24. හරකෙකුට ආවේස වී ලේලිට ඇන්න නැන්දම්මා

14.03.2015

පිරිමින්ගේ නොදැහැමිකම, නොසැලකිල්ල, උදාසීනකම, සුරාපානයට, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, පාප මිත්‍ර සේවනය, ශරීරය හෝ බුද්ධිය නොමෙහෙයවා ඉක්මනින් පොහොසත් වීමට සූදුවට ඇබ්බැහි වීම ආදී අකුසලගාමී ක්‍රියා හේතු කොටගෙන පවුල් අවුල් වූ තැන් බොහෝය. බිරින්දෑවරුන්ට බලාපොරොත්තු නොවූ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවී ඇත.

ස්වාමිපුරුෂයා ඔහුගේ නූගත්කම (නොදන්නාකම) නිසාද, හොඳ නරක, කුසලය, අකුසලය පිළිබඳ අවබෝධයක් නැති නිසාද, කල්‍යාණ මිත්‍රයන් හඳුනාගෙන ආශ්‍රය නොකිරීම නිසාද, පාප මිත්‍රයන් සමඟ එක්වීම නිසාද එවැනි පවුල්වල ආර්ථිකය බිඳ වැටී ඇත. සමාජයීය යුතුකම් ඉටුකරන්නට නොහැකි වී ඇත. දරුවන්ගේ ශාරීරික හා බුද්ධිමය පෝෂණය පිරිහී ඇත. අධ්‍යාපනය, පෝෂ්‍යදායී ආහාරපාන, ඇඳුම් පැලඳුම්, ගෘහස්ථ අවශ්‍යතා ඉටු නොවීම නිසා දරුවෝද දුර්වලව, උදාසීනව සිටිති. මෙවැනි තත්ත්වයන්හිදී බිරින්දෑවරුන්ට විශේෂයෙන්ම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්නට දහදුක් විඳින්නට, වැරැදි යැයි සමාජ සම්මත ක්‍රියාවනට පවා පෙලැඹීමට සිදුවන අවස්ථා බොහෝය. මේ ඒවා සාධාරණීය කරන්නට උත්සාහ කරනවාද නොවේ. රටක පවතින සමාජ ක්‍රමයේ ආර්ථික රටාවේ සැලැසුම් සහගත නොවීමේ ප්‍රශ්නයද උග්‍ර ලෙස ජීවිතවලට බලපෑම් කිරීම ප්‍රබලව පවතී.

මේ අතර පාපී යක්ෂයන් මිනිසුන්ට හිරිහැර කරන හැටි ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව දේශනා කොට ඇත. “ගාචිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝදිසං” (දෙනුන් අල්වාගෙන දිශානුදිශායෙහි සංචාරය කරති) “පසුං ඒකඛුරං කත්වා” (සිවුපාවුන් වාහන කොට ගෙන) “ඉත්ථි වාහනං කත්වා” (ස්ත්‍රීන් වාහන කොට ගෙන) “පුරිසවාහනං කත්වා” (පිරිමින් වාහන කොටගෙන) “කුමාරි වාහනං කත්වා” (කුමාරිකාවන්, ගැහැනු ළමයින් වාහන කොටගෙන) “කුමාර වාහනං කත්වා” (කුමාරයන් වාහන කොටගෙන) අමනුෂ්‍යයන් සැරිසරන බව ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ. මිනිස්සුන්ට මෙන්ම තිරිසන් සතුන්ටද අමනුෂ්‍යයන්ගේ (යක්ෂ ප්‍රේතාදී) බලපෑම් ඇති බව එයින් පැහැදිලි වේ.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සීතා හැටතුන් හැවිරිදිය. දරුවන් අට දෙනකුගේ මවකි. ස්වාමිපුරුෂයා මියගොස් ඇත. දරුවන් අට දෙනාගෙන් හත් දෙනෙක්ම උපාධිධාරියෝ වෙති. කාලයක සිට සීතා කෑම අරුචිය, දරුණු හිසරදය, ඇඟපත රුදාව, රාත්‍රි නින්දෙන් ගැස්සී බිය වී ඇහැරීම යන රෝගාබාධවලින් පෙළුණාය. ඊටත් අමතරව මාස කීපයක් ඇතුළත සතර වරක්ම හරියටම සවස 6.00 ට ගොනුන් ඇනීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවාය. එයින් පසු දේශීය වෛද්‍යවරුන්ගෙන්, කැඩුම් බිඳුම් සඳහා තෙල් සාත්තු, මැල්ලුම් ප්‍රතිකාර ලැබුවාය. අනිකුත් ශාරීරික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ලැබුවද සුවයක් නොලැබුවාය. වත් පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින්ද සහනයක් නොලැබුවාය. සීතාගේ ලොකු දුව මධුරි ‘මව්බිම’ පත්‍රයේ පළවන ‘සැණකෙළිය’ අතිරේකයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය මව කැඳවාගෙන ගියාය.

එහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතාගේ ගවේෂණයේදී එක්වරම සිහිසුන්ව වැටුණාය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා ශ්‍රද්ධා, ශීල දෙකෙහි සිත පවත්වා ඒකාග්‍ර කොට මානසික ශක්තිය වර්ධනය කොට ගෙන එන්නැයි උපදෙස් දුන්නේය.

ඊළඟ දිනයේ සීතා ප්‍රලය වූවාය. නාගොඩවිතාන මහතා ආධ්‍යාත්මික ශක්ති කිරණ එල්ල කරන විට ඇය “හූ” කියන්නට පටන් ගත්තාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ හූ කියන්නේ?”

“මමද?” යි බොහෝම සැරෙන් උත්තර ලැබුණි.

“ඔව්”

“මම පුංචි මැණිකා. මා එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. මම උඹලව තියන්නෙ නෑ. මම උඹලව ගනන් ගන්නේ නෑ. මං ඇවිත් ඉන්නේ මේකිගෙන් පළිගන්න.” යැයි කියා ඔළුව බිත්තියේ ගසා ගත්තාය. කොයි තරම් වේගයෙන් ඔළුව බිත්තියේ ගසා ගත්තාද කියතොත් ගවේෂකවරයාද සීතා එයින්ම මැරේ යැයි සිතා වහාම දිෂ්ටිය ඉවත් කළේය. නැවතත් බෝධි පූජා දින දහ හතරක් පවත්වා එන්නැයි නියම කළේය.

තුන්වැනි දිනයේ භූතාත්මය නාගොඩවිතාන මහතාට තරමක් එකඟව කතා කළාය.

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මහත්තයෝ මම කරදර කළේ මේකිට විතරයි. අනිත් අයට කරදර කළේ නෑ”

“ඇයි ඉතින් මෙයාට කරදර කරන්නේ?”

“මහත්තයා දන්නෑ මේකි පැනපු පිමි. ඔය මහා උපාසකම්මා වගේ හිටියට හරිම බඩුව තමා. මේකි නිසා මගේ අහිංසක පුතා බීලා බීලා මැරුණා. අනේ මගේ රත්තරන් පුතා”යි නැවැතත් හූ කියා ඔළුව බිත්තියේ ගසා ගත්තාය. නැවතත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නට නියම කළේය.

සතියකින් සීතා නැවත ලොකු දුව සමඟ පැමිණියාය. එදිනද ප්‍රලය වූවාය.

“ඇයි මේ පළිගැනීමට හේතුව?”

“මේකිගෙ අනාචාරය නිසා මට තවම මේකිව මරාගන්න බැරිවුණා. මම හරකුන්ටත් ආවේස වෙලා මේකිට ඇන්නා. බිම දාගෙන ඇන්නා. ඒත් මේකිව මරා ගන්න බැරිවුණා. මේකිගෙ වෙලාව හොඳයි”

“ඇයි මේ මරන්නම හදන්නේ?”

“මට කේන්තියි. මේකි මගේ ඉඩම සුද්ද කරවනවා ඒකිගෙ පොඩි පුතාට ගෙයක් හදන්න. මම ඒවාට ඉඩ දෙන්නේ නෑ”

“ඉතින් ඒ තමුන්ගෙ මුනුපුරාටනෙ ගෙවල් හදන්නෙ”

“මහත්තයා දන්න බම්බුව. ඒකි නන්නත්තාරේ ගිහින් හදාගෙන ආපු එකෙක්. මගේ මුනුපුරා වෙන්නෙ කොහොමද? මගේ ඉඩමෙ ඌට ගෙවල් හදන්න. ඒව කොහෙද මා එක්ක”

සීතාට ආවිෂ්ට වූ භූතාත්මය ඇගේ ඇඟේ සිටියදීම සීතාගේ දුව මධුරි සමඟ නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.

“මේ භූතාත්මය කියන දේවල් ඇත්තද?”

“ඔව් මහත්තයා අපේ අම්මගෙ ඒ වගේ ප්‍රශ්න තිබුණා. හැබැයි අම්මා ඒ තත්ත්වයට පත් වුණේ තාත්තගෙ වැරැදි නිසා. තාත්තා හම්බ කරපු දෙයින් ගෙදර වියදමට එක සත පහක් දුන්නේ නෑ. බිව්ව එකම තමයි කළේ. කරපු රස්සාවලුත් නැති කරගෙන ගෙදර තියෙන දේවල් විකුණ විකුණා බිව්ව. අම්ම හරියට දුක් විඳලා තමයි අපට ඉගැන්නුවේ. අපේ පවුලෙ හත් දෙනෙක්ම විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධි පාස් වුණා. ඒ ඔක්කොම අම්මගෙ උත්සාහය නිසයි.”

“මල්ලිගෙ ප්‍රශ්නය?”

“ඒකත් ඇත්ත. අම්මා බැරිම තැන පිටරට රස්සාවකට ගියා. ඒවයෙ දුක් මහන්සිවෙලා අපිට ඉගෙන ගන්න සල්ලි එව්වා. ළමයි අට දෙනකුගෙ පවුලක් නඩත්තු කරන්නත් කොයිතරම් වියදමක් ඕනෑද. අම්මා රට ගිහින් එනකොට බාල මල්ලි හම්බවෙන්න හිටියා. මොනවා කරන්නද මහත්තයා. අපි ‍දොස් කියන්නේ නෑ. තාත්තාගෙ බීමත්කම නිසා තමයි ඒ හැම දෙයක්ම වුණේ. ඔය ආච්චිත් ඉන්නකම් කෑවෙ බීවෙ අම්මා දුක් මහන්සිවෙලා පිටරට ඉඳලා අනුන්ට බැල මෙහෙ කරලා එවපු සල්ලිවලින් තමයි. දැන් ඔහොම කතා කළාට” යි ලොකු දුව මධුරි සත්‍ය හෙළිදරව් කළාය.

ප්‍රේත ජීවියා හඬන්නට වූවාය.

ගවේෂකවරයා නැවත ප්‍රශ්න කළේය.

“ආච්චි අහගෙන හිටියා නේද. මිනිපිරී කියපු දේවල්.”

“ඔව් මහත්තයා”

“ඉතින් ඒවා බොරුද?”

“නැහැ මහත්තයා. ඔක්කොම ඇත්ත. මගේ හිතේ වෛරය පැලපදියම් වෙලා තිබුණු නිසා ඒවා අමතක වෙලා තිබුණේ. කෙල්ල කියාපුවා ඔක්කොම ඇත්ත. මගේ පුතා බේබද්දා. ඌ නිසා තමයි ඒ ඔක්කොම සිද්ධ වුණේ. මට දැන් තේරෙනවා”

“දැන් කෝ පුතා?”

“ඌ කක්කුස්සිය ගාව ඉන්නවා”

“එතැන මොකද කරන්නේ?”

“උගේ ආහාර තියෙන්නෙ ඒකෙනෙ”

“ඇයි එයාට අසූචි ආහාරයට ගන්න සිද්ධ වුණේ?”

“බේබද්දන්ට එහෙම තමයි. කිසිම කල්පනා ශක්තියක් නෑ. මළාට පස්සෙත් එහෙම තමයි. කිසිම කල්පනා ශක්තියක් නෑ. අසූචි කකා ඉන්නවා. ඒ ප්‍රේතයෝ අසූචිවලින්මයි යැපෙන්නේ.”

“එතකොට තමුන් මනුස්ස ලෝකයේ ඉන්දැද්දි ජීවත් වුණෙත් සීතා හම්බ කරපු දේවලින්මද?”

“ඔව් මහත්තයා, ඒක ඇත්ත”

“දැන් ආච්චි හිතන්න මනුස්සයෝ අතින් වැරැදි අඩුපාඩු සිද්ධ වෙනවා. ඒවාට හේතුත් තියෙනවා. තමුන්ගේ පුතාගෙ බේබදුකම නිසානේ ඔක්කොම සිද්ධ වුණේ”

“ඔව් මහත්තයා මට තේරෙනවා”

“අනේ ආච්චියේ අපට සමාවෙන්න. අම්මාටත් සමාව දෙන්න. අම්මා අපිව හදාවඩා ගන්න දුක් වින්ද හැටි ආච්චි දන්නවානෙ. ආච්චිට නොසැලකුවෙත් නැහැනෙ” යි මධුරි දෑත් එක්කොට වැඳගෙන කීවාය.

“දැන් මොකද කියන්නෙ? මේ සීතාට කරදර කරන එක නතර කරල ඉවත්ව යනවාද?”

“යන්න නම් බැහැ මහත්තයා. මම මේ ගොල්ලන්ට කරදර නොකර ඉන්නම්”

නිවෙසට භික්ෂුන් වඩම්මවා සාංඝික දානයක් දී ආච්චිගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසද ඒ දානයට ආච්චිගේ ඉඩමේ තියෙන කොස්, දෙල්, පොල්, එළවළු වැනි දේ සම්බන්ධ කැර ගන්නා ලෙසද උපදෙස් දුන්නේය.

දැන් ඒ පවුලේ අය සතුටින් ඉන්න බවද දන්වා ඇත ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )