මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සමරන්න සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කරලා..!

පාසල් ළමයිවත් නොදන්න මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සමරන්න සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කරලා..! මහා සංඝරත්නයේ දැඩි අප්‍රසාදය..!

(17.10.2018 – nethgossip.lk)

ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීම සඳහා රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. එම උත්සවය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර තිබියදී එක්වරම එය නතර කර දැමීමට කටයුතු කිරීම නිසා තමන් ඇතුළු මහා සංඝරත්නය සංවේගයට පත්වන බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය පිළිබඳව පාසල් දරුවන් පවා නොදන්නා බවත්, එවන් තත්වයක් තුල මෙලෙස එම සැමරුම් උත්සවය අවලංගු කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් උන්වහන්සේ සඳහන් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.

“මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරන්න අපට දින දෙකක් ලැබී තිබෙනවා. ඒ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ පොසොන් පොහොයත්, උන්වහන්සේ පරිනිර්වාණයට පත්වූ, වප් මාසයේ අටවක දවසත් පමණයි.

අද පාසල්වල ඉගෙන ඉගෙන ගන්න දුවා දරුවන් වත් මේ දිනය දන්නෙ නැහැ. පෙළපොතකවත් ඇතුළත් නැහැ. මෙවර මෙම දිනය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළා. ජනාධිපතිවරයා හා සංස්කෘතික ඇමැතිවරයාද සහභාගි වන බව සඳහන් කරලා සාකච්ඡා පැවැත්වූවා.

ඉන් පස්සේ මේ උත්සවය අවලංගු කළා කියලා අනුරාධපුර දිසාපතිවරයාට දන්වා තිබෙනවා. මිහින්තලය විහාරාධිපති හිමියන් විදිහට මා හට කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැහැ. මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.

රාජ්‍ය උත්සවයක් ලෙස රජ දවසේ සිට පවත්වාගෙන ආ මෙම උත්සවයට අද මහා සංඝරත්නය හා මේ අවට ගම්වල ජනතාව පමණයි. ආණ්ඩුවේ නායකයන්, මෙරටට බුදු දහම ආරම්භ වූ මිහින්තලේ වැනි සිද්ධස්ථාන පිළිබඳව කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ.

රටේ සිංහලකම, බෞද්ධකම නැතිවේගෙන යන යුගයක්. ජනතාවට අපි කියනවා, සිංහලකම බෞද්ධකම තියෙන රටට ආදරේ කරන මිනිස්සු මින් පසුව පත්කර ගන්න ඕන කියලා. අද රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් සිටිනවා. නමුත් යාපනයේ බුදු පිළිමයක් තියන්න බෑ, පන්සලක් හදන්න බෑ, ආගම සංහිඳියාවට බාධාවක් නිසා”

*****************************************

සුපිරි නිවාස මංකොල්ල කෑ සුපිරි හොරා

(18.10.2018 – nethnews.lk)

රාජගිරිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණ රැසක් මංකොල්ල කෑ පුද්ගලයෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිවාස සංකීර්ණවල කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා පවත්වමින් අනෙකුත් නිවාස පිළිබඳව මෙම පුද්ගලයා විමසිල්ලෙන් සිට මංකොල්ලකෑමේ යෙදෙන බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

එමගින් උපයා ගන්නා මුදල් රාත්‍රී සමාජ ශාලාවල කැසිනෝ ක්‍රීඩාව සඳහා ඔහු යොදවා තිබෙනවා.

එම පුද්ගලයා සුපිරි නිවාස සංකීර්ණයකට පිවිසෙන දර්ශන පහතින් දැක්වෙනවා.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩලගේ උපදෙස් මත මේ පිළිබඳව පරීක්ෂණ සිදු වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *