29. රජයේ ලිපිකාරිනියගේ ඇඟ ඇතුළට අසූචි කන ප්‍රේතියක් ඇවිත්

14.03.2015

සමහරු රූමත්ව උපදිති. එසේ රූමත්ව උපදින්නේ පෙර කුසලයක විපාක වශයෙනි. විශේෂයෙන්ම මෛත්‍රි කරුණා ගති ඇත්තෝ මෛත්‍රි භාවනාව වැඩුවෝ එහි විපාක වශයෙන් රූමත්ව ප්‍රසන්නව උපදිති. තමන්ගේ රූප ශෝභාව පිළිබඳ මානයෙන් අහංකර වුවහොත්, අනුන් පහත් කොට සැලකුවොත් එය පාපයකි. අකුසලයකි. ඔවුන්ගේ ඊළඟ භවය විරූපීය. අප්‍රසන්න වේ. අනුන්ගේ රූමත් බව දැක ඊර්ෂ්‍යා කරන්නෝද අකුසල් සිත් ඉපදවීම නිසා අකුසල් කර ගනිති. රූමත් කෙනකු දුටු පමණින් ඒ ඇගේ හෝ ඔහුගේ පෙර කුසලයක විපාක යැයි සිතිය යුතුය. එවිට එය කුසලයකි. කුසල් සිත් ඉපදවීමකි. රූමතිය හෝ රූමතා සුවපත් වේවායි සිතන්නට තරම් උසස් මනසක් ඇත්තකු විය යුතුය. ඉන්පසුව ඒ රූපයද ක්‍ෂණයක් පාසා ජාරාවට පත්වන ස්වභාව ඇති බව මෙනෙහි කොට උපේක්‍ෂාවට පත්විය යුතුය.උගත්කමද එසේය. විෂයයන් දෙක තුනක් පිළිබඳ උපාධි ලබා අහංකාර නොවිය යුතුය. තමන් නොදන්නා බොහෝ දේවල් ඇති බව කල්පනා කළ යුතුය. නොදන්නා බව දන්නා පණ්ඩිතයා යැයි කියන්නේ ඒ නිසාය.

මෛත්‍රී ඉතාම රූමත් කාන්තාවකි. ඇය ස්වකීය රූපලාවණ්‍ය සඳහා බොහෝ වෙහෙසෙන බවත් වියදම් කරන බවත් බැලූ බැල්මට පෙනේ. එක් දරු මවක් වන ඇය රජයේ ලිපිකාරිනියකි. ඇගේ ස්වාමිපුරුෂයා නිලන්තද රජයේ ලිපිකරුවෙකි.

මෛත්‍රී හිටි හැටියේ සිහිවිකල්ව හැසිරීමත් සැමියා සමඟ රණ්ඩු දබර කිරීමත් පවුලේ සමඟියට බාධාවක් විය. සිහිනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදිවීමත් නිවෙසේ දුර්ගන්ධයක් අසමඟියට අමතරව පැවැති උපද්‍රවයන්ය.

මේ අපල උපද්‍රවයන් ගැන සාකච්ඡා වූ මෛත්‍රීත් නිලන්තත් දිනක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගියහ. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සමඟ තම අපල උපද්‍රව දුෂ්කරතා පැහැදිලි කළහ.

පළමු ශක්ති කිරණ එල්ල කිරීමේදීම මෛත්‍රී පැද්දෙන්නට වූවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පැහැදිලි කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය. එය මෛත්‍රිත්, නිලන්තත් කැමැත්තෙන්ම පිළිගත්හ. එහෙත් මෛත්‍රී තර්කයක් ඉදිරිපත් කළාය.

“මහත්තයා අපට කොයින්ද අමනුෂ්‍ය දෝෂ? අමනුෂ්‍ය දෝෂ තියෙන්නෙ නූගත් අයටනෙ. අපි උගත් අයනෙ.”
“මොකක්ද ඔබ තුමියගෙ උගත්කම? කරුණාකරල කියන්න.”
“මම උසස් පෙළ සමත්. උදේ හවස පන්සිල් ගන්නවා”යි ඇය තම උගත්කම මහා අභිමානයකින් ඉදිරිපත් කළාය.
“අද මේ මධ්‍යස්ථානයට ආවේ වාහනයෙන්ද?”
“ඔව්. මෝටර් බයික් එකෙන්.”
“ඔබ තුමියගෙ රැකියාව මොකක්ද?”
“මම රජයේ ලිපිකාරිනියක්.”
“ඔබතුමිය පෙර පින් ඇති කෙනෙක්. ඒකයි ලස්සන. ඒ වගේ රූපලාවණ්‍ය සඳහා හුඟක් මහන්සි වෙන බවත් පේන්න තිබෙනවා. විලාසිතා දෙස බැලුවාම මම හිතුවා ඔබතුමිය පරිපාලන නිලධාරිනියක් වෙන්න ඇති කියලා. ගමන් බිමන් යන්නේ ලෑන්ඩ් කෘෘසර් එකකින්. එහෙම නැත්නම් අඩු ගාණේ හයිබ්‍රිඩ් කාර් එකකින් කියලා.”
“ඉන්න බංගලාව කොහොමද?”
“මහත්තයා අපි ඉන්නෙ කුලී ගෙයක”යි මෛත්‍රී නිහඬව බිම බලාගෙන සිටියදී නිලන්ත කීවේය.

“නෝනා කෙනකුට තමන්ගේ දැනුම අවබෝධය අනුව අභිමානයක් තියෙන්න ඕනෑ. ඒක මමත් පිළිගන්නවා. ඒත් තියෙන්නෙ ඕනෑ ආධ්‍යාත්මීය වශයෙන්. විලාසිතාවලින් නොවෙයි. නිහතමානී කමෙන් බලන්න ගොයම් කරලක් දිහා. වී කරල කිරි වදිනකොට හොඳ අංගසම්පූර්ණ වී ඇට බවට පත් වෙනකොට බිමට බර වෙනවා. ඔළුව පහත් කරනවා. ඒත් බොල් කරල් හිස කෙළින් කරගෙන අහස දිහා බලා ඉන්නවා. ඒ ගතියෙන්ම දන්න මිනිස්සු දන්නවා මේක හිස් බොල් කරලක් කියලා. මම මගේ උගත්කම කියන්න කැමැති නෑ. ඒත් මෙතැනදි ඔබතුමියට නොකියා බැහැ. කඩුව තියෙන්නෙ යුද්දෙටනෙ. නෝනා මම ඇඳුම අඳින්නෙ සරලව. ඉන්නෙ අහිංසකව. මා දිහා බලන්න. මම විද්‍යාවේදී උපාධිධරයෙක්. ගණකාධිකරණ උපාධියකුත් තියෙනවා. බෞද්ධ ආයුර්වේද ඩිප්ලෝමා උපාධියකුත් තියෙනවා. බෞද්ධ මනෝවිද්‍යා ශාස්ත්‍රපති උපාධියකුත් තියෙනවා. දැන් අදෘෂ්‍යමාන බල ශක්තීන් පිළිබඳ ආචාර්ය උපාධියට ලියනවා. මම හොඳ වැටුපක් ලබන ඉහළ තනතුරක් දැරුවා. ඒකෙන් අයින් වෙලා මේ ප්‍රතිකාර සේවය කරන්නේ. අපි මොකටද අහංකාර වෙන්නේ? මානයෙන් හිස උදුම්මා ගන්නේ? ඔබතුමිය උසස් පෙළ සමත් වුණා කියලා හිතාගෙන ඉන්න තරම. නෝනා උඩඟු වෙන්න එපා. නිහතමානී වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධි බල ප්‍රාතිහාර්ය අතින් අග්‍රස්ථායී තනතුර දැරුවා. අග්‍රශ්‍රාවක. උන් වහන්සේගේ කුසටත් අමනුස්සයෙක් රිංගුවා. ඒ අතින් අපි කවුද කියලා හිතන්න. කමක් නෑ. වියදම් කරගෙන ඇවිත් ඉන්නේ. මම ප්‍රතිකාර කරනවා. නිහතමානී වෙන්න.

“මට කියන්න බලන්න බුදු දහමේ කියැවෙන ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ මොකක්ද කියලා” යැයි ගවේෂකයා තවත් ප්‍රශ්නයක් ඇසීය.
“මහත්තයා මම සිල් ගන්නවා. අනිත් දේවල් කරන්න වෙලාවක් නෑ”යි මෛත්‍රී උත්තර දුන්නාය.
“කමක් නෑ. කමක් නෑ. බෝධි පූජා විසි එක තියලා එන්නකෝ”යි ගවේෂකවරයා සුහදවම කීවේය.

ඊළඟට පැමිණි දිනයේ ගවේෂකයා දිෂ්ටි ගැන්වූ විට මෛත්‍රී ප්‍රලය වූවාය. ගවේෂකයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?”
“මම සුමනහාමි.”
“කවුද මේ සුමනහාමි කියන්නේ?”
“මේකි කුලියට ඉන්න ගෙදර අයිතිකාරි. මේ නෝනා හරිම හොඳයි. මෙයා ළඟ මට ඇතිවෙන්න කෑම තියෙනවා.”
“ඔබ ප්‍රේතියක්ද?”
“දන්නේ නෑ.”
“ඔබ මොනවද ආහාරයට ගන්නේ?”
“අසූචි. වැසිකිළියෙන් කාලා ඇවිත් මෙයාගෙ ඇඟට රිංගනවා. මෙයාගෙ බඩෙනුත් කනවා. මෙයාගෙ මාසික අපද්‍රව්‍යත් කනවා.”

ගවේෂකවරයා මෛත්‍රී ප්‍රකෘති සිහියට පත් කළේය. ප්‍රේතියගේ කතාව හඬ කවා තිබුණු යන්ත්‍රය ක්‍රියාත්මක කොට මෛත්‍රීට එය ඇසෙන්නට සැලැස්වීය.

“බලන්න ඔබේ ශරීරය තුළ ඉන්නේ අසූචි තවරාගත් අසූචි කන ප්‍රේතියක්.”
මෛත්‍රී අඬන්නට වූවාය. බියපත් වූවාය.
“අපි විලාසිතා කරන, පිටපොත්ත ලස්සන කරන ශරීරවල තත්ත්වය ඕකයි.” ගවේෂකවරයා පැහැදිලි කළේය. නැවැත මෛත්‍රීත් නිලන්තත් සමඟ සාකච්ඡා කළේය. ඇත්තටම ඒ දෙදෙනා අවංකවම උත්තර දුන්හ.

“අපි දැන් හිතවත්නෙ. ඔබ ඇත්තටම කියන්න. ඔය දෙන්නා පවුල් ජීවිතය ගෙවන හැටි.” ගවේෂකයා ඇසීය.
“නිලන්ත උත්තර දුන්නේය. “මහත්තයා, කොයි තරම් විලාසිතා කළත් මෛත්‍රී උත්සාහයෙන් ධෛර්යයෙන් වැඩ කරන කෙනෙක්. අඩුපාඩුත් තියෙනවා. අප ජීවත් වෙන්නෙ කළුතර කිට්ටුව ගමක. කුලී ගෙදරක.”
“ඇයි ඔබට ගෙයක් නැද්ද?”
“නෑ මහත්තයා. අපි කලින් හිටියෙ අපේම ගෙදර. අපේ ළමයව මගේ අම්මලා බලා දුන්නා. ගෙදර වැඩපළත් ඉවුම් පිහුම් ආදියත් කෙරුණේ අම්මලා අතින්. මෛත්‍රී තමන්ගෙ රූපය ගැන අධිතක්සේරුවක ඉන්නේ. මෙයා අහංකාරයි. උද්දච්චයි කියලා අම්මලා අපට උදවු කරන එක නතර කළා. අපට ඒ ගෙදර ඉන්න බැරුව ගියා. ඒ ගමේම ගෙයක් කුලියට අරගෙන දැන් ඉන්නේ.”
“ආර්ථික තත්ත්වය කොහොමද?”

“අපි දෙන්නාම ලිපිකරුවෝ. මෛත්‍රීගේ වැටුප 28,000 යි. මගේ 35,000 යි. ගෙවල් කුලිය මාසෙකට 10,000 ක් යනවා. ගෙදර වැඩ කරන කෙනාට 15,000 ක් දෙනවා. පුතාගෙ මොන්ටිසෝරි වියදමත් 3,000 විතර යනවා. අපි දෙන්නා රස්සාව කරන්නෙ බත්තරමුල්ලෙ. යන්නෙ බස් එකෙන්. ගමන් වියදමත් 8,000 ක් විතර වෙනවා. කෑමබීමට, විදුලි බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්, ඇඳුම්, මෙයාගෙ විලාසිතා වගේ ඒවටත් මාසෙකට 30,000 කට වඩා යනවා. ඒත් මේ ඔක්කොම දරා ගෙන මෛත්‍රී වැඩ කරනවා. ගෙදර වැඩ කරන. ළමයා බලා ගන්න ගෑනු කෙනා උදේ ඇවිත් හවස 5.00 ට යනවා. අපි උදේ 5.00 ට නැඟිටලා කෑම උයලා දරුවගෙ වැඩත් කරලා හවස්වෙලා ගෙදර එන්නේ. ගෙදර ඇවිත් නෝනා රෑට උයනවා. දවසෙ ගොඩ ගැසුණු වළං පිඟන් හෝදලා නින්දට යන කොට රෑ 11.00 වෙනවා. මෙයා කම්මැළි නැති නිසා යන්තමින් ජීවත් වෙනවා”යි නිලන්ත විස්තරය කීවේය. මෛත්‍රීද හිනාවෙමින් අසාගෙන සිටියාය.

ගවේෂකවරයා කතා කළේය. “නෝනා ඔබේ උත්සාහය ධෛර්ය ගැන මම ගරු කරනවා. ඒ වුණාට මානය, අහංකාරකම හොඳ දෙයක් නොවෙයි. ඔබේ අහංකාරකම නිසා නිලන්තගේ අම්මලා අමනාප වුණා. ගෙදර ඉන්න බැරුව ගියා. ඒ නිසාම ගෙවල් කුලිය 10,000 යි, සේවක වැටුප 15,000 යි අපරාධෙන. එතැනට 25,000 ක් නිකරුණේ වියදම් වෙනවා. පවුලේ සමඟිය නැති වුණා. ඔය අඩුපාඩු ප්‍රේතියකගෙ වාසියට හිටියා. ප්‍රේතියගෙ ගති ගුණ ඔබට වැහුණාම නෝනයි මහත්තයයි රණ්ඩු කරනවා. අඬදබර නිසා නිතරම සිතට දුක් වේදනා. දැන් කරන්න තියෙන එකම දෙය බත්තරමුල්ලෙ රස්සාව කරන නිසා ඒ කිට්ටුවෙන් ගෙයක් කුලියට අරගෙන යන්න. ප්‍රේතිය ප්‍රේතියගෙ ගෙදර හිටීවි. ඒකෙන් ගමන් වියදමත්, වෙහෙසත්, කාලයත්, ප්‍රේත දෝෂයත් තුන හතරම වළකනවා. විශේෂයෙන් අපිරිසුදු ප්‍රේතියකගෙන් ඈත්වීම යහපතට හේතු වෙනවා.” යළිත් මෛත්‍රී දිස්ටි ගැන්වීය. ආවිෂ්ට වූ ඇය අඬන්නට වූවාය.

“අනේ මහත්තයා මහත්තයා කියපු දේවල් මම අහගෙන හිටියේ. මම මේ ළමයට ආදරෙයි. මෙයාගෙ ළඟ ඉන්න කොට මට හොඳට කන්න බොන්න ලැබෙනවා. මේ දෙන්නට මේ ගෙදරින් යන්න කියන්න එපා මහත්තයා” යි ප්‍රේතිය අඬන්නට වූවාය.

“අමනුස්සයන්ටයි, මනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. තමුන්ගෙ ගෙදරින් තමුන්ට යන්න කියලා අපි කියන්නෙ නෑ. මේ අය මගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිකාරය කරන එක මගේ යුතුකම” යැයි ගවේෂකවරයා කීවේය.

ප්‍රේතියට මෛත්‍රීගේ ශරීරයට ඇතුළුවිය නොහැකි අයුරින් ඇයට තාවකාලික ආරක්‍ෂාවක් දැමීය. වහාම පදිංචිය වෙනස් කර ගන්නැයි උපදෙස් දුන්නේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )