රංගන සහ ගායන ශිල්පී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වෙයි

(01.10.2018 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි.

මියයනවිට ඔහු 65 වන වියේ පසුවුණා.

ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගී වී අද (01) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිට ඇති බවයි ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහතා ප්‍රකාශ කළේ ෴

20181010Rony-1

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/42813418_1757651277691578_6316918417261592576_n.jpg?_nc_cat=107&oh=8134af23351f46824d9ce28f5b049e18&oe=5C154268

‘‘හිතුවේ නෑ ඔබ මෙච්චර ඉක්මනින් අපිව දාලා යයි කියලා ..

ඔයා කිව්ව ඒ රසකතා – විහිළු කතා ආයිම අහන්න වෙන්නේ නෑ රොනී අයියෙ .. ටිකිරි මලී ගීතයට කව්රු හෝ ආස වුනා නම් ඒ ඔබ නිසයි. ඔබට කොච්චර ස්තූති කලත් මට මදි.

නැවතත් සසරේ කොහේදී හෝ මුණ ගැසෙමු. ආදරණිය රොනී අයියේ ඔබට නිවන් සුව !’’

Sashini Iddamalgoda (01.10.2018)
(ටිකිරි මලී ගීතයේ ගායිකාව)
https://www.facebook.com/sashiniiddamalgoda/

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

meemessasinhalasongs.com > Ronnie Leach (mp3)

++++++++++++++++++++++

rupavahini.lk > Miyuru Kalpana > 2018-07-14

+++++++++++++++++++++++

රොනී ලීච් මහතා අවසන් රේඩියෝ වැඩසටහනේ දී ජීවිතේ විඳි වේදනා සහ මරණය ගැන කියූ කතාව
(01.10.2018 – Hiru FM)

++++++++++++++++++++++++

(01.10.2018 – E S Productions)

+++++++++++++++++++++++++++++++++++++

රොනී ලීච් මහතාගේ දේහය ගෙන්වා ගැනීමට පියවර

(01.10.2018 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අද අලුයම මියයනවිට 65 වන වියේ පසුවුණා.

ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී පසුගිය සෙනසුරාදා ප්‍රසංගයකට සහභාගිවී ඇති අතර, අද පස්වරුවේ යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිටි බව සඳහන්.

ඒ අතරතුර ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි ඔහුගේ පුත්‍රයා වන කේශක ලීච් මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++++++

රොනී ලීච් 1953-2018

+++++++++++++++++++++++++++

රොනී ලීච් මහතාගේ අවමඟුල් කටයුතු…

(04.10.2018 – FB > Keerthi Pasquel)

ඕස්ට්‍රේලියාවේ නීති රීති වලට අනුව මරණ පරීක්ෂන කටයුතු සිදුකිරීමට තව දුරටත් කාලය ගතවනු ඇතිබව අපට දැනගන්නට ලැබුනා.

එම කටයුතු අවසන් කලාට පසු දේහය ලංකාවට රැගෙන ඒමට පෙර තවත් සහතික දෙකක්ද ගතයුතු වන අතර දේහය දිවයිනට ගෙන ආ හැකි නිශ්චිත දිනයක් දැනට කිව නොහැකි බව සියලු මාධ්‍ය ආයතන වලටත් ආදරණීය රසිකයින්ටත් කරුණාවෙන් දන්වා සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත්, පර්ත් නගරයේ කොන්සියුලේට් කාර්යාලයත් මගින් එම කටයුතු හැකිතරම් ඉක්මනින් කරදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර එම කටයුතු අවසන් වූ වහාම දේහය ලංකාවට එවීමේ වැඩපිළිවෙල මෙම ආයතන විසින් සූදානම් කොට තිබෙනවා. මෙම කටයුතු සඳහා එම මහත්වරු දරණ දැඩි කැපවීම අප ඉතා අගයකොට සලකනවා.

රොනීගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට යන සියලු වියදම් අතිගරු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් දරණු ලබනවා.

ගරු ජනාධිපතිතුමනි, ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ එහි පදිචි වී සිටින අපේ ලාංකිකයින් මේ කටයුතු වෙනුවෙන් දක්වන සහයෝගය ද අප ඉතා අගයකොට සලකනවා.

තවද රොනී මියගිය අවස්ථාවේ සිට මේ දක්වා කිසිදු ඡායාරූපයක් ලබා ගෙන නොමැති අතර අන්තර්ජාලයේ පලවන අසත්‍ය ඡායාරූප වලට සහ අසත්‍ය විස්තර වලට නොරැවටෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බාල ප්‍රචාරයක් ලබාගැනීමේ අරමුණෙන් එවැනි බාල දේ නොකරන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමය මේ සියලු කටයුතු පිලිබඳව නිරතුරුවම ඇප කැපවී අපගේ යුතුකම් කොටස ඉටුකරන බවත්, මා දැනට මසක කාලයක් ප්‍රසංග කීපයක් සඳහා ඇමරිකාවට පැමිණ සිටියත් මෙහි සිට මගේ යුතුකම් කොටස සිදුකරමින් සිටින අතර මගේ සංගමයේ අනිකුත් නිලධාරීන් විසින් අනිකුත් සියලු සංවිධාන කටයුතු කරනු ලබනවා.

ඉතින් ආදරණීය රොනී…
ඔබ එනතුරු මුලු ලංකාවම බලාගෙන ඉන්නවා. තවත් පමා නොවී ඉක්මනට එන්න….
අපි ඔයාට ගොඩාක් ආදරෙයි..

– කීර්ති පැස්කුවල්

++++++++++++++++++++++++++

ඔස්ට්‍රේලියාවෙදී රොනීගෙ හද හැස්ම නවතින තුරු සිදුවීම් පෙළ ගැස්ම මරියසෙල් මව්බිමට කියයි

(07.10.2018 – mawbima.lk)

හිමිදිරියේම අවදි වුණු මරියසෙල් මුළුතැන්ගෙය බලා ඇවිද ආවේ තේ කෝප්පයක් පිළියෙල කර ගැනීමටය.

ඒත් මුළුතැන්ගෙට ඇවිද ආ සැණින් ඇගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. ඇය වහා බිම වැටී සිටින රොනී වෙත දිව ගියා.

‘‘රොනී… රොනී’’ ඇය මේ විදියට කීප අවස්ථාවක් කෑ ගසා තම මිතුරාට කතා කළා. ඒත් කිසිදු ප්‍රතිචාරයක් ඔහුගෙන් නැහැ.

ඊළඟ මොහොතේ ඇය තමන්ගේ කාමරය වෙත ගොස් දුරකථනය ගෙන කතා කළේ තමන් දෙදෙනාට ප්‍රසංගයක් පවත්වන ලෙස ඇරැයුම් කළ ආදි ආනන්දීය සිසු සංගමයේ සංවිධායකවරයකුටය.

‘‘ඔහු ඉක්මනින්ම ආවා. ඒ සැණින්ම ගිලන් රථයක් එක්ක වෛද්‍ය කාර්ය මණ්ඩල කීපදෙනකුත් පැමිණියා. විනාඩි 10 ක් විතර රොනීව පරීක්ෂා කර බලපු ඔවුන් අවසානයේ කිව්වා ‘ටූ ලේට්’ කියලා.

ඇත්තටම ඒ වචනේ අහපු මගේ දෙපා පණ නැති වෙනවා වගේ දැනුණා. මම එතැනම වාඩි වුණා. එතැන ඉඳලා ටික වෙලාවක් ගතවෙනකම් මම ‘බ්ලෑන්ක්’ මුකුත්ම මතක නැහැ.

අවට සිටි හැමෝම මාව ධෛර්යවත් කරන්න කතා කරනවා මට ඇහුණා. මට හිතාගන්න බැහැ මොකක්ද ඒ වුණේ කියලා. ඒක නරක හීනයක්. නරකම නරක හීනයක්. රොනීට ඇයි එහෙම වුණේ.’’ මරියසෙල් ගුණතිලක නමැති වේග රිද්ම ගී ගයන ගායිකාව සංවේදීව ප්‍රශ්න කරනවා. ඇත්තටම ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න අපිට බැහැ.

මරියසෙල් ගුණතිලක නම් අපේ ප්‍රවීණ ගායිකාව සහෝදර රොනී ලීච් නම් වූ සුන්දර මිනිසා එක්ක ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පවත්වන සංගීත ප්‍රසංගයක් සඳහා පිටත්ව ගියේ පසුගිය 27 වැනිදා හිමිදිරි පාන්දර.

ඒ අනුව ඔවුන් දෙපොළ 29 වැනි දා සෙනසුරාදා රාත්‍රිය පෙර කී ප්‍රසංගයට සහභාගි වුණා.

‘‘ප්‍රසංගයේදී රොනී වෙනදා වගේම හොඳින් ගී ගැයුවා. නැටුවා. තවත් අවස්ථාවකදී ‘කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ’ කියන සින්දුව ගායනා කරමින් රසිකාවියක්ව වේදිකාවටත් ගෙන්වාගෙන ලස්සනට නැටුවා.

මම ඇත්තටම පුදුම වෙනවා. ඒ තරම් ලස්සනට එදා හිටපු විදිය මතක් වෙද්දී.

මේ විදියට රොනී පර්ත් නුවර ඉන්න ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ව ඉතා ඉහළින්ම පිනෙව්වා.

රොනී ලීච් ඉතාමත්ම සරල ගති පැවතුම් ඇති මනුස්සයෙක්. ඒක බොහෝ දෙනා දන්නවා.’’

සෙනසුරාදා රෑ පවත්වපු සන්දර්ශනයේදී මුලින්ම ගී ගැයුවේ මරියසෙල්. ඉතිං ඇය ප්‍රසංගය නිම වීමට කලින් එතැනින් බැහැර වී නවතින්න වෙන්කරලා තිබුණු මහල් නිවාසයට ආවා.

‘‘පසුවදා උදේ රොනී මට කිව්වා එයා එනකොට රෑ වුණා කියලා. ඒ වගේම ඉරිදා මුළු දවසම ඥාති ආන්ටි කෙනෙක්ව බලන්න යන්න වගේම තවත් නෑදෑ පිරිසක් හමුවෙන්න තිබෙන බව කිව්වා.

අර බලන්න ගිය ආන්ටිගේ වයස අවුරුදු 95 ක්. ඉතිං ඇයව බලලා එන්න ඕනම කියලා ගිය රොනීව ආපසු මට මුණගැසුණේ අපේ සන්දර්ශනය සංවිධානය කරපු හිතවතුන් පවත්වපු රාත්‍රි භෝජන සංග්‍රහයේදී. ඒ සාදය පැවැත්වුණේ අර්ත් රත්න විභූෂණ කියන සංගීතඥයාගේ නිවෙසේ.’’

මේ සාදයට ආපු රොනී හිටියේ තරමක මහන්සි ගතියකින් බව මරියසෙල්ට දැනුණා. පෙනුණා. ඒත් ඇය ඒ ගැන වැඩිපුර හිතුවේ නැහැ.

‘එක දිගට මහන්සි වුණු නිසා වෙන්න ඇති.’ මරියසෙල් එහෙම හිතුවා.

‘‘සාදය ඉවරවෙලා අපි නැවතී සිටි නිවෙසට ආවා. ඒ ඉරිදා රෑ.

එහෙම ආපු රොනී ඊළඟට පසුවදා ලංකාවට යන්න තිබෙන නිසා බෑග් එක අස් කරන බව මම දැක්කා. රොනී දරුවන්ට වගේම බිරියට ගත්ත තෑගි තමයි ඒ විදියට පැක් කර කර හිටියේ. ‘මේවා දැන්ම හදලා තියෙන එක හොඳයි.’ රොනී ඒ විදියට මා එක්ක කිව්වා.

මම නිදිමත නිසා රොනීට කියලා මගේ කාමරයට ගියා. ඒ තමයි මම රොනීව හොඳින් ඉන්නවා දැක්ක අන්තිම අවස්ථාව.’’ මරියසෙල් සංවේදීව කියනවා.

සැප්තැම්බර් 27 වැනිදා උදේ රොනී – මරියසෙල් දෙන්නා ඕස්ට්‍රේලියාවට ගියේ හරිම සැහැල්ලුවෙන්. විනෝදයෙන්. මරියසෙල් ඒ මතකයත් මෙන්න මේ විදියට කියනවා.

‘‘ගුවන්යානයට නැග්ග වෙලාවේ ඉඳලා රොනී කළේ චිත්‍රපට බලපු එක. ඊළඟට ඒ චිත්‍රපට ගැන කතා කළ එක.

අපිට ඕස්ට්‍රේලියාවට යන්න තිබුණේ සිංගප්පූරුවෙන් බැහැලා. ඉතිං ඒ ගිය වෙලාවෙත් එයාර්පෝට් එකේ තිබුණු සාප්පු සංකීර්ණවල ඇවිදින ගමන් කිව්වේ ආපසු එනකොට ගන්න ඕන දේවල්. විශේෂයෙන්ම ආයුර්වේදයට සම්බන්ධ ඔයිල් වර්ග අරන් යන්න ඕන කිව්වා. අතපය රිදෙන එකට මේවා හොඳයි කියලා මාව දැනුවත් කළා.

ඇත්තටම මම ආපසු තනියම ඇවිත් අර විදියටම සිංගප්පූරු එයාර්පෝට් එකේ ඉන්න වුණාම මට මතක් වුණේම රොනී කියපු දේවල්. මට හිතාගන්න බැහැ, ඇයි එහෙම වුණේ කියලා. රොනී එක්ක ගිහින් මට විතරක් තනියම ලංකාවට එන්න වීම තවමත් මට අදහගන්න බැහැ.’’

රොනී ලීච් කියන්නේ කලා ලෝකයේ කොයි කා සමඟත් ඉතා හොඳ ඇසුරක් තිබෙන මනුස්සයෙක් කියන එක සංගීත ලෝකයේ කවුරුත් දන්න කරුණක්. ඒක තවදුරටත් සනාථ කරමින් මරියසෙල් නැවත අපි දෙසට හැරුණා.

‘‘රොනී උතුම් මනුස්සයෙක්. එයාගෙයි මගෙයි දැනහැඳුනුම්කම් පටන් ගන්නේ 1973 අවුරුද්දේ ඉඳලා.

මම ඒ පවුලේ හිතවතියක්. මට මතක් වෙනවා රොනීගේ දුව ‘කේෂියා’ විවාහ වෙන වෙලාවේ ඔහු මගෙන් කළ ඉල්ලීමක්.

‘උඹට පුළුවන් නම් පල්ලියට ඇවිත් ගීතිකාවක් කියපන්. ඒක තමයි මේ වෙලාවේ මගේ දූ කුමාරියට මම දෙන්න හිතාගෙන ඉන්න ඉහළම තෑග්ග.’ ’’

රොනීගේ මේ ඉල්ලීම පිළිගත් මරියසෙල් එදා පල්ලියට ගිහින් ඒ ගීතිකාව ගැයුවා. ඒ ගායනය ඉවර වුණු හැටියෙ රොනී තම මිතුරිය මරියසෙල් අසලට ආවා.

‘‘උඹ කරපු දේ මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒක මම හැමදාම මතක තියාගෙන ඉන්නවා.’’ රොනී එහෙම කිව්වේ ලොකු ළෙන්ගතුකමකින් යුතුවයි.

‘‘රොනී ළඟ තිබුණු උතුම් මනුස්සකම ගැන බොහෝ දෙනෙක් දන්නවා. රොනී කුහක නැති කිසිම කෙනෙක්ව පහත් කරලා කතා කරන්නේ නැති හැම වෙලාවෙම උදවු කරන්න පැකිළෙන්නේ නැති කෙනෙක්. ඔහු රංගන ශිල්පියෙක්, ගායකයෙක් හැටියට වගේම නිවේදකයෙක් හැටියටත් රසික ආදරය දිනා සිටියා. ඒ හැම ක්‍ෂේත්‍රයකම අය රොනීට ආදරෙයි.

ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔහු ඉතා හොඳ ස්වාමිපුරුෂයෙක් හා තාත්තා කෙනෙක් කියන එක.

යාළුවෙක් හැටියට වුණත් ඔහු එක්ක ගමන් බිමන් යන්න බය නැහැ. ඒ තරමටම හොඳ ගති පැවැතුම් රොනී තුළ තිබුණා.’’

රොනී මිය යන්න කලින් දවසේ තවත් අපූරු මතකයක් ඉතිරි කර ගියා. ඒ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන, කලක් මෙරට ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ තිලක් සෙනෙවිරත්නගේ හමුව. මේ ගැනත් මරියසෙල් කතා කළා.

‘‘එදා රොනී තිලක් එක්ක ලස්සන පින්තූර කීපයක්ම ගත්තා. තිලක් කියන්නේ මගෙත් හොඳ යාළුවෙක්. ඉතිං තිලක් ඇවිත් ඔහු සමඟ ගත කළ හෝරා කීපය ගැනත් මට නිතර මතක් වෙනවා. ඒ හමුවේදී රොනී කොයිතරම් සතුටින් සිටියද?’’

රොනී ලංකාවෙන් පිටත්ව යද්දීත් තමන්ගේ නිරෝගීභාවය පිළිබඳව පරීක්ෂා කර බැලුවා. එහෙම වෛද්‍ය පරීක්ෂණයකට භාජන වෙලා තමයි ඔහු සැහැල්ලුවෙන් යුතුව මේ සංචාරයට සහභාගි වුණේ. ඒත් ජීවිතයේ පැවැත්ම අපි හිතනවාට වඩා ගොඩාක් වෙනස්. ඒක අපිට ඕන විදියට හරිගස්සවා ගන්න, පාලනය කරන්න බැහැ.

කොහොම වුණත් අපේ ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක කියන්නේ නම් ඇය මුහුණ දුන් මේ අත්දැකීම මුළු ජීවිත කාලයටම අමතක නොවන සංවේදී අත්දැකීමක් වෙනවා කියලයි.

‘‘මට තවම ඒක හීනයක්. විශ්වාස කරන්න බැරි අත්දැකීමක්. මාත් එක්ක හොඳින් ගමනක් ගිය රොනී ආපසු ආවේ නැහැ කියලා මම කොහොමද විශ්වාස කරන්නේ.’’ මරියසෙල් සංවේදීව ප්‍රශ්න කරනවා.

ඒ විතරක් නෙවෙයි ඇය ඇගේ මුහුණුපොතේ මෙන්න මේ විදියට සටහනක් තබනවා.

‘මට අවදි වීමට අවශ්‍යයි.

මේක ඇත්තටම නරක හීනයක් කියලා මට කෝල් එකක් දෙන්න. ඔබ සාමාන්‍යයෙන් මට කතා කරන විදියට කතා කරන්න පුළුවන්ද? ඒ විදියටම මට කතා කරන්න. ඒ ඇති.’

ඊළඟට එහි තවත් තැනක මරියසෙල් මෙහෙම කියනවා.

‘ඕස්ට්‍රේලියාවේ පළමු චාරිකාවට ඔබ ගියෙත් මා සමඟ. ඒ වගේම අවසන් වරට ඕස්ට්‍රේලියාවට ගියෙත් මා සමඟයි.

ඒ මතකය ලස්සනයි. එහෙත් ඒ මතකයන් මතක තබා ගැනීමට හුඟක් අමාරුයි.’

මරියසෙල් ගුණතිලක නම් වූ අපේ ගායිකාවට පමණක් නෙවෙයි රොනී ලීච්ව හොඳින් දන්න හැමෝටම මේ වියෝව දරාගත නොහැකි දුකක්. අදහාගත නොහැකි අත්දැකීමක්. රොනී ඒ තරමටම තම හිතවතුන් අතර හොඳ මනුස්සයෙක් හැටියට ජනප්‍රිය වී සිටියා. පෙරමුණේ හිටියා. ඒ වගේ හොඳ මනුස්සයෙක් තමයි මේ විදියට නොසිතූ වෙලාවක යන්න ගියේ.

‘‘රොනී බිම වැටිලා හිටියේ නිදාගෙන ඉන්නවා වගේ. කිසිම වෙනසක්, අමුත්තක් ඒ වෙලාවේ මම දැක්කේ නැහැ. අනේ තුවාලයක්වත් සිදුවී තිබුණේ නැහැ. මට ඒ දසුන මැවි මැවී පෙනෙනවා.’’

මරියසෙල් අවසන් වශයෙන් එහෙම කිව්වා.

මරියසෙල් ගුණතිලක හා රොනී ලීච් සහභාගි වුණු මේ සංගීත ප්‍රසංගය සංවිධානය කළේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය බව අප ඔබට මුලින් කිව්වා. මේ සංගමයේ සභාපති අජිත් අබේවික්‍රම මහතා රොනීගේ වියෝව ගැන අනුවේදනීය කතාවක් කියා තිබුණා. ඒක මෙහෙමයි.

‘‘රොනී පුදුමාකාර සරල ගති පැවතුම් තිබෙන මනුස්සයෙක්. එයා අපිත් එක්ක සිටි හැම වෙලාවකදීම විහිළුවෙන් සිටියේ. පුංචි දරුවෝ එක්ක පවා විහිළු තහළු කරමින් ගත කළ ඒ අවස්ථා මතක් වෙද්දී අපට පුදුම හිතෙනවා.

ඕස්ට්‍රේලියාවට ආපු දවසේ ඉඳන්ම එයා ගෙදර අය ගැන නිතරම කතා කළා. දුවගේ වෙඩින් ෆොටෝ පෙන්නලා ඒ ගැන කතා කළා. රොනීගේ ඥාතීන් ගොඩාක් පර්ත්වල ඉන්නවා. ඒ අය හැමෝම හමුවෙලා කතා කළා. අවුරුදු 95 ක් වයසැති ඥාති ආන්ටි කෙනෙක්ව බලන්න ගිහින් ඇයට සතුටු වෙන්න ගීත ගැයුවා. ඉන්දියානු කාන්තාවක් ඉන්නවා දැකලා හින්දි සින්දුවකුත් කිව්වා.’’

රොනී මේ සේරම කළේ අර විදියට හදිසියේ යන්නම යන්නද?

‘‘ඉරිදා රාත්‍රියේ නින්දට යන්න අපෙන් සමු ගනිද්දිත් ඉතාම හොඳ සුවයකින් හිටියා. මේ සිදුවීම ඇත්තටම පුදුමාකාර දෙයක්.’’

ජීවිතය හරිම පුදුමයි. ඒ පුදුමය රොනී වගේම බොහෝ අය අපට විටින් විට කියා දී තිබෙනවා. ඒත් කනගාටුවට කරුණු ඒ විස්මය වගේම ඒ ජීවිත අනිත්‍යය අපට ඉක්මනින්ම අමතක වීමයි. රොනී යන්න ගියෙත් ඒ පාඩම අපට නැවත මතක් කර දෙමිනුයි.

– සමන් ප්‍රියංකර නම්මුනිගේ

++++++++++++++++++++++++++

නොසිතූ මොහොතක ජීවිතය හැරගිය ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතාගේ අවසන් ගමනේ සියලු තොරතුරු හෙළි කරයි

(08.10.2018 – webgossip.lk)

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වුණේ ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී.

හදිසියේ අවසන් ගමන් ගිය ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව තොරතුරු මේ වනවිට පවුලේ ඥාතීන් වෙනුවෙන් පවසා තිබෙනවා.

ඒ බව කීර්ති පැස්කුවල් මහතා සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා :

= විශේෂ දැනුම් දීම =

රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු….

රොනී මහතාගේ දේහය (10 දා) බදාදා ශ්‍රී ලංකාවට රැගෙන එන අතර එදිනම සවස 6.30 සිට රාත්‍රි 10 දක්වා සහ 11 වන බ්‍රහස්පතින්දා උදැසන 8 සිට දහවල් 2 දක්වාද කොළඔ බෞද්ධාලෝක මාවතේ අංක 483 දරණ ස්ථානයේ පිහිටි ජයරත්න මල් ශාලාවේ (Respect) VIP ශාලාවේ තැන්පත් කර තබන බව සංවේගයෙන් දැනුම් දෙමු.

දේහයට අවසන් අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට එම කාලය තුල පැමිනෙන ලෙස සංවිධායක කමිටුව දැනුම් දෙන අතර ඉන්පසුව එදිනම (11 දා) සවස 2 ට එම ස්ථානයෙන් ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් (Christ church) දේවස්ථානයට රැගෙන එන අතර ඉන් අනතුරැව පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

ප්‍රවීන ගායන ශිල්පී රංගන ශිල්පි රොනී ලීචි සොයුරාණෙනි….. ඔබගේ නික්මයාම අපට දරාගත නොහැකි මහත් දුකකි.
ඔබ ඔබම වී නැවතත් අප අතරට එන්න….
ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමු.

කීර්ති පැස්කුවල්
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++

රොනී ලීච් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව

(10.10.2018 – 16:05 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට අද (10) පස්වරු 6 සිට රාත්‍රි 10 දක්වා සහ හෙට (11) පෙරවරු 8 සිට 2 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්විම සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

අද දහවල් ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට මෙරටට රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි.

රොනී ලීච් මහතා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 1 වනදා අලුයම අභාවප්‍රාප්ත වුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.

මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

++++++++++++++++++++++

++++++++++++++++++++++

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%93%E0%B6%A0%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

++++++++++++++++++++++

රොනී ලීච්ට ජනපති අවසන් ගෞරව දක්වයි

(11.10.2018 – 16:12 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (11) දහවල් ගිය ජනාධීපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රොනී ලීච් මහතාගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිවරයා එහිදී සිය සංවේගය පළ කර තිබේ.

රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

+++++++++++++++++

2018-10-11-maythree-2
2018-10-11-maythree-3

++++++++++++++++++++++

අද (11) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබුණා (saaravita.lk) :

2018-10-11-roni-1
2018-10-11-roni-2
2018-10-11-roni-3
2018-10-11-roni-4
2018-10-11-roni-5

+++++++++++++++++++++++++++

රොනී, පිච්චර් පිස්සෙක්

(11.10.2018 – saaravita.lk)

අපේ ජීවිත කාලය තුළ අපට සරල, සුන්දර, සැහැල්ලු මිනිසුන් හමුවන්නේ ඉතාම අල්ප වශයෙනි. ඇතුළාන්තයෙන් මෙන්ම පිටතින් ද මෙම ගුණාංගවලට හිමිකම් කියනා අය ඊටත් වඩා විරලය. පසුගියදා හදිසියේ ජීවිතයෙන් සමුගත් අපේ හිතමිත්‍ර, ප්‍රවීණ කලා ශිල්පී රොනී ලීච් එවැනි සරල, සුන්දර, අව්‍යාජ මිනිසෙකි. ඔහුවන් අයකු යළි අපට මුණනොගැසෙනු ඇතැයි මට සිතෙන තරම්ය.

රොනී ලීච් නිතරම සිටියේ සතුටින්ය. ඒ සතුට ඔහු හිමිකරගත්තේ අන් අය සතුටු කිරීමෙන් ලැබූ තෘප්තිය හරහාය. සැබැවින්ම සතුට යනු අපට කරගන්නා දේවල් තුළින් ලැබෙන දෙයක් නොව අප විසින් අන් අයට කරනා දේ තුළින් ලබාගත හැකි දෙයක් බව රොනී අපට මනාව ඔප්පු කළේය.

මතුපිටින් බොහෝ අය ඔහු දුටුවේ මිනිසුන් හිනස්සන්නට උපන් හපන්කම් දැක්වූ හාස්‍යමය චරිතයක් ලෙසට වුවත්, ඒ සුන්දර චරිතය තුළ සැඟවුණු සැබෑ මානුෂීය ගුණයෙන් පිරි, කලාවට දැඩි ලෙස ඇළුම් කළ අව්‍යාජ මිනිසකු විය.

රොනී ලූක් ලීච් උපන්නේ 1953 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදාය. ඔහු අප අතර සිටියා නම්, තව දින කිහිපයකින් ඔහුගේ 65 වැනි උපන්දිනය සමරනු ඇත. ඒත් දෛවය ඊට ඉඩ දී නොමැත.

පාසැල් අවධිය පටන්ම රොනී පිච්චර් පිස්සෙකි. දැඩි සංගීත ලෝලියෙකි. පෞද්ගලික සමාගමක සේවය කළ ඔහුගේ පියා කතෝලික දේවස්ථානයේ කන්තාරු කණ්ඩායම හා සම්බන්ධව සිටි හෙයින්දෝ කුඩා රොනීට ද සංගීතය පිළිබඳ ඇල්මක්, ආශාවක් ඇති විය. කාලයාගේ ඇවෑමෙන් ඒ ආසාව දැඩි ලෙස ඔහුගේ හිත තුළ මෝරන්නට විය. කවදා හෝ දිනක මේ රටේ ජනප්‍රිය ගායකයකු වීමේ හීනයත් සමඟ ඔහු ජීවත් විය.

යෞවන වියේදී රොනී චිත්‍රපට රැසක් නැරඹූ අතර ඒ අතර දමිළ හා හින්දි චිත්‍රපට ද විය. ඒ ආභාෂය නිසාම ඔහු පසු කලෙක ඕනෑම සිංහල, දමිළ, හින්දි හෝ ඉංග්‍රීසි චිත්‍රපටයක ඕනෑම තොරතුරක් දැන සිටි මතක ගබඩාවක් බවට පත්විය.

මේ රටේ නිපදවූ ඕනෑම චිත්‍රපටයක සින්දු, නළු නිළියන්, කාර්මික ශිල්පීන්ගේ විස්තර ඔහුට කටපාඩම්ය. ඔවුන් මියගිය දින හා ඔවුන්ට අදාළ පසුබිම් කතාන්දර ද ඔහු දැන සිටියේය.

ඒ වාගේම පැරුණි කලා ශිල්පීන්ට ඔහු තුළ සුවිශාල ගෞරවයක් හා භක්තියක් තිබිණ. ඔහු අපූරු කලාකරුවකු යැයි අප පවසන්නේ ඒ නිසාය.

‘තට්ටයා… මම ලස්සන තට්ටයා..’ ගීතය හරහා එක රැයෙන් ජනප්‍රිය වූ රොනී, ‘තට්ටයා’ නමින් මුල්ම කැසට් පටයක් ද නිකුත් කළේය. අංශ කීපයකින්ම දස්කම් ප්‍රකට කළ රොනී නළුවකු ලෙස දොරට වැඩියේ සේන සමරසිංහගේ ‘ඈතින් ඈතට’ චිත්‍රපටය තුළින්ය. එතැනින් ඇරැඹි ඔහුගේ සිනමා ගමන තුළ ඔහු පිළිබිඹු කළ හැකියාවන් අතිමහත්ය. ‘යළි හමුවෙන්නයි, දුෂ්‍යන්ති, චෙරියෝ ඩාලිං, සාවිත්‍රිගේ රාත්‍රිය, නින්ජා ශ්‍රී ලංකා, රෑ දනියෙන් දවල් මිගෙල්, පෙම් කැකුල, ජැක් ඇන්ඩ් ජිල්, කිණිහිරියා මල්, හායි හූයි බබි ආච්චි, ජොන්සන් සහ ගොන්සන්, සෙල්ලං කුක්කා, ලව් 2002, ඔන්න බබෝ, සැපට දුකට සනී, නුඹ නාඬන් අපිට පිස්සු, ක්ලීන් අවුට්, ජොලි බෝයිස්, අලි පැංචා මගෙ මිතුරා, කවුද බොලේ ඇලිස්, එතුමයි මෙතුමයි, මගෝ ඩිගෝ ඩයි, කොස්තාපල් පුංඤ්ඤසෝම, ලීඩර්, මයි නේම් ඊස් බන්දු, ඩොක්ටර් නවරියන්, තැන්ක් යූ බර්ටි, ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ වැනි චිත්‍රපට හරහා ඔහු දැක්වූ කුසලතාවයන් ප්‍රේක්ෂක මතකයන් තුළ සදා රැඳෙනු ඇත.

සංගීත ලොවේදී ඔහු නැතුවම බැරි ගායකයෙකි. ලංකාවේ පමණක් නොව විදෙස් රටවල්වල පවා ඔහුට තිබුණේ අසීමිත ඉල්ලුමකි. එවන් විදෙස් සංචාරයක් අතරතුරයි ඔහු අවසන් හුස්ම හෙලුවේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රසංගයක් අවසන් කර නින්දට ගිය ඔහු යළි දෑස් ඇරියේ නැත (?).

ප්‍රසංගය වේදිකා සංවිධායකවරු පවසන පරිදි රොනී කිසි දිනෙක මුදල් මුල් කරගෙන වැඩ භාරගත් කෙනකු නොවේ. ප්‍රසංගය අවසානයේදී ඔහුට ලබා දෙන මුදල් ‘ස්තූතියි’ කියා සාක්කුවට දමාගත්තා මිසක කවදාවත් ගණන් කළේ නැත.

පැරුණි කලා ශිල්පීන්ට බෙහෙවින් ආදරය කළ, ගෞරවය කළ, භක්තියෙන් සිහිපත් කළ රොනී, මියගිය කලාකරුවන් සිහි කර කලා අතිරේකවල කුමන හෝ දෙයක් පළවූ විටෙක ඔහු ඒ අදාළ මාධ්‍යවේදියාට කතා කොට ස්තූති කිරීමේ පුරැද්දක් තිබුණි. ‘‘ඕගොල්ලෝ ඒ අය මතක් කරලා ලිව්වෙ නැත්නම් මේ පරපුර ඒගොල්ලෝ කරපු කැපවීම් ගැන කිසි දෙයක් දන්නේ නැති වෙයි.’’ ඔහු නිතරම කියනා දෙයකි.

ඒත් අප අතරින් සමුගත් කලා ලොවේ තරු අතරට රොනී ලීච්ගේ නමත් ඇතුළත් කරන්නට අපි කිසි දිනෙක බලාපොරොත්තු නොවූයෙමු. ඒත් බලාපොරොත්තු නොවනා කොතෙක් නම් දේවල් අපේ ජීවිතයේ සිදු වෙනවාද? රොනී සමුගත්තේ හරියටම අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා – අග්‍රගණ්‍ය කලාකරුවා අපෙන් සමුගෙන වසර 14 කට පසුවය. ගාමිණී මෙන්ම රොනී සිහිපත් කරන්නට අපට සැප්තැම්බර් 30 වැනි දින වෙන් කළ යුතුව ඇත.

රොනී වරක් කියා තිබූ අපූරු කතා කීපයක් එක්වරම සිහිපත් විය. දවසක් ඔහුගේ මිත්‍රයකු සමඟ රෑ බෝ වෙනකල් හොඳ හෝටලයක කා-බී, ගෙදර යන්න ලෑස්ති වෙනකොට පාන්දර වෙලා. කාපු බීපු දේවල් නිසා කාලය දන්නෙම නැතුව ගෙවිලා ගිහින්. ගෙදර යන්න යාළුවා රොනීට වාහනයක් කතා කරලා දීලා. ගෙදර ගිහින් බහිද්දි පවුලේ කට්ටිය හොඳටම බය වෙලා. බැලින්නම් යාළුවා කතා කරලා දීලා තියෙන්නේ අවමංගල රථයක්ලු.

උස් පහත්, ජාති බේද, පක්ෂ පාට බේදවලින් තොරව සැවොම එක ලෙස සහෝදරත්වයෙන් ඇසුරු කළ, ඒ හැමෝගෙම ආදරයට හා ගෞරවයට පාත්‍ර වුණු රොනී සමාදානයේ සැතපේවා!

– රමේෂ් උවයිස්

++++++++++++++++++++++++++++++++

• Ronnie Leach Funeral (Photos)
(12.10.2018 – gossiplankanews.com)

https://4.bp.blogspot.com/-FTFxZpuY--c/W7-i50az11I/AAAAAAABmCw/ClHjdDPjhPE80OBdeTzbLvIatPLKDMO1QCLcBGAs/s1600/collage.png

+++++++++++++++++++++++++

ජනප‍්‍රිය ගායන ශිල්පී රොනී ලීච් මහතා දැයෙන් සමුගනී..

ජනප‍්‍රිය ගායන ශිල්පී රොනී ලීච් මහතා දැයෙන් සමුගනී..

Posted by Newsfirst.lk on Thursday, October 11, 2018

+++++++++++++++++++++++++

+++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *