බස් රථයක් තුලදී මුදල් පසුම්බියක් සොරකම් කරන හැටි CCTV වල සටහන් වෙයි

(04.10.2018 – 15:25 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථයක පැමිණි තරුණයෙකුට අයත් මුදල් පසුබ්මියක් කිසියම් අයෙකු සොරකම් කරන ආකාරය එම බස් රථයේ සවිකර තිබු කැමරා පද්ධතියක සටහන්වී තිබෙනවා.

මුදල් පසුම්බිය හිමි තරුණයා සඳහන් කර ඇත්තේ මුදල් පසුම්බියේ රුපියල් 138,000 ක පමණ මුදලක් තිබු බවයි.

දෙයියන්දර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකදී මෙම සොරකම සිදුවී ඇත්තේ බසය පිටකොටුවට ආසන්න වෙමින් තිබියදීයි.

++++++++++++++++++++++++

පැමිණිල්ල නොලියා විභාග නොකල පොලිස් සැරයන්ගේ වැඩ තහනම්.. ස්ථානාධිපති ඇතුලු 16 කට වහාම ස්ථාන මාරු..

(04.10.2018 – 12:40 +0530 – lankacnews.com)

යාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන් වරයෙකුගේ වැඩ තහනම් කොට යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.

පසුගිය සැප්තැම්බර් 24 වනදා උදෑසන යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි අන්බුදරාජා ඉලංකුමර් නැමති ව්‍යාපාරිකයෙකු විසින් සිය වෙළඳසැල කොල්ලකෑමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් දැමීමට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නරතව සිටි පොලිස් සැරයන් වරයෙකු අදාල පැමිණිල්ල විමසා සිටියද පැමිණිල්ල පැමිණිළි පොතේ සටහන් කර නොමැත.

කෙසේ වෙතත් අදාල ව්‍යාපාරිකයා විසින් එම සිදුවීම යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයාට දැනුම් දීමෙන් පසුව කරුනු විමසා බලා සිදුවීම සත්‍යතාවය තහවුරු වීම හේතුවෙන් එම අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් වරයා තාවකාලිකව වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති අතර යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුලු අපරාධ අංශයේ එදිනට රාජකාරි කටයුතු නිරත 16 දෙනෙකු යාපනය කන්කසන්තුරෙයි, පේදුරුතුඩුව ඇතුලු පොලිස් ස්ථාන කිහිපයකට අදාල පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමටද යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක්ද අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

*****************************************

මධූෂ්ගේ පියාගේ අවමගුල සංවිධාන කළ බණ්ඩාට ඔරුවලදී පොලීසියෙන් වෙඩි

(04.10.2018 – 18:36 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේදී අද දහවල් පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයා පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදුකළ තැනැත්තා බවට අනාවරණ වී තිබෙනවා.

මාකදුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයන්ගේ සමීපතමයෙකු වන 30 හැවිරිදි ඔහු රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නමින් හැදින්වෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

වෙඩි වැදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් අද පස්වරුවේ ඔහු කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා.

බණ්ඩා නමැති මෙම පාතාල සාමාජිකයා පොලිස් නිලධාරියෙකුට මරු කැදවූ මාතර රන් කොල්ලය සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථය පැදවූ සැකකරු බවට ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පාතාල සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් කිහිපදෙනෙකුද සිටින බවයි.

කාන්තාවන් දෙදෙනකු ද, අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා. වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවියක්, තියුණ ආයුධ කිහිපයක් සහ මෝටර් රථයක් මෙන්ම කොල්ලකන ලද යතුරුපැදිය ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ රාත්‍රි 8.20 ට පමණයි.

එහිදී තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා, පයාගල – මුංහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

++++++++++++++++++++

+++++++++++++++++++++

පොලිස් වෙඩි කෑ මධුෂ්ගේ ගෝලයාට බරපතළයි

(05.10.2018 – 09:15 +0530 – lankadeepa.lk)

දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

පාතාල සාමාජිකයා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට හානියක් සිදුවී නොමැත.

පොලිසියට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ද එම ස්ථානයේ තිබී පොලිසිය බාරයට ගෙන ඇත.

මෙලෙස රෝහල්ගත කරන ලද්දේ බණ්ඩාරගම-ගම්මන්පිල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් බණ්ඩා (32) නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි.

lankadeepa.lk

පොලිසි ගණනාවකට අවශ්‍ය කරන පාතාල සාමාජිකයකු ඔරුවල ප්‍රදේශයේ සැරි සරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැරි සරමින් සිදුකළ සෝදිසි කිරීමෙන් අනතුරුව ඊයේ (04) එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලද එම පාතාලයේ අපරාධකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ඔරුවල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

විදේශගතව සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට හා ඉකුත්දා මාතර සිදුවූ රන් භාණ්ඩ කොල්ලයේ වෙඩි තැබීමට සම්බන්ධ වූවකු බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටිය දී මෙම සිද්ධිය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

මීට මාසයකට පමණ ඉහත දී මෙම පුද්ගලයා පදිංචිව සිටි බණ්ඩාරගම ගම්මන්පිල නිවස වැටලූ පොලිසිය එහිදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ ද සොයා ගැනීමට සමත්විය.

හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පාතාල සාමාජිකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අතුරුගිරිය පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *