03. ප්‍රියානිගේ යටි බඩේ ජීවත් වූ කාමාතුර පෙරේතයා

29.05.2015

කෙනකු අමනුෂ්‍යයකු වී දුගතිගාමී උපතක් ලබන්නේ පූර්ව පාපකර්මයක විපාක වශයෙනි. මෙවැනි අමනුෂ්‍යයන්ගෙන් (ප්‍රේත) බොහෝදෙනකු මිනිසකුට ආවිෂ්ට වූ විට වැඩිපුරම කියන්නේ බොරුය. සමහර ප්‍රේතයෝ දෙවියන් සේ පෙනී සිටිමින් මිනිසුන් (බොහෝ විට වැඩි හරියක් ගැහැනුන්) රවටා ගරු සැලකිලි පුද පූජා ලබති. විශේෂයෙන්ම සුගතිගාමී දෙවිවරුන් මේ අපිරිසුදු මනුෂ්‍ය ශරීරවලට රිංගන්නේ නැත. වෙව්ලන්නේත් දඟලන්නේත් නැත. බොහෝ ප්‍රේතයෝ ආශාවන්ගෙන් පීඩිතව දුක් විඳිති. ගේ දොර ඉඩකඩම්වලට ආශාවෙන් මියගිය මිනිස්සු ප්‍රේතව ඉපිද තමන්ට වුවමනා පරිදි ගේ දොර ඉඩකඩම් පරිහරණය කළ නොහැකිව පීඩා විඳිති. ඒවායේ පදිංචිව සිටින අයට හිරිහැර පීඩා කරති. නොසන්සිඳුණු කාමාශාවෙන් මියගිය අය ප්‍රේතයන්ව ඉපිද ඒ ආශාවන්ගෙන්ම පීඩිතව දුක් විඳිති. තරහා, වෛර, ක්‍රෝධ හා ඊර්ෂ්‍යාවෙන් මළ අයද ඒ තරහ වෛර සංසිඳුවා ගැනීමට විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙති. මේ දුගතිගාමී අමනුෂ්‍යයෝ ප්‍රාණඝාතය, සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය ප්‍රිය කරති.

ප්‍රියානි කන්ද උඩරට පදිංචි විසි හතර හැවිරිදි අවිවාහක සුරූපී තරුණියකි. ඇය රූපලාවණ්‍ය ආයතනයක් පවත්වා ගෙන යහපත් ආදායමක් ලබමින් සතුටින් ජීවත් වූ උත්සාහවන්ත තරුණියකි. එහෙත් අවුරුද්දක පමණ කාලයක සිට ඇගේ ස්වයං රැකියා ආදායම් මාර්ගය කඩා වැටුණු තත්ත්වයකට පත්විය. ඊට අමතරව ඇගේ යටි බඩේ රුදාවක් හා හිතෙන් බියවීමක් නිසා පීඩා වින්දාය. මේ අසනීප තත්ත්වයන්ගෙන් මිදීම සඳහා වත් පිළිවෙත් කීපයක් හා ඇදුරන් ලවා ශාන්තිකර්ම කීපයක්ද කළ නමුත් ප්‍රශ්නවල වෙනසක් සිදු වූයේ නැත. අවසානයේ මව්බිම පත්‍රයේ “මළවුන්ගේ හෝරාව” විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඇය ගියාය. එහිදී ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසුණාය. පළමු ගවේෂණ අවස්ථාවේදීම ඇය සිහිසුන්ව බිම දිග ඇදුණාය. ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. ඊළඟ දිනයේ ප්‍රියානි ප්‍රලය වූවාය. ඉතාම අහිංසක ලෙස හඩන්නට විය.

“අනේ… මගේ ප්‍රියානි දාලා මට යන්න බෑ. අනේ මහත්තයෝ මට යන්න නම් කියන්න එපා. ඉහි… ඉහි… ඉහි…” යි හඩන්නට විය.

“දැන් කවුද තමුන්ට යන්න කිව්වේ” යි නාගොඩවිතාන මහතා ඇසීය.

“මම දන්නවා… මම දන්නවා… මහත්තයා මට යන්න කියන බව.”

“තමුන් කවුද ?”

“මම මේ ප්‍රියානිගේ මහත්තයා.”

“බොරු කියන්න එපා”

“මෙයා මගේ බිරිය”

‘‘ඇයි ඉවත්වෙලා යන්න බැරි ?’’

“මම කාලයක් තිස්සේ මෙහාව හොයා ගන්න බැරුව දුක් වෙවී ඇවිදලා තමයි හොයා ගත්තේ. මම ප්‍රියානිට ආදරේ නිසා දාල යන්න නම් බෑ…” ප්‍රේත ජීවියා ප්‍රියානිගේ ශරීරයෙන් ඉවත් කොට නාගොඩවිතාන මහතා ඇගෙන් තවත් තොරතුරු විමසීය.

“ප්‍රියානි… මට ඇත්ත කියන්න. විවාහකද ? අවිවාහකද ?”

“අනේ… මහත්තයා සහතික ඇත්ත. මම තවම බැඳලා නැහැ”

“ඔබේ වෙන සම්බන්ධයක් තිබුණාද?”

“ඔව් මම කෙනෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියා. එයා බීමට ඇබ්බැහි වෙලා, එයින් වළක්වා ගන්න බැරිම තැන මම ඒ සම්බන්ධය නතර කළා. වෙන කිසිම සම්බන්ධයක් මගේ තිබුණේ නෑ.”

තවත් බෝධි පූජා හතක් පවත්වා නැවැත පැමිණෙන ලෙස ඇයට උපදෙස් ලැබිණි. ඒ බෝධි පූජා පැවැත්වීමෙන් පසු ඇය නැවැතත් පැමිණියාය. එදිනද ඇය ප්‍රලය වී “මට යන්න බෑ… මට යන්න බෑ…” කීවේය.

“ඇයි බැරි ?”

“මේ මගේ වයිෆ්”

“කවද්ද කසාද බැන්දේ ?”

“ගිය ආත්මයේ “

“කොහේදිද ?”

“මතක නෑ “

“ළමයි හිටියද ?”

“මතක නෑ “

“තමුන්ගෙ ගම කොහේද ?”

“මතක නෑ “

“කොහේදිද ප්‍රියානිගෙ ඇඟට ආවේ ?”

“සොහොනෙදි “

“හැබෑද ? උඹ කලින් කීවේ හොයාගෙන හොයාගෙන ඇවිදලා ඇවිත් හොයා ගත්තා කියලා. දැන් කියනවා සොහොනෙදි ඇඟට රිංගුවා කියලා. උඹ වගේ කපටි ප්‍රේතයන්ට මා රවටන්න බෑ. ඇත්ත කියාපන්. නැත්නම් උඹව බැඳලා මූදෙ දමනවා” යි ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතාත්මය දවාලීය.

“අනේ… පුච්චන්න එපා. ඇත්ත කියන්නම්. ඇත්ත කියන්නම්.” යැයි කියමින් අඩන්නට විය. “එහෙනම් ඇත්ත කියාපන් ” යැයි ගවේෂකවරයා වේවැල අතට ගත්තේය.

“අනේ… ගහන්න එපා ඇත්ත කියන්නම්” යැයි වැඳ වැටුණි.

“උඹ කවද්ද මේ ළමයගේ ඇඟට රිංගුවේ ?”

“දැනට අවුරුද්දක් විතර වෙනවා”

“කොහේදිද ?”

“මහයියාවේ කනත්තෙදි”

“ඒ කොහොමද ?”

“මෙයා මළ ගෙදරක ඉඳලා අවමඟුල් පෙරහරේ ආවා.”

“ඉතින් ?”

“මෙයා කනත්තෙ තනියම ඇවිදිමින් ෆොටෝ ගත්තා. මගේ සොහොන් කොත ළඟටත් ආවා. මෙයාගේ ලස්සනට මට ආසා හිතුණා. මම මෙයාගේ පස්සෙන් ආවා.”

“කොහොමද ඇඟට රිංගුවේ ?”

“එක පාරටම ඇඟට රිංගන්න බැරි වුණා. මෙයාගේ හිත ශක්තිමත්. ඕරා එකත් ( ශක්ති වළල්ලත් ) ඉතාම ශක්තිමත්ව තිබුණා. ඒ නිසා රිංගන්න බැරුව ළඟින්ම වගේ හිටියා”

“ඇයි ඇඟට රිංගන්නේ ?”

“මමත් ජීවත් වෙන්න එපායැ. මෙයාගේ මාසික අපිරිසිදු ලේවලින් තමයි ජීවත් වුණේ ?”

“ඊතින් ඇඟට රිංගුවේ කොහොමද ? ශක්ති වළල්ල හොඳට තිබුණා නම් ?”

“මෙයා කොල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. මම පළමුවෙන් උගේ ඇඟට රිංගුවා. ඌ ඉඳහිට අඩියක් පුඩියක් ගැහුවා. මම ඌව තව තවත් බීමට පෙලඹෙව්වා. අන්තිමට ඌ කුණු වෙන්නම ගහන්න පටන් ගත්තා.”

“ඉතින් ?”

“ඉතින් උගේ බේබදුකමට ප්‍රියානි විරුද්ධ වුණා. දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණා. රණ්ඩු කළා. අන්න එතකොට ප්‍රියානි මානසිකව වැටුණා. ප්‍රියානිගේ ශක්ති වළල්ල දුර්වල වුණා. අන්න එතකොට මම මෙයාගේ ශරීරය ඇතුළතට රිංගා ගත්තා.”

“ශරීරයේ කොතැනද හිටියේ ?”

“යටි බඩේ”

“උඹ මහා කාලකණ්ණි පෙරේතයෙක්. උඹ කලින් කිව්වා ගිය ආත්මේ ස්වාමි පුරුෂයා කියලා. බොරුකාර පෙරේතයෙක්. උඹ වල්කමෙන්ම මැරුණු පවුකාරයෙක්. උඹට මේ ළමයාගේ ජීවිතය විනාශ කරන්න දෙන්න බැහැ. වහාම පිට වෙලා පලයන්.”

“අනේ… බෑ… බෑ… මම මෙයාට ආසයි. දාලා නම් යන්න බෑ.”

මේ පාපී ප්‍රේත ජීවියා පිනට දහමට යොමු කළ හැකි කෙනකු නොවන බැවින් කිරණ ශක්තියෙන් පුලුස්සා පන්නා දැම්මේය.

වර්තමාන සමාජයේ තරුණියන් බොහෝ දෙනෙක් ලස්සනට අඳිනවා. මුළු ශරීරයම වැහෙන්න වගේ අඳිනවා. ඒත් අඟ පසඟ උලුප්පා පෙන්වන විදිහටයි අඳින්නේ. තමන්ගේ ශරීරයේ වසා ගත යුතු තැන් විවෘතව පෙන්වන්න බැරි නිසා ඒවායේ දිග පළල වට ප්‍රමාණය මෙන්න මේ තරම් යැයි පෙන්වන විදිහට අඳිනවා. මේ දකින මිනිස්සු විතරක් නෙවෙයි යක්කු පෙරේතයොත් කුලප්පු වෙනවායි නාගොඩවිතාන මහතා කීවේය. ඕනෑම ඇඳුමක් ලස්සනට, ඉඩකඩ ඇතුව, වැදගත් විදිහට අඳින අයත් ඉන්නවා . ඒ වැදගත් විදිහට අඳින ළමයින්ගේ පිටත වගේම ඇතුළත ගතිගුණත් වැදගත්. අනිත් අය ඒ ළමයින් ආදර්ශයට ගන්න ඕනෑ. වැඩිහිටියොත් මුල ඉඳලම ඒවාට හැඩ ගස්වන්න ඕනෑ යැයිද කීවේය. එදා වේල කන්න නැතිව දුක් විඳින පෙරේතයෝ මේ වැනි අයගේ පස්සෙන් ඇවිත් ඇඟට රිංගා ගෙන ලෙඩ දුක් ඇති කරති.

මතුගම
මහින්ද විජේතිලක
(උපුටා ගැනීම මවුබිම පුවත්පත)

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )