32. බුදුරදුන්ට ‘තට්ටයා’ කියා අපහාස කළ ප්‍රේතියක්

11.03.2015

මිනිස්සු විවිධ ආගම් අදහති. විවිධ වූ දෘෂ්ටීන්හි බැඳී සිටිති. මෙයින් සමහරු මෝහය නිසා අවිද්‍යාව නිසා, නොදන්නාකම නිසා අන්‍ය ආගම්වලට අන්‍ය ශාස්තෘෘන් වහන්සේට ගරහති. අපහාස කරති. එයින් ඒ ශාස්තෘෘන් වහන්සේට හෝ උන්වහන්සේගේ ධර්මයට හානියක් නොවේ. එයින් සිදුවන්නේ තමන්ගේ චිත්ත සන්තානය මෝහයෙන් හා ද්වේෂයෙන් කිලිටි වීමයි. මහා පාපයක් අකුසලයක් කර ගැනීමයි. මෙසේ දරුණු තද වැරැදි දෘෂ්ටි ගත් අය මිත්‍යාදෘෂ්ටිකයන් ලෙස සැලැකෙති. ඔවුහු අනිවාර්යයෙන්ම සතර අපාගත වන්නාහ. එහිදීද ද්වේෂයෙන් දැවි දැවී දුකෙන් පෙළෙති. එවැන්නන් ගොඩ ගැනීමට බුදුවරයකුටද නොහැකිය.

ඇසිලින් නෝනා වැල්ලම්පිටියේ පදිංචි හැටහත් හැවිරිදි විවාහක කාන්තාවකි. ඇය බෞද්ධ උපාසිකාවකි. එහෙත් දැනට අවුරුදු විසිපහක තරම් කාලයක සිට ශරීරයේ දැවිල්ලකින් වේදනාවකින් පෙළෙන්නීය. රාත්‍රි නින්දෙන් බිය වී හූ කියාගෙන අවදිවන්නීය. කෑම අරුචිය, මස් මාළු කරවල තෙල් බැදුම් ආහාර ප්‍රිය කිරීම ඇයට වැලඳී තිබුණු තවත් ගති ලක්ෂණයකි. බුද්ධ වන්දනාව අප්‍රිය කළ අතර පිළිම වහන්සේට කෙළ ගැසීමටද පටන් ගත්තේය. ඇගේ ස්වාමිපුරුෂයා වන විල්සන්ද දරු මුනුපුරෝද මෙයින් මහත් පීඩාවට වේදනාවට පත් වූහ.

මේ තත්ත්වයෙන් ඇය මුදා ගැනීමට පවුලේ අය දේවාල සොයා ගියහ. ඔවුන් පදිංචි ඉඩමේ අයිතිකාරයා ඇයට ආවිෂ්ටව ඇතැයි සාත්තරකාරයෝ පැවැසූහ. ඔවුන්ගේ උපදෙස් පරිදි පුද පූජා පැවැත්වූහ. තොවිල් පවිල් කළහ. එහෙත් සහනයක් නොවීය.
අවසානයේ ‘මව්බිම’ පත්‍රයේ පළවූ මළවුන්ගේ හෝරාව’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂක මධ්‍යස්ථානය කරා ඇසිලින් නෝනා කැඳවාගෙන ගියහ. ඔවුහු මෙහිදී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිකාර පැතූහ.

පළමු දිනයේම ඇසිලින් නෝනා දිෂ්ටි වී කෑ ගසාගෙන ප්‍රලය වූවාය. හූ කියන්නට වූවාය. ඇයට ශක්ති කිරණ එල්ල කොට යම් තරමකට පාලනය කර ගවේෂකවරයා ඇගෙන් ප්‍රශ්න කරන්නට විය.
‘‘කවුද මේ ශරීරයට රිංගාගෙන කෑගන්නේ?’’
‘‘මම මුන් පදිංචි ඉඩමේ අයිතිකාරිය.’’
‘‘මොකක්ද නම?’’
‘‘මගේ නම සිසිලියා.’’
‘‘ඇයි මේ අයට කරදර කරන්නේ?’’
‘‘මුන් මට වංචා කළා. මුන්ව මේ ඉඩමෙන් පන්නන්න ඕනෑ. මම මගේ ඉඩම දාලා යන්නේ නෑ.’’

ප්‍රේතියගේ සිතේ ඉඩම කෙරෙහි බැඳුණු තද බල ඇලීම, තණ්හාව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසද ඒ බෝධි පූජාවට ඇසිලින් නෝනා ඇතුළු පවුලේ සෑම දෙනාම යායුතු බවටද උපදෙස් දුන්නේය. ඒ බෝධි පූජාවට ගොස් සිත සුවපත් කර ගන්නා ලෙස ප්‍රේතියට නියම කළේය.

පවුලේ අය මේ බෝධි පූජා ඉතා උනන්දුවෙන් කළත් ඇසිලින් නෝනා බෝධි පූජාවට ගියේ නැත. එය තදින්ම ප්‍රතික්ෂේප කළාය. එහෙත් පවුලේ අය බෝධි පූජා පැවැත්වූහ.

බෝධි පූජා අවසන් කොට ඔවුහු ඇසිලින් නෝනා සමඟ නැවත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදින ඇසිලින් නෝනා ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණයේම ‘හූ’ කියා ගෙනය. ඇගේ කෑ ගැසීම පාලනය කළ ගවේෂකවරයා තමන්ගේ වාරය පැමිණි විට ප්‍රතිකාර කාමරයට පැමිණෙන ලෙසද එතෙක් නිහඬව සිටින ලෙසද ප්‍රේතියට නියෝග කොට ඊට කලින් පැමිණි අයට ප්‍රතිකාර කළේය. නියමිත වාරය එළැඹි විට ඇසිලින් නෝනා නැවතත් ‘හූ’ කියාගෙන ප්‍රතිකාර කාමරය වෙත ගියාය.

‘‘හ–.. හ–… හ–… ඔය තට්ටයට මාව පන්නගන්න බෑ… ඔය තට්ටයට මම බයත් නෑ’’ යි ප්‍රේතිය කීවාය.
‘‘උඹ කාටද තට්ටයැයි කීවේ? මටද?’’ ගවේෂකවරයා ඇසීය. (ගවේෂකවරයා හිස බූ ගා සිටින බැවිනි.)
‘‘නෑ…. නෑ…. උඹට නෙවෙයි. උඹලගෙ බුදුන්ට.’’
‘‘ඇයි උඹ එහෙම කියන්නේ?’’
‘‘හි–….හි–….හි–… ඇයි උඹල දන්නේ නැද්ද? මම වෙන ආගමක් අදහපු කෙනෙක්. මම ඔය එක තට්ටයකුටවත් බය නෑ. පුළුවන් නම් මාව එළවපං. උඹට පුළුවන් නම් කරලා බලපන්.’’

‘‘ප්‍රේතිය උඹ අභියෝග කරන්නේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට. උන් වහන්සේ උඹ වගේ අයටත් මෛත්‍රි කළ ශාස්තෘවරයෙක්. උන් වහන්සේ රහසින්වත් පව් නොකළ උත්තමයෙක්. උන් වහන්සේ සත්ත්වයා දුකින් මුදවන්න පහළ වූ කෙනෙක්. උන් වහන්සේට උඹ වගේ ප්‍රේතියෙක් නෙවෙයි රාජ රාජාධි මහා මාත්‍යයෝද ගරු කළා. දෙවියෝද, බ්‍රහ්මයෝද ගරු කළා. ඒ අපේ ශාස්තෘෘන් වහන්සේ. අපි උන් වහන්සේගේ ශිෂ්‍යයෝ, ගෝලයෝ. උන්වහන්සේ නෙවෙයි උඹට පුළුවන් නම් මා එක්ක හැප්පියන් බලන්න.’’ ඇසිලින් නෝනාගේ ශරීරයට (ප්‍රේතියට) කිරණ ශක්තිය එල්ල කළේය.

‘‘අනේ මාව අත හරින්න පිච්චෙනවා. පිච්චෙනවා. මාව අතහරින්න’’ යැයි ප්‍රේතිය බැගෑපත් වූවාය.
‘‘ඔහොම හිටපං අපි උඹ වගේ නෙවෙයි. ජේසුතුමාටත් අපි ගරු කරනවා. අපහාස කරන්නේ නෑ. උන් වහන්සේත් මිනිසාට කරුණාවෙන් දේශනා කළ ශාස්තෘවරයෙක්. අපි මහමත්තුමාටත් ගරුකරනවා. අපේ බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ එහෙමයි. උඹව පිච්චෙන්නේ උඹ ළඟ තියෙන ද්වේෂනයෙන්, අපේ මෛත්‍රි කිරණ උඹට ඔරොත්තු දෙන්නේ නෑ. උඹ කෙරුම්කාරී නම් මා එක්ක හැපිලා බලපන්. උඹ බුදුහාමුදුරුවන්ගේ පිළිමවලට කෙළ ගහලා තියෙනවා. ආයෙත් කෙළ ගැහුවොත් බැඳලා මූදට දමනවා.’’

‘‘අනේ… අනේ…. මාව අතහරින්න.’’

‘‘ඊට කලින් සමාව ගනිං. අපි බෞද්ධ නිසා නොවෙයි. ලෝකයම ගරු කරන වඳින පුදන ශාස්තෘවරයකුට කෙළ ගහන්න තරම් උඹ නීච ප්‍රේතියක්. ශාස්තෘවරයකුට නෙවෙයි සාමාන්‍ය මිනිසකුටවත් කෙළ ගහන්නේ නෑ හොඳ ගතිගුණ තියෙන වැදගත් කෙනෙක්.’’ යැයි ගවේෂකවරයා ප්‍රේතියට වේවැල් පහර දෙකක් දුන්නේය.

‘‘අනේ, ගහන්න එපා. මම සමාව ගන්නම්. අනේ, සාදු! මට සමාවෙන්න.’’
‘‘සාදු නෙවෙයි. බුදුහාමුදුරුවන්ගෙන් සමාව ගනිං.’’
‘‘අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න.’’

නැවතත් දින දහහතරක් බෝධි පූජා පවත්වා එන ලෙස උපදෙස් දුන්නේය. බෝධි පූජාවට ගොස් පිළිම වහන්සේට කෙළ ගැහුවොත් අල්ලා බැඳ මුහුදට දමන බවද ගවේෂකවරයා ප්‍රේතියට කීවේය.

ඊළඟට පැමිණි දිනයේ ප්‍රේතියගේ හිතුවක්කාර ගති අඩු වී තිබුණේය. බයාදු කීකරු බවක් දැක්වූවාය.
‘‘අනේ මහත්තයා මුන් මගේ ඔප්පුව හොරෙන් අරගෙන මට වංචා කළා. මුන්ව මගේ ඉඩමෙන් එළවන්න ඕනෑ.’’ යි ප්‍රේතිය කීවාය.
‘‘මොකක්ද මේ අය කරපු වංචාව?’’
‘‘මුන් මට සල්ලි දුන්නේ නෑ. ඉඩමෙන් මුන්ව පන්නන්න ඕනෑ. මුන්ව එළවලා මගේ ඉඩම මට අරගෙන දෙන්න.’’
‘‘තමුන් මැරුණේ කොයි කාලෙද?’’
‘‘දැනට අවුරුදු හතළිස්පහක් වෙනවා.’’
‘‘අපි ඔය ඉඩමට ඇවිත් තවම අවුරුදු විසිපහයි. ඔය ගෑනිගේ දරුවන්ගෙත් දරුවන්ගෙන් තමයි ඔය ඉඩම අපි සල්ලි දීලා අරගත්තේ’’ යි ඇසිලින් නෝනාගේ සැමියා කරුණු පැහැදිලි කළේය.

‘‘අන්න තමුන්ට ඇහුණා නේද? තමන්ගේ මුනුපුරන්ගෙන් තමයි මේ අය ඉඩම අරගෙන තියෙන්නේ.’’ ගවේෂකයා කීවේය.
‘‘ඔව් මුන් ඉඩම ගත්තේ රමියෙල්ගෙන්. රමියෙල්ට සල්ලි දීලා. මගේ ඉඩමට රමියෙල්ට සල්ලි දීලා හරියනවද?’’
‘‘ඉඩම වික්කේ රමියෙල් නම් උඹ රමියෙල් ළඟට පලයං.’’
‘‘රමියෙල් ළඟට යන්නේ කොහොමද? ඌත් මැරිලා. ඌ ඉන්නෙත් මගේ ළඟ.’’ ප්‍රේතිය කීවාය.
‘‘රමියෙල් කොහොමද ඉන්නේ?’’
‘‘රමියෙලුයි මමයි දෙන්නම ඉන්නේ මුන්ගේ ගෙදර පිළිකන්නේ.’’

‘‘සිසිලියාට මේ ඉඩම අයිති වුණේ කොහොමද?’’
‘‘මගේ තාත්තාගෙන්.’’
‘‘එහෙම නම් ඉඩම තාත්තාගේ. සිසිලියාගේ නෙවෙයි.’’
‘‘ම්….ම්….ම්……ම්…’’ ප්‍රේතිය කල්පනා කරයි.
‘‘මේ ඉඩම තාත්තගෙත් නෙවෙයි.’’
ගවේෂකවරයා කීය.
‘‘එහෙනම් කාගෙද?’’ ප්‍රේතිය ඇසීය.
‘‘තාත්තගෙත් තාත්තාගේ. සිසිලියාගේ සීයගේ.’’
‘‘ම්……….ම්………….ම්………..ම්…’’
‘‘මුනුපුරාට සල්ලි දීලා ගත්ත ඉඩම සිසිලියාට දැන් අයිති නෑ. කරුණාකර මේ අයට කරදර නොකර යන්න.’’
‘‘බෑ… බෑ…. මේකිව මරාගෙනම තමයි මම යන්නේ. දැන් අවුරුදු විසිපහක් මේකිව ලෙඩ කළා වගේ මරාගෙන යනවා.’’

මේ ප්‍රේතිය කීකරු නොවන බව වැටහුණු නිසා කිරණ එල්ල කොට දවා දුර්වල කොට පන්නා දැම්මේය. ඉඩමටත් පවුලේ අයටත් ආධ්‍යාත්මික ආරක්ෂා යොදා දිනපතා නිවෙසේ ඉටුකළ යුතු පිළිවෙත් කීපයක් නියම කළේය ෴

********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )