ඉදිරි මාස 06 තුල රජයේ හෝටල් දෙකක් විකිනීමට සුදානම්

(12.10.2018 – nethnews.lk)

සිය මුල්‍ය ශක්තිය වර්ධනයකර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය සතු හෝටල් දෙකක් ඉදිරි මාස 06 ක කාලය තුලදී විකිණීමට බලාපොරොත්තුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.

මෙම හෝටල් දෙක විකිණීම තුලින් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

මේ වන විට මෙම හෝටල් දෙක විකිණීම සම්බන්ධයෙන් වන නිතිමය කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ සදහා තව මාස 06 ක පමණ කාලයක් ගත වෙවී යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය සතුව 51% ක කොටස් අයිතිය හිමි හිල්ටන් හෝටලය සහ කොළඹ නගර සිමාවේ පිහිටි ග්‍රෑන්ඩ් හයැට් (Grand Hyatt) හෝටලයන් කළමනාකරණ කොන්ත්‍රාත්තුව යටතේ පවත්වාගෙන යාම සදහා ආයෝජකයින් සෙවීම ආරම්භ කරනු ලැබුවා.

මේ අතර ඉදිරියේදී ශ්‍රී ලංකා ගුවන් සේවය සදහා ආයෝජකයින් සොයා ගැනීමට හෝ එය පෞද්ගලිකරණය කිරීම සදහා ශ්‍රී ලංකා රජය පියවර ගනු ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

‘‘අපි යලිත් අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගතකරණයක නිරත වෙමින් තිබෙනවා.ඒ හේතුවෙන් යම් යම් වෙනස්කම් සිදුවීමට හා සිදුකිරීමට ඉඩ තිබෙනවා. ඉදිරි මාස කිහිපයේදී මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට ඔවුන්ගේ අදහස් දැක්වීමට ඉඩ ලැබෙනු ඇති’’ බව රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා ලබා ගත් විදෙස් ණය ආධාර සදහා මේ වසරේ සිට ණය වාරික පියවීමට රජයට සිදුව ඇති අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රජය මුල්‍යමය වශයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි රොයිටර් පුවත් සේවය මෙහිදී වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ෴

*****************************************

“දි වන් ශ්‍රී ලංකා” – රිට්ස් කාල්ටන් සහ ජේ. ඩබ්ලිව් මැරියට් ගොඩනැගිලි ද්විත්වයේ බාහිර ආවරණය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

(12.10.2018 – 19:14 +0530 – hirunews.lk/sinhala)

“දි වන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුවේ ඉදිකෙරෙන රිට්ස් කාල්ටන් සහ ජේ. ඩබ්ලිව් මැරියට් ගොඩනැගිලි ද්විත්වයේ ප්‍රධාන බාහිර ආවරණය ඉදිකිරීම සඳහා අද (12) ගිවිසුම්ගත වුණා.

http://www.hirunews.lk/Data/News_Images/201810/1539351759_9635791_hirunews_The-One.jpg

ඒ, චීනයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ආයතනයක් වන සිටික් සමාගම් සමූහය සමගින්.

ඒ සඳහා සිදුකෙරෙන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70 ක්.

කොළඹ කොටුවේ පිහිටි “දි වන් ශ්‍රී ලංකා” ව්‍යාපෘති කාර්යාලයේදී මෙම ගිවිසුමට එළඹුණේ “දි වන්” ට්‍රාන්ස්වර්කස් ස්ක්වයාර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය, සිටික් සමාගමේ ව්‍යාපෘති කළමනාකරු ෂියෝ යොන් පිං මහතා සහ එස්.ජී.සී.ජී. කන්ස්ට්‍රක්ෂන් ග්ලෝබල් ආයතනයේ සභාපති ටියාන් යේ මහතා ගේ සහභාගීත්වයෙන්.

ඒ, මහල් 80 කින් යුත් රිට්ස් කාල්ටන් සහ මහල් 77 කින් යුත් ජේ.ඩබ්ලිව් මැරියට් හි පිටතට ආවරණය ඉදිකිරීම සඳහායි.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70 ක ආයෝජනයක් සිදුකෙරෙනවා.

“දි වන්” ව්‍යාපෘතියේ රිට්ස් කාල්ටන් සහ ජේ.ඩබ්ලිව්. මැරියට් යන ගොඩනැගිලි ද්විත්වයේම තරු පන්තියේ හෝටලයක් සහ නිවාස ව්‍යාපෘතියක් බැගින් අඩංගුයි.

ඊට අමතරව සුපිරි පන්තියේ සාප්පු සංකීර්ණයක්, මහල් කිහිපයකින් සමන්විත වාහන අංගනයක්, උත්සව ශාලාවක් මෙන්ම අහසට විවෘත භෝජනාගාරයක්, කාර්යාල සංකීර්ණයක් සහ හෙලිකොප්ටර් අංගනයක් ද “දි වන්” ව්‍යාපෘතියට ඇතුළත්.

මෙම ව්‍යාපෘතිය යටතේ “දි වන්” නැමැති මහල් 94 කින් යුක්ත තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතව ඇත්තේ දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙසින්.

මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 560 ක් වන අතර ‘දි වන්’ ව්‍යාපෘතියේ පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2021 අග භාගයේදී අවසන් කිරීමට නියමිතයි.

*****************************************

නීති විරෝධී පච්ච කොටන්නා කොටුකළ මෙහෙයුම

(12.10.2018 – 20:44 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මෙරට පච්චා කෙටීමේ රැකියාවක නිරත වූ රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්වුණා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි.

ගාල්ල ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට පච්චා කෙටීමේ රැකියාවක නිරත වන රුසියානු ජාතිකයෙකු පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරක් වාර්තා වුණා.

ඒ අනුව අප කළ දැනුම් දීම මත රුසියානු ජාතිකයා රැඳී සිටි ගාල්ල – මිලිද්දූව ප්‍රදේශයේ හෝටලය වෙත ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *