පිටතින් ගල්වන බෙහෙතකින් පිළිකාව නසන තිස්සමහාරාමෙ විස්මිත ජීවකයා

(06.04.2019 – 02:00 +0530 – mawbima.lk)

ජීවිතයත් මරණයත් අතර පොර බදන පිළිකා රෝගීන් ලොව ඕනෑ තරම්ය. දිනක් හෝ ජීවත් වීමට පිළිකා රෝගීන් සිදු නොකරන බෙහෙතක් නොමැති තරම්ය. එහෙත් අවසානයේ සිදුවන්නේ පිළිකා රෝගය උත්සන්න වී මියයෑම බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් අප ඔබට මේ ලියන්නට යන්නේ පිළිකා රෝගීන්ට ඉතා සතුටුදායක පුවතකි.

මෙතෙක් කලක් ලොව පුරා සිටින පිළිකා රෝගීන් නිට්ටාවට සුව කරවීමේ ක්‍රමවේදයක් පිළිබඳව අප අසා නොසිටියෙමු. පිළිකා රෝගියකු වෙනුවෙන් තිබුණේ විවිධ ඖෂධ වර්ග ලබාදී රෝගය තරමක් හෝ පාලනය කරමින් රෝගියා දිනක් හෝ ජීවත් කරවීමට අවස්ථාව ලබාදීම පමණක් බව අප හොඳාකාරවම දනිමු. මෙවන් පරිසරයක් තුළ දේශීය වෛද්‍ය විද්‍යාව තුළින් පිළිකාව නිට්ටාවට සුව කළ හැකි බව අද වනවිට ඔප්පු කර තිබේ. මෙම අපූරු හපන්කම සිදුකිරීමට සමත් වී ඇත්තේ පාරම්පරික වෙද මහතකු වීමද විශේෂත්වයකි. අප ලද මෙම තොරතුරු මත මෙම වෙද මැඳුර සොයා තිස්සමහාරාමය මාගම ප්‍රදේශයට ගියේ මේ අරුම පුදුම වෙද මහතා සොයාගෙනය. අප එහි යන විටත් සුවය ලද පිළිකා රෝගීන් කිහිපදෙනකුම වෙද මහතා හමුවට පැමිණ සිටියේ සිය පවුල් පිටින්මය. මේ පුවත ඇතැම් විට ඔබටද එකවර පිළිගැනීමට අපහසු වනු නොඅනුමානය. එහෙත් සත්‍ය කතාවකි.

තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05 ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පසු මෙම අපූරු වෙද මහතාගේ නිවෙස අපට හමුවිය. නිවෙස ඉදිරිපිට බිත්තියේ ‘මිණිකිරණ වෙද මැඳුර’ ලෙස සටහන් කර තිබිණි. පිළිකා රෝගය වැලඳී මරණයට කැප වන මිනිසුන්ට ජීවය දෙන මේ අපූරු වෙද මහතා නමින් සාමවිනිසුරු සිසිර ගමගේ ය. කවුරුත් දන්නේ තිස්සමහාරාමයේ වෙද මහතා කියු සැණින්ය. ඔහු පාරම්පරික සර්ප වෙද මහතකු වූ ඊ.කේ.ජී. ගුණසේකර මහතාගේ මහතාගේ පුතණුවන්ය.

පියාගේ අභාවයෙන් පසු වෙදකම අතට ගත් මේ වෙද මහතා සිය පාරම්පරික වෙදකම දිගටම සිදු කරගෙන විත් තිබිණි. සිය පියා මිය යන්නට පෙර සිසිර ගමගේ වෙද මහතාට විශේෂ බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳව කියා දී තිබේ. ඒ පිළිකාව සහමුලින්ම නැති කර දැමිය හැකි බෙහෙත් වට්ටෝරුවකි. සිසිර ගමගේ වෙද මහතා වසර 07 කට ආසන්න කාලයක් සිය පියාගේ මෙම බෙහෙත් වට්ටෝරුව පිළිබඳව අධ්‍යයනයකින් පසු පිළිකා රෝගීන්ට වෙදකම් කිරීම ආරම්භ කර තිබේ. අද වනවිට එය ඉතා සාර්ථක වී තිබේ. සුව අතට පත්ව ඇති පිළිකා රෝගීන් දෙස බැලූ විට එය අපටද තහවුරු විය. මරණය පෙනි පෙනී වෙද මහතා අසලට පැමිණ ඇති රෝගීන් අද ඉතා සතුටින් සිටින අයුරු අපටද දැක ගත හැකි විය.

මේ අරුම පුදුම වෙදකම සම්බන්ධයෙන් අපට සිසිර ගමගේ වෙද මහතා පැවැසුවේ මෙවන් අදහසකි :

‘‘පිළිකාව නිට්ටාවට සුව කළ හැකියි කියලා අද වනවිට මං ඔප්පු කරලා තියෙනවා. මගේ ළඟට එන පිළිකා රෝගීන් මං මාස තුනක් හයක් අතර කාලයකින් සනීප කරලා තියෙනවා. පිළිකා රෝගියෙක් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත මුල්ම අවධියේම මා හමුවට ආවොත් එම රෝගියා මාසයක් වගේ කෙටි කාලයකින් සනීප කරනවා. මේ සඳහා භාවිත කරන්නේ පිටතින් ගල්වන ආලේපයක් විතරයි. මේ වනවිට ලෝකේ කොහේවත් නෑ පිටතින් ආලේප ගල්වලා පිළිකා සුව කරන ස්ථානයක්. මේ සඳහා මා භාවිත කරන්නේ වස විස නොගෑවුණු දේශීය අමුද්‍රව්‍ය සහිත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. මං රෝගීන්ට කියන්නේ මා ළඟට එන විට අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියලා ලබා දෙන වෛද්‍ය වාර්තාව රැගෙන එන්න කියලා විතරයි. ඒ එන රෝගියාට මගේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු මාස තුනක් වගේ කාලයකින් නැවත පරීක්ෂණයක් පවත්වන්න කියලා මං කියනවා. එම අවස්ථාවේදී රෝගියාට පුළුවන් ඔහු කැමැති ඕනෑම වෛද්‍යවරයකු හමුවෙලා තමන්ට පිළිකාව තියේද නැද්ද කියලා පරීක්ෂා කරවාගන්න.

තාත්තාගේ අභාවයෙන් පසු අම්මාත් මාත් මේ වෙදකම සාමාන්‍ය පරිදි කරගෙන ගියා. මේ අතරවාරයේ මට හිතුණා පිළිකාව නසන බෙහෙතක් පිළිබඳව අත්හදා බලන්න. මට මගේ පියා මේ බෙහෙත ගැන කියලා දුන්නට ඒ පිළිබඳව පර්යේෂණයක් කරන්න බැරි වුණා. කොහොම හරි අවුරුදු 07 ක් විතර මම මේ බෙහෙත පිළිබඳව අත්හදා බැලීම්වල නියැළුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද මා පිළිකාව නිට්ටාවට සුව කළ හැකි මේ බෙහෙත සොයා ගනු ලැබුවේ. පිළිකාවක් හැදුණු ලෙඩෙක් කොච්චර වේදනාවක් විඳිනවාද, දුකක් විඳිනවාද කියලා අපි දන්නවා. නමුත් කන්න බොන්න බැරිව මරණාසන්න වෙලා මා ළඟට එන පිළිකා රෝගීන් දින 10 ක් යනකොට හොඳට කන්න බොන්න පටන් ගන්නවා. මාස තුනත් හයත් අතර කාලයේදී පිළිකාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකෙදි මම කරන්නේ පිළිකා සෛල පැතිරී යෑම වළක්වා ඒ සඳහා සිරුරේ පිටතින් ආලේපයක් ගැල්වීම පමණයි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සිංහරාජ කැලයෙන් හා බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් තමයි හොයා ගන්නේ.

පිළිකාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්ත රෝගියෙක් වුණොත් මාසයක් හෝ දෙකක් වගේ කෙටි කලකින් රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ නැතත් පිළිකාවක් තියෙන රෝගියකු මම පරීක්‍ෂා කර බැලීමෙන් පසු මාස තුනත් – හයත් අතර කාලයකදී අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට පිළිකා රෝගීන් විතරක් 937 දෙනකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලා තියෙනවා. ඒ අයගෙන් 524 දෙනකුගේ පිළිකා නිට්ටාවටම සුව කරලා තියෙනවා. ඒ අය අද ඉතා සතුටින් පවුල් ජීවිත ගෙවන අය. ඕනෑම කෙනකුට ඒ අය හමුවෙලා විස්තර දැනගන්න පුළුවන්. තවත් රෝගීන් 413 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අයගෙනුත් 128 දෙනකු මේ මස අවසන් වනවිට ප්‍රතිකාර අවසන් කරන අය. ඒ කියන්නේ පිළිකාව නිට්ටාවටම සුවවෙච්ච අය.

ඇතැම් රෝගීන් මගේ ළඟට එන්නේ රෝහලින් දැන් නම් මෙයාගේ කාලය ඉවරයි කියලා ගෙදර අරගෙන ගිය අයයි. නමුත් අද මැරෙන්න හිටිය රෝගීන් තමන්ගේ දෙපයින් නැඟිටලා ඇවිදගෙන යනවා දැක්කම මට තියෙන්නේ පුදුම සතුටක්. මේ එන රෝගීන්ගෙන් බෙහෙත් සඳහා පමණයි මා සුළු මුදලක් අය කරන්නේ. අසරණ නැති බැරි අයගෙන් මං ඒ මුදල් ගන්නෙත් නෑ. මට ඕනේ මගේ තාත්තා කරගෙන ආ වෙදකම තවදුරටත් පවත්වාගෙන යන්නයි. ඒ වගේම මං කියන්න ඕනෑ ඇතැම් අය මට දුරකථනය ඔස්සේ කතා කරලා අහනවා ඇත්තටම පිළිකාව සනීප කරන්න පුළුවන්ද අහනවා. මං ඒ හැම කෙනකුටම කියන්නේ බය වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් පිළිකාව දේශීය වෙදකම මඟින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්. ඇවිත් බලන්න. ඇතැම් අය දුරකථනයෙන් කතා කරලා බෙහෙත් හදන විදියත් අහනවා. මට හැම දෙනාටම කියන්න තියෙන්නේ දුරකථනයෙන් නම් ප්‍රතිකාර කරන්න මට තවම පුළුවන්කමක් නෑ. මට පුළුවන් මගේ ළඟට එන රෝගීන් පරීක්‍ෂා කරලා බලලා එම රෝගියාගේ තත්ත්වයට හරියන විදියට ප්‍රතිකාර කරන්න විතරයි. බොහොම වගකීමෙන් කියනවා මගේ ළඟට එන පිළිකා රෝගීන් මාස හයක් යන්නට කලින් පිළිකාව නිට්ටාවට සුව කර දීමේ හැකියාවක් ඇති බව’’ යැයි පැවැසීය.

වෙද මහතාගෙන් පසු අප පිළිකා රෝගයෙන් පීඩා විඳි රෝගීන් කිහිදෙනකුම සොයා ගියේ මෙහි ඇති සත්‍යතාව පිළිබඳව තවදුරටත් පසක් කර ගැනීම සඳහාය.

පිළිකා රෝගය වැලඳී පිළිකාව සම්පූර්ණයෙන්ම සුව අතට හැරුණු මාවතගම, කුරුණෑගල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ අනෝජා විමලරත්න මහත්මිය මෙසේ පැවැසුවාය :

‘‘මට මුලින්ම තිබුණේ බෙල්ලේ කැක්කුමක්. ඒ අනුව මං පේරාදෙණියේ රෝහලට ගිහින් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කිහිපයක් කරගත්තා. අවුරුදු දෙකක් තිස්සේ කැක්කුමට බෙහෙත් ගත්තා. ඒත් සුව වුණේ නෑ. පසුව දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවලින් පසුව කිව්වා මගේ බෙල්ලේ ගෙඩියක් තියෙනවා කියලා. ගෙඩිය මොකද්ද කියලා මාස කිහිපයක් තිස්සේ පරීක්ෂණ කරලා බලලා ‍දොස්තර මහත්වරු කිව්වා මට පිළිකාවක් තියෙනවා කියලා. ඒ කිව්වේ 2018 අගෝස්තු මාසයේ. වෛද්‍යවරු මට කිව්වා ප්‍රතිකාර ගන්නකොට පිළිකාව පැතිරීයෑම අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් පිළිකා රෝගීන් රෝහල් ගත වුණාම ඒ අයට කරන්ට් ඇල්ලීම නිසා හා විවිධ ඖෂධ නිසා විකෘති වෙලා දුක් විඳලා මැරිලා යනවා මං දැකලා තියෙනවා. ඒ නිසා මං තීරණය කළා මොනවා වුණත් කමක් නෑ බටහිර වෙදකම් නම් කරන්නේ නෑ කියලා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. පිළිකාවක් කිව්වාම මට දැනුණු වේදනාව කියලා නිම කරන්න බැරි වුණා. මෙහෙම ඉන්නකොට තමයි මට තිස්සමහාරාමයේ වෙද මහතාගෙන් බෙහෙත් අරන් සුව වෙච්ච ලෙඩෙක් පිළිබඳව මගේ යාළුවකු මඟින් දැනගන්න ලැබුණේ. ඒ අනුව තොරතුරු සොයා බැලීමක් කළා.

මම මෙතනට එනකොට මට කන්න බොන්න බැරිව ඇඟ හොඳටම දුර්වල වෙලා හිටියේ. මට තනියම ඇඳෙන් නැඟිට ගන්න බැරි වුණා. මගේ පවුලේ අය මාව උස්සගෙනයි මෙතනට ආවේ. එහෙම ආවම මේ වෙදමහත්තයා මාව පරීක්ෂා කරලා බලලා කිව්වා දරුවෝ ඔයාට මාස තුනක් යන්න කලින් පිළිකාව නිට්ටාවට සුව කරගන්න පුළුවන් කියලා. ඒත් මට ඒක පිළිගන්න බැරි වුණා. මොකද අවුරුදු ගණන් පිළිකාව හැදිලා දුක් විඳින මිනිස්සු තමයි මං දැකලා තියෙන්නේ. කොහොම හරි වෙද මහත්තයා මට පිළිකාවට වෙදකම් කරන්න ආරම්භ කරලා දින 10 ක් වගේ යනකොට කන්න බැරිව හිටිය මට කන්න පුළුවන් වුණා. තනියම ඇවිද ගන්න පුළුවන් වුණා. මට මං ගැනම පුදුම හිතුණා.

මම නේවාසිකව ඉඳගෙන තමයි ප්‍රතිකාර ගත්තේ. මාස තුනක් යනකොට මට ලොකු වෙනසක් දැනුණා. වෙද මහත්තයා මට කිව්වා ඔයාගේ ප්‍රතිකාර දැන් හරි. ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙලා ස්කෑන් එකක් කරගෙන එන්න කිව්වා. මං නුවර රෝහලට ගිහින් වෛද්‍යවරයෙක් චැනල් කරලා පරීක්ෂා කරලා බැලුවාම ඒ රිපෝට් එකේ තිබුණේ මට පිළිකාවක් නෑ කියලයි. මට ඒත් සැක නිසා මං නැවත දිනයක ගිහින් ස්කෑන් එකක් කරලා බැලුවා. ඒ රිපෝට් එකෙත් තිබුණේ පිළිකාවක් නෑ කියලා. මට හිතුණා රිපෝට් වැරැදිලාද දන්නේ නෑ කියලත්.

මං මහරගම ගිහින් එහේදීත් නැවත ස්කෑන් එකක් කරලා බැලුවා. මට පුදුම හිතුණා. ඒ රිපෝට් එකෙත් තිබුණේ මට පිළිකාවක් නෑ කියලා. මට මගේ ජීවිතයේ එදා තරම් සතුටු වෙච්ච තව දවසක් නැති තරම්. මැරෙන්න වැටිලා හිටිය මට ජීවිතය දුන්නේ මේ වෙද මහත්තයා. එතුමා නම් දෙවි කෙනෙක් කියලයි මට කියන්න තියෙන්නේ. මට මගේ පිළිකාව සුව වෙච්ච නිසා මං අනෙකුත් පිළිකා රෝගීන්ටත් දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා පිළිකාව නිසා දුක් විඳ විඳ ඉන්න එපා. මේ වෙද මහතා හමුවෙලා ප්‍රතිකාර ගන්න කියලයි මං කියන්නේ. පිළිකා රෝගයට බෙහෙත් අරගත්ත මගේ යාළුවෝ දෙන්නෙක්ම මට සුව වෙලා තියෙනවා දැකලා මගෙන් විස්තර අහගෙන ගිහින් මේ වෙද මහතාගෙන් බෙහෙත් අරගෙන අද ඉතා සතුටින් ඉන්නවා.”

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින කෑගල්ල, හෙම්මාතගම පදිංචි 78 හැවිරිදි බී.ඒ. මෙන්ඩිස් මහතා මෙසේ පැවැසීය :

‘‘මම ලංකා ගමනාගමන මණ්ඩලයේ තමයි වැඩ කළේ. සේවයෙන් විශ්‍රාම අරගෙන ටික කලක් ඉන්නකොට මට මගේ ඇඟේ ලොකු වෙනසක් දැනුණා. නුවර රෝහලට ගිහින් වෛද්‍යවරයකු හමුවුණා. එහිදී මාස කිහිපයක්ම විවිධ පරීක්ෂණ කිහිපයක් කළා. ඒ පරීක්ෂණවලදී මට කිව්වා ඔයාට පිළිකාවක් තියෙනවා කියලා. ඇඟ පුරාම පැතිරීමේ අවදානමක් තමයි තියෙනවා කිව්වේ. ඒ වෙනකොට මට කන්න බොන්න බෑ. තනියම ඇවිද ගන්නවත් බෑ. මං හොඳටම දුර්වල වෙලා තමයි හිටියේ. මගේ දරුවෝ තමයි මාව රෝහලට සායනවලට එක්කගෙන ගියේ. මුඛ පිළිකාවක් කියලා වෛද්‍යවරු හොයා ගත්තම මට කිව්වා පිළිකාවට ප්‍රතිකාර ටිකක් තියෙනවා. වහාම රෝහලට ඇතුළත් වෙන්න කියලා. මං හා කියලා ගෙදර ගියා. නමුත් නැවත මං පිළිකාවට බෙහෙත් ගන්න රෝහලට නම් ගියේ නෑ. නොයන්න ප්‍රධානම හේතුව තමයි මගේ යාළුවකුත් පිළිකාවක් හැදිලා බෙහෙත් ගන්න රෝහලට ගිය දවසේ ඉඳලා පුදුම තරමේ දුකක් විඳලා මැරිලා ගියා. මටත් ඒක වේවි කියලා මට බය හිතුනා.

මෙහෙම ඉන්න කොට තමයි මට මේ තිස්සමහාරාමේ වෙද මහත්තයෙක් ගැන අහන්න ලැබුණේ. මං දරුවොත් එක්ක මේ වෙද මහත්තයා හමුවෙන්න ආවා. ඒ ඇවිත් වෙද මහත්තයා මාව පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා තාත්තේ බය වෙන්න එපා. තාත්තට ඉක්මනින් සුව වෙනවා. ඒ වෙනකොට මට මොකුත් කන්න බෑ. කටට දමන දියර ටිකක් විතරයි තිබුණෙ. ඇවිදින්න තියා ඇඳක වාඩි වෙලා ඉන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නෑ. වෙද මහත්තයා මට දින 10 ක් වගේ බෙහෙත් ගානකොට මට කන්න පුළුවන් වුණා. තනියම ඇඳෙන් නැඟිටින්න පුළුවන් වුණා. අද වෙනකොට මට හිතාගන්නවත් බැරි තරමේ සුවයක් මට තියෙනවා. මං දින 15 කට සැරයක් ඇවිත් වෙද මහතාගෙන් බෙහෙත් කරගෙන යනවා. අද මේ පස්වැනි බෙහෙත් මුරයට තමයි මං ආවේ. තව එක බෙහෙත් මුරයක් කරලා ස්කෑන් එකක් කරලා බලමු කියලා වෙද මහත්තයා මට කිව්වා. වෙනදා මගේ සාත්තුවට පුතා ළඟ හිටියා. අද මං තනියම මගේ වැඩ ඔක්කොම කරගන්නවා. මේ වෙද මහත්තයා නම් බුදු වෙන්න ඕනේ. මැරෙන්න ඇඳකට වැටිලා හිටිය මට පණ දුන්නේ මේ වෙද මහත්තයා.’’

තංගල්ලේ පදිංචි 41 හැවිරිදි මාලා පියදර්ශනී මහත්මිය :

‘‘මම පිටේ දැඩි වේදනාවකට තමයි මුලින්ම ප්‍රතිකාර ගන්න රෝහලට ගියේ. හැමදාම මං රෝහලේ සායනවලට ගියාට වෛද්‍යවරු කිව්වා ලෙඩේ මොකද්ද කියලා කියන්න පරීක්ෂණ කිහිපයක් කරන්න වෙනවා කියලා. එතකම් වෛද්‍යවරු මට එක බෙහෙත් පෙත්තක්වත් දුන්නේ නෑ. පුදුම තරම් පිටේ වේදනාවකින් ඒ වනවිටත් මං හිටියේ. කොහොම හරි වෛද්‍යවරු පරීක්ෂණ කරලා කරලා අවසානයේදී කිව්වා මට පියයුරු පිළිකාවක් තියෙන්නේ කියලා. නමුත් එදා මං රෝහලෙන් එළියට එනකොටම තීරණය කළා කොහොම හරි මේක විඳගෙන ඉන්නවා මිසක් ඉස්පිරිතාලේ නම් යන්නේ නෑ කියලා.

කොහොම හරි කාලයත් එක්ක මට මේ වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. දැන් මං මෙතනට ඇවිත් ප්‍රතිකාර කරන්න පටන් අරන් මාස තුනක් විතර වෙනවා. ඇත්තටම පළමු දින 10 දීම මට ලොකු වෙනසක් දැනුණා. අද මට ඇත්තටම ලොකු සුවයත් තියෙනවා. වෙද මහත්තයා මට කිව්වා තව මාසයක් බෙහෙත් කළාට පස්සේ පරීක්ෂණයක් කරලා බලන්න කිව්වා පිළිකාව තියේද නැද්ද කියලා. ඇත්තටම මේ වෙනකොට මටත් දැඩි විශ්වාසයක් තියෙනවා පිළිකාව සුව වෙලා කියලා.’’

පිළිකා රෝගයට ගොදුරු වූ සිය බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට කුරුණෑගල සිට පැමිණි චින්තන ප්‍රදීප් මහතා :

‘‘නෝනගේ තිබුණු රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගත්තා. එහිදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වුණා නෝනට පිළිකාවක් තියෙනවා කියලා. පස්සේ අපි කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරලා බලලා තහවුරු කර ගත්තා නෝනට කැන්සර් එකක් තියේද කියලා. එහිදී ඒක තහවුරු වුණා. ඒ වෛද්‍යවරයා කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනෑ කියලා. අපි ඒක කළේ නැතිව මහරගම පිළිකා රෝහලට ගියා. එහේ කරන්න තියෙන හැම ටෙස්ට් එකක්ම කළා. ඒ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරු තීරණය කළා දකුණු පියයුරුවේත්, දකුණු අතේ කිහිල්ලයටත්, වම් පැත්තේ කිහිල්ල යටත් පිළිකාව පැතිරිලා තියෙනවා කියලා. මහරගම පිළිකා රෝහලට ගමන් වාර ගණනාවක්ම ගියා.

කොච්චර බෙහෙත් කළත් අවසානයේ මැරෙන්නම වෙන බව කවුරුත් දන්නවා. ඒ අතරවාරයේ තමයි මට මේ වෙද මහතා පිළිබඳව දැනගන්න ලැබුණේ. ඒ අනුව මං මේ වෙද මහතා හොයාගෙන ආවා. දැන් මෙතනින් ප්‍රතිකාර ගන්න ඇවිත් මාස තුනකට ආසන්නයි. ඇත්තටම මේ වෙනකොට මගේ නෝනට සියට අනූනවයක්ම සුවයි. කවුරු මේක නොපිළිගත්තත් මට මේ වෙද මහත්තයා විශ්වාසයි. මං එහෙම කියන්නේ අවුරුදු ගාණක් පිළිකාවක් නිසා අපි දුක් වින්දා. නෝනා දිවි නසා ගන්න ගියා. හැබැයි මාස තුනක් වගේ කෙටි කාලයකින් මේ වෙද මහතා අපිට නැවත ජීවිතයක් දීලා තියෙනවා.’’

තංගල්ලේ පදිංචි ඩබ්ලිව්.ඒ. ජයන්ත මහතා :

‘‘ඇත්තටම මං මෙතනට ආවේ නෝනගේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්න. මුලින්ම සී.ටී. ස්කෑන් එක කරලා බැලුවා. පිළිකාවක් තියෙනවා කිව්වා. මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන යන රෝගීන් මාස තුනකට හෝ හයකට පසු නැවත ගිහින් සී.ටී. ස්කෑන් එක කරලා බැලුවම පිළිකාවක් නෑ කියනවා. පුදුමේ කියන්නේ මේ වෙද මහත්තයා මේ එක රෝගියකුටවත් බෙහෙත් පෙත්තක්වත් කල්ක ටිකක් හෝ අරිෂ්ඨ ටිකක්වත් බොන්න දෙන්නේ නෑ. රෝගියා පරීක්ෂා කර බැලීමෙන් පසු පිළිකාව පැතිරි ඇති ප්‍රදේශවල පිටතින් අලේප කිරීම විතරයි කරන්නේ.’’

ජනාවාස 10, පැල්වත්ත, බුත්තල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ ඩී.ජී. රේණුකා දමයන්ති මහත්මිය :

‘‘මට ඉස්සරවෙලා තිබුණේ කොන්දේ අමාරුවක්. ඒකට මොනරාගල රෝහලෙන් හම්බන්තොට හා මාතර රෝහල්වලින් විවිධ අවස්ථාවල ගිහින් ප්‍රතිකාර ගත්තා. නමුත් කිසිදු සුවයක් තිබුණේ නැති නිසා ගාල්ල කරාපිටියේ රෝහලට ගියා. එහිදී කාලයක් සිදුකළ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරු මට ප්‍රතිකාර කළත් මොකක්ද ලෙඩේ කියලා කිව්වේ නෑ. පස්සේ පෙරැත්ත කරලා ඇහුවම තමයි කිව්වේ මගේ කොන්දේ පිළිකාවක් තියෙනවා කියලා. සාමාන්‍ය වාට්ටුවේ තියාගෙන ප්‍රතිකාර කරලා මාව කරාපිටියේ පිළිකා වාට්ටුවට දමලා ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට මට ඇවිදින්න බැරි වුණා. කොණ්ඩේ ගියා. කන්න බොන්න බැරි වුණා. ඊට පස්සේ නහයෙන් බටයක් දමලා දියර වර්ග විතරයි පෙව්වේ. මුත්‍රාවලටත් බටයක් දමලා තිබුණේ. මං ජීවත්වීමේ ආශාව අත්හැරලා හිටියේ. වෛද්‍යවරු පවා කියලා තිබුණේ ‘හිත හදාගන්න; මේ ලෙඩාව සනීප කරන්න බෑ’ කියලයි.

මගේ මහත්තයාටයි සහෝදරයන්ටයි මම ඉන්න විදිය බලාගෙන ඉන්න බැරිව බලෙන්ම වගේ ටිකට් කප්පවලා මේ වෙද මහත්තයාට ළඟට අරන් ආවා. ඒ අරන් එනකොට මට නැඟිටින්න කන්න බොන්න මොකවත් බෑ. මෙතනට අරන් එනකොටවත් මාව බාගෙට මැරිලා වගෙයි හිටියේ. නාහෙට බට දමලා මුත්‍රාවලට බට දමලා මාව හරහට දෙන්නෙක් උස්සගෙනයි ආවේ. ඒ ඇවිත් මේ වෙද මහතා හමු වුණාම මගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරලා බලලා වෙද මහතා කිව්වා ඔයාගේ කොන්දේ පිළිකාවක් තියෙනවා. ඒක දැන් ගොඩක් පැතිරිලා තියෙන්නේ කිව්වා. එහෙම කියලා වෙද මහත්තයා මාස හයක් යන්න කලින් සනීප කර දෙන්නම් කිව්වා. ඒත් මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. කොහොම හරි වෙද මහත්තයා මට දමලා තිබුණු බට ඔක්කොම ගැලෙව්වා. ඒ ගලවලා මට බෙහෙත් ගාන්න පටන් ගත්තා. දවස් 10 ක් යනකොට මට හොඳට කන්න පුළුවන් වුණා. මගේ කොන්දේ තිබුණු වේදනාව අඩුවෙලා ගියා. මාසයක් යන්න වුණේ නෑ මට හොඳටම නැඟිටලා කියලා යන්න පුළුවන් වුණා. හොඳටම කන්න පුළුවන් වුණා. වෙද මහත්තයා මාසෙකට දෙගමනක් හෝ තුන්ගමනක් බෙහෙත් නියම කළා. දැන් මාස හතරක් වෙනවා බෙහෙත් අරගන්න පටන් අරගෙන. මටත් හිතාගන්න බෑ මං දැන් තනියම නැඟිටලා ඇවිදගෙන යනවා. මට දැන් හොඳට කන්න බොන්න පුළුවන්. වෙද මහත්තයා කිව්වා තව මාස 02ක් බෙහෙත් ගන්නකොට පිළිකාව නිට්ටාවට සුව වෙනවා කියලා. ඇත්තටම මං මේ වෙදමහත්තයා ළඟට එනකොට ප්‍රතිකාර ගත්ත අය දැන් සුව වෙලා පුදුම සතුටින් වෙද මහත්තයා හමුවෙන්න එනවා. මමත් මේක පිළිගත්තේ නෑ මුලින්ම. ඇත්තටම වෙද මහත්තයා නම් දෙවියෙක්. අද මම මගේ මහත්තයයි දරු දෙදෙනයි සමඟ බොහොම සතුටින් ඉන්නවා. පිළිකා රෝගීන්ට මං කියනවා මමත් පිළිකා රෝගියෙක් විදියට අවුරුදු ගාණන් දුක් වින්දා. ඇත්තටම දැන් මට පිළිකාව හොඳයි. තව මාස දෙකකින් පසු මං නැවත සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට යන්න ඉන්නේ පිළිකාව සුව වෙලාද බලන්න.

වෙද මහත්තයා මේ කරන්නේ මහා පින්කමක්. මේ මාස හතරටම වෙද මහත්තයා මට එකම බෙහෙත් පෙත්තක්වත්, අරිෂ්ඨ ටිකක්වත් බොන්න දුන්නේ නෑ. කළ එකම ප්‍රතිකාරය තමයි පිළිකා සෛල මැරෙන්න පිටතින් බෙහෙත් ගල්වපු එක විතරයි. ඇත්තටම මං අද පුදුම සතුටින් ඉන්නේ.’’

අප මෙම වෙද මැඳුර පිළිබඳව පාඨක ඔබට ලියන්නට සිතුණේ දුකට කරදරයට පත්වන රෝගීන්ගෙන් මුදල් ගැරීමේ විවිධ ජාවාරම් අද රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින යුගයක මෙවැනි රෝගීන් සඳහා හැබෑවටම ප්‍රතිකාර කරන ස්ථාන ඇති බවට ඔබට සඳහන් කරන්නටය. සුවහසක් වූ අසරණ රෝගීන්ට දේශීය වෙදකම ඔස්සේ ජීවය දෙන සිසිර ගමගේ වෙද මහතා හැබෑවටද දක්ෂ වෙද මහතෙකි.

මිණි කිරණ වෙද මැඳුරට ගොස් රෝගීන් හමුවී කතා කරනතෙක් ලිපිය ලියන මා වෙතද මේ පුවත අදහාගත නොහැකි එකක් වූ බවද ලිවිය යුතුමය. නමුත් දෑසින් දුටුදේත් සමඟින් පසක් වූයේ දෙවිවරු වන් මිනිසුන්ද මෙලොව සිටින බවයි.

පිළිකා රෝගීන් මෙම වෙද මහතා හමුවට එන්නේ නම් ඉහත අප සඳහන් කළ පරිදි මිණි කිරණ වෙද මැඳුර, ආසිරි මාවත, දියස්යාය, මාගම පාර, තිස්සමහාරාම ලිපිනයට පැමිණිය හැකිය. සෑම සතියකම බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී පමණක් උදේ 06 සිට සවස 06 දක්වා ප්‍රතිකාර සිදු කරනු ලබයි.

සටහන හා සේයාරූ – මත්තල – ඩී.එන්. ජයසේකර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *