එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළියේ පසේ වෙනසක්

(29.09.2018 – 18:44 +0530 – hirunews.lk/sinhala)

එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පස විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය උද්‍යාන බෝග හා සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතා පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී එළවළු අස්වැන්න සීඝ්‍ර ලෙස පහත වැටීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල වර්ග සහ එළවළු වර්ග ප්‍රධාන වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව වගා කෙරෙනවා.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පසට එකතු වන පොහොර ප්‍රමාණය ද අති විශාලයි.

බෝග වගාව සදහා පස් කිලෝග්‍රෑමයකට පොස්පරස් මිලිග්‍රෑම් 30 ක් ප්‍රමාණවත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වනවා.

කෙසේ වෙතත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින පසෙහි පොස්පරස් ප්‍රතිශතය මිලිග්‍රෑම් 100 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා සිදුකළ පර්යේෂණයකදී අනාවරණ වී ඇත්තේ.

එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල එම අගය මිලිග්‍රෑම් 400 ක් වැනි ඉතා ඉහළ අගයක් ගන්නා බව ද සදහන්.

වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් එළවළු ගොවීන් අධිකව පොහොර භාවිත කිරීම මීට හේතුව බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන බෝග සහ සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතා සදහන් කළේ.

මෙම ව්‍යසනයේ තවත් දිගුවක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍ර දූෂණය වීමේ පෙර සලකුණු මතුව ඇති ආකාරයක් ද දක්නට ලැබෙනවා.

බොහෝ ස්ථානවල පවතින ජලයේ කිසියම් ඇල්ගී විශේෂයක් දක්නට ලැබෙන අතර, සුප්‍රසිද්ධ ග්‍රෙගරි වැව ද ඊට ඇතුළත්.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සරත් අමරසිරි මහතා ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ පොස්පරස් ජලාශවලට ගලාගෙන ගොස් එහි ඇල්ගී වර්ධනය වන බවයි.

පසුව එම ජලාශ භාවිතයට ගත නොහැකි මට්ටමට පත්වන බව ද ඔහු සදහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ එළවළු වගා කරන වෙනත් ප්‍රදේශවල ද අධික ලෙස පොහොර භාවිතය සිදු වන බවයි.

*****************************************

‘අද දෙරණ උකුස්සා’ට හසු වු රෝද තුනේ ජාවාරම

(29.09.2018 – 21:23 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර නගරයේ කලක පටන් සිදුකරගෙන ගිය ත්‍රීරෝද රථ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

අනුරාධපුර අන්නාසිගල රජමහා විහාරයේ විහාරාධිපති කුඩානැලිබාවේ අත්තදස්සි හිමියන්ට අයත් ත්‍රී රෝද රථයක් යම්කිසි පුද්ගයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන එය නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් ඉල්ලා සිටින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා අදාල හිමිනම සමඟ එක්ව අදාල පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරදීම සඳහා මෙහෙයුමක් දියත් කළේය.

එහි පළමු පියවර ලෙස උකුස්සා මෙම හොරකම සිදුකර ඇති බවට පැවසෙන පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ මෙලෙස සම්බන්ධ කරගනු ලැබීය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සමඟ එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළේය.

මෙම කූඨ ක්‍රියාව සිදුකරන බවට පැවසෙන පුද්ගලයා නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් උපාය දූතයෙකු සමඟ උකුස්සාද අනුරාධපුර නගරයට පැමිණියේය.

අනතුරුව උකුස්සා ඇතුළු පිරිස අනුරාධපුර නගරයේ අදාල මුදල ද සූදානම්කර තිබෙන බවට පවසමින් අදාල පුද්ගයන් ගෙන්වා මුදල් ලබා ගන්නා අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ලැබීය.

පසුව පැහැරගනු ලැබූ ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි කූෆ සිදුවීම් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *