදිරියේදී වාහන ආනයනය විශාල ප්‍රමාණයකින් සීමා වනු ඇති බවත් මෙම තත්ත්වය ඉදිරි අවුරුදු එකහාමාරක කාලය තුළ පවතිනු ඇති බවයි.

මේ අතර නිවැසියන් සාමාන්‍ය පරිහරණයට යොදාගන්නා ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන ,අනෙකුත් දුරකතන හා උපාංග , රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආදිය ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100% ක තැන්පතුවක් තැබිය යුතු බවටද ඊයේ නිවේදනය කෙරිණි.

මුදල් අමාත්‍යංශය ගත් මෙම පියවර මගින් රජයේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක කරා ළඟාවිය හැකි වේදැයි අප කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ ආනයනය සීමා කිරීම හරහා පමණක් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බවයි ෴

+++++++++++++++++++++++++

30.09.2018

*****************************************

පානීය ජල බෝතලයටත් උපරිම සිල්ලර මිලක්

(30.09.2018 – 16:03 +0530 – sinhala.adaderana.lk)

පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් තර ඇත.

• ඒ අනුව මිලිලීටර් 350-499 ත් අතර ජල බොතලයක් රුපියල් 26 වන අතර මිලිලීටර් 500-749 ත් ජල බොතලයක් රුපියල් 35 වේ.

• ලීටර් 1-1.49 ත් අතර ජල බොතලයක් රුපියල් 50 වන අතර ලීටර් 1.5-4.99 ත් ජල බොතලයක් රුපියල් 70 යි.

• ලීටර් 1.5-4.99 ත් අතර ජල බොතලයක් රුපියල් 70 ක් වන අතර ලීටර් 5-6.99 ත් අතර ජල බොතලයක් රුපියල් 150 වේ.

• ලීටර් 7ක ජල බොතලයක් රුපියල් 170 ක් වේ ෴

*****************************************

තාක්ෂණ නගරයට සමගාමීව යටිතල පහසුකම් සංවර්ධනය කරයි

(30.09.2018 – 08:55 +0530 – sinhala.adaderana.lk)

දැනුම උසස් තාක්ෂණය සහ නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයකට මග කියන හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසයි.

මේ වන විට ප‍්‍රධාන විශ්වවිද්‍යාල තුනක් වන කොළඹ, මොරටුව සහ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයන් හි තාක්ෂණික පීඨයන් මෙම ප‍්‍රදේශවල ඉදිවෙන බවත් මේ සඳහා පූර්ව අවශ්‍යතාවයක් හැටියට අප හඳුනාගෙන ඇති බවත් මෙම ප‍්‍රදේශයේ යටිතල පහසුකම් විශේෂයෙන්ම මාර්ග පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, ඒ යටතේ ප‍්‍රධාන මාර්ග ලෙස පිටිපන – තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පන්සල හන්දිය මාර්ගය, කහතුඩුව ජම්බුගස්මුල්ල මාර්ගය සහ මාහේනවත්ත නව පිවිසුම් මාර්ගය ඇතුළු තවත් නව පිවිසුම් මාර්ග කිහිපයක් සමග කොටස් 6 ක් අප හඳුනාගෙන තිබෙන බවද ඒ මහතා පැවසීය

ඒ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් ගබඩාවේ සිට තාක්ෂණ විශ්ව විද්‍යාලය හරහා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් මාසයේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා රජය රුපියල් මිලියන 148 ක මුදලක් ආයෝජනය කර ඇති අතර එය 2019 ජූලි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තුවනවා. මෙම මාර්ග පද්ධතිය මගින් එම ප‍්‍රදේශයේ ඉදිවන සියළුම තාක්ෂණ පීඨ, විශේෂයෙන්ම හරිත විශ්ව විද්‍යාලය, නැනෝ තාක්ෂණ ආයතන ඇතුළු දැනට පවතින ආයතන ගණනාවකට වඩාත් උසස් අන්දමින් ගමනා ගමන පහසුකම් සැපයීම සිදුවනවා ඇතැයි ද වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++++

‘සුව සැරිය’ ගිලන් රථ සේවය උතුරු මැද පළාතටත්

(29.09.2018 – 00:00 +0530 – lankadeepa.lk)

ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් “1990-සුව සැරිය” ගිලන් රථ සේවයේ ගිලන් රථ 21 ක් උතුරු මැද පළාත සදහා බෙදා දීම අනුරාධපුර යොවුන් නිකේතනයේ දී අද (29) දින සිදු කෙරිණි.

මෙම ගිලන් රථ 21 න් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා 14 ක් ද පොලොන්නරුව දිස්ත්‍රීක්කය සදහා 07 ක්ද මෙහිදී ලබාදුන්හ.

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ළමා සහ කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, පළාත් ආණ්ඩුකාර ඇම්.පී. ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්සෝම, ඉන්දීය නියෝජය මහ කොමසාරිස්වරයා ඇතුළු ඉන්දිය නියෝජිකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *