06. මාලිකාගේ හිත ගන්න බොස් භූතයකු බන්දවලා

27.05.2015

මිනිහා ධනයෙන් හා බලයෙන් ආඪ්‍යවන විට ලෞකික වූ උපරිම සැප සම්පත් වින්දනයට පෙලඹේ. එහි සීමාවක් නැත. ස්වකීය ධනයත්, බලයත්, යොදවමින් අනුන් සතු, තමන්ට අයිති නැති දේ පවා අයිතිකර ගැනීමට කටයුතු කරයි. එසේත් යම් යම් දේ ඉටුකර ගත නොහැකි වන අවස්ථා ද ඇත. එවැනි අවස්ථාවලදී මුදල් යොදවමින් අනුන් ලවා ඒ අයුතු අවශ්‍යතා ලබා ගන්නට පෙලඹේ. එසේත් නොහැකි වූ විට අපේ පියවි ඇසට නොපෙනෙන බලශක්තීන් යොදවා තම සිතැඟි ඉටුකර ගැනීමට කටයුතු කරයි, ඒවාට සූදානම් වූ පාපී ඇදුරෝ ද සිටිති. මේ දෙපිරිස්ම සිදුකරන්නේ බරපතළ පාපයක් බව සිතන්නට පවා ඔවුහු නොපෙලඹෙති.

මාලිකා ගාල්ල ප්‍රදේශයේ විසි අට හැවිරිදි තරුණියකි. ඇය රූමත්ය. අතිශයින්ම රූමත්ය. පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිනියක වූ මාලිකා රුපියල් හැට දහස ඉක්මවූ වැටුපක් ද ලබයි. එසේම ඇය ඉතා කාර්යක්ෂමය. පියා රජයේ රැකියාවක් කළ විශ්‍රාමිකයෙකි. මවත් බාල සහෝදරයන් දෙදෙනකු ද වූ පස් දෙනකුගෙන් යුත් පවුලේ නඩත්තුවට පියාගේ විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවූ බැවින් මාලිකාගේ දායකත්වය විශාල පිටිවහලක් විය. කොයි තරම් රූමත් ප්‍රසන්නතාවකින් යුතු වුවද මාලිකාට සුදුසු සහකාරයකු සොයා ගන්නටද තවමත් නොහැකිව ඇත. කඩවසමට හුරුබුහුටියට සිටි මාලිකා හිටි හැටියේ කෙට්ටු වෙන්නට පටන් ගත්තාය. මාසික ශුද්ධ චක්‍රයේදී උහුලන්නට බැරි වේදනාවකින් පෙළුණේය. රාත්‍රිය නිදි වර්ජිතව කල් ගෙවන්නට වූවාය. වෛද්‍ය ප්‍රතිකාර ගනු ලැබුවද සුවයක් ලබන්නට නොහැකි වුවාය. ඉන් පසු මනෝ වෛද්‍යවරුන් සොයා ගියාය. මනෝ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් දෙවරකට ප්‍රතිකාර ගත්තාය. අවුරුදු දෙකක් තිස්සේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබුවද සුවයක් නොවුණි.

වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු තැන ඇගේ පවුලේ අය ඇය සඳහා ආගමට අනුව දේවගැතිවරුන් ලවා යාඥා කළාය. පිළිවෙත් කළාය. එයිනුදු සුවයක් නොලද තැන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන මවුපියන් සමඟ පැමිණියාය. ආධ්‍යාත්මීය ප්‍රතිකාර සඳහා කසුන් නාගොඩවිතාන මහතාගේ ගවේෂණයට පෙනී සිටියාය.

පළමු දිනයේ ඇය තුළින් අමනුෂ්‍ය බලපෑමක් මතු වූ නමුත් මාලිකා දුර්වලව සිහි නැතිව වැටුණාය. එහිදී ඇයට දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙස නියම කෙරිණි. බෞද්ධ පිළිවෙත් සඳහා මවුපිය දෙදෙනා වැඩි කැමැත්තක් නොදැක් වූ අතර මාලිකා බෝධි පූජා පැවැත්වීමට කැමැත්ත පළ කළාය. පිරිත් පොතක් මිලදීගෙන අදාළ පිරිත් සූත්‍ර බෝ මළුවේ සිට සජ්ජායනය කිරීමට හැකි බවද ඇය කීවාය. මෙයට ආගම ප්‍රශ්නයක් කරනොගත යුතු බවත් මෙවැනි ප්‍රතිකාරවලදී දෙවියන්ගේ පිහිට ආශීර්වාද ලැබීමට නම් ප්‍රථමයෙන් ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් (පස් පවෙන් මිදී) තමන්ගේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගත යුතු බවත් ඒ සඳහා දින විසි එකක් පිරිසුදුව අධිෂ්ඨානශීලීව, නොකඩවා, මෛත්‍රි භාවනා සිතිවිලි ගොඩනඟමින් සිත නොකිලිටිව තබාගත යුතු බවත්, යාඥා කිරීමෙන් පමණක් අකුසල බලවේග යටපත් නොකළ හැකි බවත් වටහා දුන්නේය. එසේ කළ හැකි නම් මෙවැනි භූතාත්ම ශරීරයට ඇතුළු නොවන බවත් පැවැසීය.

දෙවැනි දිනයේද ඇය පවුලේ වැඩිහිටියන් සමඟ පැමිණියාය. එදින ද අමනුෂ්‍යයා කතා කළේ නැත. එහෙත් වෙනත් සන්නිවේදන ක්‍රමයකින් සිතින් සිතට අදහස් හුවමාරු කළේය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට තුළට ඇතුළු වී ඉන්නේ”?

“සාමි කෙනෙක් එවපු කෙනෙක්”

“මේ ශරීරයට තමුන්ව එවන්න සාමිට තියෙන වුවමනාව මොකක්ද?”

“කමල්ගෙ වුවමනාවටයි එව්වේ”

“කවුද කමල් කියන්නේ?”

“මේ මාලිකා වැඩකරන කොම්පැනියේ ලොක්කා”

“ඉතින් කමල්ගෙ වුවමනාව මොකක්ද?”

“මාලිකාව වසඟ කරගන්න උත්සාහ කරලා බැරි වුණාම මට බාර දුන්නා. මා ලවා ඒක කරවන්න.”

“ඒ කොහොමද?”

“මාලිකාගේ වැඩ කටයුතු අසාර්ථක කර කමල්ගෙ ග්‍රහණයට ගත්තා.”

නාගොඩවිතාන මහතා මාලිකාගෙ ශරීරයෙන් භූතාත්මය ඉවත්කොට ඇගෙන් ප්‍රශ්න කෙළේය.

“කවුද මේ කමල් කියන්නේ?”

“අපේ කොම්පැනියේ බොස්”

“එයාගෙන් මාලිකාට බලපෑමක් තියෙනවාද?”

“ඔව්”

“කොයි වගේද?”

“එයාගෙ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න මට යෝජනා කරනවා.”

“ඇයි ඔයා ඒකට අකැමැති?

“එයා විවාහක කෙනෙක්. දරු පවුල්කාරයෙක්.”

“ඉතින් ඔයාට කෙළින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පුළුවන් නේද?”

“බොස් මට රාජකාරිවලදී හැම පහසුකමක්ම සපයනවා. එයා දන්නවා අපේ පවුලේ අය නඩත්තු වෙන්නෙ මගේ වැටුපෙන් බව. අපට ගෙයක් හදාගන්න නිවාස ණයක් ගන්නත් බොස් උදව් කළා. ණය වාරික ගෙවන්නෙ මගේ වැටුපෙන්. මට ලැබෙන පහසුකම් නිසයි මේ ලොකු වාරිකය මාසිකව ගෙවා ගන්න පුළුවන්. මගේ රස්සාව නැති වුණොත් කියලා බයට මම නිශ්ශබ්දව ඉන්නවා. ඒත් මම පරිස්සම් වෙනවා. ඒත් නිතර මට අනියම් යෝජනා කරනවා”

නැවැතත් භූතාත්මය ඇගේ ශරීරයට ගෙන්වා සාකච්ඡා කළේය.

“තමුන් මේ අහිංසක ළමයගෙ ජීවිතයට මහා අපරාධයක් කරන්නේ. කරුණාකර මේ ශරීරයෙන් ඉවත්වෙලා යන්න.”

“බැහැ… බැහැ… මට යන්න බැහැ.”

“ඇයි බැරි?”

“එහෙම කරන්න බෑ. මම සාමිට බැඳිලා ඉන්නේ.”

“සාමිගේ නියමය ඉෂ්ට නොකළොත් සාමි මට දඬුවම් කරනවා. ඒ නිසා මට යන්න බැහැ.”

“සාමි මොනවද කරන දඬුවම්?”

“මාව බැඳලා පන්දමෙන් පුච්චනවා.”

“ඒකට අපට කරන්න දෙයක් නෑ. තමුන් මොකටද සාමි ළඟට ගියේ?”

“කන්න බොන්න නැතුව ඉන්නකොට සාමිගෙ ‍දොළ පිදේනි කන්න ගිහින් සාමිට අහුවුණා. සාමි දැන් මාව බන්ධනය කරගෙන වැඩ ගන්නවා.”

“ඉතින් දැන් මොනවද කන්නෙ බොන්නෙ?”

“මේ ළමයගෙ අපිරිසුදු රුධිරය.”

“ඉතින් තමුන්ට බාරදුන්න දේ තවම ඉෂ්ට වුණේ නෑ නේද?”

“ඒක කරගන්න බැරුවයි මම ඉන්නේ.”

“ඇයි ඒ?”

“කාරණා දෙකක් නිසා”

“ඒ මොනවද?”

“කමල්ගෙ විවාහක නෝනා හරිම ශ්‍රද්ධාවන්තයි. එයාට බලවත් කෙනෙක්ගෙ ආරක්ෂාව තියෙනවා. ඒ බලවේගය කමල්ට අනියම් සම්බන්ධකම් පවත්වන්න ඉඩ තියන්නෙ නෑ.”

“කවුද ඒ බලවේගය?”

“කමල්ගේ නැන්දම්මා. නෝනාගෙ අම්මා. එයා මැරිලා නෝනගෙ ආරක්ෂාවට ඉන්නවා අනිත් කාරණය මේ මාලිකාගෙ වෙලාව හොඳයි.”

“වේලාව හොඳ නම් අසනීප වෙන්නේ?”

“ඒ මම මාලිකාගෙ ශරීරයෙන් ලේ උරා බොන නිසා.”

“දැන් තමුන් වහාම මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ”

“බෑ… බෑ… බෑ…”

නාගොඩවිතාන මහතා භූතාත්මයට ශක්ති කිරණ එල්ල කළේය.

“පිච්චෙනවා. පිච්චෙනවා… මම යනවා… මම යනවා… ආයෙත් එන්නේ නෑ”යි භුතාත්මය මාලිකාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.

(නාගොඩවිතාන මහතා හඳුනන ආයතන ප්‍රධානියකුට කතාකොට මාලිකාට ඒ වැටුපටම වෙනත් ස්ථානයක රැකියාවක් ද ලබා දුන්නේය.)

දැනට කරගෙන යන පිළිවෙත් දිගටම කරගෙන යන ලෙස මාලිකාට නාගොඩවිතාන මහතා උපදෙස් දුන්නේය.

පසු දින මාලිකා දුරකතනයෙන් නාගොඩවිතාන මහතා අමතා දැන් විශාල සුවයක් සහනයක් ලැබෙන බවත් හොඳින් රාත්‍රි නින්ද යන බවත් පවසා ස්තුති කළාය.

යළිත් මාස දෙකකින් මාලිකා පෙර පරිදිම අසනීප වූවාය. නැවැත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා මවුපියන් සමඟ ආවාය.

ඇය පරීක්ෂා කර බැලීමේදී ඇගේ ශක්ති ශරීරය නැවැත පිරිහී ගොස් ඇති බව පැහැදිලි විය. මවුපියන් ඉවත්කොට මාලිකා සමඟ පෞද්ගලිකව සාකච්ඡා කළේය. මවුපියන්ගේ බලකිරීම මත ඇය මෙතෙක් සිදුකරගෙන ආ පිළිවෙත් නතර කළ බව ඇය කීවාය. ඇය බෝධි පූජා පවත්වනවාට ඇගේ මවුපියන් විරුද්ධ වී තිබිණි. යළිත් මවුපිය දෙදෙනා ද කැඳවා උපදෙස් දුන්නේය.

අපි ළඟ ආගම් බේදයක් නැහැ. එහෙත් මේ අමනුෂ්‍ය බලවේග මර්දනය කළේ මාලිකාගේ කැමැත්ත උඩ පස්පව්වලින් වැළැකී සිදුකළ වත් පිළිවෙත්වලින්. දැන් ඒවා අත්හරිනවා නම් මේ ළමයාගේ ජීවිතය ආයෙත් අවුල් වේවි. මට කරන්න දෙයක් නෑ. මම ප්‍රතිකාර නතර කරනවා” යැයි නාගොඩවිතාන මහතා කීවේය.

“අනේ මහත්මයා සමාවෙන්න. මම ආයෙමත් ඒ පිළිවෙත් නොකඩවා ඉටු කරනවා”යි ඇය පොරොන්දු වූවාය.

කෝවිලේ සාමි නැවැතත් භූතයා ඇය වෙත එවා තිබිණි. මෙයින් මිදීමට නම් නැවතත් දින විසි එකක් බෝධි පූජා පවත්වා පිරිත් සූත්‍ර කීපයක් සජ්ජායනා කරන්නට නියම කළ අතර පවුලේ සියලු දෙනාම නොවරදවාම මේ බෝධි පූජාවට යා යුතු යැයිද නියම කළේය. එසේ නොකළහොත් නැවැතත් භූතයාගෙන් පීඩා විඳ ප්‍රතිකාර සඳහා මෙහි නොඑන ලෙස ද අවවාද කළේය.

මතුගම
මහින්ද විජේතිලක

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )