31. ලොකු දුවගේ බඩවැලෙන් ලේ උරාබි පිළිකාවක් සෑදු ප්‍රේතියගේ කතාව

14.03.2015

සත්ත්වයා මේ සංසාර ගමනේ දිගින් දිගට ගමන් කරන්නේ අවිද්‍යාවත් තණ්භාවත් පදනම් කොට ගෙනය. ඉතාම කලාතුරකින් ඉතා දුර්ලභ වශයෙන් ලබා ගන්නා මේ මිනිස් බවයෙන් නිසි ප්‍රයෝජන නොගෙන සතර අපායාදී දුගතීන්හි උපදින්නේ ද ඒ නිසාය. එසේම බරපතළම අකුසලයක් වන්නේ විෂම ලෝභයයි. මේ විෂම ලෝභයෙන් පෙළෙන පුද්ගලයා හිතන්නේ මේ ලෝකේ ඇති සෑම සැප සම්පතක්ම තමන්ටම සතු කර ගැනීමටය. ලෝකයේ උපරිම සැප විඳිය යුත්තේ තමනුත්, තම කලත්‍රයාත් දරුවනුත් පමණකැයි සිතයි. ඒ සඳහා අනුන් සතු නොදුන් දේ තමන් සතුකර ගැනීමට නොයෙකුත් උප්පරවැට්ටි කරයි. මෙවැනි කටයුතුවලදී හොර රහසේ කරන උපායන් ද බොහෝය. එහෙත් මේ ලෝකයේ “රහස්” යැයි දෙයක් නැති බව ඔවුහු නොදනිති. අප කිසිවකු නොදන්නවා යැයි කිසිවකුට නොපෙනේ යැයි රහසිගතව කරන සෑම දෙයක්ම විශ්වය බලා සිටී. මේ විශ්වය පුරා සැරිසරන කෝටි සංඛ්‍යාත අමනුෂ්‍යයෝ මේ සියල්ලක් බලා සිටිති. විශ්වයට හොරෙන් කිසිවක් කරන්නට නොහැකිය.

රමණී මාතලේ ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියකි. හැට එක් හැවිරිදි ඇය දෙදරු මවකි. ඇගේ ස්වාමිපුරුෂයාද ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඉඩකඩම් දේපළ යානවාහන ගොඩනැඟිලිවලින් කිසිදු අඩුවක් නොවූ මේ පවුල ප්‍රභූ තත්ත්වයක්ද දරා සිටී. හිටි හැටියේම රමණීට උදරාබාධයක් වැලඳිණි. තමන් දන්නා ප්‍රතිකාර කර ගත්තත් සුවයක් නොලද නිසා තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සොයා ගොස් ප්‍රතිකාර ගත්තාය. එහෙත් සුවයක් නොලද බැවින් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වූවාය. එයින්ද ඵලක් නොවූයෙන් බටහිර ක්‍රමයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මනෝ වෛද්‍යවරුන් සොයා ගියාය. මානසික වෛද්‍යවරුන් හතර දෙනකුගෙන් වරින් වර ප්‍රතිකාර ලැබූව ද කිසිදු සුවයක් නොලැබිණි. මේ අතර බඩ පුරවා දැමීම මෙන්ම අසාමාන්‍ය පරිදි බඩ, ඉදිරියට නෙරා එන්නට ද විය. ඇඟපත රුදාවද තදින් දැනෙන්නට විය. එසේම රමණීගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට එන පිරිසද අඩුවී ආර්ථිකයද හීනවෙන්නට පටන් ගත්තේය. රමණී කායිකව මෙසේ පීඩා විඳිද්දී ඇගේ ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරද දුර්වල වෙන්නට පටන් ගත්තේය. ඉඩකඩම් දේපළවලින්ද බලාපොරොත්තු පරිදි ලාභ යෝජන නොලැබෙන්නට විය. රමණී නැවැතත් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වුවාය. එහිදී ඇගේ උදරයේ පිළිකාවක් යැයි නිගමනය කොට මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ගන්නට වූවාය.

මේ අතර හිතවතකුගේ උපදෙස් පරිදි ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට රමණීත් ඇගේ ස්වාමියාත් ගියහ. එහිදී කසුන් නාගොඩවිතාන මහතා ඇය පරීක්ෂා කළේය. මේ වන විට ඇගේ ශක්ති ශරීරය බොහෝ දුරට දුර්වලව පැවැතුණි. එහෙත් ඇගේ ශරීරයේ භූතාත්මයක් ක්‍රියාත්මක වූ බැවින් ඇය වෙවුලන්නට වූවාය. ඇයට දිෂ්ටි ගන්වා කතා කරන්නට තරම් ශක්තියක් නොවූයෙන් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවැත එන ලෙසට උපදෙස් දුන්නේය.

බෝධි පූජා පවත්වා අවසන් කොට ඇය නැවැත එහි පැමිණියාය. එදින ද ඇය ප්‍රලය වුවාය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වී ඉන්නේ?”
“අම්මා”
“අම්මා කියන්නේ කාගෙ අම්මාද?”
” මේ රමණී දුවගෙ අම්මා”
“නම මොකක්ද?”
“සීලවතී”
“ඇයි මේ දුවට හිරිහැර කරන්නේ?”
“මට දූගෙන් පළිගන්න ඕනෑ”යි හඬා වැලපෙමින් දුර්වලව වැටුණාය.

රෝගියාගේ ශක්තිය දුර්වල බැවින් නැවැත බෝධි පූජා හතක් පවත්වා ඊළඟ ඉරිදා නැවැතත් පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

ඊළඟ දිනයේද ඇය පැමිණියාය. එදිනද ප්‍රලය වූ විට ප්‍රශ්න කෙළේය.
“අද කවුද මේ ඉන්නේ?”
“මම සීලවතී, මෙයාගේ අම්මා”
“ඇයි මේ දූට හිරිහැර කරන්නේ?”
“මේකිගෙන් පළිගන්න”
“ඇයි පිළිගන්න හදන්නේ?”
“මහත්තයා මම හිටියේ මේ දූ ඉන්න ගෙදරමයි. මම මැරෙන වෙලාවේ මාව රවටලා අන්තිම කැමැති පත්‍රයකට අස්සන් ගත්තා.”
“ඉතින්?”
“ඉතින් මගේ ගේ‍දොර ඉඩකඩම් බඩු මුට්ටු හැම දෙයක්ම මෙයා අයිතිකර ගත්තා”
“ඉතින් මොකද? තමුන්ගෙ දුවනෙ?”
“මෙයා විතරක් නෙවෙයි මට තවත් දුවක් ඉන්නවා. ඒ කෙල්ලට මුකුත්ම මෙයා දුන්නේ නෑ. තණ්හාවෙ හැම දෙයක්ම මෙයා අයිති කර ගත්තා. පොඩි දූට මොකුත්ම දුන්නේ නෑ. ඒකි දුප්පත් අසරණී. ඒ කෙල්ල දුක් විඳිනවා. ඒ නිසා මම පළිගන්නවා. මෙයාට නම් ජීවත් වෙන්න දෙන්නේ නෑ.”

රමණීගේ ශරීරයේ භූතාත්මය සිටියදීම නාගොඩ විතාන මහතා ඇගේ සැමියාගෙන් ප්‍රශ්න කළේය.
“මේ කියන දේවල් ඇත්තද?”
“ඔව් මහත්තයා. කියන්නත් ලැජ්ජයි. මෙයාට පුදුම තණ්හාවක් තියෙන්නේ. කොච්චර තිබුණත් මදි.”
“එතකොට මෙයාගෙ නංගී”
“නංගී ගුරුවරියක්. එයත් විවාහ වෙලා සාමාන්‍ය විදිහට යම්තම් ජීවත් වෙනවා.”
“නංගී මේ දේපළ ප්‍රශ්නය නිසා රමණිත් එක්ක තරහද?”
“නෑ. නංගී සහෝදරකමට නිශ්ශබ්දව ඉන්නවා”
“හොඳයි මේ අම්මාගේ හිතේ පළිගැනීමේ අවශ්‍යතාව තද ගතිය තවම අඩුවෙලා නෑ. ඒ නිසා තවත් දවස් හතක් බෝධි පූජා පවත්වා ඊළඟ දිනයේදී නංගීවත් කැඳවාගෙන එන්න.

උපදෙස් පරිදි වත් පිළිවෙත් සහිතව බෝධි පූජා පවත්වා ඊළඟ දිනයේ දී නැඟණිය ද සමඟ ඔවුහු පැමිණියහ.
එදින ද රමණී ප්‍රලය වූවාය.
“ආ… ඔන්න අද පොඩි දුවත් ඇවිත් ඉන්නවා අම්මා එක්ක කතා කරන්න.”
“ඔව්! ඔව්! මගේ අහිංසකී, පොඩි දුවේ ඔයා දන්නවා මට ලොකු දේපළක් තිබුණ බව. මම ඒවා කාටවත් නොලිව්වේ ඔය දෙන්නට සම සමව වුවමනා විදිහට බෙදා ගන්න ඉඩ තියලයි. ඒත් මේකි මගේ මරණාසන්න වෙලාවේ කඩදාසි වගයකට මගේ අස්සන ගත්තා බොරු කියලා මාව රවටලා. මම දැන් මේකිගෙන් පළිගන්නවා.”
“පළිගන්න හිතන්න එපා. ඒත් දුවක්. මේත් දුවක්. අපි සාධාරණ දෙයක් කරමු. දැන් සීලවතීට මොකක්ද කෙරෙන්න ඕනෑ”යි නාගොඩවිතාන මහතා ඇසීය.
“මගේ හිතට නිදහස, සැනසිල්ල තමයි මට ඕනෑ”
“ඉතින් ඒකට මෙකක්ද කරන්න ඕනෑ”
“මගේ දේපොළ සම සමව වෙන්කරලා පොඩි දුවගෙ කොටස එයාට ලැබෙන්න ඕනෑ.”

“අනේ! අම්මේ! මට ඔය දේපළ වුවමනා නෑ. මට වුවමනා මගේ අම්මා හොඳ තැනක ඉන්නවා දකින්න. මට ඔය දේපළ එපා. ඒවා අක්කාටම දෙන්න. මගේ රත්තරං අම්මා මාව හදලා වඩලා උගන්නපු එකම මට ඇති. මගේ අම්මට බුදු බවම ලැබෙන්න ඕනෑ”යි බාල දියණිය හඬන්නට වූවාය.

“ඔව් අම්මේ! ඔය දේපළවලින් මටත් වැඩක් නෑ. අනේ මේ රමණීව සනීප කර ගන්න උදව් කරන්නැ”යි බෑනාද කීවේය.
“සනීප කරන්න? ඔය පිළිකාවෙන්ම එයාව ඉවර කරනවා”
එහෙම කරන්න එපා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. රමණී මළත් මේ දේපළ එයාගෙ දරුවන්ටයි අයිති වෙන්නේ. බාල දුවට ලැබෙන්නේ නැහැනෙ. ඒක නිසා අනුකම්පා කරලා ලොකු දුව සුවපත් කරන්නැයි නාගොඩවිතාන මහතා කීවේය.
“ඔව්! මහත්තයගෙ කීමට බෝධි පූජා තියන කොට මගේ තද ගතිය ටිකක් අඩුවුණා. එහෙනම් ඔය ලොකු එකීට කියන්න සාධාරණ විදිහට කටයුතු කරන්න කියලා”යි භූතාත්මය ඉවත්ව ගියාය.

ප්‍රකෘති සිහිය ලැබූ රමණීටත්, ඇගේ සැමියාටත් නාගොඩවිතාන මහතා කරුණු පැහැදිලි කළේය.
“අනේ! අක්කේ! මට නම් ඔය දේපළ වුවමනා නෑ”යි නංගී කීවාය.
“මහත්තයා. මම වරද පිළිගන්නවා. මම ඒ දේපළ ඔක්කොම නංගිට ලියා දෙනවා. මහත්තයා මගේ දරු දෙන්නා වෙනුවෙන් මගේ ජීවිතය බේරා දෙන්න”යි රමණී බැගෑපත් වූවාය.
“හොඳයි හාමුදුරුවරු දහනමක් ගෙදරට වඩම්මලා සාංඝික දානයක් දී අම්මාට පැන් වඩා පින් දී නැවැතත් එන්න. ඒ පින්කමට නංගිවත් නොවරදවාම ගෙන්නා ගන්නැයිද උපදෙස් දුන්නේය.

ඒ උපදෙස් පරිදි සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කොට නැවැතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදිනද ඈ ප්‍රලය වූවාය එදින නාගොඩවිතාන මහතා පර්යේෂණාත්මකව ප්‍රශ්න කළේය.
“මේ කවුද?”
“සීලවතී”
“සීලවතී කොහොමද දුවගෙන් පළිගත්තේ? අපට පැහැදිලි කරන්න.”

“මහත්තයා මම ප්‍රේතියක්. මට එක පාරටම ලොකු දූගෙ ඇඟට රිංගන්න බැරි වුණා. මම පළමුවෙන්ම මෙයාගෙ ළඟට ප්‍රතිකාර ගන්න එන ලෙඩුන්ගේ බෙහෙත් වැරැද්දුවා. ලෙඩුන්ගේ රෝග අසාධ්‍ය කළා. එතකොට ලොකු දූ ළඟට ඉස්සර පෝලිමේ ආපු ලෙඩ්ඩු අඩු වුණා. තවත් ලෙඩුන්ගේ ඇඟේ ඉන්න භූතයන්ට ගහල බය කළා. ඒ ලෙඩ්ඩු ආපහු හැරිලා ගියා. සමහර ලෙඩුන්ගේ ගෙවල්වලටම ගිහින් ලෙඩේ අමාරු කළා. අන්තිමේ මෙයා ළඟට රෝගීන් නෑවිත් ඇරියා. එතකොට මෙයා මානසිකව වැටුණා. අන්න එතකොට මෙයාගෙ ඇඟට රිංගුවා. ඉතින් මමත් ජීවත් වෙන්න එපායැ. මෙයාගෙ බඩවැලේ ලේ උරා බිව්වා. ඒ ලේ උරා බීපු තැන ගෙඩියක් හැදිලා පිළිකාවක් වුණා”යි ප්‍රේතිය පිළිගත් හැටි කීවාය.

“තවමත් පළිගැනීමේ අදහස තියෙනවාද?”
“නෑ. මෙයා දේපළ ඔක්කොම නංගිට බලෙන්ම ලියා දෙන්න සූදානම් වුණා. බැරිම තැන පොඩි දුව දෙකෙන් පංගුවක් විතරක් ගත්තා. බලන්න පොඩිදුව කොයි තරම් සාධාරණද කියා. දැන් මගේ හිතේ පළිගන්න වුවමනාවක් නෑ. මම දැන් හිටපු තත්ත්වයට වඩා හොඳ තැනක ඉන්නේ. මට දැන් ඕනෑ නිදහසේ හොඳ තැනකට වෙලා ඉන්න.”

“හොඳයි මම පුද පූජා ටිකක් ලොකු දුවට නියම කරනවා. ඒ පූජාවන් සමඟ අනුරාධපුරයට යන්න. දූලා දෙන්නාම ඒවි. ශ්‍රී මහා බෝධිය අසලට වෙලා බණට දහමට යොමු වෙන්න. පින්කම්වලට ශ්‍රද්ධාවෙන් සහභාගි වෙන්න. එතකොට තවත් උසස් වේවි යි නාගොඩවිතාන මහතා උපදෙස් දුන්නේය.

ඒ කටයුතු නිමා කොට රමණී නැවැත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණ තමන් දැන් සුවපත්ව සිටින බවත් කිසිදු වේදනාවක් නොදැනෙන බවත් පින් දෙමින් ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් නැවැතත් ශරීරය පරීක්ෂා කොට පරීක්ෂණ වාර්තාවක් ලබා ගෙන එන්නැයි උපදෙස් දුන්නේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )