කොස්ගොඩ වෙඩි වරුසාවක්.. කපයි කොටයි.. දෙන්නෙක් මරා දමයි.. බෙල්ල කපාගෙන ගොස් හන්දියේ තබයි..

(01.10.2018 – 13:20 +0530 – lankacnews.com)

ඌරගස්මන්හන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රී පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා, කපා කොටා ඝාතනය කර තිබේ. රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර කාලය තුලදී මෙම ඝාතනයන් සිදුකර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ ඉහළ මාලවල, රන්තොටුවිල ලිපිනයේ පදිංචි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) නැමැති ඥාති සහෝදරයින් දෙදෙනාය.

ඝාතනයට ලක් වූ දෙදෙනා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදීම ඊයේ (30) රාත්‍රී 10.00 ට පමණ පවත්වන ලද අතර මෘත දේහයන් මේ වන විට ඇල්පිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයන් අද (01) දිනයේදී ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ඝාතනයන් සිදුකර ඇත්තේ ඝාතනයට ලක් වූ මාලවල, රන්තොටුවිල ලිපිනයේ පදිංචි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) නැමැති අයගේ නිවසේදීය. චමිල දීපාල් රණසිංහ (37) නැමැති අය සිය නිවස ඉදිරිපිට ඇති කුරුදු වාඩියේ සමන් සුරේෂ් (30) නැමැති අය සමග කතා කරමින් සිටියදී ඝාතකයින් පැමිණ ඝාතනයන් සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මොවුන් දෙදෙනා ඉඩ ලද සෑම විටකම පාහේ මෙසේ කුරුදු වාඩියේ කතා කරමින් සිටින බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙයින් සමන් සුරේෂ් (30) නැමැති අය ඝාතනය කර ඝාතකයින් ඔහුගේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් ඇත. ඝාතකයින් චමිල දීපාල් (37) නැමැති අයගේද හිස කදින් වෙන් කරන්නට උත්සාහ දරා ඇති බවත් වෙන් වෙන්නට ආසන්නව තිබියදී චමිල දීපාල් (37) නැමැති අයගේ දේහය ඝාතනයන් සිදුකල ස්ථානයේම දමා ගොස් තිබෙන බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඝාතකයින් විසින් ඝාතනයට ලක් වූවන්ට වෙඩිපහර 25 ක් 30 ක් පමණ තබන්නට ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සෑම දිශාවකටම පාහේ වෙඩි තබා තිබෙන බවත් සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතුරම් කොපු 26 ක් පොලිසීය විසින් සොයාගත් බවත් ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම හිස් පතුරම් කොපු 26 ම එම්-36 වර්ගයේ ගිනි අවි වලට භාවිතා කරන පතුරම් වල කොපු බවත් පතුරම් කොපු විසිරී ඇති ආකාරය අනුව අවම වශයෙන් එම වර්ගයේ ගිනි අවි දෙකක් වත් භාවිතා කරන්නට ඇතැයි අනුමාන කලහැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය. මෙම වර්ගයේ ගිනි අවි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් භාවිතා කරන ඒවා බවද ඌරගස්මන්හන්දිය පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ දෙදෙනාගේ ශරීර වල වෙඩි පහරවල් 20 ක් පමණ තිබූ බවත් වෙඩි තැබීමෙන් පසු විශාල වශයෙන් කපාකොටා තිබූ බැවින් වෙඩි පහරවල් ප්‍රමාණය නියත වශයෙන් කිව නොහැකි බවත් ඝාතනයන් සිදුවන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ ඝාතයට ලක් වූ දෙදෙනා පමණක් බවත් පොලීසිය කියයි. චමිල දීපාල් (37) නැමැති අය අවිවාහකයෙකු වන අතර ඔහුගේ මව, පියා හා නැගණිය අසල්වැසි නිවසකට ගොස් තිබු බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සමන් සුරේෂ් (30) නැමැති අය මීට වසරකට පමණ පෙරදී විවාහ වී තිබෙන බවත් ඔහුට දරුවන් නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

මෙම ඝාතනයන් වසර ගණනාවක් පුරා දෙපාර්ශවයක් අතර තිබෙන කෝන්තරයක් නිසා සිදුව තිබෙන බව පොලිසිය විශ්වාස කරයි. මෙම කෝන්තරය නිසා මෙම ඝාතනයන් දෙකත් ඇතුළුව මේ වන විට ඝාතනයන් 05 ක් සිදුව තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලිසිය කියයි. මෙම කෝන්තරය ඊයේ (30) ඝාතනයට ලක් වූ සමන් සුරේෂ් (30) නැමැති අය අතර සහ කුඩා ඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි ඉන්දික මහේෂ් රණවීර නැමැති අය අතර ඇතිව තිබෙන අතර ඒ නිසාම මෙම ඝාතනයන් දෙකද ඉන්දික මහේෂ් රණවීර නැමැති අය විසින් සිදු කරන්නට ඇතැයි ඌරගස්මන්හන්දිය පොලිසිය විශ්වාස කරයි.

සමන් සුරේෂ් (30) සහ ඉන්දික මහේෂ් නැමැති අය අතර මීට වසර 05 කට පමණ පෙර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑමේන් ඉන්දික මහේෂ් විසින් 2015 නොවැම්බර් මාසයේ දිනක සමන් සුරේෂ් (30) නැමැති අයගේ පාර්ශවයේ දෙදෙනකු ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනයට ලක් වු එක් අයෙක් වන්නේ සමන් සුරේෂ් (30) නැමැති අයගේ බාල සහෝදරයාය. එයින් මසක් ඉක්ම යන්නට මත්තෙන් සමන් සුරේෂ් (30) සහ ඔහුගේ කණ්ඩායම විසින් ඉන්දික මහේෂ් නැමැති අයගේ පාර්ශවයේ අයෙකු 2015 දෙසැම්බර් මාසයේ දිනක කපා කොටා ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ සරත් කුමාර හෙවත් බොස් සරත් නමින් හදුන්වන අයෙකු බවත් ඔහු වැලිගොඩ දැමීමේ නිරතව සිටි අයෙකු බවත් ඌරගස්මන්හන්දිය පොලිසිය කියයි. සමන් සුරේෂ් (30) විසින් බොස් සරත්ගේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් ඇත.

සමන් සුරේෂ් (30) ඝාතනය කර ඔහුගේ හිසද කදින් වෙන්කර ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස බවටද පොලීසිය විශ්වාස කරයි.

– ජයකාන්ත ලියනගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *