වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති

(10.10.2018 – mawbima.lk)

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව එම ආයතනයේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ‘මව්බිම’ට ඊයේ (09දා) පැවැසූහ.

සෙමා ආයතනය විසින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ සටහන් රැසක් දියත් කළ බවත් ඒවා අතිශයින්ම සාර්ථක වූ බවත් රතන හිමියෝ සඳහන් කරති.

නිදන්ගත වකුගඩු රෝගයට හේතුවන බවට රසායනාගාර පර්යේෂණ මඟින් තහවුරු වූ ග්ලයිෆොසේට් වල් නාශකය තහනම් කිරීමට මුල්වී කටයුතු කළේද සෙමා ආයතනයයි.

මේ තීරණය හේතුවෙන් සෙමා ආයතනයට අනුයුක්තව සේවය කළ සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාවකගේ රැකියා අහිමිවී තිබේ. මෙම මස 16 වැනි දිනට ප්‍රථමයෙන් ආයතනය සතුව තිබෙන සියලු වත්කම් ජනාධිපති කාර්යාලයට භාර කරන ලෙස නියෝග කර ඇතැයි එම ආයතනයේ උසස් නිලධාරියෙක් කීය.

ජනාධිපතිවරයා විසින් සෙමා ආයතනය (උපාය මාර්ගික සංවර්ධන ආයතනය) වසා දැමීමට නියෝග කළත් රටේ සාමාන්‍ය ගොවි ජනතාවගේ ශක්තියෙන් සහ අධිෂ්ඨානයෙන් වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යන බව අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති ෴

*****************************************

සිකුරු – අඟහරු – බ්‍රහස්පති – සෙනසුරු එකට ළං වෙලා: වැස්සට හේතුව එයයි – ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා

(10.10.2018 – mawbima.lk)

මේ දිනවල වැසිබර කාලගුණික තත්ත්වයක් උදා වී ඇත්තේ පියවී ඇසට පෙනෙන ග්‍රහලෝක පහ අතුරින් සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් එකිනෙකට ළංව පිහිටීමේ ප්‍රතිඵලයක් හේතුවෙන් බව ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා ‘මව්බිම’ට පැවැසීය. ලංකාවට පමණක් නොව චීනය, ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක ඇතිවූ බරපතළ ස්වාභාවික ආපදා තත්ත්වයන් නිර්මාණය වූයේ ද මාස 1 1/2 ක කාලයක පටන් එම ග්‍රහයන් එකිනෙකට ළංවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බවද ඒ මහතා සඳහන් කළේය.

මෑතකදී ඉන්දුනීසියාවේ සුලවෙයි ප්‍රදේශයට බලපෑ සුනාමි තත්ත්වයටද හේතුව එය බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ ග්‍රහයන්ගේ එම පිහිටීම තවත් සති 3-4 ක් පවතින නිසා ඒ කාල වකවානුව තුළ සමස්ත ලෝකයටම දේශගුණික විපර්යාසයක් ඇති විය හැකි බවයි.

ඉහත කී ග්‍රහයන් ළංව පිහිටීම හරහා වෑන් ඇලන් නමැති විකිරණශීලී වළලු ආරෝපණය වී ඉහළ වායුගෝලයට ඇති කෙරෙන බලපෑම තුළින් මේ කාලගුණික විපර්යාසය නිර්මාණය වී ඇති බවත් එය සූර්යයා හා චන්ද්‍රයා එක එල්ලේ පිහිටි විට ඇතිවන වඩදිය බාදිය සිදු වන්නාක් මෙන් ක්‍රියාවලියක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *