27. ශ්‍රී පාද අඩවියේ පාවෙවී සිටි භූතාත්මය බිරියගේ ඇඟට ඇවිත් ලෙඩ කළ හැටි

14.03.2015

තමා විසින් ගොඩනඟන ලදුව ඉහළින් තබන ලද පුද්ගලයන්ගෙන් හා සංවිධානවලින් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු නොවන විට දැඩි කලකිරීමෙන් හා පසුතැවීමෙන් යුතුව කර කියා ගන්නට දෙයක් නැතිවූ විට මිනිසා නොපෙනෙන බලවේගවල පිහිට උදව් උපකාර සොයාගෙන යයි. දුක් කරදර පාඩු සිදුවන විට දේවාල ගාණේ පඬුරු බඳිමින් ඇවිදියි. නූගත් කපුවන්ගේ ඇදුරන්ගේ උපදෙස් පරිදි දෙවියන්ගෙන් වරම් ගන්නට හිතාගෙන මිදුලේ ටින් කබලක් ඇතුළේ පහනක් දල්වා යාතිකා කරයි.

කල්ප කාලාන්තරයක් තිස්සේ මේ ඉඩම මගේය. මේ ගෙය මගේයැයි සිතාගෙන මියගිය පරම්පරාගත ඥාතීහු මළ ප්‍රේතයන් වී ඉපිද සිය දහස් ගණනින් අගු පිල්වල පිළිකනුවල ලගිති. මෙසේ සෙම් සොටු කකා අසරණව දුක් විඳින මළ පෙරේතයන්ගෙන් එකෙක් ඒ පහනට අරක් ගනී. මේ නැති කරදර ඇති කර ගැනීමේ මාර්ගයකි.

හිරුණි බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි තරුණියකි. සිහි විකල්වීම, කට පැත්තකට ගොස් බෙල්ල පැත්තකට කඩා වැටීම ශරීරයේ පැත්තක් අප්‍රාණිකවීම, සිහිසුන්ව වැටීම හා කෑම අරුචිය හිරුණිට වැලඳී තිබූ රෝගාබාධයන්ය. මේ අසනීප තත්ත්වයෙන් ඇය ගොඩ ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර විධි වත් පිළිවෙත් කළත් කිසිදු සුවයක් නොලද බවත්, ඇයට ලෙඩක් නැතැයි සමහර වෛද්‍යවරුන් පැවැසූ බවත් ඇගේ මවුපියෝ කියති. වසර කීපයක සිට රෝගාබාධ වූ ඇය වෙනුවෙන් සියලු ධනය වැය කොට විවිධ ප්‍රතිකාර හා කරන ලද තොවිල් පවිල්වලින් හෙම්බත්ව අවසානයේ ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙනැවිත් කසුන් නාගොඩවිතාන මහතාට පෙන්වූහ.

නාගොඩවිතාන මහතා රෝගියා සහ මවුපියන් සමඟ මූලික සාකච්ඡාවෙන් පසු ආධ්‍යාත්මික ශක්තිය මෙහෙයවා බලන විට හිරුණි වෙව්ලන්නට වූවාය. අප්‍රාණිකව බිම වැතිරුණාය. ඇය තුළ ක්‍රියාත්මක වන අමනුස්ස බලවේගයක් ඇති බව පැහැදිලි වුවද අදහස් හුවමාරු කරගන්නට තරම් භූතාත්මයට ශක්තියක් නොවීය. ඒ නිසා ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

ඊළඟ දිනයේදී ද හිරුණි ආවේෂ වූවාය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.

“කවුද මේ?”
“මම සුරනිමල”
“කවුද සුරනිමල කියන්නේ?”
(හිරුණිගේ මවුපියන්ගෙන් විමැසූ විට එවැන්නෙක් ගැන නොදන්නා බව ඔවුහු පැවැසූහ.)
“සුරනිමල කොහේද හිටියේ?”
“මම පදිංචි වෙලා හිටියේ රත්නපුරයේ”
“මොනවද කළේ?”
“මම කහවත්තෙ කඩයක් දාගෙන හිටියා”
“විවාහ වෙලාද හිටියේ?”
“ඔව් දරුවො දෙන්නෙකුත් හිටියා”
“සුරනිමලට මොකද වුණේ?”
“මූණ වහගත්ත කණ්ඩායමක් ඇවිත් මාව මැරුවා”
“කොහොමද මැරුවේ”
“වෙඩි තියලා”
“ඔය සිද්ධිය වුණේ කොයි කාලෙද?”
“එක්දහස් නවසිය අසූ නවයෙ”
“ඊට පස්සෙ මොකද වුණේ?”
“මම රත්නපුරේ ගෙදරට ආවා”
“කොයි කාලෙද ගෙදරට ආවේ?”
“මාව මැරුවට පස්සෙ කාලයක් පාවෙවී හිටියා. මාව මරපු උන් හොය හොයා ගියා. මුණ ගැහුණෙ නෑ. මෙහෙම කාලයක් ඉඳලා ගෙදරට ආවා”
“ගෙදරට ඇවිත් මොනවද කළේ?”
“බිරියට කරදර කළා. ලෙඩ කළා”
“ඇයි එහෙම කළේ තමුන්ගේ බිරියට?”
“මට පින් නොදුන්නු තරහට”
“ඒ අය ඉතින් පින් දුන්නද?”
“නෑ තොවිලයක් කරලා මාව බැඳල ගිහින් දැම්මා”
“කොහේටද ගිහින් දැම්මේ?”
“සිරීපාද අඩවියට”
“ශ්‍රී පාද අඩවියේ මොනවද කළේ?”
“ඔහේ පාවි පාවී හිටියා. මම වගේම තවත් අය ශ්‍රීපාද අඩවියේ හිටියා”
“එහෙ ඉන්නකොට ගෙදර මතක් වුණේ නැද්ද?”
“මතක් වුණා”
“මතක් වුණාම ආයෙත් ගෙදර ආවාද?”
“මතක් වුණාම අමුතුවෙන් එන්න දෙයක් නෑ. මතක් වෙනකොටම ගේ ළඟ?”
“ගේ ළඟ මොකද? ඇයි ගෙට නොගියේ?”
“ගෙදරට යන්න බෑ. ගේ ළඟ කෙනෙක් ඉන්නවා. ගේ ළඟට ගිය හැටියෙ එයා පන්නනවා. එයා මට වඩා බලවත්. මම එතැනින් නොගියොත් ගහලා එළවනවා”
“ඉතින්?”
“ඉතින් ආයෙත් ශ්‍රීපාද අඩවියට ගිහින් පාවි පාවී හිටියා”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ හිරුණිව දැක්කා. දැක්ක ගමන් හිරුණි ළඟට ඇදිලා ගියා”
“හිරුණිව මුණ ගැහුණේ කොහේදීද?”
“හිරුණි ශ්‍රී පාදය වඳින්න ඇවිත් හිටියා. මළුවෙ වාඩිවෙලා භාවනා කළා”

“ඇය භාවනාවට යොමුවෙලා හිටියාදැයි නාගොඩවිතාන මහතා ඇගේ මවුපියන්ගෙන් විමසුවේය. “ඔව් මහත්තයා. දුව හාමුදුරු කෙනෙක් පස්සේ ගිහින් භාවනා රැල්ලට වැටිලා හිටියා. තමන්ගෙ අධ්‍යාපනයත් අතහැරලා ගෙදර ‍දොරේ වැඩත් මඟහැරලා භාවනා රැල්ලට වැටිලා හිටියා” යැයි හිරුණිගේ පියා කීවේය. නැවතත් සුරනිමලගේ භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“මෙයා කමටහන් ගත්තේ කාගෙන්ද?”
“ඒ හාමුදුරුවන්ගෙන්. ඒ හාමුදුරුවන්ටත් භූතයකුගේ බලවේගයක් තිබුණා”
“ඉතින් භාවනා කරන කෙනෙකුගේ ඇඟට රිංගුවේ මොකද?”
“මම රිංගුවා නොවෙයි, හිරුණි මාව එයා ළඟට ගෙන්නා ගත්තා”
“ඒ කොහොමද?”
“මෙයා වාඩිවෙලා ඉඳගෙන භාවනා කළේ නෑ”
“එහෙනම් මොනවද හිරුණි කළේ?”
“හිරුණි භාවනා අරමුණක් අරගෙන ඒ කමටහනට භාවනා කළේ නෑ. මේ විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා නම් මා ළඟට ඇවිත් පෙන්නන්නය කියා නිතරම අධිෂ්ඨාන කළා. තොල් මැතිරුවා.”
“ඉතින් සුරනිමල ගියේ මොකටද?”
“ඇයි මහත්තයා අපිනෙ අදෘශ්‍යමාන බලවේග”
“සුරනිමල ගිය එක වැරැදිනෙ?”
“ඒ කොහොමද ඒක වැරැදි වෙන්නෙ. එයා අඬගැහුවා මම ගියා.”
“තමුන් යැපුනෙ මොනවායින්ද?”
“මෙයාට ලෙඩ හදලා මෙයාගෙ සෙම තමයි ආහාරයට ගත්තෙ”
“මෙයා ළඟට වෙලා මොනවද කළේ?”

“මම මේ ගොල්ලන්ගෙ ගෙදර බත්වලට වැලි දැම්මා. රෑට මෙයා ළඟට ගිහින් මනමාලකම් කළා. මනමාලයෝ මෙයාව බලන්න ආවාම උන්ට මෙයාව එපා කළා. මනමාලයා මෙහා දිහා බලනකොට මෙයාගෙ කට පැත්තකට ඇද කළා. එතකොට බලන්න එන ඉලන්දාරීන්ට මෙයාව එපා වුණා. අනිත් වෙලාවට මෙයාගෙ රාගය ඇවිස්සුවා. භාවනාවට බාධා කළා”

“ඉතින් භාවනා කරපු තැන හාමුදුරුවෝ මේ කරදර මඟ හැරෙන්න කමටහන් උපදෙස් දුන්නෙ නැද්ද?”
“පිස්සුද? හාමුදුරුවො ළඟ හිටපු භූතයත් මට උදව් කළා. ඌත් ඇවිත් මෙයා ළඟට වෙලා ඉඳලා යනවා. ඌත් හරිම මනමාලයා. ඌ තවත් ළමයි ළඟටත් යනවා. කෙල්ලොත් ඒ රහට රැවටිලා භාවනාව රැල්ලක් කැරගෙන. විලාසිතාවක් කැරගෙන”
“හොඳයි දැන් ඉතින් මේ ළමයාට කරදර කළා ඇති. මෙයාව අතහැරලා යන්න”
“මම කොහේ යන්නද මෙයාව දාලා. මට යන්න බෑ”
“නමුත් ඔබ ඉන්නේ දුගතිගාමී ප්‍රේතාත්මයක. මම මේ අය ලවා පින් ලබා දෙන්නම්. තමුන්ගේ බිරියවත් පින් දුන්නෙ නෑනෙ. මම මේ අයට කියලා දානයක් දීලා පින් අනුමෝදන් කරන්න කියන්නම්. ඒ පින් අරගෙන ඔය දුක්ඛිත ආත්ම භාවයෙන් මිදී ඉහළට යන්න. දෙවියන් අතරට යන්නැ” යි නාගොඩවිතාන මහතා භූතාත්මය දැනුම්වත් කළේය.

ඉන් පසුව හිරුණිගේ මවුපියන් අමතා හිරුණිගේ කර්ම විපාකයක් වශයෙන් හෝ වැරැදි අන්දමින් භාවනා කිරීම නිසා හෝ සුරනිමලගේ ආගන්තුක භූතාත්මය දියණියගේ ශරීරයට රිංගාගෙන ඇති බැවින් ඒ භූතාත්මයටද අනුකම්පා කොට කරුණා මෛත්‍රිය උපදවාගෙන නිවෙසට භික්ෂුන් වහන්සේ වඩම්මවා සාංඝික දානයක් දී සුරනිමලගේ නම සඳහන් කොට පැන් වඩා පින් දෙන්නැයි උපදෙස් දුන්නේය. එතෙක් ඒ භූතාත්මයට ශ්‍රීපාද අඩවියට යන ලෙසටද නියම කළේය.

භාවනාව යනු විලාසිතාවක් නොවන බවත් තමන්ගේ සිතේ ඇතිවන කෙලෙස් යටපත් කිරීමට සමථ භාවනාවක යෙදෙන ලෙසද සමථය සාර්ථක වූ විට ඒ කෙලෙස් විදර්ශනා නුවණින් මුලිනුපුටා දැමීමට අවශ්‍ය කමටහන් ප්‍රවීණ ගුරුවරයකුගෙන් ලබා ගන්නා ලෙසද හිරුණිට උපදෙස් දුන්නේය.

ආධුනික යෝගාවචරයා කැමැත්තෙන් වුවමනාවෙන් භාවනාවට එළැඹ සමාධියට පත්වන විට ඒ සමාධිය කඩාකප්පල් කරවන කාරණා හයක් වේ.

සිත මූල කර්මස්ථානයෙන් ගිලිහී අතීතයට යයි. අතීත සිදුවීම් මෙනෙහිවීම සමාධියට හානි කරයි. ද සිත අනාගතයට ගොස් ප්‍රාර්ථනා සහිත සිතුවිලි ගොඩ නඟයි. එයද සමාධියට හානි ගෙන එයි. සිත ප්‍රබෝධවත් බවෙන් ගිලිහී උදාසීන කුසීත බවට පත්වීමද සමාධියට බාධා කරයි. කමටහන ඉතා දැඩිව අල්ලා ගන්නට යෑමෙන් සිත උද්දච්චයට (කැලඹීමට) පත්වීමද සමාධියට හානි කරයි. සීමාව ඉක්මවා නැමුණු සිත රාගය අනුව ගොස් සමාධියට හානි කරයි. අරමුණට සිත නතුනොවීම නිසා එහිම ව්‍යාපාදය හට ගැනීම සමාධියට හානි කරයි. මේ අවස්ථා හය ගැන හොඳ සිහිකල්පනාවෙන් (සතියෙන්) සිට සමාධිය ආරක්ෂා කරගත යුතුය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )