11. ගෙදර තිබූ හට්ටි මුට්ටි පොළොවේ ගැසූ ප්‍රේතියක්

10.05.2015

අනුන්ගේ ගෙවල් මිලදී ගන්නා අය ඉතා පරෙස්සමෙන් හා නුවණින් කටයුතු කළ යුතුය. මවුපිය වැඩිහිටියන් විසින් සාදන ලද ගෙවල් ඔවුන්ගේ දරුවන් විසින් පිටස්තර පුද්ගලයන්ට විකුණනු ලබන අවස්ථා බොහෝය. ඔවුන් එසේ විකුණනු ලබන්නේ ඇයිදැයි මිලදී ගන්නා ගැනුම්කරු නුවණින් සොයා බැලිය යුතුය. මේ ගෙවල් ආරම්භයේදී පැරැණියන් තමන්ගේ නැකැත්වලට මුල් ගල් තබා ගොඩනඟනු ලබන්නේ “මගේ ගෙය”ය යන හැඟීමෙනි. මගේ දරුවන් විසින් මේ ගෙය අලුත්වැඩියා කරගනු ලබමින් ආරක්ෂා කරතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. ගෙය සෑදූ පැරැණියාගේ මරණාසන්න මොහොතේ ගෙය හා ඉඩම පිළිබඳ දැඩි තණ්හාවක් ඇති වුවහොත් “මගේ ගෙය, අතහැර දමා යන්නේ කෙසේදැයි ඇලීමක් ඇති වුවහොත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම එහි ප්‍රේතයෙක්ව උපදී.

එසේම මියගිය මුල් අයිතිකරු අකැමැති දේවල් ඒ නිවෙසේ සිදුවුවහොත් ඔහුගේ භූතාත්මය කෝපයට පත් වෙයි. මියගිය පුද්ගලයා අකැමැති දේවල් සිදු වන විට ඔහු කෝපයට පත්ව සිදු කරන ක්‍රියාකාරකම් නිසා දරු මුනුපුරෝ ලෙඩ දුකට පත්වෙති. එවැනි අවස්ථාවල ඒ දරුවෝ ගෙවල් ‍දොරවල් විකුණා දමා ගමෙනුත් පිටව යති. ඊළඟට ගෙය මිලදී ගන්නා ගැනුම්කරුගේ දරු පවුලද එසේම ලෙඩට දුකට පත්වෙන අවස්ථා ඇත. විශේෂයෙන්ම ලාභයට ගෙවල් විකිණෙන විට ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතුය.

හලාවත පදිංචි රෝහණ ගණකාධිකාරිවරයෙකි. හතළිස් හැවිරිදි ඔහු එක්දරු පියෙකි. ඔහුගේ බිරිය සපුමලී තිස්අට හැවිරිදි ගුරුවරියකි. ඔවුන් වටිනා නිවෙසක් මිලට ගෙන තිබිණි. ලක්ෂ හැටක් පමණ වටිනා පෙනුමකින් යුත් ඒ නිවෙස ඔවුන් මිලට ගත්තේ ලක්ෂ පනහකටයි.

නිවෙස නවීකරණය කොට පදිංචියට පැමිණි දිනයේම නිවෙසේ බඩු වැටෙන පෙරළෙන සද්ද රාත්‍රියට ඇසෙන්නට විය. දෙවැනි දවසේත් එසේම සිදු විය. තුන් වැනි දවසේ පන්සලෙන් ස්වාමීන් වහන්සේ වඩමවා වේල් පිරිතක් කියැවීය. එදා රාත්‍රි ඇස් පනාපිටම හට්ටි මුට්ටි පොළොවේ ගසන බව පෙනෙන්නට විය. නිවෙසේ බිරියත් සැමියාත් දෙතැනක හෙවත් කාමර දෙකක සිටින අවස්ථාවල එක් අයකුගේ සිරුර හූරන්නට විය.

තත්ත්වය ඒ තරම් හොඳ නැති බව වැටහී ඇදුරකු ගෙන්වා තොවිලයක් කැරවීය. ඔහු තොවිලය අවසානයේ භූතයා අල්ලාගත් බව පවසා රුපියල් ලක්ෂ තුනක මුදලක්ද රැගෙන ගියේය. ඇදුරා නිවෙසෙන් පිටත්ව ගොස් පැය භාගයක් ගත වූවා පමණි මේ අඹුසැමියන්ගේ පිටුපසින් සිටින කෙනෙක් ඔවුන් ඉදිරියට තල්ලු කර දමන්නට විය. යළිත් ඇදුරාට කතා කළේ නැත. ඔවුහු පාඩුව විඳ දරාගෙන සිටියහ. වත්පිළිවෙත් නොකරන විට ඔවුන්ට කරදරයක් වූයේ නැත. එහෙත් පෙර පරිදි සද්ද බද්ද ඇසීම නම් පැවතුණි. මේ වන විට ඔවුන්ගේ ආර්ථිකය ශීඝ්‍රයෙන් පහළට කඩා වැටෙන්නට විය.

“මව්බිම” පත්‍රයේ පළ වන “මළවුන්ගේ හෝරාව” විශේෂාංගය කියවන සපුමලී ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයටවත් ගොස් මේ ගැන බලමුයි රෝහණට යෝජනා කළාය. දිනක් මේ දෙදෙනා එහි ගොස් ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තමන් පත්ව ඇති දුක් කරදරය පැහැදිලි කොට විසඳුමක් පැතූහ. මේ වන විට ඔවුහු කෝටි එකහමාරක් ණය වී ඇති බවද පැවැසූහ.

ගවේෂකවරයා ඔවුන් පරීක්ෂා කොට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධිපූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා පවත්වන්නට පටන්ගත් දා සිට අඹුසැමි දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇති වී කලබලකාරී තත්ත්වයක් උදා විය. සපුමලී සියදිවි හානි කර ගන්නටද තැත් කළාය. මේ බව ගවේෂකවරයාට දුරකතනයෙන් දැන්වූ විට වහාම ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගෙන්වීය.

එදින සපුමලී ප්‍රලය වී කෑගසන්නටත් කලබල කරන්නටත් වූවාය. ගවේෂකවරයා වේවැල අතට ගෙන භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ කලබල කරන්නේ?”
“මම ජෝස්ලින්”
“ඇයි මේ අයට කරදර කරන්නේ?”
“මුන් දෙන්නා කරන ද්‍රෝහි වැඩ නිසා”
“මොනවද මේ අය කළේ?”
“මුන් දෙන්නා මේ ගෙදර බුදුපිළිම තියාගෙන විකාර කරන්න පටන් ගත්තා. මේ ගේ ජේසුතුමාගෙ ගෙයක්. මේ මගේ ගේ. මම ජීවත් වුණු ගේ.”
“ඉතින් ඔබේ ගෙය මේ අයට අයිති වුණේ කොහොමද?”
“මම මැරිලා දැනට අවුරුදු පනස්පහක් වෙනවා. මම අවිවාහකවයි ජීවත් වුණේ. මගේ මරණින් පස්සේ මගේ නංගිගෙ දරුවන්ට මේ ගෙයයි ඉඩමයි අයිති වුණා. උන්කිසිම වැදගැම්මකට නැති දරුවෝ. බීමට ඇබ්බැහි වෙච්ච බේබද්දො. මම උන්ට ඉන්න දුන්නේ නෑ. බය කරලා පන්නා ගත්තා. ඊට පස්සේ උන් ගෙයයි ඉඩමයි මුන්ට වික්කා.”යි භූතාත්මය කීවාය.

“ඉතින් මේ අය ගෙයයි ඉඩමයි අරගෙන තියෙන්නේ සල්ලි දීලනෙ”යි ගවේෂකවරයා ඇසීය.
“ඒක වැරැදි වැඩක්නෙ. මගේ ගෙය උන්ට විකුණන්න පුළුවන්ද? මේගොල්ලෝ මටද සල්ලි දුන්නේ?”
“ඉතින් මේ රටේ තියෙන නීතිය අනුව මේ අය මුදල් දීලා ඔප්පු ලියලා ඉඩමයි ගෙයයි අයිතිකරගෙන තියෙනවා.”
“ඔය ඔප්පු අපට වලංගු නෑ. මගේ ගෙදර ජේසු පියා ජීවත් වෙන තැනක්. එතැන බුදුපිළිම තියාගෙන පහන් තියනවාට මම විරුද්ධයි.”

බඩුමුට්ටු එසවිය හැකි එහා මෙහා ගෙන ගිය හැකි, පොළොවේ ගසා විනාශ කළ හැකි, මිනිසුන්ට පහර දිය හැකි භූතාත්ම තිබිය හැකි බවත් ‘පොල්ටගීස්’ නම් වූ භූතාත්ම මේ විශ්වයේ අප අතර සිටින බව මහා විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා ලියූ ග්‍රන්ථයක සඳහන් බවත් නාගොඩවිතාන මහතා රෝහණටත් සපුමලීටත් පැහැදිලි කළේය. බුදු දහමෙහිද මෙවැනි අමනුෂ්‍යයන් පිළිබඳ කියැවෙන බවත් ඒ ගැන නොදන්නා මිථ්‍යා දෘෂ්ටිකයෝ අවිද්‍යාවෙන් මෝහයෙන් අන්ධ වී මෙවැනි දේ නැතැයි කියූවත් එවැනි මළ යක්ෂයන් සිටින බව පැහැදිලි කොට මේ ජෝස්ලින්ගේ ප්‍රාණකාරයාද එවැනි මළ යක්ෂණියක් බවද කීවේය. ඇය සමඟ සමඟියෙන් මේ ප්‍රශ්නය විසඳිය යුතු බව කියා නිවෙසේ දැනට සිදු කරන බෞද්ධ පිළිවෙත් තාවකාලිකව නතර කොට “ශුද්ධ වූ පැය” නමැති ක්‍රිස්තියානි ධර්ම ග්‍රන්ථය රාත්‍රියට නිවෙසේ කියවන්නට දුන්නේය.

ඊට සතියකට පසු ආපසු පැමිණි ඔවුහු දැන් නිවෙසේ සද්ද බද්ද අඩු වී ගිය බව පැවැසූහ. එදින සපුමලී දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ කතා කළේය.

“දැන් කොහොමදැ”යි ගවේෂකවරයා ඇසීය.
“බොහොම හොඳයි. දැන් මගේ ගෙදර මම කැමැති විදියට කටයුතු කෙරෙනවා. දෙවියන් වහන්සේ මගේ ගෙදරට වඩිනවා. හැබැයි බුදුපිළිම තියනවාට නම් මම විරුද්ධයි.” භූතාත්මය කීවාය.

“ඔව් ජේසුතුමා ලෝකයට මෛත්‍රි කළ කෙනෙක්. දුකට පත් වූවන්ට කරුණාවෙන් පිහිට වූ කෙනෙක්. ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් නම් ජේසුතුමා කියපු විදියට වැඩ කරන අය වෙන්න ඕනෑ. උන්වහන්සේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න කීවා. ඔබ අසල්වැසියාට නොවෙයි එක වහල යට ඉන්න අයටත් කරදර හිරිහැර කරනවා. ඒක ජේසුතුමාට විරුද්ධයි. එහෙම කළොත් ඔබට දෙවියන් වහන්සේ ළඟට යන්න බැරි වෙනවා. දැන් මේ ජරාවට පත් වන ශරීරවලට වෛර කරන්න එපා. දිරා යන ගෙවල් ‍දොරවල් හිතෙන් අතහැර දෙවියන් අතරට යන්න දේව දූතියක්, සුරංගනාවියක් වෙන්න අධිෂ්ඨාන කරන්නැයි භූතාත්මය දැනුවත් කළේය.

ජොස්ලින් දැන් මැරිලා. දැන් ඉන්නේ ජොස්ලින් නොවෙයි. ගෙවල් ‍දොරවල් තණ්හාවෙන් බදාගත්ත ප්‍රේතියක්. සුරංගනාවියක් වෙන්න හිතන්න. මේ අය තමන්ට ඕනෑ ආගමක් අදහපුදෙන්. ලෝකයේ මිනිස්සු තමන් කැමැති ආගම් අදහනවා. ඔබට ඒවා නතර කරන්න පුළුවන්ද? බැහැ. ඉතින් මේ අය ඕනෑ දෙයක් කරගත්තදෙන්. ඔබට ඔබේ ඥාති පුත්‍රයන් හදන්නත් බැරි වුණානෙ. ඒ අය බීලා බීලා මැරිලා ගියාය කියලා ඔබමනෙ කීවේ. ඉතින් මේ දෙන්නාවත් හිතෙන් අතහැරලා දෙවියන් වහන්සේ ළඟට යන්නැයිද දිනපතා පල්ලියට යන්නැයිද ප්‍රේතියට කාරුණිකව අවවාද කළේය.

ප්‍රේතිය සතුටු කරන්නට නිවෙස ඉදිරිපිට කුරුසියක් සවි කරන ලෙසද රෝහණට උපදෙස් දුන්නේය. මෙසේ තුන් මාසයක් කටයුතු කරන ලෙසත් අවසානයේ දින දහහතරක් බෝධි පූජාවලට නැවත යන ලෙසත් එහිදී ජොස්ලින්ගේ ප්‍රාණකාරියට අවංකවම මෛත්‍රි කොට පින් අනුමෝදන් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

ඒ අනුව කටයුතු කැරගෙන යන විට නිවෙසේ තත්ත්වය සතුටුදායක වූ බව තුන්මාසයකට පසුව නැවැත පැමිණි දිනයේ රෝහණ පැවැසීය.

එදිනද සපුමලී දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කළේය.

“දැන් කොහොමද?”
“දැන් හොඳයි මහත්මයා. ජේසු පියාණන් කියූ පරිදි මම දැන් හැම දෙනාටම ප්‍රේම කරනවා. මේ දෙදෙනාටත් ප්‍රේම කරනවා”යි භූතාත්මය කීවාය.
“බොහොම හොඳයි. ඔබ දැන් ජේසුතුමාගේ දියණියක්. දැන් පල්ලියකට ගිහින් දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්න.”
“ඔව් මහත්මයා මම දැන් රාගම තේවත්තෙ පල්ලියට යනවා. එතැන ඉඳගෙන ආගමික වතාවත්වලට සහභාගි වෙනවා”යි භූතාත්මය කීවාය.
“කොයි වෙලාවෙද යන්නේ?”
“මේ දැන් මේ දැන් යනවා. ඔබතුමාට ස්තුතියි” කියා භූතාත්මය සපුමලීගේ ශරීරයෙන් ඉවත්ව ගියාය.

දැන් නිවෙස ඉදිරිපිට සවි කළ කුරුසිය ගලවා උදේ හවස බෞද්ධ පිළිවෙත් ආරම්භ කරන ලෙස උපදෙස් දී මේ දෙදෙනාටත් දරුවාටත් නිවෙසටත් ඉඩමටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )