හෙටත් (10) දිස්ත්‍රික්ක 13 කට තද වැසි

(09.10.2018 – 19:30 +0530 – sinhala.adaderana.lk)

හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක 13 කට තවදුරටත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හතරේ ප්‍රදේශ කිහිපයකටම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වය අද (09) දිනයේත් ක්‍රියාත්මක විය.

වර්ෂාවත් සමඟ කැලණි , කළු , ගියෙන ගාගං මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන් ඒ ආසන්න පහත් බිම් වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දෙනු ලැබීය.

මේ අතර පිටාර මට්ටමට ආසන්න වීමෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කෙරුණි.

ඒ අනුව පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි තුනක පමණ ප්‍රමාණයකින් විවෘත කර ඇති අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක්ද අඩියක ප්‍රමාණයකින් විවෘත කර තිබේ.

ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර රාජාංගනය ජලාශයේද වාන් දොරටු 4 ක් අඩි දෙක බැගින් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කර තිබේ.

මේ අතර මල්වතු ඔය පටුමඟේ පිහිටි පාලම අසලින් ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට පූජා නගරය දක්වා මාර්ගය ජලයෙන් යටවී තිබේ.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකට වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර මේ හේතුවෙන් මාර්ගවල දැඩි මීදුම් තත්ත්වයක් අද දක්නට ලැබුණි.

ගාල්ල ගංගාරාම විහාරය අසළ මොරගොඩ ඇලේ තිබී අවුරුදු 70 ක් පමණ වයසැති නාදුනන කාන්තා මළ සිරුරක්ද හමු වී තිබේ.

මේ අතර ගාල්ල මාපලගම – මලාමුර ප්‍රෙද්ශයේ පස්කන්දක් නායයාම හේතුවෙන් මාපලගම – මලාමුර මාර්ගයේ ගමානාගමනයට බාධා එල්ල විය.

මේ අතර නෝර්වුඩ් ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි නිවාස පහක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් එම නිවැසියන් ආරක්ෂිත ස්ථාන වෙතට යොමු කිරීමට නෝර්වුඩ් පොලීසිය පියවර ගත්තේය.

කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 4 ට පනවා ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින අයහපත් කාලගුණිත තත්ත්වයත් සමඟ ප්‍රෙද්ශ කිපයක විපතටපත් ජනතාවට සහන සැලසිම සඳහ නාවික හමුදාවද එක්ව සිටියි.

පවතින අයහපත් කාගුණික තත්වය සමග හලාවත මහවැව – මට්ටකොටුව ප්‍රදේශය දැඩිලෙස මුහුදු ඛාදනයට ලක්විම හේතුවෙන් වෙරළ සංරක්ෂක දේපාර්මේන්තුව විසින් ගලුගල් වැටි යෙදිම මෙලෙස ආරම්භ කර තිබුණි.

ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග වවුනියාල, කුරුදුපිටිය ප්‍රදේශයේ ළිඳකට වැටි සිටි කිඹුලන් තිදෙනෙකු ඊයේ පස්වරුවේ ගොඩ ගනු ලැබීය.

මේ අතර අධික වර්ෂාවත් සමඟ පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නා ඔයේ ජල මටිටම මෙලෙස ඉහළ ගොස් තිබුණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 12,478 කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත් වලටත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලටත් තවදුරටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *