23. බල්ලා ගැන ශෝකයෙන් මැරී බලු ගති ඇති ප්‍රේතයකුව උපන් සමන්

18.03.2015

දෙහිවල පදිංචි ජානක විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකි. පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවකු වූ ඔහු මවුපියන් සමඟ පදිංචිව සිටියේය. දැනට අවුරුද්දක පමණ කාලයක සිට ඔහුගේ චර්යාවන් වෙනස් වන්නට විය. ඔහුගේ සියලු හැසිරීම් බල්ලකුගේ මෙන් විය. නිදාගත්තේ බල්ලකු මෙන් වකුටුවීය. කෑම කෑවේ අතින් අනාගෙන නොවේ. බල්ලකු මෙන් කටින් කෑවේය. අමුත්තකු ගෙදරට එන විට කාමරය තුළ ඉඳගෙන බුරන්නට විය. මේ ගෙදර කිසි දිනෙක බල්ලකු ඇති දැඩි කළේද නැත. දැන් ඔහු රැකියාවට යන්නේද නැත.

ජානකගේ මවුපියන් ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නත් කිසිදු සුවයක් නොවීය. දේවාල ගාණේ ගොස් සාත්තර අසා තොවිල් පවිල් කළත් කිසිදු සහනයක් නොවීය. මේ අතර ‘මව්බිම’ පත්‍රය නිතිපතා කියවන ඥාතියෙක් එහි පළවන ‘මළවුන්ගේ හෝරාව’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ජානකගේ මවුපියන් දැනුවත් කළේය. ඒ අනුව ඔවුහු ජානක එහි කැඳවාගෙන ගොස් ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී ප්‍රතිකාර පැතූහ.

පළමු ගවේෂණයේදී ජානක පැද්දෙන්නටත්, ගැස්සෙන්නටත් විය. ඉන් එහා දෙයක් එදින සිදු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවැත ගේන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා පවත්වන විට ඔහුගේ බලු ගති, බලු හැසිරීම් ඉවත්ව ගොස් තිබිණි. එහෙත් ඔහුගේ මුළුගැන්වීමේ ගතිය හා අපිරිසුදුකම ඉවත්ව ගොස් නොතිබිණි.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ජානක ආවේශ වූවේය.
ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”
“මම සමන්” යැයි භූතාත්මය කීවේය.
“කවුද සමන් කියන්නේ?”
“මේ ජානකගෙ බාප්පා. තාත්තගෙ මල්ලී”
“කොහෙද පදිංචිවෙලා හිටියේ?”
“කළුතර.”
“ඇයි මේ ජානකගෙ ඇඟට රිංගුවේ?”

ඊට පිළිතුරු දෙනවා වෙනුවට භූතාත්මය අඬන්නට විය. “බිංදු… බිංදු… කෝ මගේ බිංදු?” යැයි අඬන්නට වූයේය.
“කාටද බිංදු කියන්නේ?” යි ගවේෂකවරයා ඇසුවත් භූතාත්මය දිගින් දිගට ඇඬුවා මිස කතා කළේ නැත.
භූතාත්මය ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා ජානකගේ මවුපියන්ගෙන් සමන් පිළිබඳ තොරතුරු විමසීය.

“සමන් මගේ මල්ලී. එයා හොඳ මිකෑනික් කෙනෙක්. ජීවත් වුණේ කළුතර. ගෙව්වේ තනිකඩ ජීවිතයක්. අවුරුදු ගණනාවකින් ගමට ආවේ නෑ. නෑදෑයන් මුණගැසුණෙත් නෑ. එයා අපිව බලන්න ආවේ නෑ. අපිත් එයාව බලන්න ගියේ නෑ. සිංහල අවුරුද්දටවත් ගමට ආවේ නෑ. සමන් මල්ලි මැරුණාය කියන ආරංචියට තමයි අපිත් ගියේ. අපිත් කළුතරට ගිහින් මල්ලිගේ අවසන් කටයුතු කරලා ආවා. මේ ජානක පුතාත් ගියේ එදාමයි. ජානක පුතා බාප්පව දැකල නෑ. පළමු වතාවටත් අවසාන වතාවටත් ජානක පුතා බාප්පව දැක්කේ බාප්පගෙ මළ මිනිය තමයි. අවුරුදු ගණනාවකින් සමන් මල්ලිගෙ විස්තරයක්, තොරතුරක් අපිත් දන්නෙ නෑ” යි ජානකගේ පියා පැවැසීය.

“එහෙම නම් තවත් සතියක් බෝධි පූජා පවත්වා සමන් මල්ලි ගැන හොඳට තොරතුරු දන්න එයාගෙ සමීප හිතවතෙක්වත් ඊළඟට එන දවසට එක්කගෙන එන්න”යි ගවේෂකවරයා ජානකගේ පියාට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඔවුහු ඊළඟට ප්‍රතිකාර සඳහා පැමිණෙන දිනයේ සමන්ගේ හිතවතෙකුද කැඳවාගෙන ආහ. ඔහු සමන් සමඟම එකට මිකෑනික් වැඩ කළ කාර්මිකයෙකි.
ගවේෂකවරයා ඔහුගෙන් සමන්ගේ චර්යාවන් පිළිබඳ විමසීය.

“මහත්තයා සමන් හිත හොඳ මිනිහා. කිසි විටෙක අනුන්ගෙ අඩුපාඩු හෙව්වේ නෑ. වැරැදි හෙව්වේ නෑ. තමන්ගෙ පාඩුවෙ වැඩ කළා. හොඳට හම්බ කළා. හැබැයි ඒ හම්බ කරපු ඒවායෙන් වැඩි හරියක් වියදම් කළේ බීමට. හැන්දෑවට හොඳට බොනවා. තමන්ගෙ ගමක් රටක් නෑදෑයෙක් ගැන කවදාවත් කතා කළේ නෑ. ගමේ යනව කියලා කිසි දවසක ගියෙත් නෑ. පුංචි ගෙයක් කුලියට අරගෙන ජීවත් වුණා.”

“බිංදු කියලා බල්ලෙක් හැදුවා. සමන්ගේ සමීපම හිතවතා වුණේ බිංදු. බිංදුට සමන් හරිම ආදරෙයි. බිංදුත් සමන්ට ආදරෙයි. සමන් හැමදාම හවසට ගෙදර එන්නෙත් බිංදුට චිකන් රයිස් එකක් වෙනමම අරගෙන. උදේටත් බිංදුට හොඳට කන්න දීලයි සමන් වැඩට එන්නෙ. හවසට සමන් ගෙදර එනකම් බිංදු මඟ බලාගෙන ඉන්නවා. කොයිතරම් බිංදුට ආදරේද කියනවා නම් බිංදු නිදාගත්තෙත් සමන්ගෙ ඇඳේමයි. සමන් හැමදාම රස්සාව කරන නිසා බිංදුව දිනපතා නාවන්න නම් බැරිවුණා. සමන් ඒ ගැන සමහර වෙලාවට මා එක්ක කියනවා. සමන්ගෙ ඇඳෙත් බලු ගඳ ටිකක් තිබුණා. ඒක සමන්ට දැනුණෙ නෑ.”

“සමන් අසනීප වෙලා ඉස්පිරිතාලෙට අරගෙන ගියෙත් මම. ඒ යන වෙලාවෙත් බිංදුගෙ ඔළුව අත ගාලා උගෙ මූණ තුරුල් කරගෙන ඉඳලයි ගියේ. ඒ යන ගමනුත් මගින් මඟට කිව්වේ අනේ බිංදුව හොඳට බලාගන්න. බිංදුට හොඳට කන්න දෙන්න කියල. සමන් මැරුණාට පස්සෙ මිනී පෙට්ටිය ළඟින් නිදාගෙන බිංදු හිටියා. අවසන් කටයුතු කළාට පස්සෙ බිංදු ආගිය අතක් නෑ. මොනවා වුණාද දන්නෙ නෑ” යි සමන්ගේ හිතවතා ඔහු දන්නා විස්තරය කීවේය.

ගවේෂකවරයා නැවතත් ජානක දිෂ්ටි ගැන්වීය. භූතාත්මය ආවිෂ්ට වූ පසු ප්‍රශ්න කරන්නට විය.
“කවුද දැන් මේ ශරීරයේ ඉන්නේ?”
“සමන්. ජානකගෙ බාප්පා.”
“සමන්ට මොනවද වුණේ?”
“මම මැරණානෙ මහත්මයා.”
“සමන් මැරුණා නම් ඔය කතා කරන්නේ කවුද?”
“ම්… ම්….” භූතාත්මය නිරුත්තර විය.’
“ඇයි මේ ජානකට කරදර කරන්නෙ?”
“මට වුවමනා වුණේ මගේ බිංදුව හොයන්න. බිංදු ගැන හොයල බලලා බිංදුට කන්න බොන්න දීලා සාත්තු කරවන්න. ඒ පණිවුඩය දෙන්නයි ජානකගෙ ඇඟට ආවේශ වුණේ. ඒ මිසක් මේ ජානක පුතා ගැන තරහකින් කරදර කරන්න නෙවෙයි. අනේ මගේ බිංදුව හොයා දෙන්න කියන්න”යි භූතාත්මය අඬන්නට විය.
“ඉතින් දැන් ඔබට පුළුවන් නේද බිංදුව හොයාගෙන යන්න?”
“මම හැම තැනම හොයන්න ගියා. බිංදු හම්බ වුණේ නෑ.”

“දැන් මේ මම කියන දේ හොඳට හිතට ගන්න. සමන් මැරුණා. බිංදුට තිබුණ දැඩි ආදරය, ආශාව, ඇලීම නිසා බලු ගති ඇති ප්‍රේතයෙක් වෙලා උපන්නා. දැන් බිංදුව හොය හොයා දුක් විඳිනවා. මේ ජානකගෙ ජීවිතයත් අවුල් කරලා මහ පාපයක් කරගන්නවා. ඔබ කොහොමද බිංදුව හොයන්න ගියේ? පයින්ද?”

“නෑ මහත්තයා. අපට හිතනකොටම ඕනෑම තැනකට යන්න පුළුවන්.”

“බලන්න ඒ තරම් හැකියාවක් තිබිලා ඔබටත් බිංදුව හොයා ගන්න බැරිවුණා නම් කොහොමද මේ ළමයා බිංදුව හොයන්නේ? බිංදු ඔබ නැති දුකෙන්ම ඇවිදිනකොට, නොකා නොබී දුර්වලව ඇවිදිනකොට වාහනයක හැපිලා මැරුණාය කියලා හිතන්න. ඒ සතා මැරෙන වෙලාවෙ මරණාසන්න මොහොතේ පෙර සසර කළ කුසල කර්මයක් චුති චිත්තයට මතු වෙලා බිංදු දිව්‍ය ලෝකයක උපදින්න ඇති. ඔබට බිංදුව ඕනෑම නම් දිව්‍ය ලෝකයට ගිහින් බිංදුව හොයා ගන්න” යි ගවේෂකවරයා කීවේය.

“මම කැමතියි, මම කැමතියි මහත්තයා. දිව්‍ය ලෝකෙ යන්න මම මොනවාද කරන්න ඕනෑ?”

“දිව්‍ය ලෝකෙ යන්න පින්, කුසල් කරන්න ඕනෑ. පළමුවෙන් මේ ජානකට කරදර කරන අකුසලය නතර කොට මේ ශරීරයෙන් ඉවත්වෙලා ජානක සුවපත් වේවා කියලා හිතන්න. ඒකත් කුසලයක්. ඊළඟට ජානකව අතහැරලා සිද්ධස්ථානයකට ගිහින් එතැන කරන පින් දහම් කටයුතුවලට අත හිත දෙන්න. පන්සිල් ගන්න. බණ, පිරිත් අහන්න.”

“මාව ඒ වගේ හොඳ තැනකට යවන්න මහත්මයා.”

පලතුරු, කැවිලි වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට කැලණියට යැව්වේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )