වැස්ස නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

(06.10.2018 – 20:37 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම-මන්නාරම මාර්ගය එලුවම්කුලම ප්‍රදේශයෙන් අවහිරවීම ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ හේතුවෙන් පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින අධික වර්ශාවත් සමඟ හොරණ, ඉන්ගිරිය, මතුගම, අගලවත්ත, වැලිපැන්න සහ මහනුවර අකුරණ 6 කණුව ප්‍රදේශයේ මාර්ගද ජලයෙන් යටවී ඇති බව අපදා කළමනාකරණ ඒකකය පවසයි.

+++++++++++++++++++++++++++++++

මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අදත් – කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටමත් වැඩිවෙයි

(07.10.2018 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කෙටි කාල සීමාවක් තුළ මිලිමීටර 150 ඉක්මවූ අධික තද වැසි ඇතිවීමේ කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 තුල ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වැඩ බලන අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ දිවයිනට බටහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය මේ වනවිට දිවයිනෙන් බැහැරට යමින් පවතින බවයි.

එහෙත් අද දිනයේත් දිවයිනේ දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක් පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගත වූ පැය 24 තුළ මිලිමීටර් 199 ක වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කළුතර – උස්වැලි ප්‍රදේශයෙන්.

මේ අතර, අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි රළු ස්වභාවයක් ගත් කොළඹ – ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ධීවර කටයුතු සඳහා එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීම අද දිනය තුළත් නුසුදුසු වනවා.

අධික වැසි හේතුවෙන් කළු, ගිං ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද අලුයම වනවිට මෙම ජලාශවල ජල මට්ටම්, විමසිලිමත් විය යුතු සීමාවට ආසන්නව පැවති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මේ වනතුරුත් පිටාර ගැලීම් සම්බන්ධයෙන් වාර්තාවී නැහැ.

ඊයේ දිනය පුරා ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවලත් ගාල්ල, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණා.

මහරගම, පිලියන්දල, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, අගලවත්ත, වැලිපැන්න, මහනුවර – අකුරණ ප්‍රදේශවල මාර්ග මෙලෙස ජලයෙන් යටවී තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක සදහන් කළේ මතුගම – අලුත්ගම මාර්ගය ජලයෙන් යටවීම නිසා වැලිපැන්න අන්තර් හුවමාරුව ද මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග එක්ව, ජලාශවල ජල මට්ටම් ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ද ඊයේ පස්වරුවේ ඉදිරි පැය 24 සදහා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ – හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නායයාම් සහ පස් කදු කඩා වැටීමේ අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කරනු ලැබුවා ෴

*****************************************

අංගොඩ ඝාතනය වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහරදීම ගැන පොලිස් විමර්ශණ

(06.10.2018 – 19:40 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් පහරදීමට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිසියට හැකි වී නැහැ.

කොළඹ – අවිස්සාවේල්ල පැරණි මාර්ගයේ අංගොඩ මං සන්ධියට ආසන්න ස්ථානයකදී ඊයේ පස්වරුවේ වූ වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුලත් කළා.

තාරක ඉරෝෂන් නොහොත් කොණ්ඩ තාරක මෙලෙස තුවාල ලබා රෝහලට ඇතුලත් කල අතර ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේවෙතත් ඒ පිළිබඳ වාර්තා කිරීමට මුල්ලේරියාව රෝහලට ගිය හිරු මාධ්‍යවේදී සුසන්ත රත්නායක මහතාට එහි සිටි පිරිසක් පහර දී තිබෙනවා.

පහරදීමෙන් නොනැවතුනු ඔවුන් අප මාධ්‍යෙවේදීයා සතු කැමරා ආම්පන්න වලටද දැඩි හානි සිදු කර තිබුණා.

පහරදීමෙන් තුවාල ලැබූ සුසන්ත මහතා ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණේ මූල්ලේරියාව රෝහලටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *