12. සඳමාලිගේ සිරුරට අරක්ගත් හැටි

07.05.2015

මිනිසාගේ හැඟීම්වල ප්‍රබලතාව අනුව ඔහුගේ චිත්ත ශක්තියද බලවත් වේ. කෙනකු තවත් කෙනකු පිළිබඳ නිතර නිතර සිතන විට එසේ සිතන සහ සිතීමට ලක්වූ පුද්ගලයන් අතර චිත්ත තරංගමය ක්‍රියාවලියක් සිදු වේ. මිනිසාගේ ඝන ශරීරයත් එම ශරීරයේ ක්‍රියාකාරීත්වයත් සතර මහා ධාතූන්ගෙන් සැදුණු ඉන්ද්‍රියයන්ගේ අරමුණු ගැනීමත් නිසා මේ අන්‍යෝන්‍ය චිත්ත තරංග ක්‍රියාකාරීත්වය බොහෝ විට පැහැදිලි නොවේ. එහෙත් මිනිසාගේ මේ චිත්ත තරංග නිකුත් කිරීම සියුම් ශරීරවලින් සෑදුණු අමනුෂ්‍යයන්ට වහාම සන්නිවේදනය වේ. දියෙහි වසන මත්ස්‍යයාට එම ජලය ජීවත්වීමට මාධ්‍යයක් වන්නා සේම අමනුෂ්‍යයන්ද මිනිසාගේ චිත්ත තරංග තමන්ගේ පැවැත්මට මාධ්‍යයක් කර ගන්නා අවස්ථා බොහෝය.

සඳමාලි මාතලේ ප්‍රදේශයේ පදිංචි ඉතාමත් රූබර තරුණියකි. වයසින් විසි හතර හැවිරිදිය. අවුරුදු දෙකක පමණ කාලයක සිට ඉතා සුළුවෙන් ආරම්භ වූ ඇගේ ශාරීරික වෙනස දැන් වඩාත් අහිතකර අන්දමට පෙරැළී ඇත. සඳමාලිගේ පැහැපත් ප්‍රසන්න ශරීරය අසාමාන්‍ය ලෙස කෙට්ටුව වැහැරී ගොස් ඇත. කෑම අරුචියත් ඇඟපත රුදාවත් වැලඳී පීඩා විඳී. ආලෝකය මඟ හැර නිවෙසේ අහු මුලුවලට වී හිඳගෙන තනියම කතා කරයි. හිනාවෙයි. සමාජයට බියක් දක්වයි. ඇය ළඟට පිරිමියකු ගියහොත් තනිවම මුමුණ මුමුණා ඔහුගේ ශරීරය අත ගාන්නට පටන් ගනී. පිරිමින් දකින්නට ප්‍රිය කරයි.

ඇගේ මවත් පියාත් හැඬූ­කඳුළෙන් යුතුව ඇය සුවපත් කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර කළත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළත් බලහත්කාරයෙන්ම වාගේ බෙහෙත් පෙති ගිල්ලුවත් සුවයක් ලැබුණේ නැත. සාස්තරකාරයන් පස්සේ ගොස් තොවිල් පවිල් කළත් වැඩක් වූයේ නැත. තමන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ බලයෙන් කරන්නට බැරි වැඩක් නැතැයි කියමින් දහවල් කාලයේ මල් යහන් තටු සකස් කරමින් කයිවාරු ගැසූ ඇදුරන් රාත්‍රි ශාන්තිකර්ම කොට ගනුදෙනුවක් අතමිට මොළවාගෙන ගියා මිසක් ඒවායෙන් ප්‍රතිඵලයක් වූයේ නැත. අන්තිමට ‘මව්බිම’ පත්‍රයේ ‘මළවුන්ගේ හෝරාව’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ, ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගොස් ආධ්‍යාත්මික ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසෙන්නට මවුපියෝ තීරණය කළහ.

සඳමාලිගේ මවත්, පියාත්, නැඟණියත් ඇය සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. පළමු දිනයේ සඳමාලි වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඇය හඬා ගෙන ගවේෂකවරයගේ දෙපා අල්ල ගෙන සිහිසුන්ව වැටුණාය. ඇය කායිකවත්, මානසිකවත් දුර්වලව සිටි බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබිණි.

ඊළඟ දිනයේ පැමිණි විට සඳමාලි ප්‍රලය වූවාය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ළමයාගේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?”

“ඉහි… ඉහි… ඉහි…”යි අඬන්නට වූවාය.

“කතා කරන්න, කතා කරන්න අපි ඔබට උදව් කරනවා”

“මම බුද්ධිකා”

“බුද්ධිකා කියන්නෙ කවුද?”

“සඳමාලි දැන් පදිංචි ගෙදර ඉස්සර හිටියේ මම. මම මළාට පස්සේ මගේ අම්මයි තාත්තයි මේ සඳමාලිගේ තාත්තට ගේ විකුණලා යන්න ගියා. ඒගොල්ලෝ මාව එක්ක ගියේ නෑ. මම අඬ අඬා අම්මගෙ කකුල් දෙක අල්ලාගෙන වැටුණත් මම කියන දේ අම්මට ඇහුණේ නෑ. අන්තිමට අම්මා මම හිටවපු මල් ගස් දිහා බලලා ඒවා අත ගාලා “මගෙ සුදු මැණිකෙ හිටවපු මල් ගස්” කියලා අඬලා ගේ පිටුපස තිබුණු මගේ මිනීවළ දිහා බලාගෙන ඉඳලා යන්න ගියා.”

“ඇයි ඒ අය සමඟ නොගියේ?”

“මට ශක්තියක් තිබුණේ නෑ”

“ඉතින් මේ සඳමාලිගෙ ඇඟට රිංගුවේ මොකටද?”

“සඳමාලි මට ආදරෙයි. මගේ මිනීවළ හාරලා ඇටසැකිල්ල ගොඩට අරගෙන නාවලා පිරිසුදු කරලා එයාගෙ ඉස්කෝලෙට අරගෙන ගියා. මගේ ගැන තොරතුරු රැස් කළා. ඉතින් මෙයා මට ආදරේ නිසා මමත් සඳමාලිට ආදරෙයි”

ප්‍රේත ජීවියා සඳමාලිගේ ශරීරයේ සිටියදීම නාගොඩවිතාන මහතා සඳමාලිගේ මවුපියන්ගෙන් මේ ගැන තොරතුරු ඇසීය.

මේ නිවෙස තමන්ට අඩු මිලකට ලැබුණු බවත් එහි පදිංචියට ආ බවත් ඔවුහු විස්තර කළහ. සඳමාලි වෛද්‍යවරියක කිරීමේ අදහසින් උගන්වා ඇත. උසස්පෙළ ඉගෙනුම ලබද්දී ජීව විද්‍යා විෂය පිළිබඳ ඇය දක්ෂතා දැක්වූවාය. ඇගේ පාසලේ පැවැත්වූ විද්‍යා ප්‍රදර්ශනයට ඇටසැකිල්ලක් අවශ්‍ය වූ විට කුලීකරුවකු යොදවා නිවෙස පිටුපස තිබුණු මිනීවළ හාරා එය ගොඩ ගත්තේය. ඒ වන විටත් මිනී පෙට්ටිය සහ ඇඳුම් පවා දිරා නොතිබිණි. ඊට වසර තුනකට පෙර භූමදාන කරන ලද්දක් බැවින් ශරීරයේ සම්, මස්, නහර දියවී ගොස් තිබිණි. එය අවුරුදු විසි දෙකක් වූ බුද්ධිකාගේය. ඇය ඒ මවුපියන්ගේ එකම දරුවා වූවාය. ඇගේ ප්‍රේම සම්බන්ධයකට මවුපියන් විරුද්ධ වූ බැවින් වස පානය කොට සිය දිවි හානි කරගෙන තිබිණි.

එකම ආදරණීය දියණිය බැවින් ඇගේ සිරුර නිවෙස අසලම (ගේ පිටුපස) භූමදාන කොට තිබිණි. සඳමාලිගේ අවශ්‍යතාව නිසා ඇගේ ඇටසැකිල්ල ගොඩගෙන සෝදා පිරිසුදු කොට ගැලවුණු ඇට කැබලි කම්බි දමා බැඳ සඳමාලිගේ පාසලට ගෙන ගොස් තිබිණි. එය මේ වන විටත් ඒ පාසලේ විද්‍යාගාරයේ සුරක්ෂිතව ඇත.

සඳමාලි, බුද්ධිකා පිළිබඳ තොරතුරු රැස් කළාය. ඒ විස්තර සටහනක් සකස් කළාය. බුද්ධිකා පිළිබඳ සඳමාලි කනගාටු වූවාය. සඳමාලි, බුද්ධිකා ගැන නිතර සිතන්නට සිතන්නට බුද්ධිකාගේ භූත ආත්මය සඳමාලිට සමීප වූවාය.

නාගොඩවිතාන මහතා නැවත ප්‍රශ්න කළේය.

“ඔබ මිය ගියේ ඇයි?”

“මගේ ‘ලව් එෆෙයාර්’ එකට අම්මයි තාත්තයි විරුද්ධ වුණා. මම වස බිව්වා”

“ඒ පිරිමි ළමයා?”

“මට මතක නෑ”

“ඔයාට මොනවද මතක?”

“මට මගේ තනිකම පාළුව තමයි මතක. අම්මයි තාත්තයි මාව දාලා ගෙදරින් පිටවෙලා ගිය හැටි විතරයි මතක. මට ආලෝකය දරා ගන්න බෑ. ඒ නිසා ගෙදර අඳුරු අහුමුලුවලට වෙලා අඬ අඬා හිටියා. සඳමාලි ආවට පස්සෙ ඒ පාළුව මඟඇරුණා. සඳමාලි මට ආදරෙයි. මමත් එයාට ආදරෙයි”

“ඔයා කන්නෙ බොන්නෙ මොනවද?”

“සඳමාලි කන බොන දේවල්ම තමයි මමත් කන්නෙ බොන්නෙ. එයාගෙ ශරීරයේ තියෙන දේවලුත් මගේ ශරීරයට උරා ගන්නවා. මම සඳාට හරිම ආදරෙයි. එයා මගේ යාළුවන් මුණගැහිලා මගේ තොරතුරු විස්තර අහනවා. මමත් සඳාගෙ ළඟ ඉඳගෙන ඒවා ආශාවෙන් අහගෙන ඉන්නවා. මට දුකත් හිතෙනවා. මගේ අම්මා තාත්තාත් මාව දාලා ගියා. මගේ ගැන කවුරුවත් හිතන්නෙ නෑ. සඳා විතරයි මට ආදරේ. මම එයත් එක්ක ඉන්නවා.”

“බුද්ධිකා ඉස්කෝලෙ ගියාද?”

“ඔව්”

“බුද්ධ ධර්මය ඉගෙන ගත්තද?”

“ඔව්. දහම් පාසලටත් ගියා”

“මේ ජීවිතය, නාම රූප කොටස් දෙකක් බව දන්නවාද?”

“ඔව්”

“ඒ දෙකම ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් පවතින බව දන්නවාද?”

“ඔව්, උත්පාදා, ස්ථිති, භංග කියලා අපට උගන්නලා තියෙනවා”

“අන්න හරි. අන්න හරි. බුද්ධිකා දන්නවා. බුද්ධිකා බුද්ධිමත්. ඉතින් බුද්ධිකා මේ ශරීරයට මොනවද වෙන්නේ”

“ක්ෂණයක් පාසා වෙනස් වෙනවා”

“ඔව් තරුණ වෙනවා. වැඩිහිටි වෙනවා. මහලු වෙනවා. අන්තිමට මොනවද වෙන්නේ”

“මැරෙනවා”

“මැරෙනවා කියන්නේ මේ ශරීරය අතහැරලා වෙනත් උපතක් ලබනවා නේද?”

“ඔව්”

“අන්න හරි බුද්ධිකාත් මැරුණා. දැන් ඔයා බුද්ධිකා නොවෙයි. ඔයා වස පානය කළ නිසා ගත සිත දෙකම දුර්වල වුණා. හිටපු ගෙදරම ප්‍රේත ජීවියෙක් වෙලා උපන්නා”

“ඊ…යි….යා…. මම ප්‍රේතියක්ද?”

“ඔව්. ගෙදර අඳුරේ ඉන්නවා නම් සඳමාලිගේ ශරීරයේ ජරාව ආහාරයට ගන්නවා නම් ප්‍රේතියක් තමයි. ඔයා ඉගෙන ගන්න පොත්වලත් එහෙම ඇති”

“අනේ! මට එහෙනම් මීට වඩා ලස්සන තැනකට යන්න ඕනෑ”

“ඔව් ඔයිට වඩා ලස්සන අනුරාධපුරය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑ රජුන්, මහ මෙවුනා උයනේ ඉඳගෙන ඒ ලස්සන බලන්න පුළුවන්. ථූපාරාමය, ජේතවනාරාමය, අභයගිරි මහා සෑය, මිරිසවැටිය කොයි තරම් ලස්සනද? ශාන්තද? ඒ තැන්වල නිතර පින්කම් කරනවා. ඒවට අතගහලා සාදු කියන්නත් පුළුවන්.”

“අනේ! මට ඒව බලන්න යන්න ඕනෑ”

“නිකම්ම යන්න බෑ. ඒවට පින් ඕනෑ. මම මේ අයට කියන්නම් ඔය ගෙදර සාංඝික දානයක් දී බුද්ධිකාට පින් අනුමෝදන් කරන්න. ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්නත් ගෙන්නලා අටපිරිකර පූජා කර ඔයාට පින්දෙන්න කියලා”

“අනේ අයියෙ ඔයා හරි හොඳයි. ඔයාට ස්තුතියි. මම යන්නම්. මම යන්න කැමැතියි”

ඒ අනුව සඳමාලිගේ මවුපියෝද බුද්ධිකාගේ මවුපියෝද ඒ නිවෙසට භික්ෂුන් වහන්සේ වඩම්මා සාංඝික දානයක් හා පිරිකර පූජා කොට නම කියා පැන් වඩා පින් අනුමෝදන් කළහ. ඉන් පසු ඔවුන් අනුරාධපුරයට ගොස් බුද්ධිකා වෙනුවෙන් සුදු නෙලුම් මල් පූජාවක්ද පැවැත්වූහ ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )