15. මළගිය පියා ආපහු එයි

01.05.2015

ලෝභය නිසා අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා මිනිස්සුන් දේපළ රැස්කරති. දැඩි ලෝභය නිසා අනුන් සතු දේවල් පවා අයිති කර ගනිති. අයිතිකර ගන්නට උත්සාහ කරති. අසීමිත තණ්හාව නිසා එයින්ද තෘප්තිමත් නොවූ තැන මිනී මරා හෝ අනුන් සතු දේපළ අයිති කර ගනිති. අයිති කරගන්නට උත්සාහ කරති. මෙසේ සිදු වන්නේ මෝහය නිසාය. තමනුත් මැරෙන බව, මේ සියල්ල අතහැර යන්නට සිදුවන බව, කර්මයට අනුව විපාක ලැබෙන බව, මරණයෙන් පසු උපතක් ලැබෙන බව, “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” යි බුදුපියාණන් වහන්සේ දේශනා කළ සත්‍යය නොදැන අමාරුවේ වැටෙති.

ජයන්ත කළුතර ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ ශරීරයේ දැඩි වේදනාවක් හට ගැනිණි. කිසිදු හේතුවක් නැතිව ඉබේ කඳුළු ගලන්නට විය. හිටිහැටියේ හූ කියා ගෙන නින්දෙන් අවදි වෙන්නට විය. මේ රෝගාබාධයන් නිසා විඳින්නට වූ දුක් ගැහැටවලින් මිදෙන්නට වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර හා අභිචාර විධි පැවැත්වුවද කිසිදු සුවයක් සහනයක් නොවීය.

මේ කරදරයෙන් මිදෙන්නට මඟක් නැතිව සිටියදී “මව්බිම” පත්‍රයේ මළවුන්ගේ හෝරාව විශේෂාංගය කියවන හිතවතෙක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඔහු දැනුවත් කළේය. ඒ අනුව ජයන්ත එම මිත්‍රයා සමඟ ගොස් ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තම දුක් ගැනවිල්ල කීවේය.

ගවේෂකවරයා ජයන්ත වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඔහු තුළින් භූතාත්මයක් අවදි වී හූ කියාගෙන මතුවී කෑ ගසන්නට විය.

එදින ඊට වඩා දෙයක් මතු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා ඊළඟ දිනයේ බිරියද කැටුව එන ලෙස උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ජයන්ත සිය බිරිය කැටුව නැවත පැමිණියේය. එදින ද ජයන්ත දිෂ්ටි ගන්වන විට ඔහු තුළින් භූතාත්මයක් අවදි වී අඬන්නට වූයේය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කරන්නට පටන් ගත්තේය.

“කවුද මේ කෑ ගහන්නේ? අඬන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.
“මම පියදාස” යැයි භූතාත්මය කීවේය.
“කවුද පියදාස කියන්නේ?”
“මම මේ ජයන්තගේ තාත්තා.”
“ඇයි මේ පුතාට හිරිහැර කරදර කරන්නේ?”
“මගේ දේපළ දරුවන්ට හරියට බෙදලා දෙන්න බැරිවුණා.”
“දැන් මොකද වෙලා තියෙන්නේ?”

“මහත්තයා මම වයස්ගත වෙලා අසනීප වුණාම මට සම්පූර්ණයෙන්ම සාත්තු සප්පායම් කළේ මේ ජයන්ත පුතයි මේ ලේලියි. මට තවත් දුවකුයි පුතාල දෙන්නකුයි ඉන්නවා. උන් තුන් දෙනා කිසිම සාත්තු සප්පායමක් වියදමක් කළේ නෑ. දරුවො හතර දෙනාගෙන් මේ පුතා තමයි හැම දෙයක්ම කළේ. මම හොඳටම කායිකවත් මානසිකවත් දුර්වලව ඉන්දැද්දී ජයන්ත ගෙදරට නොතාරිස් කෙනෙක් ගෙන්නුවා. මගේ අක්කර දහයක ඉඩම ජයන්තට දෙන්න මම අස්සන් කළා. ඊට පස්සේ අනෙක් තුන් දෙනා මට නොසැලකුවත් උන්ටත් ඒකෙන් දෙන්න බැරි වුණානෙ කියලා. මගේ හිතේ තියෙනවා. ඒ වේදනාව දැනුම් දෙන්නයි පුතාගෙ ඇඟට එන්නේ. මගේ හිතේ තියෙන දුකටයි පුතාගේ ඇඟට ආවාම පුතාගෙ ඇස් දෙකන් කඳුළු ගලන්නේ.”

“ඉතින් තමුන්ට සැලකුවෙත් නැත්නම් ඒ අයට නොදුන්නාය කියලා ප්‍රශ්නයක් නැහැ නේද?” ගවේෂකවරයා කෙනකුට අනවශ්‍ය යැයි සිතෙන අමුතු ප්‍රශ්නයක් ඇසීය. ඕනෑම කෙනකු සිතන්නේ නොසලකන දරුවන්ට දේපළ නොදුන්නාට වරදක් නැතැයි යනුවෙනි.

“එහෙම කියලා හරියන්නේ නැහැ මහත්තයා. මට නොසලකන ඒගොල්ලන්ගෙ වැඩක්. ඒ වගේ සැලකිලි මට නොලැබෙන්නෙත් මගේ පෙර අකුසලයක විපාක වෙන්න ඇති. අනෙක් කාරණය ඒ තුන් දෙනාට තමන්ගෙ දරුමල්ලන්ගෙ වැඩ, කරදර නිසා මට සලකලා සාත්තු සප්පායම් කර කුසලයක් කර ගන්න නුවණ මතු වෙන්නෙත් නැතිව ඇති. කොහොම වුණත් මහත්තයා මේ ජයන්ත පුතා වගේම ඒ දරුවො තුන් දෙනත් මගේ දරුවොනෙ. මමනේ මේ ලෝකයට ඒ තුන් දෙනාම ගෙන්නුවේ. ඉතින් මගේ යුතුකම තමයි ඒ අයටත් උදව් කරන එක. “හරි හරි ඔබතුමා නිවැරැදියි. මම ඒ ප්‍රශ්නය ඇසුවෙත් ඔන්න ඔය ටික මතුකර ගන්න. ඔබතුමා මේ ලෝකයට වටිනා පණිවුඩයක් දුන්නේ. හැබැයි ඒ තුන්දෙනා උරුමය බලාපොරොත්තු වෙනවා වාගේම කරුමයේදීත් දායක වුණා නම් ඒක මහා කුසලකර්මයක්.”

“ඔව් මහත්තයා. මම මැරුණට පස්සේ ඒ දරුවන්ගෙ ගෙවල්වලටත් යනවා බලන්න. ඒ ගෙවල්වල අය මට බනිනවා ඇහෙනවා. අපි තුන් දෙනාට දුන්නේ නෑ ජයන්තට දුන්නා කියලා. ජයන්ත පදිංචි ඉඩම අක්කර දහයක්. මේකෙන් අනෙක් තුන් දෙනාටත් දුන්නා නම් තමයි වටින්නේ කියලා මට හිතෙනවා” යි භූතාත්මය කීවේය. “ඔය එකෙක්වත් තාත්තාට සාත්තු කළේ නෑ. උදව් කළේ නෑ. ජයන්තයි මමයි තමයි සාත්තු සප්පායම් කළේ. බේත්හේත් අරන් දුන්නේ. අන්තිමට මල මුත්‍රා පවා අරන් දැම්මේ අපි දෙන්නා.” ජයන්තගේ බිරිය කීවාය.

“ඇත්ත දුවේ ඇත්ත. සම්පූර්ණ ඇත්ත. මගේ මළගමට වියදම් කළේත් දාන මාන දුන්නේත් ඔය දෙන්න තමයි” යැයි භූතාත්මය කීවේය. ගවේෂකවරයා ජයන්තගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට උපදේශනය කළේය.

“ඒ තුන් දෙනා බැලුවා හෝ වේවා. නොබැලුවා හෝ වේවා මේ ඇවිත් ඉන්නේ තමුන්ගේ තාත්තාගේ ප්‍රාණකාරයා. භූතාත්මය එයාගෙන් සිදුවුණ අඩුපාඩුකමක් මැරෙන මොහොතේ සිහිපත්වීම නිසා එයා දුගතිගාමීව ප්‍රේතයෙක්ව ඉපදිලා. එයාව සුගතිගාමී කිරීම අපේ යුතුකමක්. ඒක විශාල කුසල කර්මයක්. එහෙම භූත දෝෂයක් නොවේ නම් මේක ජයන්තගේ යම් හිතේ ක්‍රියාත්මකවීමක්. යටිහිත ඉතාම බරපතළයි. තාත්තාට සලකපු නිසා මේ ඉඩම ගත්තාට කමක් නැහැයැයි උඩුහිතෙන් හිතනවා. ඒත් ඒක සියයට සියයක්ම සාධාරණ නැති බව යටිහිත දන්නවා. යටිහිත ‍දොස් පවරනවා. යටිහිත බලවත් වෙලා ඒ කාරණය මතු කරනවා.

මේ යටිහිතේ ක්‍රියාකාරිත්වය භූතයෙකුගේ බලපෑමට වඩා බලවත්. භූතයාගේ බලපෑම ඒ භූතාත්මය ශරීරය තුළට පැමිණි විට පමණයි. ශරීරයෙන් පිට වුණාම ක්‍රියාත්මකවීමක් නෑ. යටිහිත එහෙම නෑ. නිතරම පුද්ගලයා තුළම පවතිනවා. භූතාත්මයත් යටිහිතේ මෙවැනි බලපෑමත් දෙකම භයානකයි. ඒත් යටිහිත මෙහෙම ක්‍රියාත්මක වුණොත් මනස විකෘති වෙනව. ජයන්ත මහත්මයාට දැන් වයස අවුරුදු තිස් අටයි නේද? මෙහෙම ගියොත් අවුරුදු හතළිහක් වෙන්න කලින් පිස්සෙක් වේවි. පිස්සෙක් වෙලා සහෝදරයන්ට ඉඩම දුන්නේ නෑ. මම තනියම අයිති කර ගත්තා කියමින් ඔළුව හැරුණු අතේ ඇවිදින්න ගියොත් ඔය ඉඩමෙන් වැඩක් තියෙනවාද කියලා හිතන්න. ඒ නිසා දැන්ම නිවැරැදි වෙන්න ඉඩ තියෙනවා. වරද නිවැරද කර ගන්න. සහෝදරයන් තුන් දෙනාටත් කතා කර සාධාරණය ඉෂ්ට කරන්නැ. ගවේෂකවරයා කීවේය.

ඒ ගැන ගැඹුරු කල්පනාවකට නිමග්න වූ ජයන්ත “ඔව් මහත්මයා එහෙම කරන එක හොඳයි කියලා මටත් හිතෙනවා. ඒක මම කොහොමද මම කරන්න ඕනෑ”යි ඇසීය.

“ඔබේ තීරණය බොහොම හොඳයි. හිත්වල තියෙන අමනාප ගති ඉවත් වෙන්නත් එක්ක මහත්මයා නෝනාත් එක්ක කෙළින්ම යන්න සහෝදරයන් තුන් දෙනාගෙ ගෙවල්වලට. ගිහින් තමන්ගෙ අදහස කියන්න. දෙන ප්‍රමාණය කියන්න එපා. බිරින්දෑවරුන් එක්කම එන්න කියන්න. ආවාම නෝනා මහත්මයා ඒ අයව ආදරෙන් පිළිඅරගෙන තේ සංග්‍රහයක් කරලා සාකච්ඡාව පටන් ගන්න.

ඒ අයගෙ හිත නොරිදෙන විදියට කියන්න ‘මේ ඉඩම අක්කර දහයක්. මමයි ඉඩම සංවර්ධනය කළේ. තාත්තගෙ සියලුම කටයුතු කළේ මම. දැන් මේ ඉඩම සම්පූර්ණයෙන් අයිති මටයි. ඒත් මම මේ ඉඩමෙන් අක්කර තුනයි කාලක් තියාගෙන ඔය තුන් දෙනාට එක්කෙනාට දෙකයි කාල ගණනේ මගේ වියදමෙන්ම ඔප්පු ගාස්තු ගෙවලා ලියලා දෙනවා. මම අක්කරයක් වැඩිපුර ගන්නවාට ඔය ගොල්ලෝ විරුද්ධද කියලත් අහන්න. ඒ අය විරුද්ධ වෙන්නෙ නෑ.”

නොතාරිස් කෙනෙක් මගේ ගෙදරට ගෙන්නලා ඔප්පු ලියනවා. එදාටම මේ ඉඩම අයිතිව හිටිය තාත්තා ප්‍රධාන පැරැන්නන්ට පින් අනුමෝදන් කරන්න සාංඝික දානයක් පිරිනමනවා. ඔය තුන් දෙනත් ඇවිත් උදව් වෙන්න; සහභාගි වෙන්න; දායක වෙන්න’ කියලා කියන්න”යි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

ඒ උපදෙස් අනුව ජයන්ත කටයුතු කළේය. සියල්ල සමඟියෙන් සමාදානයෙන් හා සතුටෙන් ඉටු වූ බව කියති. නැවතත් පවුල් අතර සම්බන්ධයද ගොඩනැඟුණි.

ජයන්ත නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි දිනයේද පියාගේ ප්‍රාණකාරයා ගවේෂකවරයා සමඟ කතා කළේය.

“මහත්මයා බොහෝම සතුටුයි. හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. මම හිටපු තත්ත්වයෙන් ඉහළට ගියා. පින් අනුමෝදන් වෙලා මම ආයෙත් එන්නෙ නෑ. මම යනවා. අනුරාධපුරයට යනවා” යි ඉවත්ව ගියේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )