ත්‍රිරෝද රථ ගාස්තුව රු. 10 කින් ඉහළට

(11.10.2018 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව ගාස්තු සංශෝධනයට අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අය කෙරෙන රුපියල් 60 ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 40 ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් දහයකින් ඉහළ යනු ඇති.

මේ අතර පාසල් වෑන් රථ ගාස්තුවද සංශෝධනය කිරීමට ද තීරණය කර ඇති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එල්.එම්.ඒ. හරිස්චන්ද්‍ර මහතා කියා සිටියා.

ඊයේ සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් මිල වැඩිවීමක් සිදුවූයේ නැහැ. කෙසේ වෙතත් ලංකා අයි. ඕ.සී. සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 129 ක් දක්වා ඉහල නංවනු ලැබුවා.

බස් සංගම් ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල්වලද ඔටෝ ඩීසල් මිල ඉහල නැංවුවහොත් අනිවාර්ය ගාස්තු වැඩිවීමකට යොමුවීමට සිදුවන බවයි. ඒ සම්බන්ධයෙන් බස් සංගම් අතර සාකච්ඡාවක්ද අද පෙරවරුවේ පැවැත්වුණා ෴

*****************************************

අධිකරණයට පැමිණෙන්නැයි වෛද්‍ය සභාවට නොතීසි

(11.10.2018 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොවැම්බර් මස 16 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය උපාධිධාරිණියක ගොනු කළ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදීයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරු හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබුවා.

*****************************************

කරාපිටියේ වෛද්‍යවරුන් අතර ආරවුලකින් සායනික කටයුතු නවතී

(10.10.2018 – 14:16 +0530 – lankadeepa.lk)

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු සහ වාට්ටුබාර වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් නිසා අද (10) පෙරවරුවේ සිට රෝහලේ සායන නතර කර දමා බාහිර රෝගි අංශයද වසා දමා තිබිණි.

මේ නිසා ඈත පළාත්වල සිට සායනවලට පැමිණ සිටි රෝගින්ටද බාහිර රෝගි අංශයට පැමිණ සිටි රෝගින්ටද හිස් අතින් ආපසු යාමට සිදුවිය.

රෝහලේ වෛද්‍යවරුන්ගේ රථගාලේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෝටර් රථය නතර කරන ස්ථානයේ අද (10) උදෑසන වෙනත් වෛද්‍යවරන් දෙදෙනෙකු මෝටර් රථ නතරකර තිබිම නිසා උරණවු විශේෂඥ වෛද්‍යවරයා එම වෛද්‍යවරුන් දෙදෙනාට බැණ වැදි තිබේ.

මේ නිසා එම වෛද්‍යවරුන් දෙදෙනා රාජකාරිවලින් බැහැර විමත් සමග ඔවුන් දෙදෙනාට සහාය දීම සඳහා අනෙකුත් වෛද්‍යවරුන්ද සායන වලින් සහ බාහිර රෝගි අංශයෙන්ද බැහැරව ගොස් ඇත.

මේ නිසා දුර බැහැර සිට පැමිණි රෝගින් දැඩි අපහසුවට පත්ව ආපසු හැරි ගියේය ෴

*****************************************

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා සංදේශයක්

(11.10.2018 – 14:53 +0530 – lankadeepa.lk)

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනාවේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ඉල්ලා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත සංදේශයක් භාරදුන් බව එහි ජාතික සංවිධායක විහාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවද උන්වහන්සේ කීහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *