බොරලැස්ගමුවෙදී බීමත් වෛද්‍යවරිය පැදවූ වෙස්ල් එකේ හැපුණ කාර් රියදුරු පොලිස් පියා මරුට – බිරිය පුතුන් දෙදෙනාට බරපතලයි

(30.09.2018 – gossiplankanews.com)

අද (30) අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව වික්‍රමරත්න මාවතේදී සිදුවූ අනතුරක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

බොරලැස්ගමුව දෙසට ධාවනය කළ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෛද්‍යවරියක පදවාගෙන පැමිණි වෙසල් වර්ගයේ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර කාර් රථයේ ගමන් කළ පියා මව හා වයස 21 ක් 5 ක්වූ පුතුන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇත. එකම පවුලේ සිව්දෙනා බරපතල තුවාල ලද පසුව අසල්වාසීන් එක්වී කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති නමුත් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුවූ පියා 2.20 ට පමණ මියගොස් ඇත. බරපතල තුවාල ලැබු ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 21 ක පුතු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 05 පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

මියගිය අජන්ත ගාමිණි ගමගේ නමැති වයස අවුරුදු. 51 ක් වූ පියා නො. 68/11, වැව පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචිකරුවකු වන අතර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය 2018.09.30 වන අද දින සිදු කිරීමට නියමිතය.

අනතුර සිදු කළ කාන්තාව වෛද්‍යවරියක බවත් ඇය රත්නපුර මහරෝහලට අනුයුක්ත දියවැඩියා වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වන දිලානි කාංවිගා නැමැත්තියක බවත් වාර්තාවේ.

අනතුර සිදුකරද්දී ඇය බීමත්ව සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත.වෛද්‍යවරිය ලබන මස 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය අද (30) නියෝග කළාය.

අනතුර නිසා ඇය තුවාල ලබා ඇති අතර ඇය පොලිස් භාරයේ සිටිමින් කළුබෝවිල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන්නීය.

බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+++++++++++++++++++++++++

++++++++++++++++++++++++++

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ බොරලැස්ගමුවේ වෙසල් වැගන්-ආර් අනතුරින් පසු බීමත්ව සිටි වෛද්‍යවරිය මත්පැන් බී නැතැයි වෛද්‍ය වාර්තාවක්

(01.10.2018 – gossiplankanews.com)

ඊයේ (30) අලුයම බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී විශේෂඥ වෛද්‍යවරියක විසින් පදවාගෙන ගිය වෙසල් වර්ගයේ රථයක් පොලිස් පරික්‍ෂකවරයාගේ පුතු පදවාගෙන ආ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් පොලිස් පරීක්‍ෂකවරයා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ සිද්ධියක් වාර්තා විය.

පැපිලියාන වික්‍රමරත්න මාවත අසලදී ඊයේ අලුයම 12.45 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණි. අනතුරින් මියගොස් තිබුනේ පොලීස් බොක්සින් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ අජන්ත ගාමිණි ගමගේ (51) නමැති තිදරු පියෙකි.

https://4.bp.blogspot.com/-K1ngZpsOQv8/W7Hi1m_EO_I/AAAAAAABlUQ/SeKR-cOluv0NiYZPZLQKHW51e0vJ6xHjwCLcBGAs/s1600/collage.png

පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු පවුලේ පිරිස ඥතියකුගේ පිරිත් ගෙදරකට ගොස්‌ නැවත පැමිණෙමින් සිට ඇති බවත්, එහිදී ඔවුන් ගමන් ගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ වැඩිමහල් පුතු විසින් පදවා ඇති බවත් හෙළිවිය.

බරපතල තුවාල ලැබු මියගිය අයගේ බිරිඳ හා වයස අවුරුදු 21 ක පුතු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 05 පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ ජීප් රථය පැදවූ වෛද්‍යවරිය රත්නපුර මහ රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍ය නිලානි කාංවිගා ගුණවර්ධන (39) වන අතර අනතුර සිදුවන අවස්ථාවේ මෙම වෛද්‍යවරිය අධික ලෙස බීමතින් රිය පැදවූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් සනාථ වී තිබේ. පොලිසිය අධිකරණයටද ඒ බව දැනුම්දී ඇත.

කෙසේ වෙතත් වෛද්‍යවරිය බීමතින් සිටියාද නැද්ද යන්න ගැන හෙළී කිරීමේදී මෙම පරීක්ෂණයේදී ගැටලු කාරී වූ බවත් අනතුරත් සමඟ ජීප් රථය පැදවූ සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇත්දැයි දැන ගැනීම සඳහා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයකු වෙත ඇය ඉදිරිපත් කළද මත්පැන් ගඳ වහනය නොවන බවට ඔහු සිය වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බවද පොලිසිය කියයි. පසුව පොලිස් නිලධාරීන් වෛද්‍යවරියට ඇල්කෝලයිසරයකට පිඹීමට සලසාදීමෙන් අනතුරුව ඇය මත්පැන් පානය කර ඇති බැව් අනාවරණය කරගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය. ඇය වෛද්‍ය ක්ෂෙත්‍රයේම කෙනෙකු නිසා කළුබෝවිල වෛද්‍යවරයා සාවද්‍ය වාර්තාවක් ලබාදෙන්නට ඇතැයි හෝ ගඳ වහනය නොවන නමුත් මත්වන ඇල්කොහොල් වර්ගයක් ඇය පානය කර ඇතැයි ඒ අනුව සැක මතුවේ. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ පොලිසිය සොයාගත් දත්තයි.

වාහනයේ සංගීත කණ්ඩායමක තරුණියක හා තරුණයන් දෙදෙනෙකුද රැගෙන අධික වේගයෙන් ඇය රිය පදවා තිබේ. ඔවුන් මෙලෙසින් බීමතින් අධික වේගයෙන් පැමිණ ඇත්තේ පෞද්ගලික සාදයකට යාමට යයි සැක කෙරේ. එම තරුණිය ගල්කිස්ස ප්‍රදේශයේ කැරොකේ සමාජ ශාලාවක ගායිකාවක ලෙස සේවය කරන්නියක වන අතර අනෙක් තරුණයින්ද එහි සංගීත ශිල්පීන් බව කියැවිණි.

සැකකාර වෛද්‍යවරියට සුළු තුවාල සිදුවූ අතර නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.

පිළියන්දල විද්‍යාල මාවතේ පදිංචිව සිටිමින් රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන මෙම සැකකාර ගුණවර්ධන හඳුන්ගේ නිලානි කාවිංගා වෛද්‍යවරිය පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට රෝහල් ගත කර තිබේ.

තම මවගේ උපන් දිනය නිමිත්තෙන් ඇයට ආශිර්වාද පතා බොරලැස්ගමුව, මහරගම පාරේ සහෝදරයකුගේ නිවෙසේ පැවැති පිරිත් පින්කමක් අතර පොලිස් පරීක්‍ෂකවරයා තම බිරිය හා දරු දෙදෙනා සමඟ අලුයම පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පොලිස් නිවාසය වෙත මෝටර් රථයෙන් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

කොළඹ දෙස සිට පැමිණි වෛද්‍යවරිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී පොලීස් පරීක්‍ෂකවරයා ඇතුළු පිරිස ගමන් ගත් මෝටර් රථයේ ගැටී තිබේ.වෛද්‍යවරියගේ සුඛෝපභෝගී ජීප් රථය මෝටර් රථයේ මුහුණට මුහුණලා ගැටීමත් සමඟ මෝටර් රථය මාර්ගයේ පසෙකට විසිවී නවතා තිබු වෑන් රථයක බඳ කොටසෙහි වැදී නතර වී තිබූ බවත් එසේ නොවන්නට මෝටර් රථය අසල තාප්පයේ ගැටී මීට වඩා ජීවිත අනතුරක් වන්නට බොහෝදුරට ඉඩ තිබූ බවත් පොලිසිය කියයි.

අනතුරින් ජීප් රථයට මෙන්ම මෝටර් රථයටද බරපතළ අලාභ හානි සිදු වී වායු බැලුන්ද ක්‍රියාත්මක වී තිබී ඇත.

අනතුර සිදුවන අයුරු පොලිස් පරීක්‍ෂකවරයා පැදවූ වාහනයේ සවිකර තිබූ කැමරාවක හා අසළ වෙළෙඳ සැලක cctv සටහන්ව තිබූ අයුරු :

++++++++++++++++++++++++++

බොරලැස්ගමුවේ අනතුර ගැන මත දෙකක්

(03.10.2018 – 08:10 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් පසුගිය 30 වනදා බොරලැස්ගමුවේදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍යවරිය කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින් නොසිටි බවට ප්‍රකාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ අවස්ථාවේදී කළ ස්ථානීය බැලුම් පරීක්ෂාවේදී ඇය බීමතින් සිටි බවට අනාවරණ වූ බවයි.

පසුගිය 30 වනදා අලුයම 12.50 ට පමණ බොරලැස්ගමුව – පැපිලියාන – වික්‍රමරත්න මාවතේදී සිදුවූ රිය අනතුරකින් කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ අජන්ත ගාමිණී ගමගේ නැමති පොලිස් පරීක්ෂකවරයා මියගියා.

එම අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබුණේ එම අවස්ථාවේ ඇය බීමතින් සිට ඇති බවටයි.

කෙසේ වෙතත් ඇයව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මූලික වෛද්‍ය පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇයගෙන් මත්පැන් ගඳ වහනය නොවන බවයි.

කෙසේ වෙතත්, ඇය තවත් පුද්ගලයෙකු සමඟ ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් මත්පැන් පානය කළ බවට අදාළ හෝටලයේ ඔවුන්ට සේවය සැපයූ වේටර්වරයා ද කටඋත්තරයක් ලබාදී ඇති බවයි මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ වේටර්වරයාගේ ප්‍රකාශ අනුව වෛද්‍යවරිය දේශීය මත්පැන් බෝතලයක්, විදෙස් මත්පැන් මිලිලීටර 100 ක ප්‍රමාණ 2 ක් හා බියර් දෙකක් ඇණවුම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය මත්පැන් පානය කරන වීඩියෝව එළියට

(05.10.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

බීමත්ව සිටි බව කියන වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියේදී කලුබෝවිල ශික්ෂණ රෝහල අසත්‍ය වාර්තා ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට කරුණු වාර්තාකරන බව පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදී පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසුවේ අනතුර සිදුකළ වෛද්‍යවරිය සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී වෛද්‍යවරියක පැදවූ මොටර් රථයක් මාර්ගයේ වැරදි මංතීරුවේ ධාවනයවී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මොටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වුණේ පසුගිය මස 30 වැනිදා අළුයමයි.

අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුකළ වෛද්‍යවරිය බීමතින් සිටි බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ අතර ඇය නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර පොලිසිය සිදුකළ ශ්වසන වායු පරීක්ෂණයේදී බීමත්ව සිටින බව හෙළි වූ අදාළ වෛද්‍යවරිය මූලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කෙරුණු අවස්ථාවේ වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ ඇගෙන් මත්ද්‍රව්‍ය දුගඳක් වහනය නොවන බවයි.

නමුත් අනතුර සිදුකළ වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී මත්පැන් පානය කළ බවට, එහිදී ඇය වෙනුවෙන් සේවය සැපයූ වේටර්වරයා කටඋත්තරයක් ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

අනතුර සිදුවීමට පෙර දින රාත්‍රියේ අදාළ වෛද්‍යවරිය හෝටලයක කිසියම් පිරිසක් සමඟ සිටින බව කියන සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් ද අප වෙත ලැබී තිබෙනවා.

මේ අතර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේල අදාළ වෛද්‍යවරිය මත්පැන් පානය කර නොමැති බවට අසත්‍ය වාර්තාවක් ලබාදුන් කලුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ සමබන්ධයෙන් දැනුවත් කරන බවත් අනතුර සිදුකළ වෛද්‍යවරිය සම්බන්ධයෙන්ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

+++++++++++++++++++++++++++

පැපිලියාන අනතුරේ ‍දොස්තර නෝනා සොයා මව්බිම ගිය ගමන

(07.10.2018 – mawbima.lk)

පසුගිය 30 වැනිදා අලුයම 1.30 ට පමණ පැපිලියාන වික්‍රමරත්න ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තිඹිරිගස්යාය පොලිස් ක්‍ෂේත්‍රබල මූලස්ථානයේ පදිංචිව සිටි පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක ගමගේ අජන්ත ගාමිණි මහතා මිය ගියේය.

මෙම අනතුරෙන් ගාමිණි මහතාගේ බිරිය, ලොකු පුතා සහ වයස අවුරුදු 8 ක් පමණ වූ බාල පුතා බරපතළ තුවාල ලැබූහ.

අනතුර සිදුවූයේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක වූ ගුණවර්ධන භද්‍රාගේ තිලානි කාවින්ද්‍යා නමැති වෛද්‍යවරියගෙනි.

ඇය රත්නපුර මහ රෝහලේ සේවය කළත් සති දෙකකට වරක් පිළියන්දල විද්‍යාල මාවතේ නො. 41 හි පිහිටි නිවෙසට පැමිණෙන්නේ සිය වයස අවුරුදු 10 ක පමණ දරුවා බැලීමටය. ඇයගේ සැමියා ව්‍යාපාරිකයකු වන අතර ඔහු පිළියන්දල නිවෙසේ දරුවා සමඟ පදිංචිව සිටින බවද වාර්තා වෙයි.

සිද්ධිය වූ දිනයේ පොලිස් පරීක්ෂක ගාමිණි මහතා බොරලැස්ගමුව එගොඩවත්ත ප්‍රදේශයේ සිය සොහොයුරියගේ නිවෙසට පැමිණෙන්නේ මවගේ 82 වැනි උපන් දිනය නිමිත්තෙන් පැවැති පිරිතට සහභාගි වීමටය. එදින පැවැති බොක්සිං තරග කිහිපයක්ද ගාමිණි මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඔහු වෙනදාට වඩා කලින් බොරලැස්ගමුව එගොඩවත්ත ප්‍රදේශයට යෑමට උත්සාහ කළේ සිය මව බැලීමටය.

සිය පණටත් වඩා මවට, සහෝදරයන්ට, සහෝදරියන්ට, බිරියගේ පවුලේ සැමට, කුඩා දරුවන්ට පවා ගාමිණී මහතා මහත් ආදරයක් කරුණාවක් දැක්වීය. කුඩා කාලයේ සිටම බොක්සිං ක්‍රීඩාවට දස්කම් දැක්වූ ගාමිණි මහතා ඉගෙනීමටද දක්ෂ විය.

පාසල් ගොස් නිවෙසට පැමිණි පසු බොක්සිං ක්‍රීඩාවේ නිරත වූයේ නිවෙසේ තිබූ කොටසද උපයෝගි කර ගනිමිනි. උදේ පාන්දර 4 ට නැඟිටින ගාමිණී මහතා ව්‍යායාම කිරීම අරඹයි. උදේට නැඟිට දිනකට කිලෝමීටර් 5 ක් පමණ දිව විත් ව්‍යායාම කිරීමෙන් අනතුරුව සිය ක්‍රීඩා කටයුතු කිරීම ඔහුගේ දින චර්යාවේ කොටසකි.

දිනපතාම බුදුන් වැඳීමට අමතක නොකරන ගාමිණී මහතා දිනපතාම භාවනා කිරීමටද හුරු වූ අයෙකි. සිය මවට පියාට පණ මෙන් ආදරය කරන ඔහු මවුපියන්ට මුදල්ද ලබා දෙයි. ඔහු මවුපියන්ට ඒ මුදල දෙන්නේ කවරයක දමා මවුපියන්ට දණ ගසා වැඳ මවගේ සහ පියාගේ මුහුණ සිඹීමෙන් අනතුරුවය.

ගාමිණී මහතා හැම විටම කියන්නේ මේ ජීවිතයෙන් පලක් නැත කියාය. බුදු ගුණ අනුව ජීවත් වෙන්න තියේ නම් ඇති කියාය.

දානමානවලට වැඩි කැමැත්තක් දැක්වූ ඔහු හැම විටම කීවේ අම්මට ඉස්සර මම මැරෙන්න ඕනෑ කියාය. ‘අම්මා මම කලින් මැරුණාම මට දුක වැඩියි. ඒ නිසා අම්මට කලින් මම මැරෙන්න ඕන යැයි හැම විටම කීවේ සිය මවට තුරුළු වෙමිනි. අජන්ත මහතාගේ පියා මියගොස් දැනට වසර 23 ක් පමණ වෙයි.

අජන්ත ගාමිණී මහතාගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකි. පිරිමි හතර දෙනයි ගැහැනු තුන් දෙනෙකි. අජන්ත ගාමිණි මහතා පවුලේ හය වැනියාය. සිය පවුලේ වගකීම කරටගත් ඔහු පියකුමෙන් කටයුතු කළ අයෙකි.

1989 දී අජන්ත ගාමිණී මහතා උප පොලිස් පරීක්ෂකයකු ලෙස පොලිසියට එක්වෙයි. දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ දී (1991දී) රිදී හා ලෝකඩ පදක්කම්වලින් රටට කීර්තියක් ගෙන දී තිබේ. මීට අමතරව දක්ෂ බොක්සිං ශිල්පියකු ලෙසත් දක්ෂ පුහුණුකරුවකු ලෙසත් රට වෙනුවෙන් උපරිම දායකත්වයක් දීමට ඔහුට හැකි විය. ඔහුගේ දක්ෂතා නිසා පොලිසියෙන් උසස්වීම් ලැබිණි.

සිය මවගේ උපන් දිනයට කේක් එකක් මිලදී ගත්තත් අවශ්‍ය ඉටිපන්දම් සොයා ගැනීමට 29 වැනිදා අජන්ත ගාමිණි මහතාට නොහැකි විය. මේ නිසා රාත්‍රි 8.30 ට පමණ ඉටිපන්දම්ද රැගෙන නිවෙසට පැමිණෙන තුරු නිවැසියන් ආහාර ගැනීමෙන්ද වැළැකී සිටියේය. ඒ ඔහුට ඇති ආදරය නිසාය.

රාජකාරියේදී කවුරුත් අජන්ත ගාමිණි ලෙස හැඳින්වුවත් සිය පවුලේ උදවියට ඔහු පොඩි මහත්තයා විය. නෑදෑ දරුවන්ට පොඩි මාමාය. මවගේ උපන් දිනය දා සිය ජීවිතයේ අවසන් ගමන යාවි යැයි ඔහු කිසි විටෙකත් සිතන්නට නැත. ගාමිණී මහතා ගීත ගායනයටද දක්ෂයෙකි.

සෙත් පිරිත් නිම වූ පසු මව වෙනුවෙන් ගෙනා කේක් ගෙඩියද කපා ගීත ගායනා කිරීමටද ඔහු අමතක කළේ නැත. ගාමිණි මහතා කැමැති ගීතයක් වූයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සසර වසන තුරු නිවන් දකින තුරු ගීතයයි. එම ගීතයද ඔහු ගායනා කළේ අවසන් වතාවටය. සිය ආදරණීයන් සමඟ සතුටු වී රාත්‍රි 12.30 ට පමණ තමන් පදිංචි වී සිටි තිඹිරිගස්යායේ පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ පිහිටි නිවෙසට ඒමට පිටත් විය.

වයස අවුරුදු 21 පමණ වූ සිය වැඩිමල් පුත්‍රයාට වාහනය පදවන ලෙස කියා ඔහු ඉදිරි අසුනේ වාඩි විය. බිරිය හා බාල දරුවා පිටුපස අසුනෙහි වාඩි වූහ. අජන්ත ගාමිණී මහතාට දරුවන් තිදෙනෙකි. පාසලේ පැවැති පිහිනුම් තරගයකට සහභාගි වීමට සිදු වූ නිසා දෙවැනි දරුවාට සිය මිත්තණියගේ උපන් දිනයට සුබ පැතීමට ඒමට නොහැකි විය.

සිය සහෝදරියගේ නිවෙසින් පිටව අජන්ත ගාමිණි මහතාට එතරම් දුරක් පැමිණීමට නොහැකි විය. ඒ කොහුවල සිට පිළියන්දල දෙසට පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක් ගාමිණි මහතා ගිය මෝටර් රථයේ මුහුණට මුහුණ වැදීම නිසාය.

මෙම වාහනයේ සිටියේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක වූ ගුණවර්ධන හදුන්ගේ තිලානි කාවින්ද්‍යා සහ තවත් පිරිමි දෙදෙනකු සමඟ කාන්තාවක්ය. තමන්ගේ දරුවා පදවන වාහනය දෙසට අධික වේගයෙන් එන මෝටර් රථය නිසා අනතුරක් වේදෝයි සිතූ අජන්ත ගාමිණී මහතා සිය පුතා දෙසට නැවී වාහනය වම් පසට කැපීමට උත්සාහ ගෙන ඇත. ඒ අනතුරින් බේරීමටය.

එහෙත් එම උත්සාහය අසාර්ථක වූයේ ඒ වන විටත් වේගයෙන් පැමිණි මෝටර් රථය අජන්ත ගාමිණී මහතා ගමන් කළ රියේ ගැටීම නිසාය.

ඉදිරියෙන් පැමිණි වාහනය වැදීමත් සමඟ ගාමිණී මහතා ගමන් ගත් වාහනයට දැඩි අලාභහානි සිදු විය. සිය වාහනය බේරීමට තැත් කිරීම අසාර්ථක වුවත් සිය දරුවාට අනතුරක් නොවී බේරා ගැනීමට අජන්ත ගාමිණි මහතා උත්සාහ කළේය. නමුත් දෛවය ඊට හරස් විය. සිය වැඩිමහල් පුතාගේ පාදවලට මෙම අනතුරින් දැඩි හානි සිදු වී තිබිණි. බාල පුතාගේ සුෂුම්නාව ප්‍රදේශයට දැඩි හානි වී තිබේ. එම දරුවා දැන් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේය. මේ අනතුරින් සිය බිරියගේ මුහුණ හා ඔළුව වැදී ඇය සිහිසුන් විය. තමන් වාහනයේ යකඩ කැබලි අස්සට හිර වී තිබෙන බව අජන්ත ගාමිණී මහතාට තේරිණි. ඒ නිසා ඔහු පුතා සිටි පැත්තේ වීදුරුවෙන් අත වනා උදවු ඉල්ලා තිබේ.

අනතුර සිදු වූ ස්ථානයේ පිහිටි වෙළෙඳසලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී අජන්ත ගාමිණි මහතා ගමන් කළ වාහනයෙන් කෙනකු එළියට බසිනවා පෙනේ. ඒ අජන්ත ගාමිණී මහතා විය හැකිය. මන්දයත් සුන්බුන් අතරින් එළියට පැමිණි අජන්ත ගාමිණී මහතා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සිය දරුවන් හා බිරියව එළියට ගෙන රෝහලට ගෙනයෑමටද කටයුතු කර තිබේ.

සිය දරුවන් රෝහලට යැවීමට 1990 ගිලන් රථ සේවය හරහා කටයුතු කළ අජන්ත ගාමිණී මහතා පසුව එම ස්ථානයේම බිම දිගා වූයේ ඇති වූ ක්ලාන්ත ගතිය හෙයිනි. ඒ වන විට 1990 ගිලන් රථ සේවය නැවත පැමිණ තිබූ අතර ගිලන් රථයේ සේවකයන් ඔහුට ඔක්සිජන්ද ලබා දී තිබේ. අනතුරින් තුවාල ලැබූ අය වහාම රැගෙන ගියේ කළුබෝවිල රෝහලටය.

රෝහලට ඇතුළත් කළ පසු අජන්ත ගාමිණී මහතා සිය නම ගම පවා රෝහල් සේවකයන්ට පවසා ඇත. ඉන් පසුව නැඟිට තමාට තුවාල නැතැයි කියමින් සිය බිරිය හා දරුවන්ගේ නම්ද රෝහල් බලධාරීන්ට ලබාදී ඇත. ඔවුන් ගැන සොයා බලා අවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙනුවෙන්ද යොමු කර ඇත්තේ අජන්ත ගාමිණී මහතාමය.

සිය පවුලේ උදවිය වෙනුවෙන් පැය එකහමාරකට වඩා වෙහෙසුණු අජන්ත ගාමිණී මහතා එක්වරම ක්ලාන්තයි මහන්සි යැයි කියමින් රෝහලේ ඇඳක් මත නිදාගෙන ඇති අතර ඉන් විනාඩි දෙකකට පමණ පසු ඔහු මෙලොවින් සමු ගත්තේය.

ගල්කිස්සේ රාත්‍රි සමාජ ශාලාවකට ගොස් ඕල්ඩ් අරක්කු බෝතලයක්, වයිට් රම් ෂොට් 10 ක් සහ බියර් දෙකකින් මිතුරන්ද සමග පදම් වී සිටි වෛද්‍යවරිය සහ පිරිස සිය සුඛෝපභෝගී වාහනයේ නැඟී පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් පැමිණ තිබේ.

කොහුවල හන්දියේ ආලෝක සංඥා පවා නොතකමින් ඇය අධික වේගයෙන් සිය රථය ධාවනය කර තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. එම අවස්ථාවේදී කොහුවල සිට පිළියන්දල දෙසට යමින් සිටි ත්‍රිරෝද රථයකටද වෙට්ටු දමා වේගයෙන් මෙම වාහනය ගිය බවට ත්‍රිරෝද රථයේ රියැදුරුද පවසයි. එලෙස ගිය රථය වික්‍රමරත්න මාවත අසලදී අජන්ත ගාමිණී මහතා පැමිණි මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ.

එම අනතුරින් වෛද්‍යවරියගේ පාදයට පමණක් පොඩි සීරීමක් වී තිබේ. වාහනය පදවාගෙන ආ වෛද්‍යවරිය බීමතින් සිටි බවට ඇති අනෙක් ප්‍රබලතම සාක්ෂියක් වන්නේ ගිලන්රථ රියැදුරන්ගේ ප්‍රකාශයයි. අනතුර සිදුවී සුළු වේලාවකින් ගිලන් රථ එතැනට පැමිණෙන විටත් වෛද්‍යවරිය බිම වාඩි වී හිස කකුල් දෙක උඩ තබාගෙන සිට ඇත. එක් එක් රෝගීන් රෝහලට ගෙන යෑමට ගිලන් රථ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

වෛද්‍යවරිය සමඟ සිටි කාන්තාව කොට ඩෙනිම් ෂෝට් එකක් ඇඳ සිටියාය. ඇයගේ ඇඟ පුරාම පච්ච කොටා තිබිණි. අනතුරෙන් ඇයගේ ඔළුව පැළී තිබිණි. ඇය සමඟ තවත් පිරිමි අයකු සිටි අතර ඔහුද ඇඟ පුරාම පච්ච කොටා තිබිණි.

වෛද්‍යවරිය ඇඳ සිටියේ තැඹිලි පාට කොට ගවුමකි. ඇය ටික වේලාවකින් අනතුර සිදු වූ ස්ථානයේ බිම දිගා වී ඇත. හැරෙන විට ගවුම උඩ ගොස් තිබිණි. එහිදී ගිලන්රථ සේවකයන් දැක තිබුණේ වෛද්‍යවරිය යට ඇඳුමක් පවා ඇඳ නොසිටි බවය. වෛද්‍යවරිය සමඟ ඉදිරි අසුනේ පැමිණි පිරිමියාට වයස අවුරුදු 35 ක් පමණ වන්නට ඇත. ඔහුට තුවාල නැත. නිල්පාට ඩෙනිම් ෂර්ට් එකක් ඇඳ සිටි අතර ඔහු වෛද්‍යවරියගේ පෙම්වතා බව පොලිසිය සැක කරයි.

මේ සියල්ලන්ම හොඳ පදමට වෙරි වී සිට ඇත. එසේම ගල්කිස්ස ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකු පොලිසියට ලබාදී ඇති කටඋත්තරය මත ඔවුන් සතර දෙනා පෙර කී මත්පැන් වර්ග පානය කළ බවට ප්‍රකාශයක්ද ලබාදී තිබේ.

මෙම සමාජ ශාලාවට වෛද්‍යවරිය නිතරම යන එන තැනක් බවද වාර්තා වෙයි. අප මේ ගැන සොයාබැලීමට එම ප්‍රදේශයට ගිය වෙලාවේ පොලිසියෙන් දැනගන්නට ලැබුණේ එම සමාජ ශාලාවේ වෛද්‍යවරිය මත්පැන් බොන CCTV වීඩියෝ දර්ශන ඇති බවය. එම වීඩියෝ දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි. එහෙත් වෛද්‍යවරියගේ පාර්ශ්වයෙන් එම CCTV දත්ත මැකීමට උත්සාහ කළ බවටද තොරතුරු තිබේ. එම උත්සාහයට පෙර පොලිසිය අදාළ දත්ත ලබාගෙන ඇත.

වෛද්‍යවරිය රෝහලට ඇතුළු කළ පසු එහි සේවයේ සිටි වෛද්‍යවරයා ඇයගෙන් මත්පැන් ගඳක් වහනය නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ එම වෛද්‍යවරයා අනතුර සිදුකළ වෛද්‍යවරියගේ පැත්තගෙන කටයුතු කළ බව මේ වනවිට කරුණු අනාවරණය වෙයි.

කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතාය. අනතුර සිදුකළ වෛද්‍යවරියද ගුණවර්ධනය. ඒ නිසා ඥාති සබඳකමක් ඇති බවත් එම නිසා වෛද්‍යවරියගේ පැත්ත ගත් බවත් යනුවෙන් චෝදනාවක් පොලිස් පරීක්ෂක අජන්ත ගමගේ මහතාගේ පාර්ශ්වයෙන් එල්ල විය. නමුත් අපි මේ පිළිබඳව කළුබෝවිල රෝහලට ගොස් සොයා බැලුවෙමු. එහිදී සොයාගත හැකිවූයේ වෛද්‍යවරියගේ මව කළුබෝවිල රෝහලේ වෛද්‍යවරිය ලෙස සේවය කර ඇත.

ඒ 2014 වසරේදීය. ඇයගේ නමද ගුණවර්ධනය. කාවින්ද්‍යා වෛද්‍යවරියද වෛද්‍ය පත්වීම ලබා කළුබෝවිල රෝහලේ දියවැඩියා ඒකකයේ සේවය කර තිබේ. ඉන්පසු විදේශගතව විභාග සමත් වී විශේෂඥ වෛද්‍යවරියක ලෙස රත්නපුර මහ රෝහලේ සේවයට ගොස් තිබේ.

බොරලැස්ගමුව රථවාහන පොලිසියට ලබාදී ඇති කටඋත්තරය අනුව (වාර්තාවට අනුව) වෛද්‍යවරිය පවසා ඇත්තේ තමාට නින්දයෑම මත අනතුර සිදුවූ බවකි. නමුත් එම කටඋත්තරය බොරු බව ඇය විසින් බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන්ට දෙනු ලැබ ඇති තවත් කටඋත්තරයකින් ඔප්පු වී තිබේ. ඇයගේ වයස අවුරුදු 39 ක් බවත් පිළියන්දල විද්‍යාල මාවතේ නො. 41 නිවෙසේ පදිංචිව සිටින බවත් පවසා ඇත. රත්නපුර නිවෙසක් කුලියට ගෙන එහි පදිංචිව සිටින ඇය පිළියන්දල නිවෙසට සති දෙකකට වරක් පැමිණෙන්නේ වයස අවුරුදු 10 ක් වන සිය දරුවා බැලීමට බව ඇය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය වූ දින රාත්‍රි 12ට පමණ සමාජ ශාලාවෙන් වෛද්‍යවරිය පිටවී ඇති බව ප්‍රකාශ කර ඇත. සැමියා පෞද්ගලික අංශයේ සේවය කරන අයෙකි. වෛද්‍යවරිය පොලිසියට ලබාදී ඇති කටඋත්තරයට අනුව ඇය මත්පැන් පානය කර නැති බව ප්‍රකාශ කර තිබේ. නමුත් ඇල්කෝලයිසරය යොදා පරීක්ෂා කිරීමේදී එය කොළපාට වූ බව පොලිසිය කියයි.

වෛද්‍යවරිය බොරලැස්ගමුව පොලිසියට ලබාදුන් තවත් කටඋත්තරයක සඳහන් වන්නේ ඇල්කෝලයිසරය තද කොළපාට නොවූ බවත් එය පිම්බූ පසු ළා කොළ පාට වූ බවත්ය. ඒ අනුව වෛද්‍යවරියට ලබාදුන් ඇල්කෝලයිසරය භාවිත කළ පසු කොළ පාටට හැරී තිබේ. සාමාන්‍යයෙන් ඇල්කෝලයිසරයක් පිම්බූ සැණින් තද කොළ පාටට හැරෙන්නේ නැත. එය ටිකෙන් ටික තද කොළ පාටට හැරෙයි.

රාත්‍රි සමාජ ශාලාවේ සිට අධික වේගයෙන් සිය මෝටර් රථය පදවාගෙන ගියේ ඇගේ නිවෙසට ගොස් සින්දු කියා විනෝද වීමටද නැත්තම් වෙනත් සාදයකට සහභාගිවීමටද කියා ඇය පැහැදිලිව පවසා නැත.

කෙසේ වෙතත් ඔක්තෝබර් 01 වැනිදා රත්නපුර ඇයගේ චැනල් සෙන්ටර් එකේ රෝගීන් 45 දෙනකු මුදල් ගෙවා ඇයගෙන් ප්‍රතිකාර ගැනීමට කාලය වෙන් කරවාගෙන ඇත. වෛද්‍යවරියගේ පෞද්ගලික ජීවිතය කෙබඳු වුවත් ඇය රෝගීන්ට කාරුණිකව කටයුතු කරන බව වාර්තා වෙයි.

මෙම අනතුර නිසා පොලිසිය ඇය අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට එහිදී නියම විය.

වෛද්‍යවරිය මේ වනවිට කළුබෝවිල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇයගේ පාදයට පමණක් සීරීමක් වී තිබියදී ඇයට මේ අනතුර නිසා අමාරු යැයි පෙන්වා ඇය රෝහල් ගත වී සිටින බව පොලිසියද කියයි.

කළුබෝවිල රෝහලේ 11 වැනි වාට්ටුවේ 30 වැනි ඇඳේ ප්‍රතිකාර ලබන වෛද්‍යවරිය බැලීමට අපිද පසුගිය බදාදා දින රෝහලට ගියෙමු. දහවල් 12ට රෝගීන් බැලීමට යන අවස්ථාවේ ඇය සිනහ සිසී බන්ධනාගාර නිලධාරිනිය සමඟ සුහද කතාබහක සිටියාය. වෛද්‍යවරිය සිටින්නේ අත්අඩංගුවේ වුවත් එලෙස ඇය නොසිටින බව අපට පෙනිණි.

“අපි “මව්බිම” පත්තරෙන්. වෛද්‍යවරිය සමඟ කතා කරන්න ඕන” යැයි අපි බන්ධනාගාර නිලධාරිනියට කීවෙමු.

“ඔබතුමන්ලා කොහෙන්ද? වෛද්‍යවරිය සමඟ කතා කරන්න පුළුවන් වෛද්‍යවරුන්ට විතර” යැයි බන්ධනාගාර නිලධාරිනිය අපට කීවාය.

“නැහැ අපි පත්තරෙන් අපි කීවෙමු.”

එහෙම නම් කතා කරන්න බැහැ. වැලිකඩින් අවසර ගෙන එන ලෙස බන්ධනාගාර නිලධාරිනිය අපට කීවාය. නමුත් වෛද්‍යවරිය සමඟ කතා කිරීමට ඇයට හිතවත් වෛද්‍යවරුන්ට අවස්ථාව තිබේ.

ඒ සඳහා බන්ධනාගාරයෙන් අවසර ගැනීමක් අවශ්‍ය නමුත් එය එසේ නොවන බව අපට පෙනී ගියේය. මන්දයත් රත්නපුර මහ රෝහලේ ඇයට හිතවත් වෛද්‍යවරුන්, නෑදෑ හිතවතුන් ඇය බැලීමට පැමිණෙන බව රෝහල් සේවකයෙක් අපට කීය. එහිදී බන්ධනාගාර නිලධාරිනිය ඊට ඉඩප්‍රස්තාව ලබාදී ඇති නමුත් වෙනත් අය ගිය විට වැලිකඩින් අවසර ගත යුතුයි. කාවින්ද්‍යා වෛද්‍යවරිය සැකකරුවෙකි. රිමාන්ඩ් භාරයේ සිටින අයෙකි.

ඒ නිසා රෝහලේ සිටියත් ඇය සිටිය යුත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවේය. එහෙත් කළුබෝවිල රෝහලට ගිය අපට පෙනී ගියේ අත්අඩංගුවේ සිටින්නේ බන්ධනාගාර නිලධාරිනිය බවයි. ඇය වෛද්‍යවරුන්ගේ මතයට අවනත වෙමින් වෛද්‍යවරුන් කරන කියන පිළිවෙළට ක්‍රියා කරයි. දහවල් 12 ට අනෙක් රෝගීන් බැලීමට එන ඥාතීන් කාවින්ද්‍යා වෛද්‍යවරිය දකීවි යැයි යන බිය නිසා තිර දමා ඇයව ආවරණය කිරීමට වෛද්‍යවරු සහ හෙදියෝ ලහි ලහියේ ක්‍රියා කරති. මෙය දිනපතාම කරන බවට රෝහලේ සේවකයෙක් අප සමඟ කීවේය.

නීතිය කාටත් පොදුය. එහෙත් කාවින්ද්‍යා වෛද්‍යවරියට කිසිදු අසාධ්‍යය තත්ත්වයක් නොමැතිව රෝහල් ගත කර ලබන 9 වැනිදා දක්වා තබා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහ ගන්නා බවක් පෙනේ. මේ නිසා අදාළ බලධාරීන් මේ ගැන සොයා බැලිය යුතුයි. ඇත්තෙන්ම කිවහොත් බන්ධනාගාර නිලධාරීන් මේ ගැන සොයා වෛද්‍යවරිය තබාගත යුත්තේ කළුබෝවිල ද නැත්නම් බන්ධනාගාර රෝහලේද කියා තීරණය කළ යුතුය.

අජන්ත ගාමිණී මහතාගේ මරණ පරීක්ෂණයේදී ද වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ එය අනතුරක් නිසා සිදුවූ මරණයක් නොව ස්වාභාවිකව සිදුවූ මරණයක් බව ඔප්පු කිරීමටය. වෛද්‍යවරියගේ අපරික්ෂාකාරී ධාවනය, බීමත්ව සිටීම ආදී කාරණා වසන් කිරීමට එම චෝදනා යටපත් කිරීමට මේ උත්සාහය ගෙන ඇත. මරණ පරීක්ෂණය පැය තුනකට ආසන්න කාලයක් සිදුවිය. එහිදී වෛද්‍යවරයා උත්සාහ ගත්තේ අජන්ත ගාමිණී මහතා බීමත්ව සිටි බවට ඔප්පු කර ගැනීමටය. එහෙත් අජන්ත මහතාගේ පාර්ශ්වයෙන් කියා සිටියේ අජන්ත මහතා කිසි දිනෙක මත්පැන් නොබන බවයි. ඉන්පසු අනතුරට පෙර “හාර්ට් ඇටැක්” එකක් ඇවිත් යයි කියා තව මතයක් ගෙන ඒමට උත්සාහ දරා ඇත. නමුත් අවසානයේ වෛද්‍යවරිය විසින් සිදුකරන ලද අනතුර නිසා ශරීරයේ අක්මාවක හා උදර කුහරයට සිදුවූ තුවාල මත අභ්‍යන්තර ලේ වහනයක් සිදුවීමෙන් මරණය සිදුවූ බව සඳහන් වී ඇත.

එසේම වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇති බවට කළ ඇල්කෝලයිසර පරීක්ෂාව සියයට සියයක්ම හරි බව පොලිසිය පවසයි.

වෛද්‍යවරිය මත්පැන් නොබී සිටිනවා යැයි, ඇගේ කටින් මත්පැන් ගඳක් පිට නොවූවා යැයි වාචිකව පැවසූ විට එයට නීතිමය පසුබිමක් නැත. වෛද්‍යවරියගේ ශරීරයේ මත්පැන් අන්තර්ගත වී නැතැයි කියා වෛද්‍යවරයා වාර්තාවක් ලබා දිය යුත්තේ ඇයගේ රුධිර පරීක්ෂාවක් කිරීමෙන් පසුවය. නමුත් කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයා වෛද්‍යවරියගේ කට සිඹීමෙන් පමණක් මත්පැන් බී නැතැයි කියා ඉදිරිපත් කරන මතය මතයක් පමණි. එහි නීතිමය වලංගු භාවයක් නැත. එසේම ඇල්කෝලයිසරය භාවිත කළ පසු එය කොළපාට වන්නේ රුධිරයේ ඇල්කොහොල් අඩංගු නම් පමණි. ඒ අනුව වෛද්‍යවරිය මත්පැන් පානය කර සිටි බව ඉන් පෙනෙන බව පොලිසිය පවසයි.

වරදක් වූවා නම් නීතිය කාටත් පොදුය. වෛද්‍යවරියට පමණක් විශේෂයක් නොවිය යුතුය. ඒ නිසා මියගිය පොලිස් පරීක්ෂකවරයාටත් බරපතළ තත්ත්වයේ පසුවන ඔහුගේ පවුලේ අයටත් සාධාරණයක් වීමට නම් මේ පරීක්ෂණ විනිවිද විය යුතුය. 30 වැනිදා පාන්දර සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂක අජන්ත මහතාගේ බිරිය සහ දරුවන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේය. එහෙත් අද (05 දා) සවස වන විට ඒ මහතාගේ බිරියගේ අසනීප තත්ත්වය සුව නොවී තිබියදීත් රෝහල් බලධාරීන් ඇයව බලහත්කාරයෙන් ටිකට් කපා රෝහලෙන් පිටත් කර හැරීමට සැලැසුමක් දියත් කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට පෙන්වා ඇයගේ තත්ත්වය බලා වාර්තාවක් ලබා දෙන ලෙසට ඉල්ලා තිබියදීත් රෝහල් බලධාරීන් ඇයව පිටත් කර යවා තිබේ. රෝහල් බලධාරීන්ගේ මේ උත්සාහය වන්නේ 9 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත රිය අනතුර සිදු කළ වෛද්‍ය කාවින්ද්‍යාට ඇප ලබා ගැනීමේ උත්සාහයක් දැයි සැක සිතේ. ඒ නිසා අදාළ බලධාරීන්ගේ දැඩි අවධානය ද මේ සඳහා යොමු විය යුතුය.

– ප්‍රගීත් සම්පත් කරුණාතිලක

+++++++++++++++++++++++++++++++++

පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුරට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

(16.10.2018 – 10:57 +0530 – hirunews.lk/sinhala)

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විශේෂඥ වෛද්‍යවරිය මේ මස 30 වන දා දක්වා අද (16) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදියි.

මෙම වෛද්‍යවරිය අද දිනයේදී ද අධිකරණයට රැගෙනවිත් නොතිබුණ අතර බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇයව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත රැගෙන ගොස් ඇති බවයි.

තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට වෛද්‍යවරියගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඊට පොලිසිය විරෝධය පළ කළේ ඇයට ඇප ලබාදුනහොත් සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශණවලට බාධා සිදුවිය හැකි බවට පවසමින්.

ඒ අනුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂවරයෙකුට මරු කැදවමින් බොරලැස්ගමුවේදී අදාල විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම අනතුර සිදුකර තිබුණේ පසුගිය 30 වනදායි.

මෙම වෛද්‍යවරිය බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ ඇති බවට ප්‍රකාශ කෙරුණ ද ඇයව කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින් නොසිටි බවට ප්‍රකාශ වී තිබුණා.

එහෙත් පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවූ අවස්ථාවේදී කළ ස්ථානීය බැලුම් පරීක්ෂාවේදී ඇය බීමතින් සිටි බවට අනාවරණ වූ බවයි.

++++++++++++++++++++++++

බොරලැස්ගමුවේ අනතුර සිදු කළ වෛද්‍යවරියට ඇප

(30.10.2018 – 15:53 +0530 – sinhala.adaderana.lk)

බොරලැස්ගමුවේ දී පොලිස් නිලධාරියකු මරණයට පත් කරමින් රිය පැද වූ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරිය විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර වෛද්‍යවරිය අද (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හැරීමටයි.

ඉකුත් සැප්තැම්බර් 30 දා අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව වික්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වු අතර එහි සිටි ඔහුගේ පුතුන් දෙදෙනා සහ බිරිඳ ද තුවාල ලැබීය.

පොලිස් නිලධාරීයා පැදවූ මෝටර් රථය අනතුරට ලක් කල ජීප් රථය පදවා තිබුණේ 39 හැවිරිදි වෛද්‍යවරියක් විසිනි.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව ඔක්තෝබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

පොලීසිය සඳහන් කර තිබුණේ ජීප් රථය පැදවූ වෛද්‍යවරිය අනතුර වන අවස්ථාවේ බීමතින් සිටි බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වූ බවයි.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලෙන් ලබාදුන් වාර්තාවක සඳහන්ව ඇත්තේ වෛද්‍යවරිය රිය අනතුර සිදුවන අවස්ථාවේදී බීමත්ව සිට නොමැති බවයි.

කෙසේවෙතත් වෛද්‍යවරිය අනතුර වන අවස්ථාවේ බීමතින් සිටි බවට පොලීසිය යළි තහවුරු කර සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *