18. සීනිගම දේවාලේ මිරිස් අඹරලා දවස් 2 ක් යද්දී මගේ සිහි විකල් වුණා මම නිර්වස්ත්‍රයෙන් ඇවිද්දා

01.05.2015

මිනිස්සු තමන් ළඟ දහසක් වැරැදි තිබියදීත් අනුන්ගේ සුළු වරද දකිති. අනුන්ට එක ඇඟිල්ලක් දිග් කරන විට ඇඟිලි තුනක්ම තමන් දෙසට එල්ල වී ඇති බව නොදකිති. එය නොදැක්කා වගේ සිටිති. තමන් අනුන්ට බරපතළ වැරැදි කරමින් සිටින අතර වෙනත් කෙනකුගෙන් තමන්ට සිදුවන සුළු වරද ලොකුවට ගෙන වෛර කරති. පළි ගන්න කටයුතු කරති.

බුලත්කොහුපිටියේ ශාන්ති හැටපස් හැවිරිදි කාන්තාවකි. දෙදරු මවකි. ඇය අත පය රුදාවෙන් පෙළෙන්නට වූවාය. වාතයෙන් බඩ පුරවා දැමීමෙන් පීඩා වින්දාය. ඇඟේ ලේ අඩු වීම නිසා ශරීරය කෘශ වෙන්නට විය. මේ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් සහනයක් නොලැබුවාය. වත්පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගණනාවක් සිදු කළත් ඒවායින් ළඟ තිබුණු තුට්ටු දෙකට තට්ටු වුණා මිස යහපතක් වූයේද නැත.

මේ අතර ශාන්තිගේ දියණිය ‘මව්බිම’ පත්‍රයේ පළවන ‘මළවුන්ගේ හෝරාව’ විශේෂාංගය පිළිබඳ මෑණියන් දැනුවත් කොට එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත යොමු වුණාය. එහි ගොස් ආධ්‍යාත්මීය ගවේෂකවරයා කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කොට ප්‍රතිකාර පැතුවාය.

පළමු ගවේෂණයේදීම ශාන්ති ප්‍රලය වී හූ කියන්නටත් කෑ ගසන්නටත් වූවාය.
“කවුද මේ කලබල කරන්නේ” යි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසුවේය.
“මම සිරිල්. මුන්ගෙන් පළිගන්නයි ආවේ”යි කියා යළිත් ‘හූ’ කියන්නට වූවාය.

එදින භූතාත්මය පාලනය කිරීමට අපහසු වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවැත පැමිණි දිනයේද ඇය දිෂ්ටි ගැන් වූ විට භූතාත්මය ආවිශ්ටව ආවේය. එදින පෙර දින තරම් භූතාත්මය දරුණු වූයේ නැත. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේය.
“කවුද මේ?”
“මම සිරිල්.” භූතාත්මය උත්තර දුන්නේය.
“ඇයි මේ කරදර කරන්නේ?”
“මාව සෝමදාස බන්ධනය කළා. ඉතින් මම ශාන්ති ළඟට වෙලා ඉන්නවා.”
“කොයි කාලෙද මැරණේ?”
“අවුරුදු තිස් දෙකකට කලින්.”
“මොනව වෙලාද මැරුණේ?”
” ඒක දිග කතාවක්.”
“කියන්න අපටත් දැනගන්න.”
“මහත්තයා මම ඒ කාලෙ හොඳ කඩවසම් කොල්ලෙක්. සෝමදාස පදිංචි වෙලා හිටියේ මේ ශාන්තිගෙ ගෙදරට පහළින් තිබුණු ගෙදර. සෝමදාස කොළඹ කොම්පැනියක රස්සාව කළේ. හැමදාම ගෙදර ආවේ නෑ. සති අන්තයට තමයි ගෙදර ආවේ. සෝමදාසගේ ගෑනි හැඩකාරි. නම සෙනෙහෙලතා. ඒකි මාත් එක්ක යාළු වුණා. අපේ සම්බන්ධය දුර දිග ගියා. දරුවකුත් ලැබුණා. අපේ සම්බන්ධය ගැන සෝමදාසයට දැනගන්න ලැබුණා. ඊට පස්සෙ අපේ සම්බන්ධය රහසේ පවත්වාගෙන ගියේ. කාටවත් නොපෙනෙන්න මම ඒ ගෙදරට ගියා. රෑට තමයි ගියේ. සෝමදාස ඒකත් දැන ගත්තා. ඊට පස්සේ දවසක් සෝමදාස මට තර්ජනය කළා මීට පස්සෙ අපේ ගෙදර පස් පාගන්න එන්න එපාය කියලා. සෙනෙහෙලතාත් හරියට පන්තිනි අම්මා වගේ තමුසේ අපේ ගෙදරට එන්න එපා, අපේ පවුල් ජීවිතය අවුල් කරන්න එපා කියලා මට හොඳටම බැන්නා.

මේකි කතා කරපු හැටියට මට හොඳටෝම කේන්ති ගියා. මම ඒකිට බැන්නා. උන් දෙන්නා පොලිසි ගියා. මේ ගෑනි කිව්වා මම ඒ ගෙදරට එනවා, එපා කිව්වට අහන්නෙ නෑ, මම නිසා සෝමදාසගෙන් ගුටි කනවා, මගේ ඒ වගේ අදහසක් තිබුණට එයාගෙ නම් එහෙම අදහසක් නෑ කියලා. ගෑනි හරියට සුද්ධවන්ති වගේ කතා කළා. එදා හවස මම හොඳට බිව්වා. හොඳ කැපෙන මන්නයක් අරගෙන උන්ගෙ ගෙට පැනලා ගෑනිව කපාගෙන කපාගෙන ගියා. මන්න පාරවල් තිස් දෙකක්. සෝමදාස ගෙදර හිටියේ නෑ. මේ ශාන්ති තමයි ඒකිව ඉස්පිරිතාලෙට අරගෙන ගියේ. එහෙම නොගෙනිච්චා නම් ඒකිව මැරෙනවා. ඉස්පිරිතාලෙට ගෙනිච්ච නිසා ජීවත් වුණා. මට මරාගන්න ඕනෑ වුණ එකීව ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් ජීවත් කෙරෙව්වේ මේ ශාන්ති. ඒක නිසා මේකි එක්ක මම තරහයි” භූතාත්මය කීවේය.

“ඉතින් සෝමදාස බන්ධනයක් කළැයි කියලා කලින් කීවේ මොකද” යි ගවේෂකවරයා ඇසීය.
“ඒකත් ඇත්ත. සෙනෙහෙලතාව මම කැපුවයි කියලා සෝමදාස සීනිගම දේවාලෙට ගිහින් ගම්මිරිස් ඇඹරුවා මට විරුද්ධව.”
“තමුන් දන්නෙ කොහොමද?”
“මට ආරංචි වුණා. එහෙම ගම්මිරිස් අඹරලා මාස දෙක තුනක් යනකොට මගෙ සිහි විකල් වුණා. මම නිර්වස්ත්‍රයෙන් ඇවිද්දා. හැමෝම මට පිස්සු පිස්සු කියන්න පටන් ගත්තා. ඊට පස්සේ මම වහ බීලා මැරුණා”යි භූතාත්මය කීවේය.
මේ කතා ඇත්තදැයි ගවේෂකවරයා ශාන්තිගෙ දියණියගෙන් ඇසීය.
“ඔව් මහත්තයා. දවසක් රෑ සෝමදාස නිර්වස්ත්‍රයෙන් ඇවිත් අපේ ඉඩමට මොනවාදෝ දෙයක් ඉහිනවා අපේ නෑ කෙනෙක් දැකලා තිබුණා. ඊට පස්සෙ අම්මා රෑට හීනෙන් බය වෙලා හූ කියා ගෙන අවදි වෙන්න පටන් ගත්තා”යි ඇය කීවාය.

ඒත් සමඟම ශාන්තිට ආවිශ්ටව සිටි සිරිල්ගේ භූතාත්මය කතා කරන්නට විය.
“ඒක තමයි මම කිව්වේ සෝමදාස මාව ශාන්තිලගෙ ඉඩමට බන්ධනය කළා කියලා. දැන් මට යන්න පුළුවන් ශාන්තිගෙ ගෙදරට විතරයි. අරකිව ඉස්පිරිතාලෙට අරගෙන ගිය තරහට ශාන්තිගෙන් මම පළිගන්නවා”යි ප්‍රේතයා කීවේය.

“දැන් ඔය පළිගත්තා ඇති. තමුන් ජීවත්ව ඉන්දැද්දි හොඳ වැඩ නොවෙයිනෙ කරලා තියෙන්නේ. නමුත් දැන් මේ අය අතහැරලා ඉවත් වෙලා යන්න ඕනෑ. තමුන්ට මොනවද ඕනෑ?”
“මට වුවමනා මේකිව මරාගෙන යන්න.”
“කරපු පව් මදිවාටද තවත් පව් රැස් කරගන්න හදන්නේ? ශාන්ති ඔබට විරුද්ධව යමක් කරලා නැහැ. අසල්වැසි කාන්තාවක් මැරෙන්න යන වේලාවේ ඉදිරිපත් වෙලා රෝහලට ගෙන ගිහින් ජීවිතයක් බේරාගෙන තියෙනවා. ඉතින් ඔබ එයාට වෛර කරලා වැඩක් නැහැ. තවත් පව් රැස්කර ගන්නවා විතරයි. ඔබ අනුන්ගේ පවුලක් අවුල් කළා මදිවට එහි පාපයේ ආදීනව ගෙවමින් ප්‍රේතාත්මයක දුක් විඳිනවා මදිවට තවත් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්නද හදන්නේ? කරුණාකර පිනට දහමට හිත යොමු කරන්න. ඔය දුගතියෙන් මිදෙන්න කල්පනා කරන්න.”

“ඔය බණවලින් මට වැඩක් නැහැ. මට ඕනෑ මේකිව මරාගෙන යන්න.”
“එහෙම හිතන්න එපා. අපි දානයක් දීලා ඔබට පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලන්න.”
“මට ඕනෑ දානයක් නෑ. මට මේකිව මරාගෙන යන්නමයි ඕනෑ.”

මේ ප්‍රේතයාගේ පාපකර්ම විපාකයෙන් මුදවන්නට නොහැකි බව පැහැදිලි වූයෙන් රෝගියා සුවපත් කිරීමේ අරමුණින් ප්‍රේතයාට ශක්ති කිරණ එල්ල කොට දමා දුර්වලකොට ශරීරයෙන් එළියට ඇද දැම්මේය. ශාන්තිටත් පවුලේ අයටත් ආධ්‍යාත්මීය ආරක්ෂා දැම්මේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )