21. මං ඔය තුවාලය සුව වෙන්න ඉඩ තියන්නේ නෑ

03.04.2015

මිනිසා විසින් දේපළ වස්තු සම්පත් සිතින් අල්ලා ගෙන සිටී ද එසේ අල්ලා ගෙන සිටින තාක් කල් ශෝකය ම දුක ම විඳින්නට සිදු වේ. “තණ්හාය ජායතී ශෝකෝ” යි ධර්මයේ සඳහන් වන්නේ ඒ නිසා ය. “තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො” යි සඳහන් වූයේත් එය මය. තණ්හාව හේතු ‍කොට ගෙන උපාදානය හෙවත් දැඩිව අල්ලා ගැනීම උපදී, උපාදානය නිසා භවය හෙවත් නැවත නැවත ඉපදීම සිදුවේ. දූ දරු නෑදැ සමීපතමයන්, වස්තු දේපළ සිතින් අත් නොහැර තණ්හාවෙන් දැඩි සේ අල්ලා ගෙන මිය යන්නෝ ඒවා ම ඇසුරු කොට ගෙන ප්‍රේතයන්ව උපදිත්, එසේ ඉපද අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් දුක් විඳිති.

ඇතුල්කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ වයස අවුරුදු හැත්තෑ පහට වැඩි රෝගීනට, භූත දෝෂ ඇති අයට ප්‍රතිකාර නොකරති. එසේ ප්‍රතිකාර නොකරන්නේ එවැනි ශාරීරිකව දුර්වල අය ප්‍රලය වී දඟලන්නට වුවහොත් අනතුරු දායක බැවිනි. කොයිතරම් සද්භාවයෙන් ප්‍රතිකාර කළත් එවැනි වයස්ගත දුර්වල රෝගියකු යක්ෂාරූඪයෙන් දඟලා මරණයට පත්වුවහොත් චෝදනාවලට ලක්වියහැකි බැවිනි. එසේ ම බණ භාවනාවට යොමු නොවී ආධ්‍යාත්මීය දියුණුවක් නොලැබූ වයස්ගත දුර්වල අයට පවරන බෝධි පූජා ආදී ආගමික වතාවත් හරියට සිදු නොකරන බැවිනි. ඒ තුළින් ඔවුන්ගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩ නොනඟා ප්‍රතිකාර කළ නොහැකි බැවිනි.

මාතර කුසුමාවතීට වයස අවුරුදු අසූවකි. ඇගේ දියණිය ඇයට ප්‍රතිකාර සඳහා දිනයක් වෙන් කැර ගත්තේ බොරු වයසක් (අඩුවෙන්) ඉදිරිපත් කිරීමෙනි. දුරකතනයෙන් දිනය වෙන් කොට ගෙන ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථානයට ගෙන එන තුරු ඇය මෙතරම් වයස්ගත යැයි ගවේෂකවරයා දැන නොසිටියේය.

කුසුමාවතී අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නියකි. රාත්‍රී නින්දේදී හීනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වෙයි, ශාරීරිකව දැඩි වේදනාවට පත්ව කෙඳිරි ගාමින් ඇඳට ම වී කල් යවයි. මේ සියල්ලට ම වඩා අවුරුදු පහක් තිස්සේ දකුණු කකුලේ සුව නොවන විශාල තුවාලයකින් පීඩා විඳියි. දුර්ගන්ධය හමන නිසා තුවාලය නිතර ම වසා බැඳ තබා ඇත. දියණියත්, මිනිබිරියකුත්, තවත් ඥාතීන් දෙදෙනෙකුත් සමඟ රෝගී මහලු කාන්තාව දෙපසින් අල්ලාගෙන වත්තම් කැර ගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගෙනාහ. මාතර තරම් දුරබැහැර සිට ගෙනා බැවින් ආපසු යැවිය නොහැකි නිසා ගවේෂකවරයා රෝගියා පරීක්ෂාවට ගත්තේය.

ශක්ති කිරණ එල්ල කරන්නටත් පෙර රෝගී මහලු කාන්තාව ප්‍රලය වී කෑ ගසන්නට වූවාය. එක්වරම පාලනය කිරීම ඇයට ශාරීරිකව ඔරොත්තු නොදෙන බැවින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ද බෝධි පූජාවට මෑණියන් නොවරදවා කැඳවාගෙන යා යුතු යැයි ද ගවේෂකවරයා දියණියට නියම කළේය. එසේ කළේ ගමන් අපහසුතාව නිසා ම මෙය අත්හැර දමනු ඇතැයි සිතා ගෙන ම ය.

කෙසේ හෝ ඔවුහු බෝධි පූජා පවත්වා නැවත පැමිණියහ. එදින ද ඇය මහ හඬින් හූ කියා ගෙන දරුණුවට ප්‍රලය වූවාය. ඇයට ආවිෂ්ටව ඇති භූතාත්මය ප්‍රබල අමනුෂ්‍යයෙකු බව වටහාගත් ගවේෂකවරයා නැවතත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

ඔවුන් ඒ නියමයන් ද ඉටුකොට නැවත පැමිණියහ. ඒ වන විට තරමක් නම්‍යශීලීව සිටි භූතාත්මය කුසුමාවතීට ආවිෂ්ට විය. ගවේෂකවරයා භූතයා සමඟ කතා කළේය.

“කවුද මේ වයසක අම්මගෙ ශරීරයට ඇතුළුවෙලා හිරිහැර කරන්නෙ?”

“මේකි මහා කපටි ගෑනි. වංචාකාරී. මම මේකිව දුක් දීලා, මරාගෙන යන්න ආපු කෙනෙක්.”

“හරි හරි මේ කවුද කියලයි ඇහුවේ?”

“මම මේකිගෙ බෑණා” යි කී භූතාත්මය “මේ ඉන්නේ මගේ ගෑනීයි” රෝගියාගේ දියණියට අත දික්කොට පෙන්වීය.

“මොකක්ද නම?”

“කුසුම්සිරි”

“ඇයි ඉතින් නැන්දම්මාට හිරිහැර කරන්නෙ?”

“මේකි මාව රැවටුවා. බොරුකාරි, දෑවැද්ද දෙනවැයි කියලා අඩුවෙන් දුන්නෙ?”

“මොනව ද අඩුවෙන් දුන්නෙ?”

“අක්කර එකහමාරක ඉඩමක් දෙනවැයි කියලා දුව කසාද බැන්දට පස්සේ දුන්නේ පර්චස් විස්සයි, මම මේකිගෙන් පළිගන්නවා.”

“පළිගන්න තමුන් මොනව ද කරන්නෙ?”

“මේකිගෙ කකුලෙ තියෙන තුවාලය උදේ හවස ලෙව කනවා. ඕක සනීප වෙන්න මම ඉඩ තියන්නේ නෑ” යි භූතාත්මය දැන් සපමින් කීවේය.

“තමුන් මළේ කොයි කාලෙ ද?”

“අවුරුදු පහකට කලින්”

“මොනවා වෙලා ද මැරුණේ?”

“පපුවෙ අමාරුවක් හැදිලා. මම ජීවත්වුණේම මුන් එක්ක තරහෙන්. මේ වංචාව, බොරුව, රැවටිල්ල නිසා මම මේ ගෑනිටයි දූටයි දෙන්නටම හැමදාම බැන්නා. මුන් බොරුවෙන් ජීවත් වෙන්නේ. දැන් මෙතනට මේකිව ගෙනාවෙත් දූ බොරු වයසක් කියලනෙ. මුන් මහා වංචාකාර පවුලක්” යි භූතයා කියාගෙන කියාගෙන ගියේය.

මේ දරුණු වෛරයෙන් භූතයා පෙළෙන අවස්ථාවක් බැවින් මහලු කාන්තාව ද මැරේ යැයි බිය වූ ගවේෂඛවරයා වහාම රෝගියා පියවි සිහියට පත් කළේය. ‍‍

“ඇත්තද මේ කතාව අක්කර දෙකහමාරක් දෙනවැයි කියලා දෑවැද්දට දුවට දුන්නේ පර්චස් විස්සදැ”යි ගවේෂකවරයා කුසුමාවතීගෙන් ඇසීය. ‍‍

“…………..” ඇය නිහඬව බිම බලා ගත්තාය. ‍‍

‘‘ඒක ඇත්තද ?’’ දුවගෙන් ඇසීය.

“ඔව්” දුව කීවාය.

‘‘තමුන්ට මතක හැටියට මේ ඉඩමේ පැරැණිම අයිතිකාරයා කවුද ?’’ නැවත කුසුමාවතීගෙන් ඇසීය.

“මේක අපේ පරම්පරාවෙ ඉඩමක්, බොහෝම පැරණි උරුමයෙන් එන ඉඩමක්, මට මතක තියෙන කාලෙ ආච්චි සීයා භුක්ති වින්දා. ඊට පස්සේ මගේ අම්මා තාත්තා, දැන් මට.”

‘‘ඉතින් ආච්චි සීයා මැරෙනකොට ඉඩම අරගෙන ගියා ද? නැහැනෙ. අම්මා තාත්තා මැරෙනකොට ඉඩම අරගෙන ගියා ද? ඒත් නැහැනෙ, තමනුත් මැරෙන කොට ඒක මේ දුවට අතහැරලා යන්න වෙනවා. ඒත් තමුන් තවමත් සිතෙන් ඉඩම බදාගෙන ඉන්නේ. දැන් වයසයි, ලෙඩයි නිසා ඉඩම බලන්නවත් යන්න බෑ. ඒත් ඉඩම බදාගෙන ඉන්නවා නේද? අනිත් කාරණය දුව කසාද බැඳලා දෙනකම් අච්චර දෙනවා මෙච්චර දෙනවා කියලා මිනිස්සු රවටලා වැඩේ කෙරුණාම මඟ අරින නැන්දම්මලාට මේවා හොඳ පාඩම්. දැන් මේ ඉඩමක් නිසා බෑනා මැරිලා ප්‍රේතයෙක් වෙලා දුක් විඳිනවා. නැන්දම්මත් අනිවාර්යයෙන්ම ඔය ඉඩමෙම ප්‍රේතියක් වෙලා උපදිනවා. දැන්වත් ඔය තණ්හාව අතහරින්න’’ ගවේෂකවරයා රෝගියාට කීවේය.

රෝගී කාන්තාව බියෙන් වෙව්ලන්නට වූවාය.

“ඔන්න ඔය ඉඩම මේ මිනිබිරීට ලියලා දාන්න. නැත්නම් බෑනාගේ ප්‍රේතයා තමුන්ව මරාගෙන යාවි” යි කී ගවේෂකවරයා යළිත් ඇය ආවිෂ්ට කොට භූතයා ඇමැතීය. ‍‍

‘‘කුසුම්සිරි ජීවත්වුණේ කොහොම ද ?’’

“මම ජීවත්වුණේ මගේ රස්සාවෙන්.”

“අන්න හරි. කුසුම්සිරි ජීවත්වුණේ තමන්ගෙ රස්සාවෙන්. ඒක අභිමානයෙන් කියන්න පුළුවන් නැත්නම් නැන්දම්මගෙන් දේපළෙන් ජීවත්වුණා නම් ඒක මහ මදිකමක්. මේක කුසුම්සිරිට වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක්. උඹේ ඉඩම් ඕනැත් නෑ. උඹව ඕනැත් නෑ කියලා මේ වයසක අම්මා අතහැර දාලා සිද්ධස්ථානයකට වෙලා පිනට දහමට සිත යොමු කරන්න.”

“අනේ! ඔව් තාත්තේ! ආච්චිට කරදර නොකර යන්න තාත්තේ, අපි තාත්තාට පින් දෙනවානෙ. ඇයි පින් ගන්න බැරි ද?” යි කුසුම්සිරිගේ දුව කීවාය.

“මට පින් තියෙනවා. මම පන්සලේ දායක සභාවෙ ප්‍රධාන දායකයෙක්නෙ. දුව දන්නවනෙ. මට පින් තියෙනවා” යි භූතයා කීවේය.

“මෝඩ කතා කියන්න එපා. පින් තියෙන කෙනෙක් මේ වයසක අම්මගෙ තුවාලෙ ලෙව කනව ද? ඔන්න ඔය ජරාව අතහැරලා යන්න. නුවණින් කල්පනා කරන්න. අවුරුදු දහස් ගණනක් දුක් විඳිනව ද? නැත්නම් නිදහස් වෙනවදැ?” යි ගවේෂකවරයා කීවේය.

“ම්…. ම්… එහෙනම් මාව හොඳ තැනකට යවන්න.

පලතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට මාතර බෝධීන් වහන්සේ අසලට යැවීය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )